පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Sunday, April 28, 2013

Ji Jin Hee as the king Sukjong in Abheetha Diyani - අභීත දියණි හි සුක්ජොන්ග් රජුගේ චරිතයට පණපොවන ජි ජින් හී





කොරියානු ටෙලි නාට්‍ය අප රටේ ජනප්‍රියවීමත් සමග ඒවායේ පෙනී සිටින නළු නිළියන් අප රටෙහි ප්‍රෙක්ෂක ජනතාවගේ ප්‍රියතම තාරකා බවට පත්විය. මෙයට කලකට පෙර විකාශනයේ පැවති ‛සුජාත දියණි’ මෙයට ඇති කදිම උදාහරණයයි. එහි ‛ඩා ජැන්ග් ගියුම්’ හෙවත් ‛චංගුමි’ තවමත් අප රටෙහි ප්‍රෙක්ෂකයන්ගේ ආදරණීය චරිතයක් ලෙසින් පවතී. අදාළ වුවද නැති වුවද ඇතැම් කටවුට් පෝස්ටර්වල පවා ඇගේ රුව දක්නට ලැබේ. බොහෝ ටියුෂන් පංති සඳහා වූ පෝස්ටර් හා වෙළෙඳ දැන්වීම්වල ඇගේ රුව දක්නට ලැබෙන අතර, ඒවායේ නිබන්ධන අතුළතද ඇගේ රුව ඇතුළත් වේ. එක් ටියුෂන් ගුරුවරයෙකු සිය ප්‍රචාරක දැන්වීමක සඳහන් කළේ පළමු දේශනයට පැමිණෙන සිසු සිසුවියනට චංගුමීගේ ඡායාරූප ඇතුළත් සීඩී එකක් නොමිලේ ලබාදෙන බවය.   මෙයින් පසුව දැන විකාශනය වන්නා වූ ‛අභීත දියණි’ ටෙලිනාට්‍යයේ ප්‍රධාන චරිතය වූ ‛ඩොන්ග් යි’ ද කෙමෙන් මේ තත්වයට පත්වෙමින් පවතින බැව් පෙනේ. මෙ කතා කරන්නට සූදානම් වන්නේ ද කොරියානු ටෙලිනාට්‍ය නිසා ලොව පුරා ජනප්‍රියත්වයට පත්වූ. විශේෂයෙන් කාන්තාවන්ගේ  ආදරණීය චරිතයක් බවට පත්වූ රංගන ශිල්පියකු පිළිබඳවය. ඔහු නමින් ‛ජි ජින්-හී’ ය. 
1971 ජුනි 24 වැනිදා දකුණු කොරියාවේ උපත ලද ජි ජින්-හී වෘත්තියෙන් නළුවෙකි. උසින් සෙ.මී. 178ක් වන අතර බර කිලෝ ග්‍රූම් 71කි. කටක ලග්නය හිමි ඔහුගේ රුධිර ඝනය වන්නේ බී පොසිටිව් ය. 2004 වසරේදී ඔහු ලී සු යොන් හා විවාහ විය. ම්යුන්ග් සරසවියෙන් සැළසුම්කරණය පිළිබඳ හදාරා ඇති ඔහු මුළින්ම සැළසුම් ශිල්පියකු ලෙසද, පසුව, ඡායාරූප ශිල්පියකු ලෙස ද වැඩකටයුතු කළ අතර රංගන ශිල්පියකු බවට පත්වූයේ ඉන් පසුවය. 
 ‛මිස් මිලියන් ඩොලර් ක්වෙස්ට්’, ‛ලව් ලෙටර්’, ‛ස්ප්‍රින්ග් ඩේස්’, ඓතිහාසික ටෙලිනාට්‍ය වූ ‛ඩා ජැන්ග් ගියුම්’, හා ‛ඩොන්ග් යි’ යන රූපවාහිනි මාළා නාටකවල රඟපෑමෙන් අතිශය ජනප්‍රියත්වයට පත්වූයේය. විශේෂයෙන් අවසානයට සඳහන් කළ, අප රටේ ද විකාශනය වූ හා විකාශනය වෙමින් පවතින කොරියානු ටෙලිනාට්‍යවල රඟපෑම ඔහුගේ ජනප්‍රියත්වයට තවත් හිනිපෙත්තට ගෙන යන්නට හේතුවිය. 
ජි ජින්-හී ‛සුජාත දියණි’ හි පෙනී සිටියේ ‛මින් ජුන්ග්-හෝ’ ගේ චරිතය සඳහාය. මින් යනු කඩවසම් පෙනුමක් ඇති බුද්ධිමත් පුද්ගලයෙකි. විද්වතකු මෙන්ම සටන් ශිල්පය හොඳින් හැදෑරූ අයෙකි. ඔහු රජු යටතේ විනිශ්චයකරුවකු ලෙස සේවය කළේය. ඔහුගේ ජීවිතයට අනතුරක් සිදුවන්නට ගිය අවස්ථාවක ඔහු නොදැනීම ජීවිතය ගළවාගන්නේ ජැන්ග් ගියුම් හෙවත් චංගුමී විසිනි. ඔවුන් අතර ආදරයක් ගොඩනැගෙන්නේ ඉන් පසුවය. 
මේ දිනවල විකාශනය වෙමින් පවතින ‛අභීත දියණි’ ටෙලි නාට්‍යයේ ජි ජින්-හී පෙනී සිටින්නේ තවත් ඓතිහාසික චරිතයක් වූ සුක්ජොන්ග් රජු ලෙසය. මෙහි රජවාසලේ සේවිකාවක වූ ඩොන්ග් යි සමග ඔහුගේ ආදර සබඳතාවයක් ගොඩ නැගෙයි. 
මෙම ටෙලිනාට්‍යවල චරිතවලට පෙනී සිටීමෙන් අනතුරුව ඔහුට කොරියාව තුළ මෙන්ම අන් රටවල ද ලැබී ඇති ප්‍රෙක්ෂක ප්‍රතිචාර ඉමහත්ය. විශේෂයෙන් කාන්තාවන අතර ඔහු අතිශය ජනප්‍රිය මෙන්ම ආදරණීය චරිතයක් බවට ද පත් ඇති බැව් පෙනේ. ඔහු වෙනුවෙන් වූ අන්තර්ජාල ෆේස්බුක් රසික පිටුවට ගොඩවැදීමෙන් පමණක්ම ඔහුගේ ජනප්‍රියත්වය පිළිබඳ තක්සේරුවක් ලබාගත හැකිය. 
කොරියානු ටෙලිනාට්‍ය එතරම් ජනප්‍රියත්වය නොමැති ඕස්ට්‍රේලියාවේ රූපගතකිරීමකට ජි ජින්-හී සහභාගී වූ අවස්ථාවේ දී එහි තරුණියන්ගේ දැවැන්ත ප්‍රතිචාරයක් ඔහුට ලැබුණු බැව් එක් සම්මුඛ සාකච්ඡාවකදී ඔහු ප්‍රකාශ කොට තිබිණි. ඔහු පවසන්නේ ඓතිහාසික ටෙලිනාට්‍යවල ඔහු පෙනී සිටිනු දකින්නට බොහෝ රසික රසිකාවියන් බෙහෙවින් කැමැත්තක් දක්වන බැව් තමාට දැනී ඇති බවය. ‛ඩා ජැන්ග් ගියුම්’ හි රඟපෑම වෙනුවෙන් ඔහු චීනයේ ද අතිශය ජනප්‍රියත්වයට පත්වූවා පමණක් නොව සී.ඊ.ටී.වී. යන වින්දනාත්මක් නාළිකාව මගින් ඔහුට 2010 වසරේ ‛ආසියානු තාරකාව’ යන සම්මානය ද පුදකරනු ලැබිණි. මීට අමතරව ආසියානු රටවල මෙන්ම යුරෝපීට රටවලද ඔහු බොහෝ දෙනෙකුගේ, විශේෂයෙන් යුවතියන්ගේ ආදරනීය චරිතයක් බවට පත්ව හමාරය. 
ටෙලිනාට්‍යවලට අමතරව ඔහු මේ වන විට දිත්‍රපට 12ක පමණ චරිත නිරූපණය කොට ඇත. ඔහු මෙතෙක් රංගනයෙන් දායක වූ ටෙලනාට්‍ය සංඛ්‍යාව 17ක් පමණ වේ. විවිධ රූපවාහිනි වැඩසටහන් මෙහෙයවන්නකු ලෙස ද ප්‍රේක්ෂකයන්ගේ ප්‍රතිචාර දිනා ඇති ඔහු ඩොන්ග් යි හි රඟපෑම වෙනුවෙන් විශිෂ්ටතා සම්මානයක් දිනාගත්තේය. ඊට අමතරව තවත් සම්මාන කිහිපයක්ම මේ වනවිට දිනාගෙන තිබේ. 



No comments:

Post a Comment

මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න