පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Thursday, April 4, 2013

Chavez and Daughter - හියුගෝ චාවේස් සහ දියණියෝ

වසර කිහිපයක් තිස්සේ පිළිකා රෝගය සමග සටන් කළ වෙනිසියුලානු ජනපති හියුගෝ චාවේස් පසුගිය මාර්තු 5 වැනිදා පිළිකාවට පැරදුනේය.
පිළිකාවට පැරදුනද  ඔහු මිය ගියේ ලතින් ඇමරිකානු රටවල් ජනතාවගේ සිත්හි සදාකල් ජීවත්වන වීරයකුගේ මතකයක් ඉතිරි කරමිනි. 1999 වසරට පෙර වෙනිසියුලාවේ පැවැතියේ ඇමරිකානු හිතවාදී පාලනයකි. ලෝකයේ තෙල් සම්පත බහුල රටවල් අතරින් එකක් වූ වෙනිසියුලාවේ 1999 ට පෙර තෙල් ආදායම ගලා ගියේ බහුජාතික සමාගම්වලටය. නමුත් හියුගෝ චාවේස් ජනපති බවට පත්වූ පසු මේ සියල්ල වෙනස් වූ අතර තෙල් සම්පතේ ආදායමින් දිළිඳු ජනතාවට මහත් සහන රැසක් අත්විය. ඔහු සිව් වරක්ම වෙනිසියුලාවේ ජනපති ලෙසට එරට ජනතාව තෝරාපත් කරගත්තේ ඔහු සිය රට වෙනුවෙන් කළ අපරිමිත සේවය නිසාවෙන්මය. වෙනිසියුලාවේ පමණක් නොව සමස්ථ ලතාන් ඇමරිකානු කලාපය, තෙවැනි ලෝකයේ ඇමරිකානු විරෝධී රටවල් සියල්ල හියුගෝ චාවේස් සදා නොමියෙන් වීරයකු ලෙස සිය සිත්වල සටහන් කරගත්තේ ඔහුගේ තිබූ මෙම විප්ලවකාරී අදහස් නිසාය.
1954 ජූලි 28 වැනිදා උපත ලද හියුගෝ රෆායෙල් චාවේස් ෆ්‍රියස් මිය යන විට 58 වැනි වියෙහි පසුවිය. කම්කරු පවුලක උපන් ඔහු හමුදා සේවයෙන් පසු දේශපාලනයට පිවිසියේය.
හියුගෝ චාවේස්ට බොහෝ මිතුරියන් සිටි බව ප්‍රකට කරුණකි. පුදුමයට කරුණක් වන්නේ කැපී පෙනෙන දේශපාලනඥයකු, ඇමරිකානු විරෝධියකූ, දක්ෂ ගායන ශිල්පියකු ද වන ඔහුට මිතුරියන් නොමැති නම්ය.
මිතුරියන් බොහෝ සිටින බවට පැවසුන ද ඔහු මිය ගියේ තනිකඩයකු ලෙසිනි. නමුත් ඔහුගේ පෙම් සබඳතා පිළිබඳව නම් අපමණ කටකතා පැතිර පවතී. කටකතා කෙතරම් තිබුණද ප්‍රංශ ජනාධිපත් නිකොලොස් සාර්කොසි හෝ ඉතාලි අගමැති සිල්වියෝ මේ සිය පෞද්ගලික ජීවිතය ප්‍රසිද්ධ වේදිකාවට ගෙන ආවේ නැත. ඒ කෙසේ වෙතත් හිටපු වෙනිසියුලානු ජනපතිවරයා මිය යන තෙක්ම දික්කසාද  සිදුවීම් දෙකක අමිහිරි මතකයන්ගෙන් පීඩා වින්දේය.
චාවේස් සිය පළමු දික්කසාදය අත්විඳින්නේ 1992 දීය. සිය ප්‍රථම බිරිඳ වූ නැන්සි කොල්මෙන්රාස් ගෙන් වෙන්වූයේ දේශපාලනය පිවිසෙන්නට සත්වසරකට පමණ පෙරදීය. ඔවුන් දෙදෙනාට පුතුන් දෙදෙනකු හා දියණියන් දෙදෙනකු සිටිති. ඔහු මිය යන තෙක්ම සිය ප්‍රථම විවාහයේ දරුවන් සමග ඉතා ආදරණීය සම්බන්ධතාවයක් පැවැත්වූ බැව් ප්‍රකට කරුණකි.
චාවේස්ගේ දෙවැනි බිරිඳ වූයේ මරිසාබෙල් රොඩ්රිගුවස් ඔරොපේසාය. පවුත්පත් කලාවේදිනියක වූ ඇගෙන් ඔහු වෙන්වූයේ 2003 වසාරේදී ය. ඒවනවිට ඔහු වෙනිසියුලාවේ ජනපති බවට පත්ව සිටියේය. ඔහු සිය සැමියාව නිතරම පාහේ විවේචනය කරන්නීය. ඇය ඔහුට එරෙහිව සිදුකළ මාධ්‍ය මෙහෙයෙුම් නිසා 2007 දී ජනමත විචාරණයෙන් පරාජය ලබන්නට ද චාවේස්ට සිදුවිය. චාවේස් ඇමරිකාවට එරෙහිව කටයුතු කරද්දී ඔහුගේ බිරිඳ ක්‍රියා කළේ ඇමරිකාවට වාසිවන අයුරිනි.
හිහුගෝ චාවේස්ගේ පෞද්ගලික ජීවිතය පිළිබඳව තොරතුරු ලබාගන්නට විශ්වාසදායක මාර්ග නොමැති වුවත් කටකතා නම් බොහෝ පැතිර පවතී. 2004 දී මාධ්‍ය මගින් පවසන්නට වූයේ ඔහු මාරි පිලි හර්නැන්ඩස් සමග ආදරයෙන් වෙලී සිටිය බවයි. නමුත් එය ඔප්පු කරන්නට කිසිදු  සාධකයක් හමුවූයේ නැත. බ්‍රිතාන්‍ය සුපිරි මොස්තර නිරූපිකාවක වූ නයෝමි කැම්ප්බෙල් සමග සබඳතාවයක් පවත්වන බවටත් කටකතා පැතිර යන්නට විය. ඇය වෙනිසියුලාවට පැමිණියේ ඨූ සඟරාව වෙනුවෙන් ජනපතිවරයා සමග සම්මුඛ සාකච්ඡාවක් පැවැත්වීම සඳහාය. ඇය බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවක් වුවද මෙම සම්මුඛ සාකච්ඡාවේදී හියුගෝ චාවේස් පිළිබඳ ප්‍රසන්න ලෙස කතා කළාය. කෙසේ මුත් නයෝමි ජනපතිවරයාගේ බිරිඳ බවට පත්වූයේ නැත. සැබෑ කතාව නම් බොහෝ ගැහැණුන් මෙම ලතින් ඇමරිකානු වීරයාගේ සිත දිනාගැනීමට ඉමහත් උත්සාහයක් ගත් බවයි.
ජනපතිවරයා ප්ලාස්ටික්  සැත්කම්වලින් රූමත්බව ඔපවත් කරගත් ගැහැණුන්ට මනාපයක් නොදක්වන බවත් ප්‍රකට කරුණකි.
වෙනිසියුලානු රූ රැජිනක වූ රුඩි රුඩ්‍රිගුවස් සමග ද ජනපතිවරයාගේ පෙම් සබඳකමක් පැවති බැවි කටකතා පැතර ගිය ද ඇය පැවසූයේ ඒ සියල්ල සත්‍යයයෙන් තොර බවයි.
කලකට පෙර වෙනිසියුලාවේ සිටි ආර්ජන්ටිනා තානාපතිවරයි වූ ඇලිසියා කැස්ත්‍රෝ සමග ද ජනපතිවරයාගේ හාදකමක් පැවති බවට මාධ්‍ය මගාන් ආරංචි පැතිර ගියේය. මෙම සබඳතාවට පැවතියේ ඔහු මරිසාබෙල් සමග විවාහවී සිටි සමයේදී බවත් එම ආරංචියේ පැවසිණි. දැනට එක්සත් රාජධානියේ තානාපතිවරිය වන ඇය මෙම කතා ප්‍රතික්ෂේක කරන්නීය. එය එසේ වුවත් මාධය පවසන්නේ ඇයත් ජනපතිවරයාත් අතර පැවතියේ මිත්‍රකමකට වඩා බොහෝ ඈතට ගිය ගැඹුරු සබඳතාවයක් බවය.
ඔහු ජනපති තනතුරේ සිටියදී ජනපති බිරිඳ ලෙස ඔහුගේ සියලු වගකීම් කරට ගනිමින් වැඩකටයුතු කළ කාන්තාවක් පිළිබඳව ද අසන්නට ලැබෙයි. ඒ මාරියා ගාබ්‍රියෙලාය. සැබැවින්ම ඇය ජනපති බිරිඳකගේ වගකීම ඉටු කළ ද ඈ අන්කිසිවකු නොව ඔහුගේ ප්‍රථම විවාහයෙන් ඔහුට හිමිවූ ඔහුගේ දෙවැනි දියණියයි. ජනපතිවරයා ඇය පිළිබඳ හැඳින්වූයේ සිය දේශපාලන දියණිය ලෙසය. සිය පියාගේ දෙවැනි විවාහයත් අසාර්ථක වීමෙන් පසු ජනපකිවරයාගේ අසලින්ම සිටිමින් ඔහුගේ ජාතික හා ජත්‍යන්තර සියලු වැඩකටයුතු සංවාධනයෙන් සහාය වූයේ ඇයයි.  ඔහු පිළිකා රෝගයට ප්‍රතිකාර ගැනීමට කියුබාවට ගිය සමයේ ද ජනපති තනතුරේ සියලු වගකීම් කරට ගෙන ක්‍රියා කළේ ඇයයි. එසේ හෙයින් ඔහුට ජනපති ආර්යාවක් නොසිටිය ද එම නිල තනතුර කිසිදු අඩුපාඩුවකින් තොරව ඔහුගේ දියණිය ක්‍රියාත්මක කළ බැව් මාධ්‍ය මගින් නිතර පැවසිණි. ඇය ජනපති ආර්යාවගේ තනතුරේ වැඩකටයුතු කරනා අතරේ ඔහුගේ අවසන් හුස්ම පිටවන තුරුම ඔහුට උවටැන් කරමින් ළඟින්ම සිටි දියණියක් පිළිබඳවද දැනගන්නට ලැබෙයි. ඇය ඔහුගේ ප්‍රථම විවාහයේ වැඩිමහල් දියණිය වූ රෝසා වර්ජිනියාය.
විවිධ කාන්තාවන් සමග විවිධ මට්ටමෙන් සබඳතා පැවැත්වුව ද මෙම ලතින් ඇමරිකානු කලාපයේ වීරත්වයට පාත්‍රවූ ජනපතිවරයා ඒ කිසිවකු සිය දේශපාලන හෝ පෞද්ගලික ජීවිතය විනාශ වන තැනට හේතුවක් කරගන්නට කටයුතු කළේ නැත. ඔහුගේ ඇති සුවිශේෂි බව එයයි. අතැම් මාධ්‍ය මගින් මෙවැනි තොරතුරු හාරා අවුස්සමින් ඔහු පහළට දමන්නට උත්සාහ කළ ද  ඒ කිසිවක් සාර්ථක වූයේ ද නැත. මන්ද මිය ගිය පසු ද ඔහු තවමත් ලතින් ඇමරිකානු කලාපයේ සදාතිනික වීරයා, ආදරබර පුද්ගලයා බවට  පත්ව සිටීමයි.

No comments:

Post a Comment

මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න