පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Thursday, April 11, 2013

Tamil new year - අනෙක් ජාතීන් අලුත් අවුරුද්ද සමරන්නේ මෙහෙමයි


අප්‍රේල් යනු සිංහලයාට සුවිශේෂී මාසයකි. ඒ සිංහල අලුත් අවුරුද්ද උදාවීම නිසාය. නැකතට වැඩ අල්ලමින් සියලු දෙයම අලුතින් ආරම්භ කොට මුළු මහත් ජීවිතයම පුනර්ජීවයකට ලක් කරන්නට මෙම මාසය ඉවහල් වේ. ගහකොල පවා නව දළුලමින් මෙම අසිරිය ලොවට කියා පායි. සිංහලයා අස්වනු නෙළා ගෙට ගත් විගසම අලුත් අවුරුද්ද  ද උදාවන බැවින් ඔවුන්ට සිය ජීවිතය වන වසරක් වෙනුවෙන් අලුතින් ඇරඹීමට එය ද පිටිවහලක් වෙයි. සූර්ය වන්දනාව මුල්කරගනිමින් අතීතයේ ආරම්භ වී ඇති මෙම උත්සවය සැබැවින්ම ශ්‍රී ලාංකික අපට පමණක් ආවේණික වූවක් ද නැතහොත් සූර්ය වන්දනාවට හුරු වූ ආසියාවේ තවත් රටවලත් මේ මාසයේම අවුරුදු සමරයිද? සොයා බැලීමේදී පෙනී යන්නේ අප්‍රේල් මාසයේ මැද භාගයේදී උදාවන මෙම උත්සවය අපට පමණක් ආවේණික වූවක් නොවන බවයි.

වර්තමානයේ මෙම උත්සවය ‛සූර්ය මංගල්‍යය’ ලෙස හඳුන්වනු ලැබූවද මෑතක්වනතුරුම එය ‛සිංහල හා හිංදු අලුත් අවුරුද්ඳ යනුවෙන් හඳුන්වනු ලැබිණි. එහි නමින්ම කියැවෙන පරිදි මෙය හින්දු භක්තිකයන් ද සමරණ බැව් පැහැදිලි වේ. එහෙත් අප රටෙන් බැහැරව සිටින් හින්දු භක්තිකයන්ට ද මෙය ආවේණික උත්සවයක් ද? සැබැවින්ම අප රටෙන් බැහැරව සිටින් තමිල්නාඩුව ඇතුළු ලොව වටා වෙසෙන සියලු දෙමළ ජනතාව ද මෙම උත්සවය සමරති. නමුත් එහි ඇති එතම වෙනස වන්නේ අප රට හැරුණු විට ලොව පුරා වූ සියලු දෙමළ ජනතාවට අලුත් අවුරුද්ද උදාවන්නට නිශ්චිත දිනයක් පැවැතීමයි. අප රටේ නම් අලුත් අවුරුද්ද උදාවන දිනය තීරණය කරනුයේ නැකත් කමිටුවයි. අප්‍රේල් මාසයේ 12, 13, 14 යන දිනවලින් කුමන හෝ දිනයක උදාවිය හැකිය. නමුත් දෙමළ ජනතාවට සුවිශේෂී අවුරුද්ද උදාවන්නේ අප්‍රේල් 14 වැනිදාය. එය වෙනසක් වන්නේ නැත.

එය දෙමළ බසින් ‛පුත්තන්ඩු’ ලෙසින් හඳුන්වනු ලබයි. ‛චිත්තරයි තිරු-නාල්’ යන නම ද එයට භාවිත වේ. දෙමළ ජනතාව මෙම දිනයේදී ‛පුත්තන්ඩු වාස්තුකල්’හෝ ‛ඉනිය තමිල් පුත්තන්ඩු නල්ලවාස්තුක්කල්’ යැයි පවසමින් එකිනෙකාට සුබ පතති.

නිරායන ජ්‍යෝතිෂ සිද්ධාන්තය අනුව වසන්ත විෂුවය උදාවන්නේ ග්‍රෙගෝරියන් දිනදර්ශනයේ අප්‍රේල් 14 වැනිදාය. ජාත්‍යන්තර දෙමළ දිනදර්ශනයේ හා තමිල්නාඩු දිනදර්ශනයේ මෙය රජයේ නිවාඩු දිනයකි. නිවර්තන කලාපයට වසන්ත විෂුවය උදාවන කාල පරාසය වන්නේ මාර්තු 22 අවට සමයයි. මෙම දිනයට පෘථිවි අක්ෂයේ වූ අංශක 23ක දෝලනය එකතු කිරීමෙන් හින්දු ක්‍රමයට අනුව නිරායන මේෂ සංක්‍රාන්තිය ගණනය කරනු ලබයි. එනම් සූර්යයා මීන රාශියේ සිට යළි මේෂ රාශියට සිදුවන සංක්‍රාන්තියයි. සිංහල අලුත් අවුරුද්දේ සිද්ධාන්තය ද මෙයම වුවත් වෙනස වන්නේ එය උදාවන දවස වසරින් වසර වෙනස් වීමය.

සිංහල ජනතාව අප්‍රේල් මාසය භාග්‍යවත් මාසය හෙවත් බක් ලෙස හඳුන්වනවා සේම දෙමළ ජනතාවද මෙය ‛චිත්තරායි’ නමින් හඳුන්වනු ලබයි. එය දෙමළ සූර්ය දිනදර්ශනයේ මුල්ම මාසයයි. ඉන්දියාවේ ඇසෑම්, බටහිර බෙංගාලය, කේරලය, මනිපුර්, මිතිලා, ඔඩිෂා, ත්‍රිපුර ආදී ප්‍රාන්තවලද මෙම දිනයේ අලුත් අවුරුද්ද සැමරේ.

තමිල්නාඩුවේ මදුරායි නගරයේ ඇති මීනක්ෂි කෝවිල දෙමළ ජනතාව අලුත් අවුරුද්ද සමරන්නට විශාල ලෙසම එක්රොක්වන ස්ථානය ලෙස සැළකේ. එහිදී පැවැත්වෙන උත්සවය හඳුන්වනු ලබන්නේ ‛චිත්තරායි පොරුට්කාච්චි’ නමිනි. තමිල්නාඩුවේම ඇතැම් ප්‍රදේශවල මෙය ‛චිත්තරායි විෂු’ ලෙස ද හඳුන්වනු ලබයි. මේ දිනයේදී දෙමළ නිවෙස්වලට ඇතුළුවන දොරටුව අසළ කාන්තාවන් විසින් ‛කෝලම්’ රටාවලින් අලංකාර කරනු ලබයි. ඉන්දියාවේ ඇතැම් ප්‍රාන්තවල දොරටුවෙහි මල් පිපුණු කොහොඹ අත්තක් සහ ගෙඩි සහිත අඹ අත්තක් හොඳින් පෙනෙන සේ එල්වා තබයි. ඒවායෙන් සංකේතවත් වන්නේ සෞභාග්‍යයයි.
ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාව අලුත් අවුරුද්දේ ‛කාසි-විශේෂම්’ යනුවෙන් හඳුන්වන ගනුදෙනුවක් සිදුකරනු ලබයි. මෙය බොහෝ විට සිදුකෙරෙන්න්ෙ අවිවවාහක තරුණ තරුණයින්, විශේෂයින් කුඩා දරුවන් සමග වන අතර එයින් බලාපොරොත්තුවන්නේ වාසනාවන්ත බවයි. එමෙන්ම නව කෘෂිකාර්මික වසරක් ඇරඹීම සංකේතවත් කිරීම සඳහා පස්පිඩැල්ලක් කැපීම සිදු කරයි. මෙය ‛ආර්පුඩු’ නමින් හැඳින්වේ. සිංහල ජනතාව මෙන්ම ශ්‍රී ලාංකික දෙමළ ජනතාවට ද පුණ්‍ය කාලයක් තිබේ. එය ‛පුණ්‍ය කාලම්’ නම් වේ. එමෙන්ම දෙමළ ජනතාව ඖෂධ මිශ්‍ර ‛මරුති - නියර්’ නමින් හැඳින්වෙන ස්නානයක් සිදුකරයි. එයින් සෞඛ්‍ය සම්පන්න බව බලාපොරොත්තු වේ.

ලොව පුරා දෙමළ ජනතාව අප්‍රේල් 14 වැනිදා මෙසේ අලුත් අවුරුද්ද සැමරුවද තමිල්නාඩුවේ මෙයට පෙර බලයේ සිටි ඩී.එම්.කේ පක්ෂ්‍ය පවසා සිටියේ සැබෑ දෙමළ අවුරුද්ද විය යුත්තේ තයි පොන්ගල් උත්සවය පවත්වන්නා වූ ජනවාරි මාසය බවයි. එය තමිල්නාඩු දෙමළ ජනතාවගේ අස්වනු නෙලීමේ උත්සවයයි. ඔවුහු මෙය සම්මත කරගැනීම සඳහා පණතක් ද ඉදිරිපත් කළහ. නමුත් ජයලලිතා එහ මහඇමතිනිය වූ පසු පවසා සිටියේ සැබෑ දෙමළ අලුත් අවුරුද්ද විය යුත්තේ අප්‍රේල් 14 වැනිද බවයි. එබැවින් ලොවපුරා වෙනසක් නොමැතිව දෙමළ ජනතාවද අප්‍රේල් මාසයේ සිය අලුත් අවුරුද්ද සමරති.

No comments:

Post a Comment

මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න