පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Friday, April 19, 2013

Solar Calendar - සූර්ය දින දර්ශනය


අප්‍රේල්  යනු ශ්‍රී ලංකාව, ඉන්දියාව ඇතුළු බොහෝ ආසියානු රටවල ජනතාවට නව වසරක් කැඳවාගෙන එන මාසයයි. මෙය සූර්ය මංගල්‍යය ලෙස ද හඳුන්වනු ලබයි. හිරු දෙවියන් මුල්කොට ගනිමින් පවත්වන ලබන බැවින් මෙය ‛සූර්ය මංගල්‍යය’ ලෙසට නම්කරන්නට ඇත. මෑත ඉතිහාසයේ සුර්ය වන්දනාව බටහිරින් ගිළිහී ගියත් පෙරදිග සාම්ප්‍රදායික කෘෂි ආර්ථික රටාවකට හුරුවූ සිටින ජනතාව වර්තමානයේදී ද යම්කිසි මට්ටමකින් සූර්ය වන්දනාව සිදුකරයි. අලුත් අවුරුදු උත්සවය ඊට ඇති කදිම නිදසුනයි. නමුත් අතීතයේ බටහිර ලෝකයේද සූර්ය මංගල්‍යය මහ ඉහළින් පැවැත්විණි. ලොවපුරා කිතු බැතිමතුන් කිතු සමිඳුන්ගේ උපත සමරන්නා වූ ‛නත්තල’ ද මුල්සමයේ පවත්වනු ලැබූයේ සූර්ය මංගල්‍යයක් ලෙසින් බැව් ඉතිහාසය මදක් විමසා බලන්නකුට අවබෝධ වේ. මුල් සමයේදී ලොව කිසිවකු හෝ කිතු සමිඳුන්ගේ උපත සමරා නැත. දෙසැම්බර් 25 වැනිදා කිතු සමිඳුන්ගේ උපත සැමරීමක් මුළින්ම සඳහන්වන්නේ ක්‍රි.ව. 324 දීය. එයට පෙර බටහිර බොහෝ රටවල් දෙසැම්බර් 25වැනිදා පවත්වනු ලැබුයේ සූර්ය මංගලයයකි. එය ‛අපරාජිත සූර්ය මංගල්‍යය’ නම් විය. පසුකාලයේ රෝමානු අධිරාජ්‍යය කිතු දහම වැළැඳගැනීමත් සමග, ඔවුන් එතෙක් සැමරූ ‛අපරාජිත සූර්යයා’ ගේ ස්ථානයට කිතු සමිඳුන් රැගෙන ආ අතර එතැන් පටන් දෙසැම්බර් 25 වැනිදා කිතු සමිඳුන්ගේ උපත සැමරීම සිදුවිය. මේ අනුව බලන කල සුර්ය මංගල්‍යය යනු ලොව පුරා එකසේ සමරනු ලැබූ උත්සවයක් වූ බැව් පෙනේ.

වර්තමානයේ මෙම සූර්ය මංගල්‍යය පිළිබඳ සඳහන් කරන්නාවූ ඇතැම් මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය එයට සම්බන්ධ වර්ෂය සඳහන් කිරීමේදී වරදක් කරනා බැව් පෙනේ. නිදසුනක් ලෙස ගතහොත් මේ වසරේ උදාවුණු සූර්ය මංගල්‍යය හැඳින්වීමට යොදාගත්තේ ‛සූර්ය මංගල්‍යය 2013’ යනුවෙනි. නමුත් සූර්ය මංගල්‍යය ගණනය කරනු ශක වර්ෂවලිනි. ඔබගේ නිවසේ ඇති ලිත පරීක්ෂාකොට බැලුවහොත් එය මැනවින් අවබෝධවනු ඇත. ‛ශක වර්ෂ’ යනු කුමක්දැයි ඔබට දැන් ගැටළුවක් ඇතිවන්නට පුළුවන. මෙය ’ශක රාජ වර්ෂ’ යනුවෙන් ද හඳුන්වනු ලබයි. මෙම වර්ෂ ක්‍රමය ඇරඹෙන්නේ කිතු උපතින් වසර 78ක් ගිය තැනය. එනම් වර්තමාන ශක වර්ෂය කුමක්දැයි ගණනය කරගන්නට අවශ්‍ය නම් අප කළ යුත්තේ වර්තමාන ව්‍යවහාරික වසරින් වසර 78ක් අඩු කිරීමය. එවිට මෙම වසරේ උදාවන්නේ 1935 වැනි ශක වර්ෂයයි. අප මෙවර සැමරුවේ මේ අනුව 1935 වැනි සූර්ය මංගල්‍යයි. නමුත් මෙම වර්ෂ ක්‍රමය සාමාන්‍ය ජනයා අතර භාවිතවන්නේ නැත. එය යොදාගනු ලබන්නේ නක්ෂත්‍රකරණයේ යෙදී සිටින්නන් පමණි. ඉන්දියාවේ විසූ ශක නම් රජු ඉතා දක්ෂ නක්ෂත්‍රකරුවකු විය. එම රජු මිය ගිය දිනයේ සිට ඔහු සිහිකරනු වස් මෙම වර්ෂක්‍රමය නක්ෂත්‍රකරණයේ යෙදෙන්නවුන් විසින් භාවිතයට ගනු ලැබිණි.

ඈත අතීතයේ සිටම හින්දු ජාතිකයින් අලුත් අවුරුද්ද, එසේත් නැත්නම් සූර්ය මංගල්‍යය සැමරීම සඳහා යොදා ගන්නේ ‛චන්ද්‍ර - සූර්ය දිනදර්ශනයයි. මෙය පොදුවේ හඳුන්වන්නේ් ‛හින්දු දිනදර්ශනය’ වශයෙනි. අතීතයේ සිට විවිධ වෙනස්කම්වලට බඳුන්වෙමින් පැමිණි මෙය අදවන විට යම් යම් වෙනස්කම් සහිතව විවිධ නම්වලින් ඉන්දියාවේ ප්‍රාන්තවල අනුගමනය කෙරේ. මෙය ඉන්දීය ජාතික දිනදර්ශනය තරමටම ඉන්දීය රාජ්‍ය මට්ටමින්ම පිළිගැනීමට ලක්ව තිබෙන බැව් විශේෂයෙන් සඳහන් කළ යුතුය. මෙය නේපාල, බෙංගාලි, මලයාලම්, දෙමළ, තෙළිගු, කන්නදා වැනි විවිධ ප්‍රාන්තවල යම් යම් වෙනස්කම් සහිතව භාවිත කෙරෙන බැව් පෙනේ. මේවා නාමික වශයෙන් විවිධ වුවද සියල්ලම මාස හඳුන්වන්නට භාවිත කරන්නේ පොදු නම්ය. මන්ද ඔවුන් සියලු දෙනා ඒ සඳහා සංස්කෘත භාෂාව යොදාගෙන ඇති නිසාය. වෙනස ඇත්තේ වසර දහස් ගණනක් තිස්සේ ජනතාව එම මාස උච්ඡාරණය කළ ආකාරයේ ඇති වෙනස්කම් පමණි.

හින්දු ජාතිකයන්ගේ අලුත් අවුරුදු උත්සවය ‛චිත්තරයි තිරු-නාල්’ නම් වේ. ඔවුන්ගේ දිනදර්ශනයට අනුව පළමු මාසය වන්නේ ද අප්‍රේල් මාසයයි. ඔවුන් සිය දිනදර්ශනයේ එම මාසය හඳුන්වනු ලබන්නේ ‛චෛත්‍රා’ නමිනි. මෙයට අධිපති රාශිය මේෂය. අප සිංහල අවුරුදු උදාව ලෙස සමරන්නේ සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට සංක්‍රමණයවීම වන අතර හින්දූන්ගේ චාරිත්‍රවල ද දිනදර්ශනයේ ද එය වෙනසක් නැත. නමුත් පසුගිය ලිපියක අප සඳහන් කළා සේ ඔවුන්ගේ අලුත් අවුරුද්ද හෙවත් සූර්ය මංගල්‍යය උදාවන්නේ අප්‍රේල් 14 වැනිදාය.

හින්දු සූර්ය දින දර්ශනයට අනුව දෙවැනි මාසය වන්නේ ‛වෛශාඛ’ වේ. වෛශාඛ යන්නෙහ් සිංහල අරුත නම් වෙසක් යන්නය. හින්දුන් බුදු තෙමඟුළ සමරන්නේ නැති වුවද ඔවුන්ගේ දින දර්ශනයේ දෙවැනි මාසයට ඔවුන් එම නම ලබාදී ඇත.  ඉතිරි මාසයන් වන්නේ ජයිෂ්ත, ආසාධ, ශ්‍රවණ, භද්‍රෝපාද, අස්වින්, කාර්ටික, අග්‍රහායන, පවුස, මාඝ හා ඵාලුන්ග නම් වේ.

No comments:

Post a Comment

මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න