පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Friday, April 12, 2013

Story of Rizana Nafeek - රිසානා නෆීක්ගේ කතාව



රිසානා නෆීක් 2013 ජනවාරි 9වැනිදා සවුදි අරාබියේදී මරා දැමිණි. තවත් පැහැදිලිව කීවොත් ඇයගේ හිස ගසා දමා මරණ දඬුවම් දෙනු ලැබිණි. ඒ සිව් මස් හැවිරිදි කුඩා බිළිඳකුගේ මරණයට ඇය වරදකාරියක වූ නිසාය.

1988 පෙබරවාරි 4 වැනිදා ශ්‍රී ලංකාවේ මුත්තූර්වල උපත ලද රිසානා සවුදි අරාබියේ රියාද් නුවරට පා තබන්නේ 2005 මැයි  4 වැනිදාය. ඇය 1988 උපත ලැබුවද ගමන් බලපත්‍රයේ ඇගේ උපන් දිනය ලෙස සඳහන්ව තිබෙන්නේ 1982 ලෙසය. ඊට හේතුව වූයේ බාලවයස්කරුවන් විදෙස් සේවය සඳහා යොදවා ගැනීම නීති විරෝධි කටයුත්තක් බැවිනි. එසේ හෙයින් මෙය රැකියා නියෝජිතයන් විසින් කරන ලද වංචනික ක්‍රියාවකි. සැබෑ වයස 17ක්වූ රිසානා රියාද් හි සිට කිලෝමීටර් 400ක් පමණ දුරින් පිහිටි දවාද්මි හි නායිෆ් ජිසියාන් ඛලාෆ් අල්-ඔටායිබිගේ නිවසේ ගෘහ සේවිකාවක ලෙස සේවයට යොදවා ගැනෙයි. නිවසේ වැඩකටයුතුවලට අමතරව ඇයට එම නිවෙස් හිමියාගේ සිව්මස් හැවිරිදි බිළඳාගේ වැඩකටයුතු ද පැවරෙයි. ඇය නිවසේ අනෙක් වැඩකටයුතුවලට යම් පුහුණුවක් ලබා තිබුණ ද මෙතරම් කුඩා බිළිඳකු රැක බලා ගන්නට තරම් පුහුණුවක් ලබා නැත.  මහා ඛේදවාචකයක ආරම්භය සිදුවන්නේ මෙතැනිනි. රිසානා විසින් මේ සිව්මස් හැවිරිදි බිළිඳාට බෝතලයෙන් කිරි පොවමින් සිටියදී කිරි ස්වසන මාර්ගයේ හිරවී හුස්ම ගැනීම අපහසුවීමෙන් මිය යයි. ඒ 2005 මැයි මස 22 වැනි දින ප.ව. 12.30 ට පමණය. බිළිඳා මරණයට පත් කළේය යන චෝදනාව යටතේ එදිනම ඇය පොලිස් අත්අඩංගුවට පත්වෙයි.

තම රටෙහි දැරියක්, බිළිඳකුගේ මරණයට වරදකාරියක වී සිරගතවූ බව එහි සේවය කරන දන්ත වෛද්‍යවරියක වන කිෆායා ඉස්ථිකාර් ට දැනගන්නට ලැබෙන්නේ මේ අවස්ථාවේය. මහනුවර පදිංචිකාරියක වූ ඇය සිය සැමියා සමග රියාද් හි සේවය කරයි. දැරිය කෙරෙහි උපන් අනුකම්පාවෙන් යුක්තව කිලෝමීටර් 400ක් දුරින් පිහිටා ඇති දවාද්මි නගරය බලා පිටත්ව යන්නේ සිදුවූයේ කුමක්දැයි සොයා බැලීමටය. මෙම ප්‍රථම හමුවීමත් සමග ඇයත් රිසානා දැරියත් අතර ඇතිවන්නේ නොබිඳිය හැකි තරම්වූ සෙනෙහසකි.

එතැන් පටන් ඇය හැකි සෑම මෙහොතකම රිසානාගේ සැපදුක් බලන්නට යන්නට පටන් ගත්තාය. එය කිලෝමීටර් 400ක  පමණ ගමනක් වුවත් ඇය මෙම ගමන ආරම්භ කරන්නේ වදනින් කිව නොහැඅකි තරම් වූ උද්‍යෝගයකිනි. ඇය රිසානාගේ සුවදුක් සොයා බැලුවා පමණක් නොව, ඇය මරණයෙන් ගළවා ගන්නට ද හැකි සෑම උත්සාහයක්ම දැරුවාය. රිසානා සහ ඇගේ දෙමාපියන් අතර දුරකථනයෙන් කතාබහ කරන්නට අත්වැල සපයා දුන්නේ ද ඇයයි. ඇය සිය ජංගම දුරකතනය ඔස්සේ ශ්‍රී ලංකාවේ මුත්තූර් හි සිටින දෙපමාපයින්ව ඇමතුවාය. ඔවුන් සමග වදනින් හෝ දෙකකින් කතාබහ කොට සිය ජංගම දුරකතන රිසානා අතේ තබන්නට පුරුදු වූවාය. කුමන මෙහොතක හෝ සිය දියණිය යළි තමන් කරා පැමිණෙන්නේ යැයි ඔවුන් තුළ බලාපොරොත්තු බලාපොරොත්තු ලියලන්නට වූයේ මෙම දුරකතන සංවාද ඔස්සේය. එතැනින්ද නොනවතින ඇය රිසානාගේ දෙමාපියන් හමුවන්නට එක් අවස්ථාවකදී මුතූර් කරාද පැමිණියාය. ඔවුන් හමුවුණු ඇය රිසානා මරණයෙන් මුදවාගෙන යළිත් ඔවුන් කරා රැගෙන එන්නට හැකි සෑම උත්සාහයක්ම දරුවාය. පිළිසරණක් නැත්තවුන් ලෙස සිටි ඔවුහු කිෆායාගේ මෙම හමුව නිසා රිසානාගේ නිදහස්වීම ගැන තවතවත් බලාපොරොත්තු තබාගත්හ.

රිසානාගේ සුවදුක් බැලීමට නිතර පැමිණෙන මේ දන්ත වෛද්‍යවරිය පිළිබඳ ඒෂියන් ට්‍රිබියුන් පුවත්පතද වරින් වර කතා කරන්නට වියත ඒ ඇගේ උත්සාහය අගය කරන්නටත්, රිසානා මරණයෙන් මුදවා ගැනීමට එයද ඉවහල්වනු ඇතැයි යන්න ඔවුන් විශ්වාස කළ නිසාත්ය.

“රිසානා එයාට අත්වෙන්න යන ඉරණම ගැන කිසිම දෙයක් දැනගෙන හිටියේ නැහැ කියලයි මට හිතෙන්නේ.” රිසානා මරණ දඬුවමට ලක්වන්නට සති තුනකට පමණ පෙර ඇය හමුවූ අවස්ථාවේ තමාට එසේ දැනුණු බවයි ඇය ඒෂියන් ට්‍රිබියුන් පුවත්පත තසග පවසා සිටියේ.

“ඇය ඉතා හොඳ සෞඛ්‍ය තත්වයකින් පසුවුණා. ඒත් ඇයගේ මුහුණේ නම් ලොකු දුක්බර බවක් පෙනෙන්නට තිබුණා. ලංකාවට ගිහින් අම්ම තාත්තා එක්ක ඉස්සර වගේ ජීවත්වෙන්න, නෑදෑයෝ, යාළුවෝ එක්ක ඉස්සර වගේම කතාබහ කරන්න එයා ලොකු ආසාවකින් ඉන්න බව නම් මට දැනුණා. ‛මාව දැක්කාම අපේ ගමේ අය මොන වගේ දේවල් කියයිද කියලා මට හිතා ගන්නත් බෑ’ රිසානා මාත් එක්ක කතාබහ කරපු හැම අවස්ථාවකදීම මේ වගේ දේවල් නිතර කිව්වා.”

කෙසේ මුත් රිසානාගේ අනාගතය පිළිබඳ කිෆායාගේ සිතේ නිශ්චිත බවක් තිබුණේ නැත. සවුදි අරාබි බලධාරීන් රිසානා සමබන්ධව ගෙන ඇති අවසන් තීරණය පිළිබඳ ඇයට කනින් කොනින් ආරංචි ගැබී තිබුණ ද පසුගිය 8 වැනිදා ඇය රිසානා බලන්නට සිය මෝටර් රථයෙන් දවාද්මි බලා පිටත්ව ගියේ එය තමන් දවාද්මි බලා යන්නා වූ අවසන් වතාව පිළිබඳ දැනගෙන නම් නොවේ.

ඇය කිලෝමීටර් 400ක පමණ දුරු කතරක් ගෙවාගෙන එදින ද රිසානා බලන්නට පිටත්ව ගියාය. ඇය අතරමගදී රිසානාගේ දෙමාපියන් අමතා පවසා සිටියේ තමන් එදින රසිනා බලන්නට යන බවත් ඇයත් සමග කතාබහ කරන්නට සූදානම්වී සිටිනා ලෙසත්ය. රිසානාගේ දෙමාපියන්ට මෙය මහත් අස්වැසිල්ලක වන පුවතක් විය. අනෙක් ඔවුන් විශ්වාස කරගෙන් සිටියේ ද සිය දියණියගේ නිදහස්වීමේ දිනය ද ළඟ ළඟම උදාවනු ඇති බවකි.

සිය දවාද්මි ගමන පිළිබඳ ඇය සිය අත්දැකීම මෙසේ විස්තර කරන්නීය.

“මම පුරුදු විදියට උදේම රියාද්වලින් පිටත් වෙලා දවාද්මි බන්ධනාගාරයට ආවා. බන්ධනාගාර දොරටුව ළඟට ගිය වෙලාවේ අද කිසිම කෙනෙක්ව හමුවන්නට බැරි බවත් යළිත් පසුවදා එන ලෙසත් මට එහි සිටි ආරක්ෂක නිලධාරියා කිව්වා. මට වෙන කරන්න දෙයක් තිබුණේ නැහැ. මම ආපහු රියාද්වලට එන්න පිටත්වුණා.”

“මම මෙහෙම ආපහු එන අතරතුරේ මට පත්තරයන් බලන්න හම්බ වුණා. ඒකේ තිබුණේ ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවකගේ මරණ දඬුවම ගැන පුවතක්. මගේ ඇඟම සීතල වුණා වගේ දැනුණා.”
කිෆායා පවසන්නේ ඇය දවාද්මි බන්ධනාගාරයට යන විට වෙලාව පස්වරු 12.45ට පමණ වූ බවත්, ‛අල් අරාබියා’ යන පුවත්පතේ පළවූ ආකාරයට ඇය එහි යන විටත් රිසානා තවදුරටත් ජීවත්වෙමින් නොසිටින්නට ඇති බවත්ය. එම පුවත්පතේ පළවී තිබුණේ ජනවාරි 9 වැනිදා පෙ.ව. 11.45ට රිසානාගේ හිස ගසා දමා ඇය මරණයට පත්කළ බවයි.

“මට මේ මරණ දඬුවම ගැන කනින් කොනින් ආරංචි ලැබී තිබුණත් එය එදා සිදුවේ යැයි නිකමටවත් කල්පනා කලේ නැහැ. ඒ නිසයි මම රිසානාගේ අම්මටයි තාත්තටයි කිව්වේ අදත් දුවත් එක්ක කතා කරන්න ලෑස්තිවෙලා ඉන්න කියලා.”

කිෆායා 2005 සිටම නිතරම පාහේ රිසානා හමුවී දුක සැප බලන්නට පුරුදුව සිටියාය.
“මේ පුවත දැක්ක මොහෝඳාතේ මට දැනුනේ මගේ ඇඟ පිච්චිලා යනවා වගේ. මහා අකුණක් මගේ ඇඟට කඩාපාත්වුණා වගේ දැනුණා. මට මගේ සිරුරෙන් කොටසක් නැතිවුණා වගේ දැනෙන්න පටන් ගත්තා. රිසානා මට මගේම දුවෙක් වගේ. මම ඒ තරමටම ඇයට ළංවෙලා හිටියේ. මගේ එකම හීනය වූණේ එයාව ආපහු ලංකාවට එනව දකින එකයි.”

“රිසානාට සිද්ධවුණු දේ එයාගේ අම්මටයි තාත්තටයි කියන්න තරම් හයියක් මට තිබුණේ නැහැ. අමාරුවෙන්වත් එහෙම කතාවක් නොකියා ඉන්න මම හිතා ගත්තා. දවාද්මිවලට යන අතරේ මගේ වාහනය කැඩුණු හින්දා ඒක හදාගෙන ආපහු රියාද් එන්න පිටත් වුණා කියලා මම රිසානාගේ අම්මට කතා කරලා කිව්වා. ඊළඟ වතාවේ දවාද්මිවලට ගියාම රිසානා එක්ක කතා කරන්න පුළුවන් නේ කියලත් මම කිව්වා. මට ඇඬෙයි කියලා බයට මම ඉක්මණටම දුරකථනය විසන්ධි කළා.”

“මම රිසානගේ මරණය ගැන මුත්තූර්වල ඉන්න මගේ හිතවතුන් කිහිප දෙනෙකුටම කිව්වා. මම ඔවුන්ට කිව්වා රිසානාගේ අම්මටයි තාත්තටයි මේ බව කියන්න කියලා. මට ඒ ඇරෙන්න වෙන කරන්න දෙයකක් නැහැ. එයාලා ගොඩක් බලාපොරොත්තු වුණා රිසානාව නිදහස් කරගන්න පුළුවන් වෙයි කියලා. ඒත් අපි කාටවත් ඒක කරගන්න පුළුවන් වුණේ නැහැ”.

No comments:

Post a Comment

මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න