පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Monday, May 27, 2013

Personal Life of King Sukjong - සුක්ජොන්ග් රජුගේ පෞද්ගලික තොතරතුරු ටිකක් දැනගනිමු




මේ දිනවල රූපවාහිනි නාලිකාවල විකාශනනය වන ටෙලිනාට්‍ය අතුරින් කොරියානු ටෙලි නාට්‍යයක් වන ‛අභීත දියණී’ සඳහා ප්‍රේක්ෂකයන් තුළ පවතින්නේ දැඩි කැමැත්තක්. සමහරවිට එයට එතරම් කැමැත්තක් දක්වන්නේ එය ඓතිහාසික ආදර කතාවක් නිසා වන්නටත් පුළුවන්. අභීත දියණි නාට්‍යයේ ප්‍රධාන චරිත සහිත පුවත්පත් කවර, ටියුෂන් පංතිවල නිබන්ධන, ස්ටිකර් වැනි දේවල් නිතර දකින්නට ලැබෙනවා. එය කෙතරම් ජනප්‍රියද කියා එවැනි දේවල්වලින් හොඳින්ම පැහැදිලි වෙනවා. මේ නිසා තමයි අපි එහි ප්‍රධාන චරිතයක් වන ‛දොංග් යි’ ගැන මීට පෙර කතා කළේ. අද අපි කතා කරන්නට යන්නේ දොංග් යි ට පෙම්බැඳි රජතුමා වන ‛සුක්ජොන්ග්’ ගැන කතා කරන්නයි. ඇත්තම කිව්වොත් රජතුමා ගැන නෙවෙයි. රජතුමාගේ චරිතයට පණ දෙන ඒ අපූරු රංගන ශිල්පියා ගැන කතාකරන්නයි. 

සුක්ජොන්ග් රජුගේ චරිතය නිරූපණය කරන්නේ ජනප්‍රිය කොරියානු නළුවකුවන ජි ජින-හී. 1971 ජුනි 24 වැනිදා දකුණු කොරියාවේ උපත ලද ජි ජින්-හී වෘත්තියෙන් නළුවෙක්. උසින් සෙ.මී. 178ක් වනවා. බර කිලෝ ග්‍රූම් 71යි. කටක ලග්නය හිමි ඔහුගේ රුධිර ඝනය වන්නේ බී පොසිටිව්.
ඔහු විවාහකයෙක්. ඇතැම් ජනප්‍රිය නළුවන් තමන්ගේ ජනප්‍රියබව අඩුයේ යැයි සැක්යෙන් විවාහක බව සඟවන්නට උත්සාහ කළත් ඔහු පවසන්නේ තමාට එවැන්නක් කිරීම අවශ්‍ය නැති බවයි. ඔහු විවාහ වී ඇති බව ප්‍රසිද්ධියට කරුණක් වුණත්, එය ඔහුගේ ජනප්‍රියත්වයට නම් කිසිම බැලපෑමක් වෙලා නැහැ. ඔහු විවාහ වුණේ 2004 වසරේදී. ඒ ලී සු යොන් එක්ක. 


කොරියාවේ ම්යුන්ග් සරසවියෙන් සැළසුම්කරණය පිළිබඳ හදාරා ඇති ඔහු මුළින්ම සේවය කළේ සැළසුම් ශිල්පියකු ලෙසටයි. පසුව, ඡායාරූප ශිල්පියකු ලෙස ද වැඩකටයුතු කළා.  රංගන ශිල්පියකු බවට පත්වූයේ ඉන් පසුවයි. 


 ‛මිස් මිලියන් ඩොලර් ක්වෙස්ට්’, ‛ලව් ලෙටර්’, ‛ස්ප්‍රින්ග් ඩේස්’, ඓතිහාසික ටෙලිනාට්‍ය වූ ‛ඩා ජැන්ග් ගියුම්’ හෙවත් අප දන්නා පරිදි ‛සුජාත දියණි’, හා ‛ඩොන්ග් යි’ හෙවත් අප දන්නා පරිදි ‛අභීත දියණී’ යන රූපවාහිනි මාළා නාටකවල රඟපෑමෙන් කොරියාවේ පමණක් නොව තවත රටවල් ගණනාවක අතිශය ජනප්‍රියත්වයට පත්වුණා. 


විශේෂයෙන් අවසානයට සඳහන් කළ, අප රටේ ද විකාශනය වූ ‛සුජාත දියණී’ හා දැනට විකාශනය වෙමින් පවතින ‛අභීත දියණී’ යන නාට්‍ය ඔහුව  ජනප්‍රියත්වයේ ඉහළටම ගෙන යන්නට හේතුවක් වුණා.
ජි ජින්-හී ‛සුජාත දියණි’ හි පෙනී සිටියේ ‛මින් ජුන්ග්-හෝ’ ගේ චරිතය සඳහායි. එහි මින් යනු කඩවසම් පෙනුමක් ඇති බුද්ධිමත් පුද්ගලයෙක්. විද්වතකු මෙන්ම සටන් ශිල්පය හොඳින් හැදෑරූ අයෙක්. ඔහු රජු යටතේ විනිශ්චයකරුවකු ලෙසටත්  සේවය කළා. ඔහුගේ ජීවිතයට අනතුරක් සිදුවන්නට ගිය අවස්ථාවක ඔහු නොදැනීම ජීවිතය ගළවාගන්නේ ජැන්ග් ගියුම් හෙවත් චංගුමී විසින්. ඔවුන් අතර ආදරයක් ගොඩනැගෙන්නේ ඉන් පසුවයි. 


මේ දිනවල විකාශනය වෙමින් පවතින ‛අභීත දියණි’ ටෙලි නාට්‍යයේ ජි ජින්-හී පෙනී සිටින්නේ තවත් ඓතිහාසික චරිතයක් වූ සුක්ජොන්ග් රජු ලෙසටයි. රජවාසලේ සේවිකාවක වූ ඩොන්ග් යි සමග ඔහු ආදර සබඳතාවයක් ගොඩ නගා ගන්නවා. 


මෙම ටෙලිනාට්‍යවල චරිතවලට පෙනී සිටීමෙන් අනතුරුව ඔහුට කොරියාවෙන් වාගේම අන් රටවලින් ද ලැබී ඇති ප්‍රෙක්ෂක ප්‍රතිචාර අති විශාලයි. විශේෂයෙන් කාන්තාවන් අතර ඔහු අතිශය ජනප්‍රිය මෙන්ම ආදරණීය චරිතයක්. ඔහු වෙනුවෙන් වූ අන්තර්ජාල ෆේස්බුක් රසික පිටුවට ගොඩවැදීමෙන් පමණක්ම ඔහුගේ ජනප්‍රියත්වය පිළිබඳ තක්සේරුවක් ලබාගත හැකියි. 


කොරියානු ටෙලිනාට්‍ය එතරම් ජනප්‍රියත්වය නොමැති ඕස්ට්‍රේලියාවේ රූපගත කිරීමකට ජි ජින්-හී සහභාගී වූ අවස්ථාවේ දී එහි තරුණියන්ගේ දැවැන්ත ප්‍රතිචාරයක් ඔහුට ලැබුණු බැව් එක් සම්මුඛ සාකච්ඡාවකදී ඔහු ප්‍රකාශ කොට තිබුණා. ඔහු පවසන්නේ ඓතිහාසික ටෙලිනාට්‍යවල ඔහු පෙනී සිටිනු දකින්නට බොහෝ රසික රසිකාවියන් බෙහෙවින් කැමැත්තක් දක්වන බවයි. ‛ඩා ජැන්ග් ගියුම්’ හෙවත් ‛සුජාත දියණි’ හි රඟපෑම වෙනුවෙන් ඔහු චීනයේ ද අතිශය ජනප්‍රියත්වයට පත්වුණා.  ඒ වාගේම චීනයේ සී.ඊ.ටී.වී. යන වින්දනාත්මක් නාළිකාව මගින් ඔහුට 2010 වසරේ ‛ආසියානු තාරකාව’ යන සම්මානය ද පුදකරනු ලැබුවා. මීට අමතරව ආසියානු රටවල මෙන්ම යුරෝපීට රටවලද ඔහු බොහෝ දෙනෙකුගේ, විශේෂයෙන් යුවතියන්ගේ ආදරනීය චරිතයක් බවට පත්ව හමාරයි. 


ටෙලිනාට්‍යවලට අමතරව ඔහු මේ වන විට චිත්‍රපට ද 12ක පමණ චරිත නිරූපණය කොට තිබෙනවා. ඔහු මෙතෙක් රංගනයෙන් දායක වූ ටෙලනාට්‍ය සංඛ්‍යාව 17ක් පමණ වනවා. විවිධ රූපවාහිනි වැඩසටහන් මෙහෙයවන්නකු ලෙස ද ප්‍රේක්ෂකයන්ගේ ප්‍රතිචාර දිනා ඇති ඔහු ඩොන්ග් යි, එහෙමත් නැත්නම් ‛අභීත දියණී’ හි රඟපෑම වෙනුවෙන් විශිෂ්ටතා සම්මානයක් දිනාගෙන තිබෙනවා. ඊට අමතරව තවත් සම්මාන කිහිපයක්ම මේ වනවිට දිනාගෙන තිබෙනවා.

No comments:

Post a Comment

මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න