පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Wednesday, September 11, 2013

මුහුණ සුදුකරන ක්‍රීම්වල අහිතකර පැත්ත - Bad Effects of Whitening Creams


කාන්තාවන් යනු උපතින්ම රූමත්බවට කැමැත්තක් දක්වන පිරිසකි. ඒ නිසාම ඔවුහු සිය රූ සපුව වර්ධණය කරගැනීම සඳහා කළහැකි සියලු දේ කරති. සිය පෙනුම පිළිබඳ සැළකිලිමත්වන්නා වූ කාන්තාවන් බොහෝ දෙනෙකුට ඇති ප්‍රධාන ගැටලුවක් වන්නේ සිය සමේ පැහැයයි. සියලු දෙනාම පාහේ පිළිගන්නා දෙයක් වන්නේ රූමත්වන්නට නම් තමාගේ සමේ වර්ණය ද සිත්කලු විය යුතු බවයි. සිත්කලු පැහැය ලෙස බොහෝ දෙනෙකු සිතන්නේ සුදු පැහැය යි. කලු සම ඇත්තවුන් කෙරෙහි ඇති අවධානයට වඩා සුදු සම ඇත්තවුන් කෙරෙහි ඇති අවධානය වැඩි බව අපට පෙනෙන්නට ඇති දෙයකි. මෙයට හේතුව සුදු යනු රූමත් බවේ ලක්ෂණයත් බවත් කලු යනු අවලස්සන බවේ ලක්ෂණයක් බවත්   සමාජයේ මුල්බැසගෙන ඇති පිළිගැනීමයි. රූමත් කලු තරුණියන් කොතෙකුත් සිටිය ද සුදු තරුණියක්  හමුවේ ඔවුහු පරාජයට පත්වන තරමට මේ පිළිගැනීම ප්‍රබල වේ. ‛කලු කෙල්ලන් හැඩයි’ යනුවෙන් පත්තර පිටු පිරවූව ද මෙය ඒත්තු ගන්නවන්නට අති දුෂ්කර වී තිබේ. මේ නිසාම කලු සම ඇති තරුණියෝ සිය සමෙහි වර්ණය සුදු පැහැ කරගැනීම සඳහා විවිධ උපක්‍රම භාවිත කරති. මේ අතුරින් ජනප්‍රියතම හා ලාභදායීම ක්‍රමය වන්නේ සුදු පැහැය ලබාදෙන ක්‍රීම් වර්ගයන් ය. මේවා ‛ෆෙයාර්නස්’, ‛බ්ලීචින්’ හෝ ‛ස්කින් ලයිටින්’ වැනි නම්වලින් හැඳින්වේ. සිංහලෙන් මේවා පොදුවේ හඳුන්වනු ලබන්නේ ‛සම පැහැපත් කරන්නා වූ ක්‍රීම්’ වශයෙනි. මෙයට ‛පැහැපත්’ යන වදන යෙදීම වැරදි වුව ද සම සුදුපැහැ කරගැනීම පසුපස හැල්මේ දුවන්නා වූ තරුණියන්ට වචනවල තේරුමෙන් ඇති වැඩක් නැත. මෙම ක්‍රීම් වර්ග භාවිතයෙන් සමෙහි වර්ණය සුදු පැහැයට හැරෙන්නට පුළුවන් වුව ද එයට වඩා භයානක සත්‍යයක් මේවා පිටුපස සැඟවී ඇති බව සඳහන් කළ යුතුය. අප කතා කරන්නට සැරසෙන්නේ ඒ පිළිබඳවය. 

අප ජීවත්වන ආසියානු කලාපයේ වැසියන්ගේ සම වඩාත් සංයුක්ත ස්වභාවයකින් යුක්ත වේ. එයට හේතුව අප සමෙහි සුදු පැහැ සමක් ඇති පුද්ගලයනට වඩා වැඩි මෙලනින් සංයුතියකින් පැවතීමය. වැඩි වශයෙන් සූර්යාලෝකයට නිරාවරණය වන බැවින් ආසියානුවන්ගේ සමට මෙලනින් අත්‍යවශ්‍ය සාධකයකි. නමුත් මේ සමෙහි වර්ණයට අකැමති බැවින් සම හැකිතාක් සුදු පැහැගන්වන්නට උත්සාහ කිරීමේදී භාවිත කරන්නා වූ විවිධ ෆෙයාර්නස් ක්‍රීම් නිසා මෙම ස්වභාවික මෙලනින් සංයුතිය අඩු වී යයි. එමපණක් නොව මෙම ක්‍රීම්වල අඩංගු විවිධ රසායන ද්‍රව්‍ය අප සම මත විවිධ ආකාරයෙන් ක්‍රියාත්මක වෙයි. සම සුදු පැහැ කිරීම සඳහා වෙළෙඳ පලේ මිලට ගැනීමට ඇති ක්‍රීම් වර්ග බොහොමයක පහත සඳහන් රසායන ද්‍රව්‍ය අඩංගු වේ. 

හයිඩ්‍රෝක්‍යුනන් (Hydroquinon
මේවා සම සුදු පැහැකරගැනීම සදහා පමණක් නොව දළ සේයාපට කර්මානතයේදී ද යොදා ගැනේ. එමෙන්ම විවිධ රූපලාවන්‍ය ද්‍රව්‍යවල, හිසකේ ඩයි ආදියේ ද අඩංගු වේ. නමුත් භයානකකම වන්නේ මෙය මෙය පිළිකා කාරකයක් වීමය. එමෙන්ම ස්වසන රෝගවලට ද හේතුවකි. මෙය බොහෝ බටහිර රටවල තහනම් කරනු ලැබූව ද ආසියානු කලාපයේ නම් තවමත් භාවිත කරනු පෙනේ. 

රසදිය 
සම සුදු පැහැ කරගැනීම සදහා ඇති බොහෝ ක්‍රීම් වර්ගවල රසදිය දක්නට ලැබේ. බොහෝ විට ඒ සඳහා යොදාගනු ලබන්නේ රසදිය ක්ලෝරයිඩ් සහ ඇමොනියාකරණය කළ රසදිය වේ. මේ සියල්ල පිළිකාකාරක වේ. මෙහි විෂ බව කොතෙක් ද යත් ස්නායු හා වකුගඩු ආබාධ පවා ඇතිවන්නට ඇති ඉඩකඩ වැඩි ය.  මානසික අසමබරතාවය මෙන්ම මේවා කාලයක් භාවිත කළ කාන්තාවන්ට උපදින දරුවන්ගේ උපතේදී ආබාධ තත්වයන් ඇති කරන්නට ද හේතු වේ. 

ඇල්ෆා හයිඩ්‍රොක්සි අම්ලය (Alpha Hydroxy Acids
මේවා බොහෝ විට දැකිය හැක්කේ මුහුණේ සම සුදු කරගැනීම සඳහා විශේෂයෙන් නිෂ්පාදය කොට ඇති ක්‍රීම්වර්ගවලය. විශේෂඥ උපදෙස්වලින් තොරව භාවිත කිරීම භයානක ය. නිතර භාවිතයට ද සුදුසු නොවේ. 

ආර්සනික් (Arsenic
මෙය අපට නිතර ඇසෙන වදනකි. මෙය අධික විෂෙන් යුක්ත වුව ද ඇතැම් ක්‍රීම්වර්ග සදහා මෙය භාවිතකරනු  දැකිය හැකි වේ. 

හයිඩ්‍රොක්‍යුනන් හෝ රසදිය හිරු එළිය හමුවේ සම මතුපිට ක්‍රියා කිරීමේ දී සිදුවන්නේ මේවා ප්‍රති-ඔක්සිකරණයකට ලක්කිරීම වන අතර අවසානයේ සිදුවන්නේ කල්ගතවත්ම සමෙහි ලප හට ගැනීම හා අකාලයේ සම වියපත්වීමය. එමෙන්ම සමෙහි ඇති ස්වභාවික ආරක්ෂක ස්ථරය ද තුරන්ව යයි. ස්වභාවික මෙලනින් තුරන්ව යාමේ ප්‍රතිඵලය වන්නේ කල්ගතවත්ම සමෙහි පිළිකා හටගැනීම ය. එමෙන්ම හයිඩ්‍රොක්‍යුනන් හේතුවෙන් සමෙහි ඇති කොලැජන් ස්ථරය ඝනබවින් වැඩි වී සම්බන්ධක පටක හානියට පත්වෙයි. ප්‍රතිඵලය වන්නේ පැල්ලම් සහිත සමක් ඇතිවීමය. 

රසදිය නිතර සම සමඟ ක්‍රියාත්මකවීමේදී වන්නේ ස්වභාවික පැහැය තුරන්ව යාම මෙන්ම නැවෙන ස්ථානවල ඇති සමෙහි කලු ලප ඇතිවීමය. දීර්ඝ කාලීන වශයෙන් අක්මාවේ හා වකුගඩුවල ක්‍රියාකාරීත්වය අකර්මන්‍යවීමය. සම සුදු පැහැගන්වන යම් නිෂ්පාදනයක් භාවිත කිරීමෙන් පසු ඔබ හිරු එළියෙන් ආරක්ෂා වූයේ නැත්නම් අවසානයේ සිදුවන්නේ සමෙහි මෙලනින් ද නැති බැවින් පැවතියාට ද වඩා සමෙහි වර්ණය කලු වීමය.  ඇතැම්විට ඔබ සම සුදු පැහැ කරගැනීම සදහා භාවිත කරන්නේ බටහිර රටවල නිෂ්පාදන වන්නට පුළුවන. මන්ද මේ සඳහන් කළ රසායන ද්‍රව්‍ය බොහොමයක් ඒ රටවල තහනමට ලක්වී තිබීමය. නමුත් ඒ රටවල්වලින් කරනා විශේෂ අවවාදය වන්නේ මේවා අඩංගු රූපලාවන්‍ය ද්‍රව්‍ය එම වෙළෙඳපළට ඇතුළුවීම වළක්වාලන්නට හැකියාවක් නැති බව ය. එබැවින් මේවා භාවිත කිරීමට පෙර එහි අඩංගු ද්‍රව්‍ය මොනවාදැයි  හොඳින් කියවා බැලිය යුතුවේ. විශේෂයෙන් අන්තර්ජාලය හරහා මෙවැනි ද්‍රව්‍ය මිලදී ගැනීමේදී වඩාත් සැළකිළිමත් විය යුතු වේ. 

සම සුදුපැහැකරගැනීම සඳහා නිෂ්පාදනය කොට ඇති ඇතැම් ද්‍රව්‍යවල අඩංගු රසායනිකයන් නිසා ඇතැම්විට මතුවන්නේ අප බලාපොරොත්තුවන අන්දමේ රෝග පමණක් නොවේ. එක් අවස්ථාවක වෛද්‍යවරයෙකු හමුවන්නට පැමිණි රෝගියකු පැවසූයේ තමාගේ බර සීග්‍ර ලෙස වර්ධණය වෙමින් පවතින බවය. අවසනයේ මෙයට හේතුව වූයේ සම සුදුපැහැකරගැනීම සඳහා ඇති ක්‍රීම් වර්ගයක අඩංගු රසායනිකයක් බව සොයාගත්තේ බොහෝ පරීක්ෂණ කිරීමෙන් අනතුරුවය. අප රටෙහි තරුණියක් අතර ජනප්‍රිය මෙවැනි ක්‍රීම් වර්ග බොහොමයක් නිපදවන්නේ ඉන්දියාවේය. නමුත් ඉන්දියාවේ හා පාකිස්ථානයේ නිෂ්පාදනය කරන්නා වූ සම සුදුපැහැ කිරීමේ ක්‍රීම්වල විෂ රසායනික සංයුතිය අධික බැව් පර්යේෂණවලින් සනාථ වී තිබේ. 
මෙවැනි ක්‍රීම් වර්ග භාවිතයෙන් ලබාගන්නා සුදු පැහැය ද ජීවිත කාලය පුරාම එකසේ පවතින්නක් නොවේ. එය කෙටිකාලීනය. අවසානයේ ඔබට ඉතිරිවන්නේ අඩපණ වූ සමකි. එය ඔබට උපතින් ලැබුණු සම තරම් සෞඛ්‍ය සම්පන්න වන්නේ නැත. ඇතැම්විට ඔබ රෝග කිසිවකට ලක්නොවී සිටිය හැක. නමුත් නිසැක ලෙසම සඳහන් කළ හැක්කේ මේ ක්‍රීම් වර්ගවලින් ඔබේ සමට අයහපතක් විනා යහපතක් නම් කිසිදා සිදුවන්නේ නැති බවය. එබැවින් උපතින් කලු කෙල්ලක් ව ඉපිද එසේම ජීවත්වීම ක්ෂණික සුදු කෙල්ලක් වනවාට වඩා අගනේය. 

- රැජින පුවත්පත 2013-09-13

1 comment:

  1. http://lakbima.lk/index.php?option=com_content&view=article&id=17588:2013-09-11-11-52-29&catid=59:2013-02-21-08-59-16&Itemid=78

    ReplyDelete

මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න