පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Thursday, August 29, 2013

අනාගත රජකුගේ ප්‍රථම නිල ඡායාරූප දැක්ම - Official Inaugural Photographs of William's Son


අනාගත රජකුගේ මුල්ම නිල ඡායාරූප මේ වන විට නිකුත්ව තිබේ. මේ අනාගත රජු අන්කිසිවකු නොව මහා බ්‍රිතාන්‍යයේ විලියම් කුමරු හා කේට් කුමරියගේ කුළුඳුල් පුත් කේම්බ්‍රිජ් හි ජෝර්ජ් ඇලෙක්සැන්ඩර් ලුවී කුමරු ය. 






බ්‍රිතාන්‍ය කිරුළේ උරුමකරුවන්ගේ ඡායාරූප ගැනීම මීට පෙර සිදුකොට ඇත්තේ සර් සිසිල් බීටන් හා ස්නෝඩොන් වැනි ප්‍රවීන රාජකීය ඡායාරූප ශිල්පීන් විසිනි. නමුත් මෙවර එම සම්ප්‍රදාය බිඳ වැටී හෝ බිඳ දමා හෝ තිබේ. අනාගත රජුගේ මුල්ම නිල ඡායාරූප ශිල්පියා බවට පත්ව ඇත්තේ කේට් කුමරියගේ පියා වන මයිකල් මිඩෙල්ටන් ය. 

මෙය ඡායාරූප දෙකකින් සමන්විත වන අතර ඡායාරූප ගැනීම සඳහා භාවිත කොට ඇත්තේ මිල අඩු, ඡායාරූප ශිල්පීන් අතර ‛පොයින්ට් ඇන්ඩ් ෂූට්’ ලෙසින් ප්‍රකටව ඇති ඩිජිටල් කැමරාවකිනි. සාමාන්‍ය අප බොහෝ දෙනෙකු සතුව ඇති ඩිජිටල් කැමරා අයත්වන්නේ පොයින්ට් ඇන්ඩ් ෂූට් පවුලට ය. 


කේට්ගේ පියා සිය සුපුරුදු කැමරාව සමඟින්

මේ එක් ඡායාරූපයක විලියම් කුමරු හා කේට් කුමරිය සිය පුතු සමඟින් සිටගෙන සිටිනා අතර අනෙක් ඡායාරූපයේ සිය පවුලේ සුරතලුන් දෙදෙනා සමඟ හිඳගෙන සිටී. සෑම ප්‍රවෘත්තියකම මෙම පවුලේ සුරතලුන් දෙදෙනා පිළිබඳව ද විශේෂයෙන් සඳහන් කොට තිබිණි. එක් සුරතලකු වන්නේ බ්ලැක් කොකර් ස්පැනියල් වර්ගයට අයත් ලූපෝ නම් සුනඛයා වන අතර අනෙකා ගෝල්ඩන් රිට්‍රීවර් වර්ගයට අයත් ටිලී ය. අප රටේ නම් පවුලේ ඡායාරූපයකට නිවසේ සිටින දඩෝරියා වැද්දගන්නේ නැත. අහළ පහළක සිටිය ද වැරදීමකින් හෝ ඡායාරූපගත වී ඡායාරූපය අවලස්සන වේ යැයි සිතමින් දඩෝරියා පන්නා දමන්නට පුරුදුව සිටිමු. නමුත් බ්‍රිතාන්‍ය රාජකීයයන් එසේ කොට නොමැත. ඔවුන් සිය නිවසේ සුරතලුන් ද පවුලේම සාමාජිකයින් ලෙස සළකමින් නිල ඡායාරූපයට ඇතුළුවන්නට අවසර ලබා දී තිබේ. ඒ ඔවුන්ගේ සත්ව කරුණාව වන අතර අපේ සත්ව කරුණාව වෙනම ම එකකි. 

ඇලෙක්සැන්ඩර් කුමරු ඔතා ඇති බ්ලැන්කෙට්ටුව ද ප්‍රවෘත්තිවල විශේෂ අවධානයකට ලක්වූවකි. ඇලෙක්සැන්ඩර් කුමරු රෝහලින් පිටතට රැගෙන එන අවස්ථාවේ ඔහුව ඔතා තිබුණේ ද මෙම බ්ලැන්කෙට්ටුවෙන්ම ය. 
විලියම් කුමරුගේ නිල ඡායාරූපය 

චාල්ස් කුමරුගේ නිල ඡායාරූපය 

නවසීලන්ත රජයේ නිවසේදී චාල්ස් කුමරු, ඩයනා කුමරිය හා විලියම් කුමරු ගත් මෙම ඡායාරූපයේ සැලැස්ම විලියම් කුමරුට සිය පුතුගේ ඡායාරූප ගැනීමේදී සිතට නැගෙන්නට ඇති බව ඇතැමෙක් පවසති.

කේට් කුමරිගේ නිල ඡායාරූපය 

මෙම නිල ඡායාරූප ගැනීම සිදුකොට ඇත්තේ මෙම අගෝස්තු මාසයේ මුල් භාගයේ කේට්ගේ නිවස වන බර්ක්ෂයර් මන්දිරයේ උද්‍යානයේ දී වන අතර ඡායාරූප දෙකේම අනාගත රජු සිටින්නේ නින්දේ ය. 

ඡායාරූප දෙකම සරල සැළසුමකින් යුක්ත වුව ද ප්‍රවීනයක් පවසන්නේ මීට පෙර ලබාගත් රාජකීය ඡායාරූප සමඟ සැසඳීමේදී මේවායේ බොහෝ තාක්ෂණික දෝෂ ඇති බවය. ආලෝකය පසුපසින් පැමිණෙන නිසා පසුබිමෙහි ඇති දර්ශන එතරම් හොඳින් දිස්වන්නේ නැත. ඒ ආලෝකය නිසාම ඡායාරූපයේ බොහෝ ස්ථාන අපැහැදිලි වී ඇත. ප්‍රවීනයෙකු මෙම ඡායාරූප ගත්තේ නම් සමස්ථ ඡායාරූපයම ආලෝකවත් වන්නට අවශ්‍ය උපක්‍රම යොදනු ඇත. නමුත් මිල අඩු කැමරාවකින් මෙයට වඩා යමක් සිදුකළ නොහැක. අනෙක් මීට පෙර මෙවැනි රාජකීය නිල ඡායාරූප එළිමහනේ ගැනීමේ සම්ප්‍රදායක් පැවතුනේ ද නැත. කේට්ගේ පියා මේ සම්ප්‍රදාය බිඳ දමා තිබේ. ඇතැම්විට මෙය පැරණි සම්ප්‍රදායයන් බිඳ දමා නව ලෝකයට සරල ලෙස ඇතුළුවන්නට විලියම්ගේ හා කේට්ගේ කැමැත්ත විදහා දක්වන්නයක් බවට ද ඇතැමෙක් අදහස් දක්වති. 

මෙම ඡායාරූප මෙසේ ගැනීමේ අදහස මූලික වශයෙන්ම විලියම්ගේ හා කේට්ගේ බව දැනගන්නට ලැබී තිබේ. පවුලේ පිරිසත් සමඟ සතුටින් සිටින මොහොතක පිටස්තර පුද්ගලයකු පැමිණ ඡායාරූපගැනීමට කටයුතු සූදානම් කළහොත් එය තම සතුටට බාධාවක් වනු ඇතැයි ඔවුන් සිතන්නට ඇත. එබැවින් සාමාන්‍ය පවුලක සාමාන්‍ය ඡායාරූප ලෙස මේවා අරගන්නට ඔවුන් අදහස් කළා වෙන්නටත් ඇත. මේ අදහස් සියල්ලම විචාරකයින්ගේ පැසසුමට ලක්වුවත් සියලු දෙනා මෙම ඡායාරූපවල ඇති අඩු ගුණත්වය පිළිබඳ කතා කරති. පොටෝෂොප් මෘදුකාංගය පිළිබඳ දන්නා අයෙක් කේට්ගේ පවුලේ සිටියේ නම් මේවා මාධ්‍යට මුදා හරින්නට පෙර මෙම අඩුපාඩු සකස්කොට මේවා වඩාත් ඓතිහාසික මට්ටමකට රැගෙන එන්නට හැකියාවක්  තිබුණේ යැයි එක් ඡායාරූප ශිල්පියකු සී.එන්.එන්. ප්‍රවෘත්ති සේවයට පවසා තිබිණි. 

නමුත් විලියම් හා කේට් යුවලට අවශ්‍යව තිබෙන්නට ඇත්තේ පැපරාසින්ගේ කැමරාවවන් හසු නොවී හැකි ඉක්මණින් තම පුතුගේ නිල ඡායාරූප කිහිපයක් මාධ්‍යවලට මුදාහරින්නට වන්නට ඇත. 
කෙසේ හෝ දැන් මේවා ඇලෙක්සැන්ඩර් කුමරුගේ නිල ඡායාරූපයන් ය. ඒවායේ ගුණත්වයෙහි අඩුපාඩු ඇතත් ඒවා රාජකීය මට්ටමේ ඡායාරූපයන්ය. මිල අධික කැමරාවකින් ගත් ඡායාරූපවලට වඩා ලෝකයාගේ අවධානය මේවාට ලැබී තිබේ. රජවරුන් වූ විට එසේය. 

- රැජින පුවත්පත 2013-08-30

No comments:

Post a Comment

මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න