පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Wednesday, August 21, 2013

පැරණි සමාජයේ පහළම කතුන්ගෙන් නව සමාජයේ ඉහළම කතුන් උරුම කරගත් දැව ආභරණ - Wooden Jewelleries



කාන්තා විලාසිතාවන් අතර කැපී පෙනෙන දෙයක් වන්නේ ආභරණය. කුමන ඇඳුමකින් සැරසී සිටිය ද එයට ගැළපෙන ආභරණ පැළඳීමෙන් කාන්තාවකගේ පෙනුම සුවිශේෂ අයුරින් කැපී පෙනෙන තත්ත්වයකට පත්කළ හැකිය. අනෙක ආභරණ යනු විලාසිතාවන් අතර මග හැරිය නොහැකිම දෙයකි. අතීතයේ රන් හෝ රිදී ආභරණ සඳහා වැඩි ජනප්‍රියත්වයක් පැවතුණි. මන්ද දිදුලන ආභරණ කෙරෙහි වැඩි දෙනෙකුගේ ඇස ආකර්ෂණය කරගැනීමට හැකි වූ නිසාය. මිල අධික වීම හා ආරක්ෂාව පිළිබඳ ගැටලු නිසා මෙවැනි ආභරණ කාන්තාවන්ගෙන් මඳක් ඈත් වූ බැව් පෙනුණි. ඒ වෙනුවට මිලෙන් අඩු නමුත් සුවිශේෂී අලංකාරයෙන් යුක්ත ආභරණ ජනප්‍රිය වන්නට විය. සිප්පි කටු, යකඩ, ප්ලාස්ටික් මේ අතර කැපී පෙනේ. විශේෂයෙන් රන් හෝ රිදී ආභරණ ජනප්‍රියත්වයෙන් අඩු බටහිර රටවල මෙවැනි ඒවා සඳහා ඇත්තේ වැඩි ඉල්ලුමකි. මෑතක සිට බටහිර ලෝකයේ මෙන්ම අප රටේ ද ජනප්‍රිය වෙමින් පවතින තවත් එක් විලාසිතාවක් වන්නේ දැව ආභරණය. දැව කොටස්වලින් සකස් කරනා ලද මාල, වළලු, මුදු, කරාබු වැනි බොහෝ දේ දැන් වෙළෙඳසල්වල අලෙවි කරන්නට තිබේ. එපමණක් නොව ඒවා අන්තර්ජාලය ඔස්සේ ද මිලට ගන්නට පුළුවන.

මෑතක සිට ජනප්‍රිය වන්නට පටන් ගැනුණු බැවින් මෙය මෑතකදී නිර්මාණය කරගත් ආභරණ විශේෂයක් වශයෙන් යමෙකුට හැඟෙන්නට පුළුවන. නමුත් දැවයෙන් කරන ලද ආභරණවලට ඇත්තේ ඉතා දිගු ඉතිහාසයකි. එය ප්‍රාග් ඓතිහාසික යුගය දක්වා දිව යන්නකි. එබැවින් මේ සම්බන්ධයෙන් කිව යුතු විශේෂතම කරුණක් වන්නේ මෙම දැව ආභරණ රන්, රිදී දියමන්ති ආභරණවලට වඩා බොහෝ වයසින් වැඩි බවය. අතීත මානවයෝ දැවවලට අමතරව පාෂාණ අස්ථි කොටස්, ආදිය ද උපයෝගි කරගනිමින් විවිධාකාරයේ ආභරණ නිර්මාණය කළහ. වර්තමානයේ මේවා ජනප්‍රියත්වයට පත්වන්නේ අපට අතීත උරුමයක් යළි පණ ගැන්වීමක් ලෙස මිස මෑතකදී මතු වූ විලාසිතාවක් ලෙසින් නොවේ.
මෑතක සිට කාන්තා විලාසිතා අතර සොබාදහම හා බැඳුණු ඒවාට ලැබෙන ජනප්‍රියත්වය කමෛන් වැඩිවෙමින් පවතින බව ද පෙනේ. ඒ නිසාම මිල අධික ඇඳුම් වෙනුවට කපු රෙද්දෙන් කළ ඇඳුම්වලට ඇති ඉල්ලුම වැඩිවෙමින් පවතී. මන්ද එවැනි රෙදිවලින් සකසන ලද ඇඳුම් නිසා ශරීරයට ලැබෙන සුවපහසුව සේම සෞඛ්‍යාරක්ෂිත බව වැඩි බැව් අත්දැකීමෙන්ම අවබෝධ වී ඇති නිසාය. එවැනි කපු ඇඳුම් සමග දැවයෙන් කරන ලද ආභරණ පැළැඳීමෙන් තමන් සොබාදහම සමග තව තවත් සමීප වන බැව් බොහෝ කාන්තාවන් දැන් සිතන්නට පටන් ගෙන ඇත. ඒ නිසාම බටහිර රටවල මේවා පාරිසරික ආභරණ ඥජධ ණඥඹඥතපර නමින් ජනප්‍රියත්වයට පත්ව තිබේ. එහි අරුත වන්නේ පරිසර හිතකාමී පරිසරය හා බැඳුණු ආභරණ වැන්නකි. බටහිර රටවල මෙය ජනප්‍රියවන්නට පටන් ගැනෙන්නේ 1930 සිට 1950 දශක අතර කාලයේදීය. විශේෂයෙන් දෙවන ලෝක සංග්‍රාමය මුල් කොට ගෙන ලෝකයේ ආර්ථික පරිහානිය පැවැති කාලයේ දැව ආභරණ සඳහා අධික ඉල්ලුමක් පැවැති මුත් නවීන කර්මාන්ත තාක්ෂණයේ දියුණුවත් සමග කමෛන් ප්ලාස්ටික් ආභරණ ජනප්‍රියවන්නට පටන් ගැනීමත් සමග මේවාට ඇති ඉල්ලුම ද අඩුවී ගියේය. නමුත් වර්තමානයේ මෙම තත්ත්වය කමෛන් වෙනස් වෙමින් පවතී. ඒ අප පෙර දී කතා කළ සොබාදහමට ඇති ආදරය නිසාය.

නමින්ම දැක්වෙන පරිදි මෙම ආභරණ සම්පූර්ණයෙන්ම හෝ අර්ධ වශයෙන් හෝ දැවයෙන් සකස් කරන ලද ඒවාය. ඇතැම් ඒවා සම්පූර්ණයෙන්ම දැව කොටස්වලින් යුක්ත වුවද ඇතැම් ඒවා වීදුරු, ගල්, ප්ලාස්ටික් හෝ සිප්පි කටු සමග මිශ්‍ර කරමින් සකසා ගන්නා බව පෙනේ. වර්තමානයේදී නම් දැවයෙන් සම්පූර්ණයෙන් නිමවන ලද අත් ඔරලෝසු පවා මිලට ගන්නට පුළුවන. දැව ආභරණ අතර සාම්ප්‍රදායික හැඩ තල මෙන්ම එසේ නොවන ඒවා ද දක්නට ලැබේ. ඇතැම් ඒවායේ ඇත්තේ මුල් දැව කැබැල්‍ලේ හැඩයම මිස අලුතින් නිර්මාණය කරන ලද්දක් නොවේ. ඇතැම් දැව වර්ගවල ඇති වර්ණ ද මෙම ආභරණවල අලංකාර බව වැඩි කරන්නට හේතු වී තිබේ. කුමනාකාරයෙන් තනනු ලැබුව ද විශේෂයෙන්ම පෙනෙන්නට ඇති දෙය නම් ඒ සියලු ඒවා කිසිදු අපහසුවකින් තොරව අලෙවි කරගත හැකි බවය. අන්තර්ජාලය ඔස්සේ දැව ආභරණ අලෙවි කරනා ඇතැම් වබේ අඩවිවලින් කෙරෙන්නේ ලෝකයේ බොහෝ ඈත රටවල සිටින සාම්ප්‍රදායික ජීවන රටා ගතකරන්නන් නිපදවන දැව ආභරණ එකතු කොට ඒවා අලෙවි කිරීමය. මෙයින් දැව ආභරණවලට පමණක් නොව ඒවා නිර්මාණය කරන්නන්ට ද ජනප්‍රියත්වයක් ලැබේ. මෙසේ නිපදවන ඇතැම් දැව ආභරණ කෙතරම් මටසිලිටි ලෙස සියුම් ලෙස නිර්මාණය කර ඇතිදැයි කිවහොත් ඒවා දැවයෙන් නිර්මාණය කරන ලද ඒවාදැයි සැක සිතෙන තරම්ය. ඇතැම් ඒවා රන් හෝ රිදී තරමටම ඔපවත්ය.

අප රටේ සංස්කෘතිය පිළිබඳ සලකා බලන විට අපට දක්නට හැකි දෙයක් වන්නේ රන් මෙන්ම රිදී ආභරණ අතීතයේ ඉතා ජනප්‍රියව පැවැති බවය. කෞතුකාගාරයට ගිය විට අපේ ඉපැරණි ආභරණ ඕනෑ තරම් දැක බලා ගන්නට පුළුවන. නමුත් දැවයෙන් හෝ වෙනත් වර්ගවලින් කරනා ලද ආභරණවලට අතීත සිංහල ජනසමාජය අතර වැඩි ඉල්ලුමක් තිබුණු බැව් නොපෙනේ. විශේෂයෙන් උසස් යැයි සම්මත කුල කාන්තාවන් අතර රන් හෝ රිදී ආභරණ හැරුණුවිට වෙනත් ආභරණ ජනප්‍රිය වූයේ නැත. දැව හෝ සිප්පි කටුවලින් තැනූ ආභරණ වැඩි වශයෙන් ජනප්‍රියව පැවැතියේ පහත් යැයි සම්මත කුල අතරය. පැරණි ඉන්දියාවේ ආර්ය වංශික කාන්තාවන් රන් රිදී ආභරණ පැළඳි අතර දැව හෝ ලෝහ ආභරණ කුලහීන කතුන්ට සීමා වූ බව පෙනේ. එවැනි ආභරණ පැළඳීම උසස් කුලවතුන් සැලකුවේ මදිකමක් ලෙසිනි. නමුත් දැන් තත්ත්වය හාත්පසින්ම වෙනස්ය. දැන් අප රටේ දැව ආභරණ කෙරෙහි වැඩි ආකර්ෂණයක් පළ කරන්නේ ද නාගරික උසස් සමාජ ආර්ථිකයකින් යුතු කාන්තාවන් බව පෙනේ.

රැජින 2013-08-23

No comments:

Post a Comment

මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න