පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Thursday, August 22, 2013

බටහිර ජ්‍යෝතිෂය ඔබ පිළිගන්නවාද? - Do you Believe in Western Astrlogy


සත්‍ය අසත්‍යතාවය කෙසේ වෙතත් අප ජීවිතයේ බොහෝ අවස්ථාවලදී අපි ජ්‍යෝතිෂයේ පිහිට පතන්නෙමු. විශේෂයෙන් ආවාහ විවාහ කටයුතු, නිවසක් ඉදිකිරීම, නිවසකට ගෙවැදීම, ව්‍යාපාරික ස්ථානයක් ආරම්භ කිරීම ආදී සුවිශේෂී අවස්ථාවලදී කොයි කවුරුත් පාහේ සුබ මුහුර්තයක් සොයාගැනීම සඳහා අනුගමනය කරන්නේ ජ්‍යෝතිෂ ක්‍රමවේදයන්ය. ආසියානුවන් ලෙස අප ජීවිත හැඩගැසී ඇත්තේ ඒ ආකාරයෙනි. නමුත් බටහිර රටවල වැසියන් පිළිබඳ අප සිතන්නේ මේ ආකාරයෙන් නොවේ. ජ්‍යෝතිෂය වැනි ගුප්ත විද්‍යාවන් පිළිබඳ ඔවුන් තුළ ඇත්තේ උදාසීන ආකල්පයකැයි අප සිතන්නෙමු. නමුත් සත්‍යය නම් එය නොවේ. බටහිර වැසියෝද අප තරමටම, ඇතැම්විට අපටත් වඩා තදබල ලෙස මෙම විද්‍යාවන්ගේ පිහිට පතති. උදාහරණයක් ලෙස එංගලන්තය හා ඒ අවට ඇති යුරෝපියානු රටවල ජනතාව අපල උපද්‍රව පිළිබඳ දැඩි විශ්වාසයකින් පසුවෙති. මේ නිසාම පෙරදිග හා සමානවම බටහිර රටවල ද ජ්‍යෝතිෂ විද්‍යාවක් ගොඩනැගී ඇත. ඔවුහු තම එදිනෙදා ජීවිතය හැඩගස්වා ගැනීමට මෙම ජ්‍යෝතිෂ උපදෙස් අනුගමනය කරති. 

බටහිර ජ්‍යෝතිෂය යනු මෑතකදී බිහි වූවක් නොවේ. එය වසර දහස් ගණනක් තිස්සේ අරාබියේ හා යුරෝපයේ ජනතාව අතර මැනවින් ප්‍රචලිත වී තිබිණි. බටහිර ජ්‍යෝතිෂයට අනුව කියැවෙන්නේ පෘථිවිය වටා සූර්යයා ඇතුළු සමස්ථ විශ්වයම පරිභ්‍රමණය වන බවය. නූතන බටහිර ජ්‍යොතිෂය පැවැත් එන්නේ පැරණි මෙසපොතේමියානු ශිෂ්ටාචාරයෙනි. මෙම ශිෂ්ටාචාරය පිහිටියේ වර්තමාන ඉරකයේ යුප්‍රටීස් සහ ටයිග්‍රීස් නම් ගංගා දෙකට මැදිවය. සුමේරියනු, අක්කඩියානුවන්, බැබිලෝනියන්වරු හා ඇසිරියන්වරු මෙම ශිෂ්ටාචාරයේ සිටියහ. 

අභ්‍යවකාශ වස්තූන්ගේ ගමන් රටාවන් අධ්‍යයනය කිරීම තුළින් බැබිලෝනියන්වරු ජ්‍යෝතිෂ විද්‍යාව ගොඩනැගීම සඳහා මුල් පියවර තැබූහ. නමුත් සූර්යයාගේ ගමන් මාර්ගය ගණනය කොට සූර්ය දිනදර්ශනයක් නිර්මාණය කරගැනීමට හැකි වූයේ පැරණි ග්‍රිකවරුන්ටය. 
බටහිර ජ්‍යෝතිෂ විද්‍යාවට අනුව කේන්දරයක් සකස් කිරීම සදහා පෙරදිග සේම විවිධ ගණනය කිරීම් සිදුකරනු ලබන අතර යම් යම් අවස්ථාවලදී  පංචාංග ලිතක පිහිට පතන අවස්ථා ද දක්නට ලැබේ. 
ලග්න ගණන පෙරදිග සංඛ්‍යාවම වන අතර නම්වලද වෙනසක් නැත. මෙහි දැක්වෙන්නේ ඒ ඒ ලග්න, ඒවායේ ගුණාංග හා ඒ ඒ ලග්න හිමියන් සොයා ගන්නා ආකාරයයි. 

1. මේෂ - නිර්භීතබව, උද්‍යෝගී බව, අලුතින් යමක් ඇරඹීමේ හැකියාව, තරගකාරීත්වය හා ආත්මාර්තකාමී බව 
මාර්තු 21 - අප්‍රේල් 20 අතර උපන් පුද්ගලයින් මෙම ලග්නයට අයිතිය. 
2. වෘෂභ - ස්වාමිත්වය, මුරණ්ඩු, අධිෂ්ඨානශීලිබව, විශ්වසනීයත්වය, ප්‍රායෝගිකබව 
අප්‍රේල් 21 - මැයි 21 අතර උපන් පුද්ගලයින් මෙම ලග්නයට අයිතිය. 
3. මිථුන - විවිධ හැකියාවන්වලින් යුක්තබව, දක්ෂබව, අසහනය, අස්ථිරබව හා කුතුහලය 
මැයි 22 - ජුනි 21 අතර උපන් පුද්ගලයින් මෙම ලග්නයට අයිතිය. 
4. කටක -  සංකීර්ණ, ආරක්ෂාකාරී, නොසන්සුන්, සංවේදීබව, භාවාත්මක බව 
ජුනි 22 - ජූලි 22 අතර උපන් පුද්ගලයින් මෙම ලග්නයට අයිතිය. 
5. සිංහ -  ආත්ම විශ්වාසය, පුළුල් මනස, චමත්කාරජනක බව, නායකත්වය හා අහංකාර බව 
ජූලි 23 - අගෝස්තු 22 අතර උපන් පුද්ගලයින් මෙම ලග්නයට අයිතිය. 
6. කන්‍යා - පරීක්ෂාකාරීබව, කලබලකාරීබව, භාවාත්මක නැඹුරුව, ප්‍රායෝගිකබව 
අගෝස්තු 23 - සැප්තැම්බර් 22 අතර උපන් පුද්ගලයින් මෙම ලග්නයට අයිතිය. 
7. තුලා - සමාජශීලීබව, සාධරණබව, අවිනිශ්චිතබව, වෙනස්වන සුළුබව 
සැප්තැම්බර් 23 - ඔක්තෝබර් 22 අතර උපන් පුද්ගලයින් මෙම ලග්නයට අයිතිය. 
8. වෘශ්චික -  සරාගී, අධිෂ්ඨානශීලීබව, පළිගැනීමට කැමති, රහස්‍යබව, මුරණ්ඩු 
ඔක්තෝබර් 23 - නොවැම්බර් 22 අතර උපන් පුද්ගලයින් මෙම ලග්නයට අයිතිය. 
9. ධනු - අවංක, කාර්යක්ෂමබව, සමාජශීලීබව, පරමාදර්ශී 
නොවැම්බර් 23 - දෙසැම්බර් 21 අතර උපන් පුද්ගලයින් මෙම ලග්නයට අයිතිය. 
10. මකර - විශ්වසනීයබව, අධිෂ්ඨානශීලීබව, ආරක්ෂිතබව, ප්‍රායෝගික හා සාම්ප්‍රදායික 
දෙසැම්බර් 22 - ජනවාරි 20 අතර උපන් පුද්ගලයින් මෙම ලග්නයට අයිතිය. 
11. කුම්භ -  මිත්‍රශීලීබව, ස්වාධීනබව, නිර්මාණාත්මක, මුරණ්ඩු, කැරළිකාර 
ජනවාරි 21 - පෙබරවාරි 19 අතර උපන් පුද්ගලයින් මෙම ලග්නයට අයිතිය. 
12. මීන - සංවේදී, සංකල්පනීය, භාවාත්මක, පරමාදර්ශී, නිර්මාණාත්මක බව 
පෙබරවාරි 20 - මාර්තු 20 අතර උපන් පුද්ගලයින් මෙම ලග්නයට අයිතිය. 

මෙම සටහන දෙස බැලීමෙන් අපට අවබෝධවන්නේ පෙරදිග මෙන්  නොව බටහිර ජ්‍යෝතිෂයේ සිය ලග්නය සොයගෙන්නට විශේෂ ගණනය කිරීම් අවශ්‍ය නැති බවය. අවශ්‍ය වන්නේ තමා උපන් මාසය හා දිනය දැනගැනීම පමණකි. 

පෙරදිග ජ්‍යෝතිෂයේ මෙන් බටහිර ජ්‍යෝතිෂයේ ද ග්‍රහ බලපෑම් විශ්වාස කරනා අතර ග්‍රහයින්ගේ නම් ද බොහෝ දුරට සමාන වේ. මෙහි දැක්වෙන්නේ එම ග්‍රහයන් සහ ඒවායෙන් නිරූපනය වන්නා වූ දෑ ය. 

සූර්යා (රවි) - ස්වයං ප්‍රකාශනය, ජීවන බලවේගය 
චන්ද්‍රයා (සඳු) - හැඟීම්, ප්‍රතිභාව, නිවස, දෙමාපියන් 
බුද - සිතිවිලි, කථනය, සන්නිවේදනය, ව්‍යාපාරික කටයුතු, කෙටි ගමන් බිමන් 
සිකුරු - ආදර ජීවිතය, නිර්මාණාත්මක බව, සුන්දරබව, සමාජ ජීවිතය 
අඟහරු (කුජ) - ක්‍රියාව, ශක්තිය, හදිසි අනතුරු, අධිෂ්ඨානය, ලිංගික ප්‍රකාශනය 
බ්‍රහස්පති (ගුරු) - වාසනාව, අවස්ථාවන් 
සෙනසුරු (ශනි) - රාජකාරී, වගකීම්, පාඩම්, ආශාවන් 
යුරේනස් - ක්ෂණික වෙනස්වීම්, ආතතිය, ප්‍රඥාව 
නෙප්චූන් - සිහින, මායාවන්, රැවටීම්, කලාවන් 
උතුරු චන්ද්‍ර අක්ෂය - මකර හිස, නව සහ ආගන්තුක සිදුවීම් සහ ක්‍රියාවන් 
දකුණු චන්ද්‍ර අක්ෂය - මකර වලිගය, ළමාවියෙහි හෝ පෙර භවයන් හි සිට පැමිණෙන පුරුදු 

මෙම තොරතුරු ඉදිරිපත් කළේ බටහිර ජ්‍යෝතිෂ විද්‍යාව පිළිබඳ ඔබට යම් වැටහීමක් ඇතිවනු පිණිසය. බටහිර රටවල ජ්‍යෝතිෂය පෙරදිග මෙන් සෑම වැඩකටයුත්තක් සඳහාම භාවිතයට නොගත්ත ද එය සෑහෙන ජනප්‍රියත්වයකින් පවතී. දිනපතා කෙටි පණිවිඩ මගින් පලාපල දැනුම්දෙන ආයතන ද එහි බොහෝ පවතී. මහා බ්‍රිතාන්‍ය රජ පවුල පවා මේ පිළිබඳ විශ්වාසයෙන් වැඩකටයුතු කරනා බැව් පෙනේ. ඔවුනගේ යම් යම් සුබ කටයුතුවලදී ජ්‍යෝතිෂ අදහස් අනුගමනය කරනා බැව් දැනගන්නට ලැබී ඇත. 

No comments:

Post a Comment

මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න