පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Thursday, August 22, 2013

මුහුණ හැඩකරගන්නට ‘මුහුණු ව්‍යායාම‘ - Facial Exercises for a Beautiful Face


යම්කිසි පුද්ගලයකුගේ වියපත්බව මුළින්ම තවත් කෙනෙකු දකින්නේ ඔහුගේ හෝ ඇයගේ මුහුණෙනි. බොහෝ කලකින් හමු වූ විට ඇතැමෙක්, “අම්මෝ ඔයා සෑහෙන්න වයසට ගිහින් නේ” යැයි පවසන්නේ මුහුණ දෙස බලමිනි. එයින් කියැවෙන්නේ වියපත් බව මැණගැනීමට සියලු දෙනා බලන්නේ යම්කිසි පුද්ගලයකුගේ මුහුණු දෙස බවය. වියපත් වීම ස්වභාවික දෙයක් වුවද, එය වළක්වාගත නොහැකි දෙයක් වුවද මුහුණෙන් පිළිබිඹු වන්නා වූ වියපත් පෙනුම වළක්වා ගත හැකි නම් එය ඔබේ සිතට යම්කිසි සහනයක් ගෙන දෙනු නිසැකය. ඇතැම් අය මේ සඳහා ප්ලාස්ටික් සැත්කම්වල පිහිට සොයා යති. ඒවා මගින් මුහුණෙහි වියපත් පෙනුම තුරන් කොට දමන බව සත්‍ය මුත් සියලු දෙනාට එසේ කරන්නට මුදල් හදල් නැත. නමුත් ඔබ මේ වෙනුවෙන් දිනකට සුළු කාලයක් වෙන් කරන්නට සූදානම් නම්, ඔබට කිසිඳු මුදලක් වැය නොකොට තවත් බොහෝ කාලයක් තරුණ බව රැකගත හැකිය. මුහුණෙහි ඇති රැළි, ඉරි, එල්ලා වැටෙන ස්වභාවය වැනි වියපත් සළකුණු ඉවත් කරන්නට ඇති ස්වභාවික ක්‍රමය වන්නේ මුහුණට ලබාදෙන ව්‍යයාමයන්ය. ඔබ වියපත්වත්ම මුහුණෙහි මාංශ පේශීවල ඇති ස්ථාවරබව තුරන්ව යන්නට පටන් ගනී. මුහුණට එල්ලා වැටෙන ස්වභාවයක් ලැබෙන්නේ එවිටය. නමුත් මුහුණෙහි මාංශ පේශී සඳහා ව්‍යයාම ලබාදෙන්නේ නම් මේ තත්වය තුරන්කොට ගත හැකිය. 

අපි පියවරෙන් පියවර මේවා පිළිබඳ කතා බහ කරමු. 

ඇස් සඳහා ව්‍යායාම 


ඇස් පිහිටා ඇති ප්‍රදේශයේ සම ඉතා සියුම් ය. මේ සියුම්බව වියපත් වෙත්ම තුරන්ව යයි. මේ නිසා ඇසිපිය අවට නොයෙක් රැළි හා ඉරි ඇතිවන්නට පටන් ගනී. කපුටකුගේ පාදවල හැඩය සහිත මෙවැනි රේඛා බොහෝ වියපත් මුහුණුවල දකින්නට ලැබෙන පොදු ලක්ෂණයන් ය. ඇස් සඳහා ව්‍යයාම ලබාදීමෙන් මේ තත්වය පහසුවෙන් සමනය කරගන්නට පුළුවන. 

ඔබේ ඇස් වසාගන්න. ව්‍යයාම සිදු කරනා කාලය ඇතුළත ඇස් වසා තබාගන්න. ඔබගේ ඇඟිලි තුඩු නළලේ දෙකෙළවරෙහි තබාගන්න. දැන් හැකිතාක් ඉහළ බලන්න. ඉහළ බලද්දී එයට විරුද්ධ බලයක් ඇඟිළි තුඩු මගින් පහළ අතට යොදන්න. අනතුරුව පහළ බලන්න. ඒ අවස්ථාවේදී ද ඇඟිළි තුඩු මගින් ඊට විරුද්ද බලයක් ඉහළ අතට යොදන්න. මෙම ව්‍යායාමය වරකට 10 වතාව බැගින් දිනකට දෙවරක් කරන්න. 

නළල සඳහා ව්‍යයාම 



වියපත් වෙත්ම නළලේ රැළි ඇතිවීම ද නිතර දක්නට ලැබෙන දෙයකි. මේවා ද ව්‍යයාම මගින් පහසුවෙන් තුරන්කොට දැමිය හැකිය. 

ඔබේ දබරඟිල්ල ඇස්වලට උඩින් තබාගන්න. දැන් ඇහි බැම ඔසවන අතරේ ඇඟිල්ලෙන් පහළ අතට සෙමින්  තල්ලුවක් දෙන්න. මෙය දිනපතා දවසකට කිහිප වරක් සිදු කරන්න. මෙය සිදුකරනා වාර ගණන වැඩිවත්ම එහි ප්‍රතිඵල ද ඉක්මන් වේ. 

මේ සඳහා තවත් ව්‍යයායමයක් ඇත. ඔබේ ඇහි බැමි උඩට ඔසවා තත්පර කිහිපයක් තබාගන්න. දැන් ලිහිල් කරන්න. මෙය දස වතාවක් කරන්න. දිනකට කිහිපවරක්ම සිදුකරන්න. 

තොල් සඳහා ව්‍යයාම 


මුඛය අවට ප්‍රදේශයේ ද වියපත්වත්ම රැළි ඇති වේ. විශේෂයෙන් තොල අවට ඇති ප්‍රදේශය වඩාත් ඉක්මණින් වියපත් වේ. මේ සඳහා නිරතුරු ව්‍යයාම අවශ්‍ය වේ. 

දෙතොල් තදකරගෙන සිනහවෙන ඉරියව්වකට පැමිණෙන්න. දැන් ඉගිළෙන හාදු ක්‍රියාවලිය ( කෙහසබට නසිැි ) මිනිත්තු තුනක කාලයක් පුරා සිදුකරන්න. මෙසේ කිරීමෙන් ඔබගේ තොල් අවට ප්‍රදේශයේ මාංශ පේශී ශක්තිමත් වේ. 

මේ සඳහා තවත් ව්‍යයාමයක් ඇත. දෙතොල් වසාගන්න. දැන් දෙතොල් නහය දෙසට ඔසවන්න. දහයට ගණන් කරනා තෙක් මෙම ඉරියව්වෙහි සිටින්න. මෙය පස්වරක් සිදු කරන්න. 

එල්ලා වැටෙන දෙතොල් ද වියපත් බවේ ලක්ෂණයකි. ඔබගේ දබරඟිල්ල හැකි තරම් තදින් උරන්න. දැන් ඇඟිල්ල සෙමින් ඉවතට ගන්න. මෙම ව්‍යයාමය දස වතාවක් සිදු කරන්න. 

කම්මුල් සඳහා ව්‍යයාම 


කම්මුල් වටා වූ මාංශ පේශී එල්ලා වැටීම වියපත්වන විට හොඳින්ම දකින්නට ලැබේ. මේ සඳහා මෙහි ඇති ව්‍යයාම සිදු කිරීම මෙම තත්වය වෙනස් කරනු ඇත. 

ඔබේ මුඛය වසා තරමක් සිනහසෙන්න. දැන් ඔබගේ කම්මුල් මුඛය තුළය ඇදගන්න. තත්පර දහයක් මේ ස්වභායෙන් සිට  ලිහිල් කරන්න. මෙය දස වතාවක් සිදු කරන්න. 

මේ සඳහා ඇති තවත් ව්‍යයාමයකි මේ. ඉහළ තොල පහළ අතට  තදවන සේ තබා දෙතොල්වලින් ඉංග්‍රීසි ‛ ධ ’ අක්ෂරයෙහි හැඩය ඇති කරගන්න.  දැන් සිනහවන්න. සිනහවන අතරේ ඇඟිලිවලින් කම්මුල් ඉහළ අතට සෙමින් තෙරපන්න. තත්පර 3 -5 ක පමණ කාලයක් මෙසේ සිටින්න. දැන් ලිහිල් කරන්න. මෙයදිනකට  20 - 30 වතාවක් පමණ සිදු කරන්න. 
ගෙළ ප්‍රදේශය සඳහා ඇති ව්‍යයාම ගෙළෙහි ඇති වියපත් රේඛා, එල්ලාවැටෙන මාංශ පේශීන් ඉවත්කිරීම සඳහා ඒ ප්‍රදේශයට සුවිශේෂි ව්‍යයාම අත්‍යවශ්‍යය. 

සෘජුව සිටගන්න. හිස ඉහළට ඔසවන්න. දෙතොල් තරමක් වසා ලිහිල්ව තබාගන්න. ඔබගේ යටිතොල උඩු තොලට උඩින් සිටින සේ තබාගන්න. දහයට ගණන් කොට ලිහිල් කරන්නත මෙය දසවතාවක් සිදු කරන්න. 
ගෙළ සඳහා තවත් ව්‍යයාමයක් තිබේ. සිටගෙන හිස ඔසවා උරහිස් පසුපසට අරගන්න. දැන් දබරඟිල්ල හා මහපටඟිල්ල ගෙළෙහි තබාගන්න. නිකට ඉහළට ’ඔසවන අතරේ ඇඟිවලින් ගෙළෙහි මාංශ පේශී පහළ අතට තෙරපන්න. මෙය දසවතාවක් සිදුකරන්න. 

ගෙළ සඳහා තවත් ව්‍යයායමයක් තිබේ. හිස දෙපසට ක්‍රියාත්මක කිරීමෙන්  ගෙළෙහි මාංශ පේශී ශක්තිමත් කළ හැකිය. මෙය වරකට පස්වතාවක්වත් කළ යුතු වේ. වම් අතට පස් වරක්, දකුණු අතට පස්වරක් වන මෙම ව්‍යයාමය සිදු කරන්න. මෙහිදී හිස උරහිස් දෙසට හැකිතාක් හැරිය යුතුවේ. 
මෙහි සඳහන් කොට ඇති ව්‍යයාම නිවැරදිව සිදු කිරීමෙන් ඔබගේ මුහුණේ ඇති මාංශ පේශී ශක්තිමත් කළ හැකිය. එය ඔබගේ තරුණ පෙනුම රඳවාගැනීමට මහඟු උපකාරයක් වනු ඇත. රූපලාවන්‍ය සැත්කම් සදහා වැයකරන වියදම් ද ඔබට අඩුකරගත හැකිය. එමෙන්ම මෙම ව්‍යයාම නිසා මුහුණේ රුධිර සංසරණය ද වර්ධණය වෙයි. එවිට මුහුණට ලැබෙන පෝෂණය ද ඉහළ යයි. එය මුහුණේ නිරෝගී හා තරුණබව රඳා පැවතීම සඳහා මහඟු රුකුළක් ලබාදෙනු ඇත. 

No comments:

Post a Comment

මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න