පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Saturday, January 31, 2015

මස් කනවද එළවළු කනවද? - Carnivorous or Vegetarian?




මාංශමය ආහාර හා ශාකමය ආහාර පරිභෝජනය පිළිබඳ අද වන විට ලොව පුරා ඇත්තේ විවිධ මතයන් ය. ඇතැමෙක් ආගමික පදනම මත හිඳිමින් මාංශ ආහාරයෙන් වැළකී සිටිති. තවත් අය ආගමික පදනමට වඩා අවිහිංසක සතුන්ගේ ජීවිත හානිය පිළිබඳ සිතා එයින් වැළකෙති. තවකකු මිනිසා සේම අන් සියලු සතුන්ට ද මිහිමත නිදහසේ ජීවත්වීමට ඇති අයිතිය සලකමින් මාංශ ආහාරයෙන් වැළකී සිටින අතර තවත් පිරිසක් සෞඛ්‍යමය තත්ත්වයන් පිළිබඳ සලකා බලමින් මාංශයෙන් වැළකී ශාකමය ආහාර කෙරෙහි වැඩි නැඹුරුවක් දක්වමින් සිටිති.  කෙසේ මුත් විවිධ වෛද්‍ය පර්යේෂණවලින් ද ශාකමය ආහාරවල ඇති සෞඛ්‍ය සම්පන්න බව පිළිබඳ විවිධ කාරණා හෙළිවෙමින් පවතී. මේ පිළිබඳ ඉතාමත් මෑතකදී ඇමෙරිකානු වෛද්‍ය සංගමය පර්යේෂණයක් පවත්වා තිබිණි. Dietary Patterns and Mortality නම් වූ ඔවුන්ගේ මෙම පර්යේෂණයේ අපේක්ෂාව වූයේ ශාකමය ආහාර පරිභෝජනය සහ මිනිසුන්ගේ මරණ සංඛ්‍යාව අතර සම්බන්ධයක් ඇත්දැයි සොයා බැලීමය. මෙහි මරණ සංඛ්‍යාව යනුවෙන් හඳුන්වනු ලබන්නේ පුද්ගලයන් 1000කට මිනිසුන් කී දෙනෙක් මරණයට පත්වන්නේදැයි යන්න අනුපාතිකව සොයා බැලීමය. කෙටියෙන් පවසතොත් මරණ අනුපාතයයි. ශාකමය ආහාර ගැනීමේදී මිනිසුන් මරණයට පත්වීමේ අනුපාතය අඩු බව තහවුරු කිරීම සඳහා මෙම පර්යේෂණය දියත් කරනු ලැබිණි. මේ සඳහා ඇමෙරිකා එක්සත් ජනපදයේ ඉහළ පෙළේ වෛද්‍ය පර්යේෂකයන් ගණනාවකගේම සහභාගිත්වය හිමි වී තිබිණ.


මෙම පර්යේෂණය සඳහා 73,308 දෙනකු සහභාගී කරවාගනු ලැබූ අතර 2002 දී ආරම්භ කරන ලද මෙය 2007 දී අවසන් කෙරිණි. නමුත් මේ සඳහා ගත කළ කාලය වසර 5.79ක් ලෙස ඔවුන් සඳහන් කොට තිබිණි. මේ සහභාගී වූවන් අතර ආහාර පරිභෝජන රටා පහක් දක්නට ලැබිණි. ඒවා නම් මෙසේය.


1. ශාකමය ආහාර පරිභෝජනය නොකරන

2. අර්ධ වශයෙන් ශාකමය ආහාර පරිභෝජනය කරන

3. ශාකමය ආහාර සමග මත්ස්‍ය හා මුහුදු ආහාර පරිභෝජනය කරන

4. ශාකමය - කිරි හා බිත්තර සහිත ආහාර පරිභෝජනය කරන

5. සම්පූර්ණයෙන්ම ශාකමය ආහාර පමණක් පරිභෝජනය කරන 


පර්යේෂණය අවසන් වන විට මෙයට සහභාගි වූ 73,308 දෙනාගෙන් 2570ක් මියගොස් තිබිණි. මේ අනුව සාමාන්‍ය මරණ අනුපාතය වසරකට පුද්ගලයන් 1000කට  6.05ක් විය. ශාකමය ආහාර පරිභෝජනය නොකරන පුද්ගලයන්ට සාපේක්ෂව ශාකමය ආහාර පරිභෝජනය කරන පුද්ගලයන්ගේ මරණ අනුපාතය වසරකට  1000කට  0.88ක් විය. ශාකමය ආහාර පමණක් ගන්නා පුද්ගලයන්ගේ මරණ අනුපාතය වසරකය 1000කට  0.85ක් විය. ශාකමය කිරි හා බිත්තර සහිත ආහාර පරිභෝජනය කරන පුද්ගලයන්ගේ මරණ අනුපාතය වසරකට  1000කට  0.91ක් විය. ශාකමය ආහාර සමග මත්ස්‍ය හා මුහුදු ආහාර පරිභෝජනය කරන පුද්ගලයන්ගේ මරණ අනුපාතය වසරකට  1000කට  0.81ක් විය. ශාකමය ආහාර නොගන්නා පුද්ගලයන්ට සාපේක්ෂව අර්ධ වශයෙන් ශාකමය ආහාර ගන්නා පුද්ගලය්නගේ මරණ අනුපාතය වසරකට 1000කට  0.92ක් විය.


මෙම පර්යේෂණය සඳහා විවිධ ආහාර වර්ග 200කට අධික සංඛ්‍යාවක් සැලකිල්ලට ගෙන තිබිණි. මෙයට සහභාගී වූ පුද්ගලයන් 73,308 දෙනාගෙන් 55,548 (75.7%) ක් ශාකමය ආහාර පමණක් පරිභෝජනය කරන්නන් විය. 21,177 (28.8%) ශාකමය - කිරි හා බිත්තර සහිත ආහාර පරිභෝජනය කරන්නන් විය. 7,194 (9.81%) ක් ශාකමය ආහාර සමග මත්ස්‍ය හා මුහුදු ආහාර පරිභෝජනය කරන්නන් විය. 4,031 (5.49%) ක් අර්ධ වශයෙන් ශාකමය ආහාර පරිභෝජනය කරන්නන් වූ අතර 35,359 ක් හෙවත් මුළු සහභාගි වූවන්ගෙන් 48.23.5% ක් ශාකමය ආහාර පරිභෝජනය නොකරන්නවුන් විය.


මෙහිදී හෙළි වූ තවත් කරුණක් වූයේ ශාකමය ආහාර පරිභෝජනය කරන්නන්ගේ බහුතරයක් වයසින් වැඩි පුද්ගලයන් වූ බවය. ඔවුහු උසස් අධ්‍යාපනයකට හිමිකම් තිබූ අය වූහ. බොහෝ දෙනකු විවාහකයන් වූ අතර දුම්වැටි හෝ මත් වතුර පානය නොකරන්නන් විය. වැඩි වශයෙන් ව්‍යායාමවල නිරත වූ ඔවුහු සිහින් සිරුරු ඇත්තෝ ද වූහ. ශාකමය ආහාර සමග මත්ස්‍ය හා මුහුදු ආහාර පරිභෝජනය කරන්නන්ගේ බහුතරයක් කළු ජාතිකයෝ වූහ.


මෙම පර්යේෂණයේ නිගමනය වූයේ සියලුම ආකාරයේ මරණ අනුපාතිකවලින් අඩුම සංඛ්‍යාව ශාකමය ආහාර පරිභෝජනය කරන්නන් අතර පවතින බවය. ඇතැම් මරණ අනුපාතික තත්ත්වයන් අඩුකරන්නටද ශාකමය ආහාර පරිභෝජනය හේතුවන බැව් තහවුරු විය. 


මෙයට පෙර කරන ලද පර්යේෂණවලින් ද මරණ අනුපාතිකය සහ ආහාර පරිභෝජන රටා අතර පැහැදිලි සම්බන්ධතාවයක් ඇති බැව් තහවුරු වී තිබිණි. ධාන්‍ය, පලතුරු, කිරි ආහාර වර්ග, කෙඳි සහිත ආහාර ආදිය පරිභෝජනය කිරීම තුළින් මරණ සංඛ්‍යාව (එහි ප්‍රතිඵලයක් ලෙස මරණ අනුපාතිකය) අඩුවන බැව් නිරීක්ෂණය විය. නමුත් රතු මස්, සකසන ලද මස්, බිත්තර ආදිය වැඩි වශයෙන් පරිභෝජනයට ගැනීම නිසා මරණ සංඛ්‍යාව වැඩිවන්නට හේතුවන බව පැවසේ.


මෙහි ප්‍රතිඵලවලට අනුව ශාකමය ආහාර පරිභෝජනය කරන්නන්ගේ මරණ  අනුපාතය එසේ නොවන පුද්ගලයන්ට වඩා බෙහෙවින් අඩුය. එමෙන්ම ශාකමය ආහාර සමග මත්ස්‍ය හා මුහුදු ආහාර පරිභෝජනය කරන්නන්ගේ හා ශාකමය - කිරි හා බිත්තර සහිත ආහාර පරිභෝජනය කරන්නන්ගේ මරණ අනුපාතය ශාකමය ආහාර නොගන්නා පුද්ගලයන්ට වඩා අඩු බැව් ද තහවුරු විය. ශාකමය ආහාර පරිභෝජනය කරන්නන් තුළ හෘදයාබාධ හා පිළිකා ඇතිවීමේ ප්‍රවණතාවය ද ඉතා අඩු බැව් මෙහිදී හෙළි විය. ශාකමය ආහාරවල වැඩි වශයෙන් කෙඳි අඩංගුවීම සෞඛ්‍ය සම්පන්න තත්ත්වයකට මහඟු අත්වැලක් සපයා ඇති බැව් මෙයින් පැහැදිලි වී තිබේ. එමෙන්ම දියවැඩියා රෝගය සහිත පුද්ගලයන්ගේ රෝගී තත්ත්වය අඩුකිරීමට ශාකමය ආහාර පරිභෝජනය හේතු වී ඇති බැව් මෙම පර්යේෂණය මගින් හෙළිවූ තවත් දෙයක් විය.


ශාකමය ආහාර පමණක් පරිභෝජනය කිරීම පිළිබඳ විවිධ මතවාද තිබුණද මෙම පර්යේෂණයෙන් හෙළි වූ කරුණුවලින් පැවැසිය හැක්කේ සෞඛ්‍ය සම්පන්න ජීවිතයකට ශාකමය ආහාර මගින් මහඟු පිටිවහලක් ලබාදෙන බව ය.




2 comments:

මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න