පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Tuesday, January 27, 2015

ස්කොට්ලන්ත දුම්රියපලක දමා ගිය බල්ලාගේ කතාව - Dog abandoned with suitcase at train station



දුක්බර මුහුණකින් යුතුව සිටින මේ සුනඛයාගේ ඡායාරූප සහ තොරතුරු පසුගිය දිනවල විදෙස් මාධ්‍ය බොහොමයක් දක්නට හැකිවිය. මේ ඡායාරූප දුටු බොහෝ දෙනා, විශේෂයෙන් සුරතල් සතුන්ට ආදරය දක්වන්නෝ සහ සත්ව අවිහිංසාවාදීහු මේ පිළිබඳ විශේෂ අවධානයක් යොමු කළහ. සමාජ ජාල වෙබ් අඩවිවල මේ සුනඛයාගේ දුක්බර මුහුණ සහිත ඡායාරූප පළවන්නට විය. මොහු පිළිබඳ අනුකම්පාවෙන් දහස් ගණන් දෙනා අදහස් දක්වන්නට වූහ. මොහුගේ වගකීම භාරගන්නට බොහෝ දෙනෙකු ඉදිරිපත් වූහ.

මේ සුනඛයා බලධාරීන්ට හමු වූයේ ස්කොට්ලන්තයේ දකුණු අයර්ෂයර් ප්‍රාන්තයට අයත් අයර් දුම්රිය ස්ථානයේ සිටියදීය. බැලූ බැල්මට මොහු යම්කිසිවකු විසින් හිතාමතාම අතරමං කොට ගිය වගක් පෙනෙන්නට තිබිණි. සුනඛයෙක් මහ මග අතරමං කොට යාම අපගේ වැනි රටක මාධ්‍යයක තබා සාමාන්‍ය වැසියන්ගේ ද අවධානයට ලක් නොවුණ ද ලෝකයේ බොහෝ රටවල එසේ නොවේ. සත්ව අවිහිංසාව පිළිබඳ අප රටේ බොහෝ දෙනෙක් කතා බහ කළ ද ප්‍රායෝගික තලයේදී එවැන්නක් දැකගත නොහැක්කේ අප රටේ ජනතාව හදවතින්ම සතුන් කෙරෙහි දයානුකම්පාවක් නොදක්වන නිසා ද යන්න සිතේ. අප මේ පුවත් පිළිබඳ තොරතුරු දැනගත යුත්තේ ඒ නිසාමය.



කායිනමින් හඳුන්වනු ලබන මේ සුනඛයා දුම්රිය ස්ථානයේ වැටක ගැට ගසා තිබියදී බලධාරීන්ට හමුවිය. ඌ අසළ ඇඳුම් ගෙන යන වර්ගයේ බෑගයක් තිබුණු අතර එහි සුනඛ ආහාර, සෙල්ලම් බඩු, භාජනයක් හා කොට්ටයක් ද තිබිණි. ස්කොට්ලන්ත සත්ව සුබසාධන ආයතනයේ නිලධරයකු වන ස්ටුවර්ට් ටේලර් පැවසූයේ සුනඛයා සම්බන්ධව මයික්‍රෝ චිපයක් හමු වූ බවය. මයික්‍රෝ චිපය ඔස්සේ මේ සුනඛයාගෙන නම කායිබව සොයාගැන්නට හැකිවිය. මයික්‍රෝ චිපය ලියාපදිංචි කොට ඇති පුද්ගලයාගේ තොරතුරු සොයාගන්නට බලධාරීන්ට හැකිවිය. ඔහු පැවසූයේ තමා 2013 වසරේදී මේ සුනඛයාව අන්තර්ජාලය ඔස්සේ අළෙවි කළ බවය. නමුත් ඔහුව මිලදීගත් පුද්ගලයාගේ ලිපිනය තමා නොදන්නා බව ඔහු පැවසූයේය. අන්තර්ජාලය ඔස්සේ සුරතල් සතුන් අළෙවිකිරීම පිළිබඳ විවිධ අදහස් ද මේ ඔස්සේ ඉස්මතු විය.

කායි මේ විදිහට අතරමං කොට දමා යාම සරල සිදුවීමක් නොවෙයි. මෙය ඉතා කෲර ක්‍රියාවක්. අපි මෙයට වගකිව යුතු පුද්ගලයාව කෙසේ හෝ සොයගෙන්නවා.එක් බලධාරියකු එසේ පැවසූයේය.

ෆින් රේනර් 

කෙසේ මුත් වැඩි ආයාසයකින් තොරව කායිට මේ අපරාධය කළ පුද්ගලයා හමුවිය. ඒ 35 හැවිරිදි ෆින් රේනර් නම් කාන්තාවකි. ඇය පවසන්නේ අන්තර්ජාලය හරහා මෙම සුනඛයා විකිණීම සඳහා තිබූ බවත්, ඇය පවුම් 400කට (ආසන්න වශයෙන් රුපියල් 80,000ක් පමණ) කැමැත්ත පළ කළ බවත් ය. මෙම දැන්වීම පළකළ පුද්ගලයා කායි ව අයර් දුම්රිය ස්ථානය අසළට රැගෙන ඒමට කැමැත්ත පළ කොට ඇත. ඇය දුම්රිය ස්ථානයට පැමිණ බැලූ පසු දුටුවේ දැන්වීමේ පින්තූරයට වඩා එහි සිටි සුනඛයා වෙනස් බවය.

මම කිව්වා බල්ලාව ටිකක් ඇවිද්දවලා බලන්න ඕන කියලා. ඒ වතාවේ ඔහු කිව්වා මම යම් විදිහකින් ආපසු නාවොත් කියලා පවුම් 150 ක් (ආසන්න වශයෙන් රුපියල් 30,000ක් පමණ) ගෙවා අරන් යන්න කියලා. ඊට පස්සේ ඔහු එකපාරටම කාර් එකේ නැගලා යන්න ගියා. මම ඔහුට දුරකතනයෙන් කතා කළා. ඒත් ඔහු අවේ නැහැ. මම මේ බල්ලාව පරීක්ෂා කළා. උගේ සම තුනියි. නමුත් පින්තූරයේ හිටියේ ලෝම පිරුණු බල්ලෙක්. අනෙක මේ බල්ලා හැම තැනම මුත්‍රා කරනවා. මට කීකරු පෙනුමක් තිබුණෙත් නැහැ.



ඇය පවසන්නේ එවැනි කතාවකි. මෙම හේතූන් නිසා ඇයට කායි නිවෙසට රැගෙන යාමට තරම් කැමැත්තක් පහළ වී නෙමැත. ඇය කළේ කායි දුම්රිය ස්ථානයේ වැටක් වැනි ස්ථානයක ගට ගසා සෙමින්ම එතැනින් පිටව යාමය. කෙසේ වෙතත් ස්කොට්ලන්ත නීතියට අනුව සතකු මෙසේ අතරමංකොට යාම එහි සත්ව සෞඛ්‍ය හා සුබසාධන පණත යටතේ වරදකි. එවැනි වරදක් කළ අයෙකුට යම්කිසි නිශ්චිත කාල සීමාවක් දක්වා හෝ ජීවිතාන්තය දක්වා හෝ සුරතලයට සතකු ඇතිදැඩිකිරීම තහනම්ය.

කායි මෙසේ අතහැර දමා සිටියදී හමුවූයේ පසුගිය ජනවාරි 2 වැනිදාය. එදා සිට මේ වනතුරු ඌ ජීවත්වන්නේ ස්කොලන්ත සත්ව සුබසාධන මධ්‍යස්ථානයේය. කායි හදාවඩාගැනීමට කැමැත්ත පළකරමින් දහස් ගණනින් දුරකතන ඇමතුම් ගළා එයි. ඒවා අතර ඇමරිකා එක්සත් ජනපදයේ කැලිෆෝර්නියා ප්‍රාන්තයෙන් පැමිණි දුරකතන ඇමතුම් ද විය.

මෙම මධ්‍යස්ථානයේ සහායකයකු වන ඇලන් ග්‍රාන්ට් පවසන්නේ සිය අයිතිකරුවන් තමාව අතහැර යනු දුටු බැවින් කායි තවමත් සිටින්නේ තරමක මානසික කඩාවැටීමක බවය. තම අයිතිකරුවන් තමා අතහැර යාම සුනඛයන්ය බොහෝ සෙයින් දැනෙන්නක් බව ඔහු පවසයි. කායිගේ සිරුරේ සුළු තුවාළ ද ඇති බැවින් ඒවා සුවවන තුරු ඌ නව අයිතිකරුවකුට භාරදීම කළ නොහැකි බව ඔහු පවසයි. අනෙක ඇසක ශල්‍යකර්මයක් ද කළ යුතුව තිබේ. මේ වෙනුවෙන් A JustGiving නම් වෙබ් අඩවිය අරමුදලක් ද ආරම්භ කොට ඇති අතර මේවන විට එයට පවුම් 3,800 (ආසන්න වශයෙන් රුපියල් ලක්ෂ හතහමාරකට අධික මුදලක්) එකතු වී තිබේ. මෙය අපේක්ෂිත මුදල් ප්‍රමාණය ඉක්මවා යන තරම් මුදලකි. එබැවින් ඉතිරිවන මුදල් තවත් බොහෝ අසරණ සතුන්ගේ සුබසාධනය සඳහා යොදවිය හැකි බැව් මෙහි නිලධාරීහු පවසති.

කායිගේ ශල්‍යකර්ම ආදිය නිමවී නැවතත් සාමාන්‍ය තත්වයට පත් වූ පසු වඩාත් ආදරබර අයිතිකරුවකු සොයා බාරදිමට අපි බලාපොරොත්තු වෙනවා. එතෙක් ඌ අප භාරයේ සිටීවි.

මෙම මධ්‍යස්ථානයේ එක් නිලධාරියකු පැවසූයේය. කායිට ආදරණිය හිමිකරුවකු හමුවේ ජීවිතය සුපවත් වේවා කියා අපි ද ප්‍රාර්ථනා කරමු.





4 comments:

  1. පව් අහිංසක සතා.................. අැත්තට ම දුක හිතෙන කතාවක්..... අපි සංවේදි නිසා බල්ලා ගොඩ

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත. අපේ රටේ නම් අතරමං වුණු සුනඛයෝ වැඩියි වගේ තමයි මගතොට බැලුවාම පෙනෙන්නේ.

      Delete
  2. BALLA KAAI, BALLA KAAI

    ReplyDelete

මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න