අවුරුදු දහස්
ගණනකට පෙර මිනිසුන් ආහාරයක් පිළියෙල කරගන්න පුරුදු වෙලා හිටියේ ඉතාමත් සරල ආකාරයට.
නමුත් පරිණාමය සමග මිනිසා ආහාර පිළියෙල කරගැනීමේ අලුත් ක්‍රම සොයාගත්තා. අද වන විට
ආහාර පිළියෙල කරගැනීමේ ක්‍රම, ආහාර
සංස්කෘතීන්, සිරිත් විරිත්
බොහෝ ගණනක් ලෝකය පුරා පැතිර තිබෙනවා. අපේ ජන සමාජයේ ද විවිධ ආහාර සංස්කෘතීන් හා
සිරිත් විරිත් තිබෙනවා. සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් ආදී වශයෙන්
විවිධ ආහාර සංස්කෘතීන් දක්නට ලැබෙනවා. මේ සංස්කෘතීන්ට අයත් ජාතීන් ද සැළකිය යුතු
ප්‍රතිශතවලින් අපේ රටේ ජීවත්වෙනවා. කොහොම වුණත් සැළකිය යුතු තරම් ප්‍රතිශතයක් අපේ
රටේ ජීවත් නොවුණත් මේ සඳහන් කළ ජාතීන්ට අයත් නොවන, එහෙත්, අනෙක් සියලු ආහාර සංස්කෘතියක්ම පරදවන තරමට
මිනිසුන් අතර ජනප්‍රිය ආහාර සංස්කෘතියක් ද අපේ රටේ තිබෙනවා. ඒ තමයි ‛චීන ආහාර’. අපේ රටේ කුමන නගරයක්
බැලුවත් සියලු දෙනා අතර මෙම චීන ආහාර චීන අවන්හල් අතිශය ජනප්‍රියත්වයක් අත්කරගෙන
තිබෙනවා. ‛චයිනීස් පාරක්
දාමු’ කියන තරමට
මිනිසුන් මෙයට සමීපයි. මේ හැම තැනම තියෙන්නේ චීන්නු හදන විදියේ ආහාරම ද කියන එක
නොදන්නවා වුණත් හැම තැනම අනුගමනය කරන්නේ නම් එකම විදියේ ආහාර පිළියෙල කිරීමේ
රටාවක්. මේ චීන අවන්හල් සංස්කෘතිය ඇත්තෙන්ම අපේ රටේ පමණක් නොවෙයි මුළු ලෝකය පුරාම
මේ විදිහට පැතිරිලා තියෙනවා. මේ පැතිරීමත් එක්ක තව දෙයකුත් පැතිරෙන්නට පටන් අරන්.
එය හඳුන්වන්නේ ‛චීන අවන්හල්
සහලක්ෂණය’ (Chinese Restaurant Syndrome) නමින්. මොකක්ද මේ චීන අවහන්හල් සහලක්ෂණය කියලා කියන්නේ?
චීන අවහන්හල්
සහලක්ෂණය කියලා කියන්නේ චීන කෑම අනුභව කළාට පසුව පෙන්නුම්කරන රෝග ලක්ෂණවලට. චීන
කෑම කාපු ගමන් මේ රෝග ලක්ෂණ පහළවෙනවා කියලා මෙයින් කියැවෙන්නේ නැහැ. කොහොම වුණත්
මේ කියන්නට යන විස්තරය දැනගත්තට පස්සේ ඔබටම පුළුවන් ඒ ගැන අවබෝධ කරගන්න. චීන
අවන්හල් ලෝකය පුරා පැතිර යන තරම් වේගයකින් මේ රෝගයත් පැතිර ගොස් තිබෙනවා. ඇතැම් අය
පවසන්නේ ඇත්තටම මෙවැනි රෝගයක් නොපවතින බවයි. විශේෂයෙන් චීන අවහන්හල් ව්‍යාපාරයේ
යෙදී සිටින අය නම් මෙයට විරුද්ධව විවිධ අදහස් දක්වනවා.
චීන අවහන්හල්
සහලක්ෂණය ගැන අපට මුළින්ම අසන්නට ලැබෙන්නේ 1968 වසරේදී. ඇමරිකානු වෛද්‍ය සඟරාවක් වන ‛නිව් ඉංග්ලන්ඩ් ජර්නල්
ඔෆ් මෙඩිසින්’ සඳහා එච්.එච්.
ෂොම්බර්ගන්ඩ් සහ ආර්. බික් විසින් ඉදිරිපත් කරන ලද නිබන්ධනයකින් මේ රෝගය ගැන
විස්තර කොට තිබුණා. ඔවුන් සඳහන් කොට තිබුණේ විවිධ පුද්ගලයන් විවිධ මට්ටම්වලින් මෙම
රෝගයට ගොදුරුවන බවයි. චීන ආහාරවලට අනිවාර්යයෙන්ම එකතු කරනු ලබන රස කාරකයක් වන ‛මොනෝසෝඩියම්
ග්ලූටාමේට්’ monosodium glutamate - MSG), එසේත් නැත්නම්
අප කවුරුත් දන්නා ‛අජිනොමොටෝ’
මේ රෝගය සඳහා මූලික
වශයෙන්ම හේතුවන බව ඔවුන් සඳහන් කොට තිබෙනවා. මොනෝසෝඩියම් ග්ලූටාමේට් කියන්නේ පස්සවන
ලද (fermented ) ලද සෝයා
බෝංචි සහ චීස්වල ස්වභාවිකවම අඩංගුවන ‛ග්ලූටාමික්’ කියන අම්ලයෙන් පිළියෙලකරගන්නා රසකාරකයක්. ඇමරිකා එක්සත්
ජනපදයේ මෙය අනුමත රසකාරකයක් වුණත්, කුඩා දරුවන් සඳහා මෙය නිර්දේශ කොට නැහැ. විවිධ
පුද්ගලයන්ට මෙය විවිධ මට්ටම්වලින් බලපෑවත්, හිස් බඩ මෙවැනි ආහාරයක් ගැනීමෙන් මෙහි රෝග
ලක්ෂණ වැඩි වශයෙන් පෙන්නුම් කරන බවත් පැවසෙනවා.
මොනෝසෝඩියම්
ග්ලූටාමේට්, එසේත් නැත්නම්
අජිනොමොටෝ අපේ රටේ ද සාමාන්‍ය වෙළෙඳ පළේ පවා අළෙවියට ඇති රසකාරකයක්. මෙය නිපදවන්නේ
ජපානයේ මේ නමින්ම ඇති ආයතනයක් මගින්. මේවා ආහාරවලට එක්කරගැනීම පිළිබඳ බොහෝ කාලයක
සිට අපේ රටේ කතා බහට ලක්වුවත්, ඒ පිළිබඳ සෞඛ්‍ය
බලධාරීන් කිසිවක් නොපවසන නිසා මෙය වෙළෙඳපළෙන් පහසුවෙන්ම මිලදීගන්නට පුලුවන්. ආහාර
රසකරගැනීම සඳහා මොනෝසෝඩියම් ග්ලූටාමේට්වලට ඇත්තේ අපුරු හැකියාවක් යැයි පැවසෙනවා.
මේ නිසාම මෙය චීන ආහාරවලත් අත්‍යවශ්‍යම රසකාරකයක් බවට පත්වෙලා. චීන ආහාරවලට මෙම
රසකාරකය එක්කරන ප්‍රමාණයේ තරමට රෝග ලක්ෂණ ද කැපීපෙනෙන ලෙස පෙන්නුම්කරනවා.
චීන ආහාර
වේලක් ගත්තායින් පසුව කිසියම් පුද්ගලයකුට කලබලකාරී හැඟීමක්, පපුවේ කැක්කුමක්,
හිස කැක්කුමක්,
මුඛය හිරිවැටීමක් හෝ
දැවිල්ලක් වැනි තත්වයක්, මුහුණේ මාංශ
පේශීන්වල පීඩනයක්, මුහුණ
ඉදිමීමක් සහ දහඩිය වැනි ලක්ෂණ පහළ වෙනවා නම් කිව යුත්තේ ඒ තැනැත්තා චීන අවන්හල්
සහලක්ෂණයට ගොදුරුව ඇති බවයි. මෙය ඇත්තෙන්ම අසාත්මික තත්වයක්. මෙවැනි බොහෝ රෝග
ලක්ෂණ විශේෂ වෛද්‍ය ප්‍රතිකාරයකින් තොරවම වුණත් තුරන් වී යා හැකියි. ඒ වගේම
අසාත්මිකතාවය සඳහා ලබාදෙන ඖෂධවලින් ද මේ සඳහා සහනයක් ලබාගන්නට පුළුවන්. නමුත්
ඇතැම් අයට තරමක් දරුණු ලෙස මෙම රෝග ලක්ෂණ පෙන්නුම් කළ හැකියි. ඒවා අතර හුස්ම
ගැනීමේ අපහසුව සමග ඇතිවන අක්‍රමවත් හෘද ස්පන්ධනය ගැන විශේෂයෙන් සැළකිලිමත් විය
යුතුයි. එවැනි තත්වයකදී නම් හැකි ඉක්මණින් හදිසි වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවීම
අනිවාර්යයි.
මෙම රෝගය
මුළින්ම නිරීක්ෂණය කරනු ලැබුවේ චීන අවන්හල්වලින් ආහාර ලබාගත් පුද්ගලයන්ගෙන් නිසා
මෙයට ‛චීන අවන්හල්
සහලක්ෂණය’ යනුවෙන් නම්
තැබුවත්, වර්තමානයේ චීන
නොවන අවහන්හල්වල පිළියෙල කරන ආහාර නිසා ද මෙය ඇතිවන බව සොයාගෙන තිබෙනවා. එයට හේතුව
වී ඇත්තේ ඒවායේ ආහාර රසකිරීම සඳහා ද මොනෝසෝඩියම් ග්ලූටාමේට් යොදාගැනීමයි.
කෙසේ වෙතත්
අධික රසයට ලොල්වීම ලෙඩරෝග රැසකට අතවනන බව නම් අපි බොහෝ කාලයක සිට දන්නා දෙයක්. චීන
අවන්හල්වලින් හෝ එවැනි වෙනත් ස්ථානවලින් ආහාර ගැනීම නතරකරන්නැයි මෙයින් පැවසෙන්නේ
නැහැ. නමුත් නීරෝගීකම පරම ලාභය අප සියලු දෙනා දන්නා සත්‍යයක්. අධික රසයට ලොල්වීමේ
ප්‍රතිඵලයක් විදිහයට නීරෝගී බව අහිමිවනවා නම් එවැනි ආහාරවලින් හැකිතාක් ඈත්ව සිටීම
නුවණට හුරු දෙයක් බවයි සඳහන් කළ යුත්තේ.
අපි නම් ඉදලා හිටලා සමරන්න තමයි ඔය විදිහේ කෑමකට යන්නේ....... ඒත් අඩුවෙන්.... ගෙදර උයන දේ තරම් කිසිම දෙයක් රහ නැහැ කියන ඒක නම් අපි දන්නවා.................. (මේක කියපු බවක් වයිෆ්ට කියන්න ඒහෙම ඒපා හරිය) මොකද ගණං උස්සයි...........
ReplyDeleteඅපොයි නෑ. ඒ ගැන කිසිම සැකයක් හිතන්න එපා. මම කෙල බිංදුවක් ඒ ගැන හෙළන්නේ නෑ.
Deleteමාත් අහලා තිබෙනවා මේක ගැන. ඔන්න මගේ ලිස්ට් එකට ඇතුලත් කල මේ බ්ලොගයත්.
ReplyDeleteස්තූතියි යාළුවා.
Delete