මා මෙය සමුදුර පුවත්පතට 2012 වසරේදී ලියන ලද්දේ මේ අපූරු මිනිසාගේ නික්ම යාම වෙනුවෙනි. දෙවසරක් ගත වුව ද මෙය නව සටහනක් ලෙස මෙහි තබන්නේ ඔහු ගැන බොහෝ තොරතුරු මෙහි ඇතුළත් නිසාත්, එය බොහෝ දෙනෙකුට ප්‍රයෝජනවත් වේ යැයි සිතෙන නිසාත් ය.
“මෙය මිනිසාට
කුඩා පියවරක් වුවත්, මිනිස්
සංහතියට මෙය යෝධ පිම්මක් වනු ඇත”
පොලොවෙන්
කිලෝමීටර් 384,400ක් දුරින්
පිහිටි සඳ මත සිට මේ අභිමානවත් ප්‍රකාශය කළ ඒ අසිරිමත් මිනිසා 2012 අගෝස්තු 25 වැනිදා මෙලොවින්
සමුගත්තේය. ඔහු අන් කිසිවකු නොව සඳ මත මුළින්ම සිය පා සළකුණ සටහන් කළ ඇමෙරිකාන්
ජාතික නීල් ආම්ස්ට්‍රෝන්ය.
ඔහුගේ නමට
ඉදිරියෙන් ඇති තනතුරු හා නම්බු නාම බොහෝය. ඒවා අතුරින් ගගනගාමී, අත්හදාබැලීමේ ගුවන්
නියමු, ගගන ඉංජිනේරු,
සරසවි මහාචාර්ය සහ
එක්සත් ජනපද නාවික ගුවන් නියමු ආදී ඒවා ප්‍රමුඛ වේ. ඔහු ඇමෙරිකා එකසත් ජනපදයේ
පර්ඩියු හා දකුණු කැලිෆෝර්නියානු සරසවිවල උපාධිධරයකු ද වන්නේය. ඒ සියල්ලටම වඩා අප
ඔහු හඳුන්නනේ සඳ මත පා තැබූ මුල්ම මිනිසා ලෙසිනි.
මේ සටහන තබන්නේ ඒ අපුරු මිනිසා වෙනුවෙනි.
වර්ෂ 1930 අගෝස්තු 5 වැනිදා නීල් ආම්ස්ට්‍රෝන්
ඇමෙරිකා එක්සත් ජනපදයේ ඔහියෝ ප්‍රාන්තයේ වැප්කොනෙටා හිදී උපත ලැබුවේය. ඔහුට ඇත්තේ
ස්කොට් - ජර්මානු සම්භවයකි. ඔහුට ජූන් නමින් සොයුරියක් ද ඩීන් නමින් සොයුරෙක් ද
සිටියේය. නීල් ආම්ස්ට්‍රෝන්ගේ උපතින් පසුව ගෙවුණු වසර 15 මුළුල්ලේම ආම්ස්ට්‍රෝන් පවුල ඔහියෝ ජනපදයේ
විවිධ ස්ථානවලට සංක්‍රමණය වෙමින් එකිනෙකට වෙනස් නගර 20කටත්
වඩා ජීවත් වූහ.
අහසේ පියඹා
යන්නට ආම්ස්ට්‍රෝන් හට කැමැත්තක් ඇති වූයේ මේ කාලයේදීය. ආම්ස්ට්‍රෝන්ගේ පියා ඔහුව
ක්ලීව්ලන්තයේ ගුවන් තොටුපළලකට කැටිව ගියේය. ඒ වන විට ආම්ස්ට්‍රෝන් දෙහැවිරිදි
වියෙහි පසු විය. 1936 ජූලි 30 වැනිදා ඔහු සිය මුල්ම
අහස් ගමන් අත්දුටුවේය. ඒ වන විට ඔහු සවැනි වියෙහි පසුවූයේය.
26 හැවිරිදි වියේදී |
1944 දී බ්ලූම්
උසස් විද්‍යාලයට ඇතුළු වූ ආම්ස්ට්‍රෝන් එම පළාතේ පිහිටි ගුවන් තොටුපළකින් ගුවන්
ගමන් පිළිබඳ හදාරන්නට පටන් ගත්තේය. එහි ප්‍රතිඵලයක් ලෙස 15 හැවිරිදි වියට පා තබනවාත් සමගම ඔහුට ගුවන් යානා පැදවීම
පිළිබඳ සහතිකයක් දිනා ගැනීමට හැකිවිය. ඒ වන විට බාලදක්ෂ කණ්ඩායමකට අනුයුක්තව සිටි
ඔහු එහි දක්ෂතා පෙන්වීමෙන් අනතුරුව ‛ඊගල් ස්කවුට්’ යන නිලය හිමි කරගත්තේය.
1947 දී ආම්ස්ට්‍රෝන්
පර්ඩියු සරසවියෙන් ගගන තාක්ෂණය පිළිබඳ හැදෑරීම ආරම්භ කළේය. එහි ප්‍රතිඵලයක් ලෙස 1955 දී ඔහු පර්ඩියු
සරසවියෙන් ගගන තාක්ෂණ ඉංජිනේරු විද්‍යාව පිළිබද උපාධියක් ද හිමි කර ගත්තේය.
යුද සේවය
ආම්ස්ට්‍රෝන්ගේ
ඉගෙනීමේ වැඩකටයුතු එක දිගට කරගෙන යන්නට ඔහුට ඉඩකඩ නෙැලැබුණු තරම්ය. එයට හේතුව වූයේ
කොරියානු යුද්ධයයි. වර්ෂ 1949 දී ඔහුට
කොරියානු යුද්ධය සඳහා කැඳවීමක් ලැබිණි. එහිදී නාවික ගුවන් භටයකු ලෙස ඔහු සටන් සහිත
ගුවන් ගමන් 78 කට දායක
වූයේය. යුද සේවයෙන් 1952 දී සමුගත්
ඔහු යළි අධ්‍යාපන වැඩකටයුතු කෙරෙහි සිත යොමු කරන්නට පටන් ගත්තේය. ඉන් වසර කිහිපයකට
පසු ඔහු ජාතික ගගන විද්‍යා උපදේශන කමිටුව සඳහා තෝරා ගැනුණි. පසු කාලයේදී ජාතික ගගන
විද්‍යා හා අභ්‍යවකාශ පරිපාලන ආයතනය හෙවත් නාසා ආයතනය (NASA) බවට පත්වූයේ මෙයයි.
ඔහු මෙම රාජ්‍ය ආයතනයේ විවිධ තනතුරු රැසක්ම දරුවේය. ඒ අතරින් අත්හදාබැලීමේ ගුවන්
නියමු තනතුර සුවිශේෂීය. මෙහිදි සිදුවන්නේ අලුතින් නිෂ්පාදනය කරන්නාවූ ගුවන් යානා
අත්හදා බැලීම් සඳහා සහභාගිවීමය. මේ අතුරින් අධිවේගී ගුවන් යානා සඳහා විශේෂ
ස්ථානයක් හිමිවේ. ඔහුගේ අත්හදා බැලීමේ ගුවන් යානා අතර පැයට සැතපුම් 4,000ක වේගය ඉක්මවා යන ඞ - 15 වර්ගයේ ගුවන් යානා ද
තිබිණි.
අභ්‍යවකාශගාමී
ජීවිතය
ඔහුගේ ගගනගාමී
ජීවිතය ආරම්භවන්නේ ජීවිතය ස්ථාවර වන්නට පටන් ගැනීමත් සමගය. ඔහු 1956 ජනවාරි 28 වැනිදා ජැනට් ෂැරොන්
හා විවාහ දිවියට එළැඹියේය. වැඩි කාලයක් නොගොසින් ඔවුනගේ පවුලේ සාමාජික සංඛ්‍යාව
වැඩිවන්නට පටන් ගැනුණි. ඒ 1957 දී ඔවුනගේ
පුතු වූ එරික් සහ 1959 දී කැරන්
දියණිය ඔවුන්ගේ ජීවිත හා එක්වීමත් සමගිනි. නමුත් කැරන් වැඩි කාලයක් මේ පවුලේ
සාමාජිකාවක ලෙසින් සිටින්නට වාසනාව නොලැබුවාය. ඇය 1962 දී මොළයේ පිළිකාවක් වැළඳීමෙන් සදහටම
ආම්ස්ට්‍රෝන් පවුලෙන් නික්ම ගියාය. ඊට පසු වසරේදී මාර්ක් ඔවුනගේ පවුලට පැමිණියේය.
ඒ ඔවුනගේ ඊළඟ පුතු ය.
නීල් සහ ජැනට් |
නීල් ආම්ස්ට්‍රෝන්
සිය අභ්‍යවකාශ ජීවිතය ආරම්භ කළේද මේ වසරේදීමය. ඔහු සිය පවුලේ පිරිසත් සමග ටෙක්සාස්
ජනපදයේ හූස්ටන් කරා පදිංචියට ගියේය. සිය කුළුඳුල් අභ්‍යවකාශ චාරිකාව සඳහා යොදා
ගැනුණු ජෙමිනි 7 යානයේ අණදෙන
නියමුවා වූයේ ඔහුය. ඔහුත් ඔහුගේ සහකාර නියමු ඩේවිඩ් ස්කොට් 1966 මාර්තු 16 වැනිදා ජෙමිනි 7 යානයෙන් පෘථිවි
කක්ෂයට ඇතුළු වූහ. මෙම චාරිකාවේදී යම් යම් ගැටළු මතුවූ බැවින් ගමන සිතුවාට වඩා
ඉක්මණින් නිම කරන්නට සිදුවිය. ඔවුන් පෘථිවියට පැමිණි යානය උදේ 11 ට පමණ පැසිෆික්
සාගරයට පතිත විය.
සඳ ගමන
ආම්ස්ට්‍රෝන්
අතට ඊළඟ භාරදූර වගකීම පැටවුණේ 1969 දීය. ඒ මයිකල් කොලින්ස් සහ එඩ්වින් ඔල්ඩ්‍රින් සමග සඳ
ගමනට සහභාගී වීමය. එය මිනිසුන් සහිත යානයක් සඳ මතට ගොඩබස්සන්නට ඇමෙරිකාව ගත්
උත්සාහයන්ගේ එක් අවස්ථාවක් විය. මෙම ගගනගාමීන් තිදෙනා 1969 ජූලි 16 වැනිදා ඇපලෝ 11 යානායෙන් සඳ කරා ගමන්
ආර්ම්භ කළේය. මෙහිදී සඳ හෙවත් ලූනා මොඩියුලයේ නියමුවා වූයේ නීල් ආම්ස්ට්‍රෝන් වූ
අතර අණදෙන මොඩියුලයේ නියමුවා වූයේ මයිකල් කොලින්ස් ය. සඳ මොඩියුලය 1969 ජූලි 29 වැනිදා නීල් ආම්ස්ට්‍රෝන්
සහ එඩ්වින් ඔල්ඩ්‍රින් සමඟ සඳ මතට ගොඩ බැස්සේ ලොවක් මවිත කරවමිනි.
රාත්‍රි 10.56 ට සඳ මොඩියුලයෙන්
පිටතට පැපැමිණි නීල් ආම්ස්ට්‍රෝන්, “මෙය මිනිසකුට කුඩා පියවරක් පමණක් වුවත්, මිනිස් සංහතියට මෙය
යෝධ පිම්මක් වනු ඇත” යනුවෙන්
විශ්වය හමුවේ අභිමානවත් ප්‍රකාශයක් කළේය. අනතුරුව සඳමත ප්‍රථම පා සටහන තැබූ ඔහු
සිය සඟයා වූ එඩ්වින් ඔල්ඩ්‍රින් සමඟ එක්ව සඳ මත පැය දෙකහමාරක පමණ කාලයක් ගත කළේය.
සඳ මත වූ සිය පා සළකුණ ඇතුළු තවත් බොහෝ දෑ ඔවුහු ඡායාරූප ගත කළහ.
සඳෙන්
නික්මුණු ඔවුන් රැගත් යානය 1969 ජූලි 24 වැනිදා හවායි සිට
බටහිරින් පිහිටි පැසිෆික් සයුර මතට පතිත විය. ඉන් පසුව ඔවුන්ව සති තුනක් නිරෝධායන
ක්‍රියාවලියකට බඳුන් කෙරිණි.
සඳ ජයගත් නීල්
ආම්ස්ට්‍රෝන් ඇතුළු පිරිසට ලොව සතර අතින් සුබ පැතුම් ගළා එන්නට විය. ඇමෙරිකානු
පුරවැසියකුට ලැබිය හැකි උසස්ම සම්මානයන් වූ ස්වෛරී පදක්කම හා ගෞරවනීය කොන්ග්‍රස්
අභ්‍යවකාශ පදක්කම ඇතුළු තවත් සම්මාන රැසක්ම ආම්ස්ට්‍රෝන් හට හිමි විය.
පසුකාලීන
වැඩකටයුතු
නීල් ආම්ස්ට්‍රෝන්
නාසා ආයතනයත් සමඟ දිගටම රැඳී සිටියේය. 1971 වන තුරු ඔහු ගගන විද්‍යාව පිළිබඳ නියෝජ්‍ය
සහකාර පරිපාලක ලෙස සේවය කළේය. පසුව නාසා ආයතනයෙන් ඉවත්වූ ඔහු සින්සිනාති සරසවියේ
ගගන විද්‍යා ඉංජිනේරු තාක්ෂණය පිළිබඳ මහාචාර්යවරයක ලෙස සේවයට බැඳුනේය. ඔහු එහි වසර
8ක් සේවය කළේය.
ඔහු 1982 - 1992 කාලයේ ගුවන්
ගමන් පිළිබඳ පරිගණන තාක්ෂණ ආයතනයේ සභාපතිවරයා ලෙසද කටයුතු කළේය.
මරණය හා උරුමය
නීල් ආම්ස්ට්‍රෝන්
යනු මිනිස් ඉතිහාසයේ සිටි සුප්‍රකටතම අභ්‍යවකාශගාමියා වුවද ඔහු නිතර උත්සාහ කළේ
මහජනතාවගෙන් හා මාධ්‍යයෙන් සැඟව සිටින්නටය. පුවත් හා රූපවාහිනි වැඩසටහසන්වලින්
හැකිතාක් දුරස්ව සිටි ඔහු 2006 වසරේදී
කවුරුත් නොසිතූ පරිදි සික්ස්ටි මිනිට්ස් (60 Minutes) නම් සුප්‍රකට රූපවාහිනි වැඩසටහන සඳහා
සහභාගීවන්නට කැමැත්ත පළ කළේය. ඔහු එහිදී තමන් සඳ මත වූ චමත්කාරය ඉතා ආන්නදජනක ලෙස සිහිපත්
කළේය. එයට පෙර වසරේ, එනම් 2005 දී ඔහු First Man: The
Life of Neil A. Armstrong නමින් සිය
ජීවිත කතාව එළිදැක්වූයේය.
සිය ජීවිතයේ
අවසාන සමය ද ඔහු කැපකළේ අභ්‍යවකාශ කටයුතු සඳහාමය. එක්සත් ජනපද අභ්‍යවකාශ වැඩසටහන
වෙනස්කම්වලට බඳුන් කිරීම කෙරෙහි සිය කනස්සල්ල පළකරමින් කළ ප්‍රකාශය සමඟ මාධ්‍යයෙන්
සැඟව සිටීමට නිරන්තරව උත්සාහ ගත් මේ අසිරිමත් අභ්‍යවතාශගාමියා යළිත් ඉස්මතුවන්නට
පටන් ගත්තේය. ජනපති බැරක් ඔබාමා අභ්‍යවකාශ වැඩසටහන කෙරෙහි කළ වෙනස්කම් කෙරෙහි
ආම්ස්ට්‍රෝන් සිය විරෝධය එළිපිටම පළ කළේය.
2012 අගෝස්තු
මාසයේ මුල් භාගයේදී ආම්ස්ට්‍රෝන් හට හෘද බයිපාස් සැත්කමකට බඳුන්වන්නට සිදුවිය.
සතියක් ගතවිය.
සඳ ජයගත් මේ
අසිරිමත් මිනිසාට මරණය ජයගන්නට හැකිවූයේ නැත. 2012 අගෝස්තු 25 වැනිදා ඔහු සියල්ල හැරදමා මෙලොවින් නික්ම
ගියේය. ඒ වනවිට ඔහු 82 හැවිරිදි
වියෙහි පසුවිය. ඔහු ඒ වන විට සිටියේ සිය දෙවැනි බිරිඳ වූ කැරොල් හා මුල් විවාහයේ
පුතුන් දෙදෙනා සමගින් ඉන්ඩියානා හිල් නගරයේය. ඔහු 1994 දී සිය ප්‍රථම බිරිඳගෙන් වෙන්වූයේය.
ආම්ස්ට්‍රෝන්ගේ
මරණයෙන් මොහොතකට පසු ඔහුගේ පුවලේ පිරිස විශේෂ නිවේදනයක් නිකුත් කළේය.
“අප නීල්
ආම්ස්ට්‍රෝන් හට ගෞරව කරනු වස් කුමක් කළයුතුදැයි අසන හිතවතුන් වෙනුවෙන් අපි මෙසේ
ප්‍රකාශ කරමු. අප ඔබගෙන් ඉල්ලන ගෞරවය වන්නේ ඉතා සරල දෙයකි. පැහැදිලි අහසක් ඇති
රාත්‍රියක ඔබ එළිමහනේ සක්මන් කරන්නේ නම් ඔබ දෙස සිනාසෙමින් බලාසිටින සඳ දෙස බලන්න.
මේ අසිරිමත් මිනිසා පිළිබඳ ලෙංගතු හැඟීමෙන් සඳ දෙස බලා සිනාසෙන්න.”
ඒ ඉල්ලීම
ඉටුකරන්නට ඔබට ද මට ද වෙහෙසවිය යුතු නැත. මිනිස් සංහතිය වෙනුවෙන් මහා මෙහෙයක් කළ
මේ අපූරු මිනිසා වෙනුවෙන් අප ඒ ගෞරවය කළ යුතුමය. සඳ දකින විට අප ඔහු සිහිපත් කළ
යුතුමය.
සතුටුයි කියවන්නට ලැබීම. සැබෑවටම ඔහු බාලදක්ෂයෙක්... මේ තියෙන්නේ අපේ ආර්ටිකල් එක - http://baladakshaya.blogspot.com/2015/02/blog-post_20.html
ReplyDeleteමම ලියපු එක වගේම තමයි නේද?
Delete