පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Thursday, October 31, 2013

ගුවන් යානය තුළ අනඟ සුව විඳ සිරබත් කෑ නාඳුනන පෙම් යුවළ - Sex in the Sky and Jailed in USA


සමාජයක හැදියාව, යහපත් ඉදිරි ගමන සඳහා චාරිත්‍ර වාරිත්‍ර,සදාචාරය, ලැජ්ජාව, බය වැනි සංකල්ප මානව ශිෂ්ටාචාරය කමෛන් පරිණාමය වීමේදී මිනිස් ශිෂ්ටාචාරයට එකතු විය. මේවා ලෝකයේ විවිධ රටවල් සිය සමාජයට බලපෑම් කරන විවිධ කරුණු මත සදාචාරාත්මක ලක්ෂණ අඩුවැඩි වශයෙන් භුක්ති විඳී, බටහිර සංස්කෘතියට සාපේක්ෂව පෙරදිග සංස්කෘතිය සදාචාරාත්මකව ඉහළ තැනක පවතින බව සාමාන්‍ය පිළිගැනීමකි්.  අප රට පිළිබඳ පැවැසිය හැක්කේ ද එයමය.

සංස්කෘතියට පටහැනි යම් යම් දේ සිදුවන විට  ඊට එරෙහිව හඬ නැගීමට බොහෝ දෙනා ඉදිරිපත් වෙති. නමුත් අතීතයත් සමග සසඳා බලන විට වර්තමානයේ බොහෝ සදාචාරාත්මක විරෝධී දෑ සිදුවන බව පෙනේ. ඇතැම් ඒවා කාලයත් සමග අපට හුරුපුරුදු වී ඇති බැව් දක්නට ලැබේ. රූපවාහිනිය අපට ලැබුණු මුල් කාලයේ කාන්තාවක නාන අඳුමින් සිටිනා රූපරාමුවක් පෙන්වීමේදී බොහෝ දෙනකු සසලව ගිය මුත් වර්තමානයේ අපට එවැනි  ඒවා බහුල වශයෙන් පෙනුණද කිසිවෙකුක් කිසිත්  නොකියතිි. සිප ගැනීමේ දර්ශනවලට මුල් කාලයේ විවිධ විරෝධයන් නැගුණු මුත් දැන් එවැන්නක් සිදු වන්නේ නැත. මෙම දරාගැනීමට හුරුවීමේ අවදානම පිළිබඳව සිතෙන්නේ ඉදිරියේදී සිපගැනීමටත් ඔබ්බට ගිය රූපරාමු නිතර රූපවාහිනියේ පෙන්වන්නට පටන් ගතහොත්. අනෙක මේවායෙන් ආභාෂය ලබාගත් පුද්ගලයන් අතීතයේ මෙන් නොව වර්තමානයේ ඇතැම් ක්‍රියාවන් ප්‍රසිද්ධියේ කරන්නට පටන්ගෙන් ඇති බැව් පෙනේ. අතීතයේ නව යුවළකගේ විවාහ මංගල්‍ය උත්සවයෙන් පසු කරන කිසිදු ක්‍රියාවක් ප්‍රසිද්ධියට පත් කරන්නේ නැත. නමුත් වර්තමානයේ එසේ නොවේ. ඇතැම් ඇල්බම් වල සිප වැළඳ ගන්නා දර්ශන පවා ඇතුළත් කොට තිබේ. ඇතැමුන් මධුසමය ආරම්භ කරන්නට පෙර අවස්ථා ආදි ද සිය මංගල ඇල්බමයට ඇතුළත් කොට තිබේ. ඉදිරියේදී මධුසමයේ දර්ශනද මේ ආකාරයට ඇල්බම්වලට ඇතුළත් නොවුවහොත් එහි පුදුමයක් නැත.

එමෙන්ම පෙම්වතුන් ප්‍රසිද්යේ සිප වැළඳ ගෙන සිටීමේ අවස්ථාද වාර්තමානයේ සුලභය. විවිධ උද්‍යානවල, ‍පොදු ප්‍රවාහන සේවයන් තුළ මෙවැනි දෑ ඕනෑතරම් දැකගන්ට පුළුවන. නමුත් මේවාට එරෙහිව කිසිවකු කිසිදු හඬක් නගන්නේ නැත. ඒ සමාජයට මෙවැනි ක්‍රියා වර්තමානය වනවිට හුරුපුරුදු දේ බවට පත්ව ඇති නිසාය. නමුත් අප සිතන්නේ අප රට ලෝකයේ අනෙකුත් බොහෝ රටවලට වඩා සදාචාරාත්මක බවින් ඉදිරියෙන් සිටින බවකි. අපට එසේ සිතුණත් සදාචාරය, ගුණධර්ම බොහෝ පිරිහී ඇතැයි සිතන ඇමෙරිකාව වැනි රටවලින් ඇතැම් විට දැනගන්නට ලැබෙන සිදුවීම්වලින් පෙනෙන්නේ එම රටවල තවමත් අප සිතනවාට වඩා ගුණධර්ම, සදාචාරය පිළිබඳ හඬක් නගනා මිනිසුන් සිටින බවකි. මේ කතාව ඇසීමෙන් පසු ඔබට එය පසක් වනු ඇත.

පසුගිය දිනෙක ඇමෙරිකා එක්සත් ජනපදයේ ඇලෙජියනට්ගුවන් සේවයට අයත් යානයක් ලාස් වේගාස් නගරය දක්වා ගමන් කරමින් තිබිණි. මෙහි ගමන් ගත් පිරිස අතර රූපලාවන්‍යාගාරයක හිමිකාරිනියක වූ 33 හැවිරිදි ජෙසිකා ස්ටේ‍රා්බල්ද මිදි වගාකරුවකු වූ ක්‍රිස්ටෝපර් මාර්ටින්ද වූහ. ඔවුන් දෙදෙනා මීට පෙර දැන හැඳුනුම්කම් ඇති දෙදෙනක් නොවූහ. ඔවුන් අසුන්ගෙන සිටියේ කවුළුවක් අද්දරට වන්නට පිහිටි ආසනයකට එක සමීපයේය.

මෙම ගුවන් ගමනේදීම දැන හඳුනාගත්  මෙම යුවළ ගුවන් ගමන ආරම්භකොට වැඩි වේලාවක් ගතවන්නට පෙර  ආරම්භ කළේ කිසිවකු නොසිතූ ක්‍රියාවලියකි. ඔවුහු මෙම ගුවන් යානය තුළදී ප්‍රසිද්ධියේ අඹුසැමියන් සේ හැසිරීමට පටන් ගත්හ. එය මොහොතකින් කෙතරම් දුරදිග ගියේදැයි කිවහොත් අසැබි චිත්‍රපටයක දර්ශනයක් සජීවී ලෙස නිරූපණය කරන්නක් බවට පත් විය. ඔවුන් කළ කී දෑ මාධ්‍යයකින් සඳහන් කරන්නට නොහැකි මුත් අන්තර්ජාලයේ නම් එය ඉතා හොඳින් විස්තර කොට තිබෙනු දැකිය හැකිය.

මෙය නවත්වන්නැයි මුලදී ගුවන්යානයේ මගීන් කිහිප දෙනෙකුම පැවැසුවද ඔවුන්  එය තුට්ටුවකටවත් ගණනකට ගත්තේ නැත. මගීන් සඳහන් කරන්නේ අදාළ ක්‍රියාව අවසන් වනතුරුම සිදුකළ බවකි. අනෙක මෙම ගුවන් ගමනේදී ඔවුන් එක්වරක් පමණක් නොව දෙවරක්ම එම ක්‍රියාවේ නිරත වී තිබේ. එහිදී ඔවුන් භුක්ති විඳ ඇත්තේ වල් බූරු නිදහස ඉක්ම වූ නිදහසකි.

අවසානයේ මෙම තිරිසන් ක්‍රියාව පිළිබඳව ගුවන් සේවය විසින් මෙය එෆ්.බි.අයි. නම් ඇමෙරිකානු අපරාධ විමර්ශන ආයතනයට පැමිණිලි කළ අතර ගුවන් යානය ගොඩ බැස් වූ වහාම මෙම යුවළ අත්අඩංගුවට ගනු ලැබිණි. එක් මගියෙකු සාක්ෂිදෙමින් පවසා සිටියේ තමා සිය ගැටවර වියෙහි පසු වූ  දරුවන් දෙදෙනා සමග මෙහි ගමන් කරමින් සිටි අතර මෙම ඇසැබි ක්‍රියාව දැකීමෙන් තමන් ඉමහත් අපහසුවට පත් වූ බවය.
මගේ දරුවන්ට ලිංගික පාඩමක් පෙන්වන්නට මට අවශ්‍ය නැහැයනුවෙන් එම මගියා පවසා තිබිණැයි එෆ්.බි.අයි. නියෝජිත ජේම්ස් මොලිකා පවසයි.

 ‍පොලීසිය මොවුන්ගෙන් ප්‍රශ්න කළ අවස්ථාවේදී ස්ටේ‍රා්බල් පවසා තිබුණේ සාමාන්‍ය සිප වැළඳ ගැනීමක් මිස එවැනි ක්‍රියාවක් සිදු නොවූ බවයි. තමා මීට පෙර අනෙක් පුද්ලයා හඳුනාගෙන නොසිටි බවත්  ඔහුගේ දුරකතන අංකයක් හෝ තමා සතුව නැති බවත් ඇය පැවැසුවාය. කෙසේ මුත් ලාස් වේගාස් දිස්ත්‍රික් අධිකරණය ප්‍රසිද්ධියේ ලිංගික ක්‍රියාවක් සිදු කළේ යැයි නඩු පැවැරූ අතර නඩු තීන්දුව අනුව ඔවුනට දින 90ක සිරදඬුවමක්ද නියම කෙරිණි”.

මෙයට පෙර වර්ෂ  2011 මැයි මාසයේදී ලන්ඩනයේ සිට නිව්යෝර්ක් දක්වා ගමන් කර තිබූ ගුවන් යානයකද මෙවැනි ඇසැබි ක්‍රියාවක් සිදු වූ බවට එෆ්.බි.අයි. ආයතනයට පැමිණිල්ලක් ලැබි තිබේ.
අපට මෙම සිදුවීම්වලින් පෙනෙන්නේ සදාචාරාත්මක අතින් අපට වඩා පහළට වැටී ඇතැයි සිතා සිටි රටවල මෙවැනි සදාචාර විරෝධි ක්‍රියාවන්ට එරෙහිව ජනතාව හඬ නගමින් යම් යම් ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරනව බවකි.

බටහිර රටවලට වඩා අප සදාචාරාත්මක යැයි සිතා සිටියද අප රටේ බොහෝ දෙනකු යම් සදාචාර විරෝධී ක්‍රියාවක් සිදු වූ විට  කිසිවක් කර කියා ගත නොහැකිව දුර්මුඛව සිටීම සාමාන්‍ය තත්ත්වයකි.


මෙවැනි දේ අප රටේ ‍පොදු ස්ථානවල ‍පොදු ප්‍රවාහන සේවයේ නිතර සිදුවුවද ඒවාට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගත් අවස්ථා පිළිබඳ වාර්තා වන්නේ ඉතා අඩුවෙනි. මෙයට හේතුව ඇතැම් විට අපට නීතිය පිළිබඳ ප්‍රමාණවත් අවබෝධයක් නැතිවීම, එසේත් නැත්නම් මේවා සාමාන්‍ය සිදුවීම් සේ සලකා බැහැර කිරීමද යන්න සොයා බැලිය යුතුය. එසේ නොමැති වුවහොත් අපට අනාගතයේදී අප රටේ ‍පොදු ප්‍රවාහන සේවයේදී හෝ ‍පොදු ස්ථානවල දකින්නට සිදු වන්නේ ඇමෙරිකාවේ ගුවන් යානයක සිදු වූ ක්‍රියාවන්ට වඩා ඔබ්බට  ගිය ඒවා වන්නට පුළුවන. එහි අනිසි බලපෑම අප තිළිණ කරනුයේ අනාගත පරපුරටය. ඒ නිසා ප්‍රසිද්ධ ස්ථානවල සිදුවන මෙවන් අසභ්‍ය ක්‍රියා පිටු දැකීමට සියලු දෙමාපියන් එක්ව පියවර ගත යුතුය.


No comments:

Post a Comment

මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න