පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Thursday, October 10, 2013

ශිලා උද්‍යානයක් නිර්මාණය කරගනිමු - Rock Garden for You


ගෙවතු අලංකරණය යනු වර්තමානයේ බහුලව දක්නට ලැබෙන කලාවකි. මේ සඳහා අප රටේ ද මේවන විට විවිධ සමාගම් පවා බිහිවී තිබේ. නමුත් කලාත්මක ඇසක් ඇත්නම් සිය ගෙවත්ත තමන්ටම වුව අලංකාර කරගැනීම අපහසු කාර්යයක් නොවේ. ගෙවතු අලංකරණය පිළිබඳ කතාකිරීමේදී දැනට ලෝකයේ මෙන්ම අප රටේ ද බහුලව නිර්මාණය වන්නා වූ විවිධ ගෙවතු වර්ග පිළිබඳව ද කතාබහ කළ යුතුය.  මේවා අතර ජල උද්‍යාන. ශිලා උද්‍යාන. නිවස මුදුනේ නිර්මාණය කරනා උද්‍යාන, සෙන් උද්‍යාන ආදී වශයෙන් විවිධ වේ. මේ ලිපියෙන් අප කතා කරන්නට බලාපොරොත්තුවන්නේ  ‛ශිලා  උද්‍යානයක්’ නිර්මාණය කරගන්නා ආකාරයයි. 

බොහෝ දෙනෙක් ශිලා උද්‍යාන නිර්මාණය කරන්නට වැඩි කැමැත්තක් දක්වයි. එයට හේතුව ලෙස සැළකෙන්නේ ඒවා සඳහා වූ නඩත්තු වියදම් ඉතා අඩු වීමය. මෙය තරමක් මෑතකදී හඳුන්වා දුන්නක් වුව ද එය වේගයෙන් ජනප්‍රිය වෙමන් පවතියි. මේ සඳහා විශාල ඉඩකඩක් අවශ්‍යවන්නෙ නැත. ඔබගේ ගෙවත්තේ ඉඩකඩට ගැළපෙන අයුරින් ශිලා උද්‍යානයක් නිර්මාණය කරගන්නට පුළුවන. අපි ඒ පිළිබඳ පියවරෙන් පියවර කතා බහ කරමු. එවිට ශිලා උද්‍යානයක් ඔබගේ ගෙවත්තට ද ගැලපේදැයි අවබෝධකොටගත හැකිය. 

පියවර 1 

විවිධාකරයෙන් ශිලා උද්‍යාන නිර්මාණය කළ හැකිය. මෙහිදී ඔබ වෙත ඉදිරිපත් කෙරෙන්නේ සරල ලෙස ශිලා උද්‍යානයක් ගොඩනගාගන්නා අන්දමයි. මුළින්ම ඔබේ ගෙවත්තේ ඉඩ ඇති තැනක, එම ඉඩට ගැළපෙන අයුරින් හොඳින් සුද්දකරගන්න. ඉන්පසු ශිලා උද්‍යානයට ඔබ වෙන්කරගන්නා ඉඩ වඩා ගල්වලින් සීමාවක් වෙන්කරගන්න. මෙම පින්තූරයේ දැක්වෙන්නේ අඩි 4ක් පමණක් වුව ද ඔබට වෙන්කරගත හැකි ඉඩට අනුව මෙය වෙනස්කරගත හැකි වේ. මේ සඳහා අඩියක පමණ විෂ්කම්භය සහිත ගල් යොදාගත හැකිය. සීමාව වෙන්කරගත් පසු එය පස්වලින් පිරවීම කළ යුතුය. ශිලා උද්‍යානයක් ගොඩ නැගීමේදී මතක තබාගත යුතු අනෙක් කරුණ වන්නේ හොඳින් ජලය ලැබෙන මෙන්ම ජලය ගළායන පරිදි සකස්කළ යුතු වීමය. හිරු එළිය ද සුදුසු පරිදි ලැබිය යුතු වේ. 


පියවර 2 

මෙහි දෙවැනි පියවර වන්නේ මුළින් ගල්වලින් ඇතිකරගත් කවය මැද, ගල්වලින් තවත් කවයක් ගොඩනගා ගැනීමය. එනම් කවයක් තුළ කවයක් වන පරිදි ය. මේ කවය සඳහා යොදාගත යුත්තේ මුළින් යොදාගත් ගල්වලට වඩා කුඩා ඒවා ය. 



පියවර 3
මෙහිදී සිදුකෙරෙන්නේ ශිලා උද්‍යානය සඳහා සුදුසු ශාක වර්ග තෝරාගැනීමය. මේ සඳහා ඔබට කැමති වර්ණ පරාශයකට ගැළපෙන සේ තෝරාගත හැකිය. 

පියවර 4 
මෙම පැලෑටි තෝරාගැනීමේදී එක සමාන වර්ණයකින් තෝරාගන්නවාට වඩා විවිධ වර්ණයන්ගෙන් තෝරාගැනීම අලංකාරය වැඩිවන්නට හේතුවක් වේ. එමෙන්ම පැලෑටිවල වර්ධණය වන උසෙහි හා විශාලත්වයෙහි ප්‍රමාණය මත ඒවා වෙන් වෙන් වශයෙන් සිටුවීම වඩා සුදුසු වේ. එනම් එක සමාන ප්‍රමාණයේ පැළෑටි එක කොටසකට සිටිනා පරිදි ය. 
 

පියවර 5
ශාක සිටුවීමේදී මල් සහිත ඒවා පමණක් තෝරා නොගන්න. මල් පිපෙන්නේ වසරකට එක කාලයකට පමණකි. නමුත් අලංකාර පත්‍ර සහිත ශාක, මුළු වසර පුරාම එක් සමාන අලංකාරයකින් පවතියි. 

පියවර 6 
තට්ටු තට්ටු වශයෙන් පිහිටන සේ ශිලා උද්‍යානය ගොඩ නැගෙන අයුරු ඔබට පෙනෙනවා ඇත. ඔබගේ උද්‍යානය මෙයට වඩා විශාල ලෙස පිළියෙල කරගත්තේ නම් තට්ටු කිහිපයක්ම ඉහළට පෙනෙන සේ එය නිර්මාණය කරගන්නට පුළුවන. 


පියවර 7 

මෙය ශිලා උද්‍යානයක් බැවින් නිර්මාණශීලී අයුරින් ගැළපෙන පරිදි ගල් යොදාගැනීම කළ හැකිය. ගල්වල කුස්තුර අතුරින් යම් යම් පැලෑටි මතුකිරීමෙන් ද අලංකාරයක් ලැබේ. ඇතැම්විට ඔබ එකවර ගල් ඇතිරීම සිදු කළේ නම් කුස්තුර ඇතිනොවන්නට ද පුළුවන. එබැවින් විශාල ගල් අතර කුඩා ගල් තබා කුස්තුර ඇතිකරන්නට ඔබට පුළුවන. 


පියවර 8 
පැළෑටි අතර මෙසේ ගල් පමණක් පවතින ස්ථාන ද ඇති කළ යුතුය. ඒවා විශා ගල්වල සිට කුඩා බොරළු කැට දක්වා යොදාගැනීමෙන් අලංකාරය වැඩි වේ. 


පියවර 9 
මෙහි දැක්වෙන්නේ ශිලා උද්‍යානය අවසානයේ දිස්වන ආකාරයයි. ඔබට මේ පියවර මගින් ශිලා උද්‍යානයක් නිර්මාණය කරගැනීමට යම් මගපෙන්වීමක් පමණක් ලබාදීම කළ අතර, ඔබ මෙයටම සීමාවිය යුතු නැත. ඔබට ඇති ඉඩකඩට අනුව මෙය තවත් විශාල කරගත හැකිය. ඔබේම සැලැස්මකට අනුව තවත් දේ මේ සදහා එකකරගත හැකිය. මේ සඳහා වූ විශේෂඥ ආයතනවල උපදෙස් ලබානොගෙන ඔබේ ශිලා උද්‍යානය ඔබටම නිර්මාණය කරගතහැකි බැව් ඔබට අවබෝධ වන්නට ඇත. 

- රැජින 2013-10-11

No comments:

Post a Comment

මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න