පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Friday, October 25, 2013

ඔබේ නිවහනටත් ස්වභාවික ආලෝකයේ අසිරිය ලබාදෙන්න - How to get Natural Light for your Home

බොහෝ දෙනෙක් නිවාස සැළසුම්කිරීමේදී ආලෝකය ලැබෙනා ආකාරය පිළිබඳ වැඩි සැළකිල්ලකට නොගන්නා දෙයක් බව ඇතැම්විට පෙනෙන්ට තිබේ. එසේ පවසන්නේ ඇතැම් නවීන නිවෙස්වල පවා අඳුරු ස්ථාන පෙනෙන්නට ඇති බැවිනි. මෙවැනි නිවාසවල දහවල් කාලයේදීද අඳුර දුරුකිරීම සඳහා විදුලි පහන් දල්වන්නට සිදුවන බව පෙනේ. කෙසේ නමුත් විවිධ පර්යේෂණ මගින් හෙළිවී ඇත්තේ යම් නිවසකට කාමරයකට ස්වභාවික ආලෝකය යහමින් ලැබෙන්නේ නම් එහි වාසය කරන පුද්ගලයන්ගේ මානසික තත්වය හා ආකල්ප වඩ වඩාත් දියුණුවට පත්වන බවය. සිසුවෙකු පාඩම් කරන්නේ ස්වභාවික ආලෝකයෙන් නම් ඔහුට ධාරණය කරගත හැකි ප්‍රමාණය වැඩිය. එය ව්‍යාපාරික ස්ථානයක් නම් අළෙවිය වැඩි ය. අනෙක් නිවසේ හෝ ව්‍යාපාරික ස්ථානයේ ස්වභාවික ආලෝකය ලැබෙන සේ සකස්කොට ඇත්නම් එමගින් විදුලිබලය ඉතිරිවන අතර, විදුලි පහන් නිසා දෙනෙත්වල ඇතිවන ආතතිය ද අඩුවී යයි. එබැවින් නිවසක් සැළසුම්කිරීමේදී ස්වභාවික ආලෝකය හැකිතාක් නිවස තුළට ලැබෙනවාද යන්න පිළිබඳ ඔබ විශේෂයෙන් සොයා බැලිය යුතුය. ස්වභාවික් ආලෝකය වැඩි වැඩියෙන් නිවසට ලබාගැනීම සදහා මෙහි දක්වන කරුණු ඔබට ඉවහල්වනු ඇතැයි අපි විශ්වාස කරමු.

 1. 

පවතින ජනෙල් කවුළුවලින් ලැබෙනා ආලෝකය වැඩිකිරීම සදහා තිර රෙදි විවෘතකොට තබන්න. කවුළුව ඉදිරිපට හෝ ඒ අසළ කිසිදු ගෘහ භාණ්ඩයක්, විශේෂයෙන් තද පැහැයෙන් යුක්ත ඒවා, තැබීමෙන් වළකින්න. 

 2. 

නිවෙස හෝ කාමරය තුළට පතිතවන ස්වභාවික ආලෝකය මුළු ප්‍රදේශය පුරාම හොඳින් පැතිරීම සඳහා බිත්තවල ලා පැහැ තීන්ත ආලේප කරන්න. මේ සදහා වඩාත් හොඳින් ගැළපෙන්නේ සුදු පැහැයයි. මෙහිදී අලෝකය හොඳින් පරාවර්තනය වන නිසා ආලෝකය හොඳින් පැතිර යයි. ජනෙල් කවුළුවේ රාමුව වටා ද සුදු පැහැය ආලේපකිරීමෙන් මෙය තවත් වැඩිකරගත හැකිය. 

 3. 

කාමරයේ කැඩපත් පවතී නම් ඒවා ආලෝකය පරාවර්තයවන ආකාරයට නිසි පරිදි ස්ථානගත කරන්න. කැඩපතක් ස්ථිර ලෙස ස්ථානගත කරන්නට පෙර එය විවිධ ස්ථානවල තබමින්, වඩාත් හොඳින් ආලෝකය පතිතවන්නේ කෙසේදැයි ඔබටම සොයිබැලිය හැකිය. කැඩපත් සේ දිලිසෙන අයුරින් තැනූ පිඟන ගඩොල් බිත්තවලට සවිකරන්නට ඔබ කැමැති නම්, එමගින් වැඩි ආලා්කයන් පරාවර්තනය කරගතහැකි ය. 

 4. 

විදුරු සවිකළ දොරක් භාවිත කරන්න. මෙම ක්‍රමය අත්හදාබැලීමේදී ඔබ ආරක්ෂාව පිළිබඳව ද විශේෂයෙන් සැළිකිලිමත් විය යුතුය. හේතුව විදුරු යනු සොරසතුරන්ට පහසුවෙන් බිඳ දැමිය හැකි දෙයක් වන නිසාය. නමුත් විදුරු සවිකළ දොරේ ආරක්ෂාවට යකඩ රාමුවක් සවිකරන්නට හැකි නම්, එය වඩාත් ආරක්ෂිත වේ. මෙසේ සවිකරනා වීදුරුව පූර්ණ වශයෙන් විනවිද පෙනෙන්නක් නොව ආලෝකය පමණක් පතිතවන සේ විවිධ රටාවන්ගේ තැනඋ එකක් වීම වඩාත් සුදුසු වේ. 

 5. 

පුළුල් ජනෙල් කවුළු සවිකිරීම මගින් ද නිවස හෝ කාමරයට වැඩි ආලෝකයක් ලබාගන්නට පුළුවන. නමුත් ආලෝකය සමඟ තාපය ගළා ඒම වැළැක්වෙන අයුරින් ජනෙල් කවුළුව ස්ථානගත කිරීම වඩාත් යෝග්‍ය වේ. තාපය ගළා ඒමෙන් නිවසේ හෝ කාමරයේ උෂ්ණත්වය ඉහළ යනු ඇත. නිවසට සාපෙක්ෂව හිරු පායන වේලාව, හිරුගේ ගමන් රටාව ආදිය අධ්‍යයන කිරීමෙන් වඩාත් සුදුසු ස්ථානයක් ඔබට තෝරාගන්නට හැකිවනු ඇත. 

 6. 

ඔබේ ගෙවත්තේ අලංකාර ස්ථාන හොඳින් පෙනෙන කාමරයක් හෝ වෙනත් ස්ථානයක් නිවසේ ඇත්නම්, එවැනි ස්ථානයකට තල්ලුකළ හැකි තල්ලුකළ හැකි දොරවල් සවිකරන්න. එවිට අවශ්‍ය ඕනෑම මෙහොතකදී මෙම දොරවල් දෙපසට තල්ලුකොට ආලෝකය හොදින් නිවස තුළට ලබාගන්නට පුළුවන. ඒ සමඟම නෙතට ප්‍රි උපදවන දසුනක් දකින්නට ද පුළුවන. 

 7. 

 නිවසට ස්වභාවික ආලෝකය කිසිම අයුරකින් පතිත නොවන ස්ථාන ඇත්නම්, එවැනි ස්ථාන සදහා වහළයේ විදුරු උලුකැටයක් සවිකරන්න. සීලිම් සවිකොට ඇත්නම් මෙම වීදුරු උළුකැටයෙන් පතිතවන ආලෝකය සීලිම ඔස්සේ තනන ලද දැව රාමුවක් ඔස්සේ නිවස තුළට ලබාගන්නට පුළුවන. එමෙන්ම ‛ස්කයිලයිට්’ යනුවෙන් වෙළෙඳපළේ මිලදී ගැනීමට ඇති උපාංගය සවිකරන්නට පුළුවන. මෙය තරමක් මිල අධික වුවත්, නිවස තුළට ස්වභාවික ආලෝකය යහමින් ලබාගැනීමට උපකාරීවනු ඇත.

No comments:

Post a Comment

මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න