පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Tuesday, October 15, 2013

අන්තර්ජාලයෙන් සල්ලි හොයන හැටි - How to Earn Money from Internet



ද පවතින ආර්ථික ගැටළු පිළිබඳ සිතීමේදී රැකියා එකක් නොව කිහිපයකින්වත් ගොඩ එන්නට ඒවා මද බව සිතේ. එබැවින් බොහෝ දෙනෙක් ප්‍රධාන රැකියාවට අමතරව වෙනත් ආදායම් මාර්ගවලට යොමුවන්නට හුරුපුරුදුව සිටිති. නමුත් ඒවායෙන් ද ලැබෙන්නා වූ ආදායම ප්‍රමාණවත් නොවන බව පෙනේ. අන්තර්ජාලය ඔස්සේ මුදල් ඉපැයීමේ ක්‍රමවල බොහෝ දෙනෙක් පෙළඹී ඇත්තේ මෙහි ප්‍රතිඵලයක් ලෙසිනි. 

how to earn money from internet වැනි පද යොදා ගනිමින් ගූගල් වෙබ් අඩවියෙන් සෙවුමක් කළ විට ලැබෙන ප්‍රතිඵල දහස් ගණන ද ඉක්මවා යයි. මෙසේ ලැබෙන් ඇතැම් වෙබ් අඩවි නොමිලයේ ද, ඇතැම් ඒවා මුදල් අයකරමින් ද අන්තර්ජාලය ඔස්සේ මුදල් සොයා ගන්නා අන්දම අපට උගන්වනු ලබයි. මීට අමතරව අප රට තුළ ඇතැම් නගර තුළ අනත්ර්ජාලය ඔස්සේ මුදල් සොයාගන්නා ආකාරය පිළිබඳ දැනුම බෙදා දෙන පාඨමාළා ද පැවැත්වෙන බව පෙනෙන්නට තිබේ. මේවා මුදල් අයකරමින් පැවැත්වෙන පාඨමාළාවන් වේ. කෙසේ මුත් ඉවසිල්ලෙන් යුක්තව අන්තර්ජාලය පිරික්සා කළ හොත් කිසිවකුට හෝ මුදල් නොගෙවා අන්තර්ජාලය ඔස්සේ මුදල් සොයාගන්නා ක්‍රම අපට සොයාගත හැකිය. මේවා ආරම්භයේ දී අප සිතනා තරම් මුදල් උපයාගන්නට අවස්ථාව ලබා නොදෙන මුත් ඉවසීමෙන් කාලයක් වැඩකටයුතු කිරීමෙන් අමතර ආදායමක් උපයා ගන්නට පුළුවන. 

රැකියාවක් නොකර නිවසේ සිටින කාන්තාවන්ට මෙවැනි කාර්යයකට අතගැසීම තුළින් පවුලේ ආදායමට සැළකිය යුතු දායකත්වයක් ලබාගත හැකි බැව් කිවහැකිය. මේ සඳහා පරිගණකයක් හා අන්තර්ජාල සම්බන්ධතාවයක් අවශ්‍ය වේ. වර්තමානයේ රැහැන් රහිතව ඩොන්ගල් භාවිතයෙන් පහසුවෙන් අන්තර්ජාල පහසුකම් ලබා ගතහැකි බැවින්, අදාළ ආයතන සමඟ කතාබහකොට ඔබට පහසු අන්දමේ අන්තර්ජාල සම්බන්ධතාවයක් ලබාගන්නට පුළුවන. අප වෙනත් රටවල වෙබ් අඩවි ඔස්සේ මුදල් උපයන්නේ නම් අපට මුදල් ගැබෙන ක්‍රමයක් ද සකසාගත යුතුය. බෙහෝ වෙබ් අඩවිවලින් ගෙවීම්කරනු ලබන්නේ ‛පේපැල්’ (PayPal) නම් ක්‍රමය ඔස්සේ වුවත් අප රටේ බැංකු මගින් තවමත් මෙම ක්‍රමයට පහසුකම් සළසන්නේ නැත. අපට වෙනත් රටක් හරහා මෙම PayPal ගිණුමක් තනාගන්නට හැකිවුවත්, අන්තර්ජාලය පිළිබඳ වැඩි අවබෝධයක් නැති අයෙකුට එය තරමක අසීරු කාර්යයක් විය හැකිය. එබැවින් අප රටේ බැංකු මගින් පහසුකම් සපයන ජාත්‍යන්තර වශයෙන් මුදල් සම්ප්‍රේෂණය කළ හැකි ක්‍රමයක් මෙහිදී සඳහන් කළ හැකිය. එය හඳුන්වනු ලබන්නේ Payoneer නමිනි. මෙහි මූලස්ථානය ඇත්තේ ඇමරිකා  එක්සත් ජනපදයේ නිව්යෝර්ක් නුවරය. www.payoneer.com  න වෙබ් අඩවියේ ගොස් ලියාපදිංචි වීමෙන් පසු Payoneer මාස්ටර් කාඩ්පතක් සඳහා අයැදුම් කළ හැකිය. මෙය සති දෙකක ඇතුළත තැපැල් මගින්  නිවසට ලැබේ. විදෙස් රටවල වෙබ් අඩවි හරහා ඔබ මුදල් ඉපැයීමේ ක්‍රම සොයා යද්දී Payoneer  මගින් පමණක් ගෙවීම් සිදුකරන්නා වූ වෙබ් අඩවි පමණක් තෝරාගැනීමෙන් ගැටළුවලට මුහුණ දෙන්නට සිදු නොවේ. මෙම කාඩ්පතට අදාළ අංකය අදාළ වෙබ් අඩවියට ලබාදුන් පසු එ අංකයට මුදල් බැරකරනු ලබන අතර අන්තර්ජාලය ඔස්සේම එසේ මුදල් බැරවූ බව ඔබට දන්වනු ලබයි. එවිට ඕනෑම ටෙලර් යන්ත්‍රයක් ඔස්සේ මෙම මුදල අප රටේ මුදල් ඒකකවලින් ලබාගන්නට පුළුවන. 

ඉහත සඳහන් ආකාරයට how to earn money from internet  හෝ ඊට සමාන ආකාරයේ පද යොදා ගූගල් ඔස්සේ සෙවුමක් කළ විට අන්තර්ජාලය ඔස්සේ මුදල් උපයාගන්නට දේශීය මෙන්ම විදේශීය වශයෙනුත් පවතින වෙබ් අඩවි රැසක් හමුවේ.  මේවා අතරින් ඇතැම් ඒවායේ ඇත්තේ වෙළෙඳ දැන්වීම් නැරඹීම පමණි. ඒවා නැරඹූ බව අදාළ වෙබ් අඩවියට දැන්වීම සඳහා අප ඒවා මත මවුසයෙන් ක්ලික් කළ යුතු වේ. එවිට ඒ සෑම ක්ලික් කිරීමක් සඳහාම අපේ ගිණුමට මුදලක් බැරවේ. නමුත් මෙසේ බැරවන්නේ ඉතා සුළු මුදලක් පමණි. earn money by clicking යනුවෙන් ගූගල් හරහා සෙවීමෙන් මෙවැනි වෙබ් අඩවි දහස් ගණනක් සොයාගත හැකිය. නමුත් ඔබ තෝරාගත යුත්තේ අපේ රට තුළින් මුදල් ලබාගැනීමේ පහසුකම සපයන වෙබ් අඩවි පමණකි. නැතහොත් සිදුවන්නේ ඔබගේ කාලය, මුදල හා වෙහෙස මහන්සිය අපතේ යාම පමණි. 

ඔබ චිත්‍ර අඳින්නට දක්ෂකම් දක්වන්නෙක් නම් අන්තර්ජාලය හරහා සෑහෙන මුදලක් උපයාගන්නට හැකියාව තිබේ. විශේෂයෙන් පරිගණකය ඔස්සේ චිත්‍ර අඳින්නට හැකිනම් මෙය වඩාත් පහසුය. එවැනි අය සදහා ගැළපෙන්නේ http://fiverr.com/  යන වෙබ් අඩවියයි. මෙය Payoneer ෙවීම් ලබාගතහැකි වෙබ් අඩවියක් වන නිසා මුදල් ලබාගනීම පිළිබඳ ගැටළුවක් ද ඇති නොවේ. සැබවින්ම මෙම වෙබ් අඩවිය ඔස්සේ මුදල් උපයන්නට හැක්කේ චිත්‍ර අඳින්නන්ට පමණක් නොව සංගීතය, වීඩියෝ නිර්මාණ, පරිවර්තන, පිටපත් රචනා ආදිය කරන්නවුන්ට ද අවස්ථාව හිමිවේ. නමුත් චිත්‍ර මේ සියල්ල අතුරින් චිත්‍ර අඳින්නන්ගේ වැඩකටයුතුවලට මෙය පහසු බැව් පෙනෙන්නට තිබේ. මෙම වෙබ් අඩවියෙන් කෙරෙන්නේ සේවය අවශ්‍ය පුද්ගලයන් හා සේවය ලබාදෙන පුද්ගලයන් එකිනෙක හඳුන්වාදීමයි. ඒ සඳහා කිසිදු ගාස්තුවක් අයවන්නේ නැත. යම් පුද්ගලයකුගේ සේවය ලබාගෙන වංචාකිරීමක් මෙහිදී සිදුවන්නේ නැත. 

ක්ලික් කිරීම ඔස්සේ මුදල් ඉපැයීම සඳහා අවස්ථාව සලසා දෙන බොහෝ වෙබ් අඩවි අතරින් ඔබට හඳුන්වාදිය හැකි තවත් එකක් වන්නේ http://www.bidvertiser.com  ය. මෙහි ඇති වෙළෙඳ දැන්වීම් ක්ලික් කිරීමෙන් යම්කිසි මුදලක් ඔබගේ ගිණුමට එකතු වේ. මෙම ක්ලික් කිරීමට අමතරව අය පිළිබඳ ඇති සංවාදයට එක්වන්නට ඔබට හැකි නම් උපයන්නට හැකි ප්‍රමාණය තවත් ඉහළ යයි. 

http://www.cafepress.com යනු http://fiverr.com  වැනිම තවත් අඩවියකි. මෙහිදී ද චිත්‍ර ශිල්පීන්ට වැඩි ඉඩක් හිමිවන අතර ඔබ නිර්මාණය කරන විවිධ මෝසතර ඔවුනට ලබාදීම මගින් සැළකිය යුතු මුදලක් උපයන්නට පුළුවන. 

දත්ත ඇතුළත් කිරීම, ලිපි යතුරු ලියන කිරීම ඔස්සේ මුදල් ඉපැයීමට අවස්ථිවා ලබාදෙන වෙබ් අඩවි ද අන්තර්ජාලයෙන් සොයාගන්න පුළුවන. earn money from internet by data entry  යනුවෙන් යතුරු ලියනය කිරමෙන් මෙවැනි වෙබ් අඩවි සොයාගන්නට හැකිය. 

මුදල් ගෙවා ලියාපදිංචි වීමෙන් පසු මුදල් ඉපැයීමේ අවස්ථාව ලබාදෙන වෙබ් අඩවි ද බොහෝ ගණනක් පවතී. මේවායෙන් ලැබෙන ආදායම ඉහළය. නමුත් මේවාට යොමු වීමට පෙර නොමිලයේ අවස්ථාව ලබාදෙන වෙබ් අඩවි අත්හදා බැලීම වඩාත් සුබදායක වේ. 

මීට අමතරව අන්තර්ජාලය හරහා මුදල් ඉපැයීමට  දේශීය වශයෙන් ද උපදෙස් දෙන්නා වූ වෙබ් අඩවි බොහොමයක් පවතී. සැළකිල්ලෙන් යුක්තව මේවා තෝරා බේරා ගැනීම තුළින් ඔබට ද නිවසේ සිටම මුදල් උපයන්නට පුළුවන. කලක් මේවායේ නිරතවීමෙන් ඔබට තව තවත් අවස්ථා උදාකරගන්නට පුළුවන. 

2 comments:

  1. ඇත්තටම හොද ලිපියක්.සුභ පැතුම් තවත් මෙවැනිම ලිපි ලිවීමට මෙම වදන් ශක්තියක්ම වේවා!

    ReplyDelete
    Replies
    1. ඔබගේ අදහස් දැක්වීමට බොහෝ තුති.

      Delete

මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න