පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Wednesday, October 2, 2013

දිරිය දියණි කතාවේ කිම් මැන් ඩියොක් - Kim Man-deok/Yi Hong in The Great Merchant alias Diriya Diyani


මේ දිනවල රූපවාහිනී ප්‍රේක්ෂකයින් අතර ඉතාමත් ජනප්‍රියව පවතින එක් ටෙලි සිත්තමක් වන්නේ ‛දිරිය දියණී’ නාට්‍යය යි. ජීවිතය උත්සාහයෙන් ජයගෙන සමාජයට යහපතක් කරන්නට උත්සාහ කරනා ගැහැණියක් පිළිබඳ මෙම කතාවෙන් කියැවෙයි. ඓතිහාසික කොරියානු නාට්‍යයන් අප රට ප්‍රේක්ෂකයින් ආදරයෙන් වැළැඳගත්තාක් මෙන් මෙය ද මේ වන විට සියලු දෙනාගේ නොමද ප්‍රතිචාර මධ්‍යයේ විකාශනයවෙමින් පවතී. 
ක්‍රි.ව. 1730 - 1812 අතර සමයේ කොරියාවේ ජේජු දූපතේ කාත් කවුරුත් නැති අනාථ දැරියක ලෙසින් හැදී වැඩුණු  කිම් මැන්-ඩියොක් ගේ ජීවිත කතාව ‛දිරිය දියණි’ සඳහා පදනම් වී තිබේ. ඇය හිදී වැඩුනේ කොරියාවේ කේසියොන්ග් නමින් හැඳින්වෙන වෛශ්‍යාවන් කොට්ඨාශයක් වෙසෙන නිවසකය. කේසියොන්ග් නමැති වෛශ්‍යාවන් යනු කොරියාවේ රජවරු සහ අනෙකුත් පාලක පංතියේ කම්සැප පිනවීම සඳහා සේවයේ නියුක්ත වූ කාන්තාවන් පිරිසකි. මෙය රජයේ අනුග්‍රහයෙන් වෘත්තියක් ලෙස පවත්වාගෙන යනු ලැබූවකි. මේ කතාව ගළායන්නේ මෙම පසුබිම ඔස්සේ ය. අපි පසුගිය සතියේ ‛දිරිය දියණි’ පිළිබඳ කතා කළෙමු. අද අප කතා කරන්නට සැරසෙන්නේ මෙහි ප්‍රධාන චරිතය වන කිම් මැන්-ඩියොක් ට පණ දෙන්නා වූ සුප්‍රකට කොරියානු රංගන ශිල්පිනියක වන ‛ලී මි-යිවොන්’ ( Lee Mi-Yeon  ) පිළිබඳව ය. 

1971 සැප්තැම්බර් 23 වැනි දින දකුණු කොරියාවේ සෝල් නුවර උපන් ලී මේ වන 42 හැවිරිදි වියෙහි පසුවෙයි. ‛ඩොන්ග්ගුග්’ සරසවියෙන් උසස් අධ්‍යාපනය ලබාගත් ඇය සිය රංගන ජීවිතය ආරම්භ කළේ 1988 දී ‛ජෝයි ඔෆ් ලව්’ නම් ටෙලි නිර්මාණයෙනි. 

දැනට සිනමා පටි 20 කට හා ටෙලි නාට්‍ය 13 කට ඇය සිය රංගන දායකත්වය ලබා දී තිබේ. 1990 දී හොඳම නවක නිළිය වශයෙන් සම්මාන දිනාගැනීමේ ගමන ආරම්භ කළ ඇය  සිය රංගන ජීවිතය තුළ දිනා ඇති සම්මාන සංඛ්‍යාව 14 කි. මෙම සම්මාන 14 ඇතුළත ඇය විවිධ සම්මාන උළෙලවලදි හොඳම නිළියට පිරිනැමෙන සම්මානය  පස් වතාවක්ම හිමිකරගත්තා ය. 


ඇය 42 වැනි වියෙහි පසුවුව ද නිරූපණය කරන්නේ යොවුන් චරිතයන් ය. එක් රූපවාහිනී වැඩසටහනක දී ඇයව හඳුන්වා දෙනු ලැබුයේ සරත් සමයේ හමනා පවන් රොදක් තරම් නැවුම්බවකින් යුක්ත නිළියක ලෙසිනි. සම්මාන රැසකට හිමිකම් කීව ද ඇය පවසන්නේ තමා විශේෂණ නාමයන්ගෙන් හඳුන්වනවා වෙනුවට හුදෙක් සරලව ‛නිළියක’ ලෙසින් හඳුන්වනවාට කැමැති බව ය. වර්තමාන කොරියානු සිනමාව පුරුෂාධිපත්‍යයකට නතුව ඇති බැවින් තමාට ගැළපෙන සිනමා නිර්මාණයක් තෝරාගැනීම පවා දුෂ්කර වී ඇතැයි ඇය පවසන්නීය. 
ඇයගේ රංගන ජීවිතයට මේවන විට වසර 20කටත් වැඩි කාලයක් ගතවී තිබේ. නමුත් බොහෝ දෙනා ඇයගේ යොවුන් පෙනුම පිළිබඳ ඇයගෙන් නිතර විමසයි. තරුණියන් ඇයගෙන් විමසන එක් සුවිශේෂී කරුණක් වන්නේ රුව රැකගැනීම සදහා ඇය අනුගමනය කරන්නේ කුමන ක්‍රියාමාර්ගයක් ද යන්නයි. ඇය එසේ අසනා සියලු විට පවසන්නේ සෞඛ්‍ය සම්පන්න ආහාර ඇගේ රුව පසුපස ඇති එකම රහස බවය. රූපලාවන්‍ය ද්‍රව්‍ය  භාවිත කරන බැව් පවසන ඇය සිය සුන්දර සම රැකගැනීම සඳහා චර්ම විශේෂඥයින්ගේ පිහිට පතන්නේ කලාතුරකින් බව ද පවසන්නීය. 

සම්මාන බොහෝ ගණනක් දිනා ඇති ඇය තවත් සම්මානයක් පිළිබඳ සිහිනයකින් පසුවුව ද එවැන්නකට හිමිකම් කියන්නට හැකිවනු ඇතිදැයි ඇය තුළ පවතින්නේ සැකයකි. “ඒ වගේ උණුසුම් ඇත්දැකීමක් විඳගන්නට මම කැමතියි. මම දන්නේ නැහැ මට නැවත එවැනි වාසනාවක් හිමිවේවිද කියලා. සමහරවිට ලැබෙන්නත් පුළුවන්.” ඇය ඒ පිළිබඳව ඇසූ විට දුන්නේ එවැනි පිළිතුරකි. 
1995 දී  කොරියානු නළුවකු වූ ‛කිම් සියුන්ග් වූ’ සමග විවාහ වුණු ඇය 2000 වසරේදී ඔහුගෙන් වෙන්වන්නට තීරණය කළා ය. ඇය දැන් ගෙවන්නේ හුදෙකලා ජීවිතයකි. 

මම හැමදාම සතුටින් ඉන්නයි කැමති.  මම මේ ජීවිතයට කැමතියි. ඔබගේ හදවතට උණුසුම දැනෙන චරිත තුළින් ඔබ හමුවන්නට මම කැමැතියි. යහපත් ජීවිතයක් සහිත කෙනෙක් බවට පත්වන්නටයි මම නිතරම උත්සාහ ගන්නේ. ” 

ඇය එසේ පවසන්නීය. 

එක් මාධ්‍ය හමුවකදී ඇයගෙන් මෙසේ අසනු ලැබිණි. 

ඔබ ගැන පුවත්පත් ශීර්ෂ පාඨයක් ලියැවෙනවා නම් ඒ මොන වගේ දෙයක් වෙනුවෙන්ද කියලා මම ඇහුවොත් ඔබ දෙන පිළිතුර මොකක්ද?” 

“ඇත්තටම වෙන මොනවත් නෙවෙයි ඒ මම තවත් සම්මානයක් දිනාගත්තා කියා පළවෙන ප්‍රවෘත්තියක් වෙනුවෙන්ම තමයි.” 

ඇය එසේ පවැසුයේ හඬතලා සිනාසෙමිනි. 

මම මගේ රසිකයින් වෙනුවෙන් තව තවත් හොඳ නිර්මාණවලට දායක වෙනවා. හැමදාම සතුටින් හා නිරෝගීව ඉන්න.” 
සිය රසිකයින් වෙනුවෙන් ඇය පවසන්නීය. 

- රැජින 2013-10-04

No comments:

Post a Comment

මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න