පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Wednesday, October 2, 2013

රෝග රැසකට ඔසුවක් වන තෙබු - Thebu or Crape Ginger, a Valuable Medicine



අප නිවෙස් අවට ගෙවත්තේ මෙන්ම කුඩා වන ලැහැබවල ඉබේ වැඩෙන ශාක අතර බහුතරයක් ඖෂධීය ගුණයෙන් යුක්ත ය. ඉපැරණි සිංහල වෙදකම්වලදී මෙන්ම ආයුර්වේද ප්‍රතිකාර ක්‍රමවලදී ද මේවා යොදාගත්ත ද වර්තමානයේ බටහිර වෛද්‍ය ක්‍රමයන්ට පුරුදුව සිටිනා අපට මේ බොහෝ ශාකවල ගුණාංග පිළිබඳ අවබෝධයක් නැත.  මේ නිසාම ඇතැම් ශාක වදවී යන්නට ද පටන්ගෙන ඇත. බොහෝ දෙනෙක් සිතන්නේ මේවා හුදෙක්ම වල් පැලෑටි ලෙස පමණි. වල් පැලෑටි යැයි අප සළකන ඇතැම් ඒවා බටහිර රටවල විවිධ පර්යේෂණයන්ට යොදාගනිමින් ඒවා මිනිස්ගේ සුබ සිද්ධිය සඳහා යොදාගන්නේ කෙසේදැයි සොයාබැලීම සිදුවෙයි. ඉන්පසු අපට ද හොරා ඒවායේ පේටන්ට් අයිතිය ද ලබාගනියි. අවසානයේ අපගේ ‛වල්පැලෑටි’වලින් විවිධ ලෙඩරෝග සදහා ඖෂධ නිපදවා ඉහළ මිල ගණන් යටතේ අප වෙලෙඳසල්වලටම පැමිණේ. අපි ඒවා අධික මිලක් ගෙවි මිලදී ගන්නෙමු. අප රටේ ගහකොල පිළිබඳ පර්යේෂණ පැවැත්වීමක් සිදුනොවන බැවින් මේ තත්වයෙන් ගැළවෙන්නට ද අපට හැකියාවක් නැත. එබැවින් අප අවට ඇති ශාක, ඒවායේ ප්‍රයෝජන ආදිය පිළිබඳ දැනුවත්ම සිටීම අපට මෙන්ම අපගේ අනාගත පරපුරට ද ප්‍රයෝජනවත් දෙයක් වනු ඇත. 

අප ගෙවතුවල වැවෙන මෙවැනි එක් පැළැටියක්වන්නේ ‛තෙබු’ ය.  ක්‍රේප් කොලයකට සමාන අයුරින් පුෂ්පයේ ස්වභාවය පැවතීම නිසා ඉංග්‍රීසි බසින් crape ginger  නමින් හඳුන්වනු ලබන මෙම ශාකය Costus speciosus හා Cheilocostus speciosus  වශයෙන් උද්භිද විද්‍යාත්මක නාමයන් දෙකකින් යුක්ත වේ. අග්නිදිග ආසියාව මෙම ශාකයේ නිජ භූමිය වන අතර ඉන්දුනීසියාවේ සුන්ඩා දූපතේ මේවායේ බහුල ව්‍යාප්තියක් දක්නට ලැබේ.  කුක්, ෆිජි සහ හවායි වැනි පැසිෆික් දූපත්වලද මෙම ශාකය දක්නට ලැබෙන අතර ඒවායේ මෙය හඳුන්වා ඇත්තේ ආක්‍රමණශීලී ශාකයක් ලෙසිනි. එබැවින් එම දූපත්වල මේවාට වැඩෙන්නට ඇති ඉඩකඩ අඩුවෙමින් පවතී. ඖෂධීය ශාකයක් ලෙස මෙය ඉන්දියාවේ බහුලව වගාකෙරෙන අතර, අනෙකුත් රටවල විසිතුරු පැලෑටියක් ලෙස ද වගාකෙරේ. 

ආසියානු කලාපයේ මෙය ඖෂධීය ශාකයක් ලෙස ප්‍රචලිතව පැවතිය ද, බටහිර සංස්කෘතිය තුළ මෙයට හිමිව ඇත්තේ එතරම් වැදගත් ස්ථානයක් නොවේ. ෆ්ලොරිඩා සරසවිය මේ ශාකය පිළිබඳ අධ්‍යයනය කොට ඇති අතර, ඒ එහි ඖෂධීය ගුණය පිළිබඳ නොව, එය විසිතුරු පැලෑටියක් ලෙස වගා කරන්නේ කෙසේද යන්න පිළිබඳව ය. ඒ හැරුණු විට බටහිර ලෝකයට මෙහි වෙනත් වටිනාකමක් නැති බැව් පෙනේ. ආයුර්වේද වෛද්‍ය විද්‍යාවට අනුව මෙම ශාකය විවිධ වූ ඖෂධීය ගුණාංගයන්ගෙන් යුක්ත ය. ළාදුරු, උණ, ඇදුම, බ්‍රොන්කයිටිස් හෙවත් ස්වාස නාල ප්‍රදාහය හා බඩවැලවල පණුවන් නැසීම සඳහා ද යොදාගනු ලබයි. මෑතකදී කළ පර්යේෂණවලට අනුව හෙළිවී ඇත්තේ දියවැඩියාවට ද මෙය ප්‍රත්‍යක්ෂ ඔසුවක් බව ය. දැනට සිදුකොට ඇති පර්යේෂණවලට අනුව තෙබු පත්‍රයක ප්‍රෝටීන් 19%ක්ද, කාබෝහයිඩ්‍රේට් 44%ක්ද, ලිපිඩ 4%ක්ද තිබේ. තන්තු සංයුතිය 12%කි. එමෙන්ම කැල්සියම්, මැගිනීසියම් හා සෝඩියම් 2% බැගින් ද, පොටෑසියම් 1%ක්ද, බොහෝ විටමින් වර්ග ද ඇති බැව් හෙළිවී තිබේ. තෙබු පත්‍ර යොදා විවිධ ආහාර වර්ග පිසීම ආසියානු රටවල සුලභව දක්නට ලැබේ. 

ඉපැරණි ඉන්දීය ග්‍රන්ථයක් වූ ‛කාම සූත්‍රයේ’ දැක්වෙන අයුරින් මෙය ලිංගික ආකර්ෂණය ඇතිකිරීම සඳහා ද යොදාගනු ලබයි. මෙම ශාකය බැක්ටීරියා හා දිළීරවලට ඔරොත්තු දීමේ ගුණයෙන් යුක්ත බැව් සොයාගෙන තිබේ. එසේ හෙයින් මිනිසුන්ය වැළඳෙන බැක්ටීරියා හා දිලීර ආසාදන සඳහා ද මෙයින් ඖෂධ නිපදවා ගැනීමට හැකිවනු ඇතැයි විශ්වාස කෙරේ. 

- රැජින 2013-10-04

No comments:

Post a Comment

මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න