පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Thursday, October 31, 2013

අද සමාජයට නැතුවම බැරි අතට අත දීම ගැන ඔබ මේවා දන්නවාද? - Facts about Proper Handshaking Methods



සමාජයේ බොහෝ පිරිසක් සමඟ ඇසුරුකිරීමේදී විවිධ ආචාරධර්ම පිළිබඳ නිතැතින්ම අවධානය යොමුකරන්නට අපට සිදුවේ. මේ ඇතැම් ඒවා අපගේ සාම්ප්‍රදායික ඒවා නොවන්නට පුළුවන. ඇතැම් ඒවා විදේශයන්ගෙන් අපට ලැබුණු ඒවා වන්නට ද  පුළුවන. නමුත් බැහැර කරන්නට නොහැකි තරමට ඒවා අපගේ සමාජයේ මුල්බැසගෙන තිබේ. අතට අතදීම එවන් එක් පුරුද්දකි. සිංහල ජන සමාජයේ යම්කිසි පුද්ගලයකු හමු වූ විට අප ආචාර සමාචාර දක්වන්නේ දෑත් එකතුකොට ‛ආයුබෝවන්’ කීමෙනි. නමුත් පොදුවේ අප බොහෝ දෙනෙක් අමුත්තකු හමු වූ විට, මිතුරකු බොහෝ කලකින් හමු වූ විට, සුබ පතන විට වැනි විවිධ අවස්ථාවලදී කරන්නේ අතට අත දීමය.  මෙහිදී අප සාමාන්‍යයෙන් අනෙකාගේ අත අල්වා සෙළවීම සිදුකළ ද අතට අතදීමේ දී පිළිපැදිය යුතු ආචාර ධර්මතා මෙන්ම අතට අතදීමේ විවිධ ක්‍රම ද දක්නට ලැබේ. මේවා පිළිබඳ දැනුවත්ම සිටීම සමාජය ඉදිරියේ කිසිදු චකිතයකින් තොරව හැසිරෙන්නට ඔබට අවස්ථාව උදාකර දෙයි. 

ඔබට යම් අමුත්තකු හමු වූ විට ඔහුට හෝ ඇයට අතට අතදීමේදී එය සිදුකරනා ක්‍රමය අනුව අනෙක් පුද්ගලයාගේ සිතෙහි ඔබ පිළිබඳ පූර්ව විනිශ්චයන් ඇතිකරගන්නට පුළුවන. මෙසේ ඇති කරගන්නා පූර්ව විනිශ්චය යහපත් එකක්විය යුතුය.  අපට සාමාන්‍යයෙන් පහත දක්වා ඇති අවස්ථාවලදී අතට අතදීමට සිදුවිය හැකිය. 
යමකු මුළින්ම මුණගැසුණු විට 
රැකියාවක් සඳහා සම්මුඛ පරීක්ෂණයකට සහභාගී වූ විට 
බොහෝ කාලයකින් නොදුටු හිතවතකු මුණගැසුණු විට 
යම්කිසි උත්සව අවස්ථාවකදී සත්කාර කටයුතු කරන්නේ ඔබ නම්,   එහි පැමිණෙන අමුත්තන් පිළිගන්නා විට 
මිතුරකුට, ව්‍යාපාරික සඟයකුට සමුදීමේදී 
යම්කිසි පුද්ගලයකු ඔබ දෙයට අත දිගුකරනා ඕනෑම විටෙකදී 

අතට අතදීමේදී අප දැන සිටිය යුතු කරුණු. 

1. අතට අතදීම ආරම්භ කළයුතු අවස්ථාව 
අතට අත දීම ආරම්භ කළ යුත්තේ තනතුරින් හෝ වයසින් ඉහළ තැනැත්තාය. උදාහරණයක් ලෙස සම්මුඛ පරීක්ෂණයකදී නම් මුළින්ද අත දිගුකළ යුත්තේ එම පරීක්ෂණය මෙහෙයවන තැනැත්තාය. ඔබගේ අනාගත මාමාණ්ඩිය මුණ ගැසුණේ නම් අතට අත දීම ආරම්භ කළ යුත්තේ ඔහුය. 

අතට අතදීම ආරම්භ කිරීමේදී යම්කිසි වරදක් සිදුවූයේ නම් කිසිවිටෙක අත ආපසු ගැනීමෙන් වළකින්න. එය අනෙක් තැනැත්තාට රළු අත්දැකීමක් වන්නට පුළුවන. එවන් අවස්ථාවකදී සිනහසෙමින් අතට අතදී තමාව හඳුන්වාදීම සිදුකළ යුතු අතර සමාව අයැදීම සිදු නොකළ යුත්තකි.  

2. අතට අතදීමට පෙර අනෙක් පුද්ගලයාගේ දෑස් වෙත ඔබේ දෑස් යොමුකළ යුතුය. 

ඔබ සිටින්නේ හිඳගෙන නම් අත දිගුකිරීමට පෙර නැගී සිටිය යුතුය. මෙසේ දෙදෙනාම එකම මට්ටමකට පැමිණීමෙන් පෙන්නුම් කරන්නේ අනෙක් තැනැත්තා කෙරෙහි ඔබ දක්වන ගෞරවයයි. අනෙක් පුද්ගලයාගේ දෑස් දෙස බලා සුහදලෙස සිනහසීමෙන් පෙන්නුම් කරන්නේ ඔබ ඔහු/ඇය හමුවීම සතුටට හේතුවක් බවය. 

මෙවැනි අවස්ථාවකදී ඔබ කලබලයෙන් හෝ එතැනින් බැහැරයන්නට කලබලයෙන් සිටින බවක් පෙන්නුම්කිරීම නොකළ යුතුය. ඔබ සිටින්නේ ඇවිදිමින් නම්, ඇවිදීම නතරකොට අනෙක් පුද්ගලයාගේ දෑස් දෙස බලා අතට අතදෙන්න. එසේ නොමැති වුවහොත් එම අවස්ථාව අසුන්දරවන්නට ඉඩ තිබේ. 

3. අතට අතදීමට පෙර හෝ දෙන අවස්ථාවේදී සුබපැතීම සිදුකරන්න 

ඔබගේ අත්ල දහදියෙන් තෙත්වී ඇත්නම්, ඔබගේ කලිසමෙන්, සායෙන් හෝ සාරියෙන් එය පිසදමාගන්නා තුරු අතට අතදීම මදකට පමාකළ හැකිය. සුබපැතීම සිදුකළ යුත්තේ මෙසේ පමාවන මොහොතේය. සුබපැතීමේදී අනෙක් පුද්ගලයාගේ නම සුහද ලෙස පැවසීම වඩාත් උචිතය. උදාහරණයක් ලෙස මෙසේ පවසන්නට පුළුවන. “ඔබව හමුවීම සතුටක් සුභා”. මෙහිදී ඔබට සුදුසු යැයි සිතෙන සුබපැතුමක් ඉදිරිපත් කරන්නට පුළුවන. නමුත් පමණ ඉක්මවා යාමෙන් වළකින්න. 

ඔබට හමුවූයේ අමුත්තකු නම් ඔහුගේ් /ඇයගේ නම හොඳින් මතකයේ රඳවාගැනීම සඳහා සංවාදය අතරතුරේදී නම කිහිපවතාවක් පැවසීම සිදුකරන්න. එවිට ඔබට එම නම මතකයේ රඳවාගැනීමට පහසුවක් වනු ඇත. මෙය අනෙක් පුද්ගලයාගේ සිතේ ද සුහදශීලී ආකල්පයක් ඇතිකරන්නට හේතුවනු ඇත. මන්ද තම නම වෙනත් පුද්ගලයකු විසින් පවසනු ඇසීමට සියලු දෙනා කැමති නිසාය. 

4. අතට අතදීමේදී අත දැඩිව අල්වාගත යුතු මුත් වේදනාව දැනෙන සේ මිරිකීම සිදුනොකළ යුතුය. 

අත දුර්වල ලෙස ඇල්ලීමේදී අනෙක් පුද්ගලයාගේ සිතේ ඔබ පිළිබඳ ඇතිවන්නේ දුර්වලයකු වැනි ආකල්පයකි. නමුත් ඔබ අනෙක් පුද්ගලයාගේ අස්ථි බිඳීයන තරම් තදින් ඇල්ලිය යුතුබව මෙයින් පැවසනේනේ ද නැත. මෙහදී අත දැඩිව අල්වාගත යුතු මුත්, දැඩිව මිරිකිය යුතු නැත. අනෙක් පුද්ගලයා දුර්වල ලෙස ඔබගේ අත අල්වාගත්තේ නම්, ඔහුගේ/ඇයගේ අත තරමක් තදින් මිරිකන්න. එවිට අත තදින් අල්වාගත යුතු බැව් අනෙක් පුද්ගලයාගේ සිතෙහි හැඟීමක් ඇතිකළ හැක. 

5. අතට අතදීම පැවතිය යුතු කාලය 

බොහෝ දෙනෙක් කෙටි අතට අතදීමකට කැමතිය. සාමාන්‍යයෙන් මෙය තත්පර පහක් තරම් කෙටිකාලයක් බැව් සොයාගෙන තිබේ. එබැවින් අනෙක් පුද්ගලයාගේ ප්‍රතිචාර පිළිබඳ සැළකිලිමත්වීම සුදුසුය. විශේෂයෙන් අනෙක් පුද්ගලයා රැකියාවෙන්, තනතුරින් හෝ සමාජ තත්වයෙන් ඔබට වඩා උසස් නම් මෙය හොඳින් සිතේ තබාගත යුත්තක් වේ. 

අනෙක් පුද්ගලයා තත්පර පහකට වඩා ඔබගේ අත අල්වාගෙන සිටියේ නම් සුහදශීලී ලෙස අත ඉවතට ගන්න. ඉන්පසුව එක් එල්ලේ දෑස් දෙස බලා කතාකිරීම හා සුහදශීලී කතාබහ මගින් ඔහු/ඇය සමඟ සංවාදය යහපත් අයුරින් පවත්වාගෙන යන්නට උපකාරී වනු ඇත. 

6. ඔබගේ අනෙක් අත පිළිබඳ සැළකිලිමත් වන්න. 

වම් අත භාවිත කරන්නට විශේෂ හේතුවක් නැත්නම්, අතට අතදීමේදී බොහෝ දෙනෙක් භාවිත කරන්නේ දකුණු අතය. මෙම අවස්ථාවේදී ඔබගේ වම් අත අනෙක් පුද්ගලයාට පෙනෙන සේ ඇඟිළි දිගහැරී තිබිය යුතුය. ඔබගේ වම් අත සාක්කුවේ දමාගෙන සිටීමේ වළකින්න. එය අනෙක් පුද්ගලයාගේ සිතේ චකිතයක් ඇතිකරන්නට හේතුවක් වේ. සාමාන්‍යයෙන් අතට අතදීමේදී ඔබගේ වම් අත අනෙක් පුද්ගලයාගේ අත මත තැබීම නුවණට හුරු නැත. නමුත් අනෙක් පුද්ගලයා ඔබ දන්නා හඳුනන අයෙක් නම් අවස්ථාවට උචිත යැයි හැඟේ නම් පමණක් එසේ සිදුකළ හැකිය. 

7. අතට අත දී සෙළවිය යුතු පිළිවෙල 

අත සෙළවිය යුත්තේ ඉහළ - පහළ ආකාරයටය. එය ඉදිරියට - පසුපසට හෝ පැත්තෙන් පැත්තට හෝ වශයෙන් සිදුකිරීම සුදුසු නැත. එසේ කිරීමේ දී මෙම අවස්ථාවේ ඇති සුහදතාවය ගිලීහීයන්නට ඉඩතිබේ. 

අතට අතදීමේ ආචාර ධර්ම සේම දැන සිටිය යුතුවා සේම දැනට ප්‍රචලිතව පවතින අතට අතදීමේ විවිධ විලාශයන් පිළිබඳ දැනසිටීම ද විශේෂ වාසියක් වන්නට පුළුවන. මෙහිදී ඔබට මෙවැනි විලාශයක් 10ක් හඳුන්වාදෙන අතර සමාජයේ පවතින්නේ මේවා පමණක් නොවන බව මතක තබාගත යුතුය. විවිධ නම්වලින් පවතින තවත් බොහෝ විලාශයන් පවතී. මෙවා මගින් අනෙක් පුද්ගලයා පිළිබඳ යම් අදහසක් ලබාගැනීමට ද ඔබට අවස්ථාව ලැබේ. 

1.  දහදිය අත්ලෙන් අතට අතදීම 


ඇතැම්විට අතට අතදීමේදී අනෙක් පුද්ගලයාගේ මානසික වාතාවරණයට අනුව අත්ල දහදියෙන් තෙත්වී තිබෙන්නට පුළුවන. නමුත් ඔබ එය පිළිබඳ අවබෝධයෙන් වඩාත් සුහදශීලී ලෙස කතාබහ කිරීමෙන් අනෙක් පුද්ගලයාගේ සිතෙහි ඇති මානසිකත්වය වෙනස්කරන්නට හැකිය. ඔබගේ අත්ල දහදියෙන් තෙත්වූයේ නම් අතට අතදීමට පෙර අත්ල ලේන්සුවෙන් හෝ (කාලය මද බව හැඟේ නම්) කලිසමෙන් හෝ සායෙන් පිස දමා අතට අතදෙන්නට පුළුවන) 

2. ලිහිල් අතට අතදීම 

මෙය Dead Fish  යනුවෙන් ද හඳුන්වනු ලබයි. මත්ස්‍යයකු මියගිය විට උගේ සිරුර ඉබේ කඩා වැටේ. අනෙක් පුද්ගලයා ද අත්ලේ අස්ථි පවා නොමැති අයුරින් ඉතා ලිහිල්ව අතදීම සිදුකරනු පෙනේ. මෙසේ අතට අත දෙන්නේ සෘණාත්මක ආකල්ප ඇති සමාජශීලී නොවන පුද්ගලයන් ය. නමුත් තදබල අතට අතදීමක් නිසා අමිහිරි අත්දැකීම ලද පුද්ගලයන් ද මෙසේ සිදුකරනා බැව් සොයාගෙන තිබේ. 

3. ක්ෂණික අතට අතදීම 
Brush Off යනුවෙන් ද හඳුන්වනු ලබන මෙහිදී අනෙක් පුද්ගලයා ඉතා ඉක්මණින් අතට අත දී ඉවතට ගනියි. අනුන්ගේ අදහස්වලට වඩා තමාගේ අදහස් උසස් යැයි මෙසේ කරනා බොහෝ දෙනෙක් සිතයි. 

4. ප්‍රබල අතට අතදීම 
මෙහිදී අනෙක් පුද්ගලයා ඔබ ඔහු/ඇය දෙසට අදිනා බැව් හැඟෙනු ඇත. මෙහෙදී ඔබ තේරුම්ගත යුත්තේ අනක් පුද්ගලයා සෑමවිටම යම් තැනක ප්‍රධානියාවන්නට උත්සාහ කරන්නකු බවය. 

5. දේශපාලන අතට අත දීම 
මෙහිදී අනෙක් පුද්ගලයා අතට අත දෙන අතරේ අනෙක් අතින් ඔබගේ වම් අත හෝ උරහිස තදින් ඇල්ලීම සිදුකරයි. අනෙක් පුද්ගලයා ඔබගේ මිතුරකු නොවේ නම් මුළින්ම මෙසේ යම්කිසි අමුත්තකු සිදුකරන්නේ නම් එහිදී පැවසනේනේ බොරු සුහදශීලී බවකි. එයට දේශපාලන අතට අතදී යැයි පැවසෙන්නේ එබැවිනි. මෙවැනි පුද්ගලයින් වැටෙන්නේ සටකපට ගණයටය. 

6. ඇඟිළිවලින් අතට අතදීම 


Finger Vice යනුවෙන් හැඳින්වෙන මෙහිදී අනෙක් පුද්ගලයා අතටඅත දීමේදී සම්පූර්ණ අත නොව ඇඟිළි පමණක් භාවිත කරයි. මෙවැනි පුද්ගලයන් අවිශ්වාස සහගතය. එමෙන්ම ඔවුන් අනෙක සෙසු පුද්ගලයන් දුරින් තබා ගැනීමට උත්සාහකරයි. 


7. අස්ථි බිඳෙන අතට අතදීම 


Bone Crusher යනුවෙන් හැඳින්වෙන මෙහිදී වේදනාව දැනෙන අයුරින් අත මිරිකීම සිදුකරයි. තමා කෙතරම් ශක්තිවන්තයෙක්දැයි පෙන්වීමට බොහෝ දෙනෙක් මෙම විලාශය යොදාගනිති. ඔබ ද ශක්තිමත් බැව් හැඟෙන්නට ඉඩහැරීමෙන් ඔවුන් ද ඔබ කෙරෙහි ධනාත්මක ආකල්ප ඇතිකරගනී. 

8. පොකිරිස්සා ශෛලිය 


මෙය හඳුන්වනු ලබන්නේ Lobster Claw  නමිනි. මෙසේ අතට අත දෙනු ලබන්නා පොකිරිස්සාගේ අඬුවක් සේ සිය මහපටගිල්ල හෝ සියලු ඇඟිළි අනෙක් පුද්ගලයාගේ අත්ලේ ස්පර්ශ කරයි. මෙවැනි පුද්ගලයින් අනෙක් පුද්ගලයින් සමඟ සම්බන්ධතා ඇතිකරගැනීමට වැඩි කැමැත්තක් නැත. නමුත් මොවුන් ඉතා විශ්වාසවන්ත පුද්ගලයින් ය. 

9. මල්ලවපොර ශෛලිය 
මෙහිදී අතට අත දීමෙන් පසු අත කරකවා අනෙක් පුද්ගලයාගේ අත යටිපැත්තට හරවයි. එය Hand Wrestler  නමින් හඳුන්වන්නේ එබැවිනි. මෙය ආක්‍රමණශීලීබවේ ලක්ෂණයකි. මෙවැනි පුද්ගලයින් සියලු දෙනා ඉවතහෙළා ඉහළටම යන්නට උත්සාහකරයි. 


10. කෝප්ප ශෛලිය 
මෙහිදී අනෙක් පුද්ගලයාගේ අත්ල කෝප්පයක හැඩයකින් පවතී. එයට Teacup යනුවෙන් හඳුන්වනු ලබයි. මෙවැනි පුද්ගලයින් යමක් සඟවාගෙන සිටී. ඇතැම්විට ලජ්ජාව වැනි හැඟීමක් ද ඔවුන් තුළ තිබෙන්නට පුළුවන. මෙවැනි පුද්ගලයින් සමඟ වැඩකටයුතුකිරීමේදී යම් යම් තොරතුරු සඟවාගෙන සිටීදැයි විමසිලිමත්විය යුතුය. 




No comments:

Post a Comment

මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න