පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Wednesday, October 2, 2013

පවුලට බය නිසා දුම්බීම නතර කළ බැරක් ඔබාමා - Barack Obama: my wife scared me into quitting smoking


පවුල නමැති සමාජ ඒකකය තුළ බොහෝ විට මූලික තැනක් ගෙන ක්‍රියාකරන සත්වයා පිරිමියා හෙවත් ස්වාමි පුරුෂයා වේ. ඇතැම්විට මෙය වෙනස් වන්නට හැකි වුව ද පොදු තත්වය වන්නේ එයයි. මේ ඒකකය තුළ යම් යම් තීරණ ගැනීමේ දී ක්‍රියාත්මක වන්නේ පිරිමියාගේ අදහස්වන්නට ඇති ඉඩකඩ වැඩිය. ඇතැම් ඒකකවල පිරිමියාගේ බලතල ඉක්මවා යමින් ගැහැණියගේ හෙවත් බිරිඳගේ අදහස් ක්‍රියාත්මක වන අවස්ථා ද ඕනෑ තරම් දක්නට ලැබේ. බිරිඳ ඉදිරිපත් කරන්නේ කෙතරම් යහපත් අදහසක් වුව ද සැමියා ඒවා ක්‍රියාත්මක කරන්නට අදිමදිබවක් දක්වයි. ඒ බිරිඳ ඉදිරියේ පරාජය වූවා වැනි හැඟීමක් ඇතිවී සිය පෞර්ෂයට හානියක් සිදුවේ යැයි පවතින අනියත බිය නිසාය. ඇතැම්විට බිරිඳගේ අදහස් ක්‍රියාත්මක කරන්නට යාමෙන් තමා බිරිඳට බියේ ජීවත්වන තැනැත්තෙක්ය කියා මිතුරන් අතරේ තමා සමච්චලයට පත්වනු ඇතැයි ද සැමියා සිතයි. තත්වය මෙය වුවත් ලෝකයේ ප්‍රබලතම රාජයය යැයි සැළකෙන ඇමරිකා එක්සත් ජනපදයේ ප්‍රධාන පුරවැසියා පසුගිය දවසක හෙළි කළේ තමා ද සිය බිරිදට බිය බව ය. බිරිදට ඇති බිය නිසා තම නරක පුරුද්දක් වූ දුම්බීම අත්හැරි බැව් ඔහු ලෝකය හමුවේ හෙළි කළේය. 
ඇමරිකානු ජනපත් බැරක් ඔබාමා දුම්බීමට දැඩිව ඇබ්බැහිව සිටි පුද්ගලයකු විය. ඔහු ගැටවර වියෙහිදී ඇතිවුණු මෙම පුරුද්දෙන් ගැළවෙන්නට ඔහු විවිධ ක්‍රියා මාර්ග අනුගමන කළේය. නමුත් කිසිවකින් හෝ දීර්ඝ කාලීන විසඳුමක් ලැබුණේ නැත. අවසානයේ දී තමා මීට සම්බන්ධ විය යුතු යැයි තීරණය කළා ය. “මෙයා මේ වතාවේ සිගරැට් බොන එක නතර නොකළොත් මම හොඳ වැඩක් කරන්නම්කෝ” යැයි ඇය කල්පනා කරන්නට ඇත. එසේ කල්පනාකොට ගැහැණුනන්ට ආවේණික වූ යම්කිසි ක්‍රමෝපායයක් ඔබාමා වෙනුවෙන් යොදන්නට ඇත. අවසානයේ දී ලෝකයේ බොහෝ දෙනකුට තවමත් නතර කරගත නොහැකිව අසහනයට පත්ව සිටිනා පුරුද්ද බැරක් ඔබාමාගේ ජීවිතයෙන් ගළවා දමනු ලැබිණි. 

ඔබාමා හා එක්සත් ජාතීන්ගේ නිලධරයා අතර කතාබහ ඇති වූ මොහොත


තමාගේ දුම්බීමේ පුරුද්ද පිළිබඳ හෝ එය නවතා දැමූ ආකාරය පිළිබඳව මාධ්‍යට හෙළිකරන්නට ඔහුට ඕනෑකමක් තිබුණේ නැත. නමුත් බින් ලාඩන් පවා මරා දමන්නට උපක්‍රම යෙදූ බලවත් රාජ්‍ය නායකයකු සිය බිරිඳට බියක් දක්වන්නේ නම් එවැනි තොරතුරු වැටෙන්නේ ඓතිහාසික රහස් ගණයට ය. එවැනි රහස් ලෝකය හමුවේ හෙළිනොවී පැවතීම අවාසියකි. එබැවින් අහඹු සිදුවීම් ඔස්සේ හෝ එවැනි රහස් ලෝකයාට නිරාවරණය වෙයි. 

පසුගිය සැප්තැම්බර් 23 වැනි සඳුදා ඇමරිකානු ජනපත් බැරක් ඔබාමා එක්සත් ජාතීන්ගේ මහා සමුළුවේ එක් ආරම්භක රැස්වීමේදී, එක්සත් ජාතීන්ගේ විශේෂ නිලධරයකු වූ මයිනා කායි සමඟ පෞද්ගලික කතාබහක යෙදී සිටියේය. ජනපතිවරයා එම නිලධරයා පෞද්ගලිකව හඳුනන්නකු විය. ඔවුන් අතර ඇතිවුණු කෙටි කතාබහේදී දුම්බීම පිළිබඳව කතාවක් ද මතුවිය. 





කොහොමද ඔබේ දුම්බීමේ පුරුද්ද එහෙම? තාම නතර කරගන්න පුළුවන් වුණේ නැද්ද? මම නම් අවුරුදු හයකින් සිගරැට් එකක් බිව්වේ නැහැ. අපේ නෝනට තියෙන බය හින්දමයි මේක නතර කරලා දැම්මේ” යනුවෙන් තරමක් හඬින් යුක්තව සිනහවෙමින් ඔහු සමඟ පැවසූයේ ය. ඔවුන් දෙදෙනාගේ සංවාදය කෙරෙහි අවධානයෙන් සිටි සී.එන්.එන්. රූපවාහිනී සේවයේ මයික්‍රෆෝනයක මෙම සංවාදය සටහන් වූ කිසිවකු දැන සිටියේ නැත. මෙය මාධ්‍යකරුවන්ට අනගි පුවතක් විය. 
මාධ්‍යකරුවෝ බැරක් ඔබාමාගේ දුම්බීමේ පුරුද්ද පසුපස ලුහුබඳින්නට පටන්ගත්හ. 

ඔව්, දැන් එයා සිගරැට් බොන්නේ නැහැ නේ” යනුවෙන් මේ සිදුවීමට පසුදිනම මිචෙල් ඔබාමා පැවසූයේ ය. 



ලෝකයේ සෑම පුද්ගලයන් පස් දෙනෙකුගෙන් එක් අයෙක්ම, එනම් මිලියන 46ක ජනතාවක් දුම්පානයට ඇබ්බැහි වී සිටිති. මොලය පිළිබඳ විශේෂඥයින් පවසන්නේ දුම්වැටිවල අඩංගු නිකොටින් යනු ප්‍රබල ඇබ්බැහිකාරකයක් බවය. දුම්බීමෙන් ඉවත්වන්නට උත්සාහ දරනා පුද්ගලයන් හතර දෙනෙකුගෙන් තිදෙනෙකුම මාස හයක් ඇතුළත නැවත දුම්බීම ආරම්භ කරනා බැව් හෙළිවී තිබේ. එබැවින් දුම්බීමට ඇති ඇබ්බැහිය පහසුවෙන් නතර කරගත හැක්කක් නොවේ. 

එයාට මේ දුම්බීමේ පුරුද්ද නතර කරලා දාන්න ලොකු ඕනෑකමක් තිබුණා. එයාට ඕනෑ වුණේ තමන් දුම් නොබොන කෙනෙක් බව දුවලා දෙන්නාට ඒත්තු ගන්නවන්න.” 
මිචෙල් ඔබාමා එසේ පවසන්නීය. 

ධවල මන්දිරයේ කිසිවකු ද ජනපතිවරයා බොහෝ කලකින් දුම්පානය නොකළ බව සිහිකල්පනාවෙන් යුක්තව මෙනෙහි කළේ මේ පුවතත් සමගිනි. ජනපති ඔබාමා මීට වසර කිහිපයකට පරෙ දුම්වැටි සම්බන්ධව නව නීති පද්ධතියට අත්සන් තබව අවස්ථාවේදී පවසා සිටියේ තමා දුම්පානය නතර කර දමන්නට ගැටවරයකු ලෙසත් සෑහෙන උත්සාහයක යෙදුණු බව ය. 

පුවත්පත් හමුවකදී වරෙක ඔහු මෙසේ පැවසූයේය. 

මම නිතරම මේ පුරුද්දෙන් ගැළවෙන්න උත්සාහ කළා. ඒත් මම නිතරම එයින් අසමත් වුණා. මම පිළිගන්නවා මම දිනපතා දුම්පානය කරන්නෙක් බව.” 

තමා කෙතරම් දුම්පානයට ඇබ්බැහි වී සිටිය ද කිසිදා දරුවන් හෝ පවුලේ අනෙකුත් සාමාජිකයින් ඉදිරියේ දුම්පානය නොකළ බව ඔහු පවසයි. තමා අඩුම තරමින් දිනකට දුම්වැටි පහක්වත් පානය කළ බව ඔහු පිළිගනී. මානසික පීඩාවන් ඇති අවස්ථාවලදී මෙම සංඛ්‍යාව මෙයටත් වඩා වැඩිවූ බව ඔහු පවසයි. මිචෙල් ඔබාමා ඔහුට පවසා ඇත්තේ තමන් ජනපතිවරණයට තරග කරන්නේ නම් දුම්පානය අත්හරින ලෙසට පොරොන්දුවන ලෙසයි. ඇතිම් විට ඔවුන් කලු ජාතිකයින් නොවී සුදු ජාතිකයින් වූවා නම් මෙම පුරුද්ද එතරම් බරපතල වරදක් බැව් නොසිත්නට ඉඩ ඇත. කලු ඇමරිකානුවන්ගේ යම් යම් සිතිවිල් සුදු ඇමිකානුවන්ට වඩා වෙනස් බැව් මෙහෙදී පැහැදිලි වෙයි. 

මම නම් දුම්පානයට කැමතිම නැහැ.” මිචෙල් ඔබාමා සී.බී.එස්. රූපවාහිනී සේවය හමුවේ මෙසේ පැවසූයේ ජනපතිවරණයේ ප්‍රචාරක ව්‍යාපාර අරඹන්නට පැයකට පමණ පෙර ය. 

ඒ හන්දා එයා දුම්පානය කරන්න ඕනෑම නැහැ. මම දැන් ආඩම්බරයෙන් කියනවා එයා දැන් දුම්පානය කරන්නේ නැහැ කියලා. එයාව මේ පුරුද්දෙන් ගළවා ගත්තේ මම යි.”

මිචෙල් ඔබාමා වරෙක පැවසූයේ ජනපතිවරණයට තරග කරන්නට ඇති එක් සුදුසුකමක් වනුයේ ඔහු දුම්පානය නොකරන්නකු වීම බවය. 
ඔහු දුම්පානය කරනා ජනපතිවරයකු නොවිය යුතුයි.” මිචෙල් අවධාරණය කර සිටියේ එය යි. ජනපතිවරයා දුම්පානයෙන් මිදෙන්නට උත්සාහ ගනිමින් සිටි බැවින් තමා ඔහු කෙරෙහි දැඩි පීඩනයක් එල්ල නොකළ බව ඇය පවසයි. 

“එයා හිටියේ නරක පුරුද්දෙන් මිදෙන මාර්ගයක නිසා මම එයාට තව තවත් බලපෑම් එල්ල කළේ නැහැ.” මිචෙල් පවසන්නීය. 

කෙසේ මුත් බැරක් ඔබාමා සිය බිරිඳට බිය වීමෙන් කරගත්තේ හොඳක් මිස නරකක් නොවේ. අනෙක් අතට සිය බිරිඳට බියක් දක්වන සැමියන්ට ද දැන් නිදහසට පවසන්නට දෙයක් තිබේ. 

ඇමරිකානු ජනාධිපතිතුමා එයාගේ නෝනට බය නම් ඉතින් අනෙක් අය බය වුණාම මොකද වෙන්නේ” කියා ඔවුනට හිත හදාගන්නට පුළුවන. 

- රැජින 2013-10-04



No comments:

Post a Comment

මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න