පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Saturday, November 9, 2013

පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක හමුව - CHOGM - Commonwealth Heads of Government Meeting


පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක හමුව පැවැත්වීමට තව වැඩි දවසක් නැත. ඔබ මේවනවිටත් මෙම සමුළුව පිළිබඳ බොහෝ තොරතුරු දන්නවා වන්නට පුළුවන. කෙසේ වුවද මෙම තොරතුරු  ද එක්කරගැනීම තුළින් ඔබගේ දැනුම තව තවත් වැඩිදියුණු වනු ඇත. මෙහි අරමුණ වන්නේ පොදු රාජ්‍ය මණ්ඩල නායක හමුව ආරම්භ වූ 1971 වසරේ සිට මේ දක්වා සියලු සමුළු පිළිබඳ සාරංශයක් ඔබ වෙත ඉදිරිපත් කිරීමයි. 

1971 සමුළුව 

මෙය මුල්ම රාජ්‍ය නායක හමුව වේ. 1971 ජනවාරි 14 - 1971 ජනවාරි 22 අතර කාලයේ සිංගප්පූරුවේ පවත්වනු ලැබිණි. එවකට එහි සිටි අගමැතිවරය වූයේ ලී ක්වාන් යූ ය. මෙයට දෙවැනි එලිසබෙත් මහරැජින සහභාගී වූයේ නැත. ඇය සහභාගී නොවූ ප්‍රථම සමුළුව ද මෙය වේ. 

1973 සමුළුව 

දෙවැනි රාජ්‍ය නායක සමුළුව වූ මෙය 1973 අගෝස්තු 2 - 1973 අගෝස්තු 10 අතර සමයේ කැනඩාවේ ඔටාවා නුවරදී පවත්වනු ලැබිණි. එවකට එහි සිටි අගමැතිවරයා වූයේ පියරේ ටෲඩෝ ය. 

1975 සමුළුව 

තෙවැනි රාජ්‍ය නායක සමුළුව වූ මෙය 1975 අප්‍රේල් 29 - 1975 මැයි 6 අතර සමයේ ජැමෙයිකාවේ කිංග්ස්ටන් නුවරදී පැවැතිවිණි. එවකට එහි අගමැතිවරයා වූයේ මයිකල් මෑන්ලි ය. 

1977 සමුළුව 

සිව්වැනි රාජ්‍ය නායක සමුළුව වූ මෙය 1977 ජුනි 8 - 1977 ජුනි 15  අතර සමයේ එක්සත් රාජධානියේ ලන්ඩන් නුවරදී පවත්වනු ලැබිණි. එවකට එහි අගමැතිවරයා වූයේ ජෙම්ස් කැලගාන් ය. මෙයට උගන්ඩා ජනපති ඉඩි අමින් සහභගී නොවූ අතර සීෂෙල්ස් දූපත්වල ජනපති ජෙම්ස් මැන්චම් මෙම සමයේ බලයෙන් පහකොට සිටි බැවින එරට නියෝජනය කරන්නට කිසිවකු සහභාගී වූයේ ද නැත. 

1979 සමුළුව 

පස්වැනි රාජ්‍ය නායක සමුළුව වූ මෙය 1979 අගෝස්තු 1 - 1979 අගෝස්තු 7 අතර සමයේ සැම්බියාවේ ලුසාකා නුවරදී පවත්වනු ලැබිණි. එවකට එහි ජනපතිවරයා වූයේ කෙනත් කවුන්ඩා ය.

1981 සමුළුව 

සවැනි රාජ්‍ය නායක සමුළුව වූ මෙය 1981 සැප්තැම්බර් 30 - 1981 ඔක්තෝබර් 7 අතර සමයේ ඕස්ට්‍රේලියොවේ වික්ටෝරියා ප්‍රාන්තයේ මෙල්බෝර්න් නුවරදී පවත්වනු ලැබිණි. එවකට එහි අගමැතිවරයා වූයේ මැල්කම් ෆ්‍රේස්ර් ය. 

1983 සමුළුව 

සත්වැනි රාජ්‍ය නායක සමුළුව වූ මෙය 1983 නොවැම්බර් 23 - 1983 නොවැම්බර් 29 අතර සමයේ ඉන්දියාවේ නවදිල්ලි නුවරදී පවත්වනු ලැබිණි. එවකට එහි අගමැතිවරිය වූයේ ඉන්දිරා ගාන්ධි ය. 

1985 සමුළුව 
අටවැනි රාජ්‍ය නායක සමුළුව වූ මෙය 1985 ඔක්තෝබර් 16 - 1985 ඔක්තෝබර් 22 අතර සමයේ බහමාස් දූපත්වල නසාවූ නුවරදී පවත්වනු ලැබිණි. එවකට එහි අගමැතිවරයා වූයේ ලින්ඩෙන් පින්ඩින්ග් ය. 

1986 සමුළුව 

සාමාන්‍යයෙන් වසර දෙකකට වරක් රාජ්‍ය නායක සමුළුව පැවත්වුණ ද 1985 න් පසු 1986 දී ද සමුළුවක් පැවැත්විණි. දකුණු අප්‍රිකාවේ වර්ණභේදවාදය හේතුකොටගෙන එයට එරෙහිව වෙළඳ සම්බාධක පැනවීම සම්බන්ධව සාකච්ඡා කිරීම සඳහා පැවැත්වූ විශේෂ සමුළුවක් ලෙස මෙය හැඳින්විය හැකිය. නවවැනි රාජ්‍ය නායක සමුළුව වූ මෙය 1986 අගෝස්තු 3 - 1986 අගෝස්තු 5 අතර සමයේ එක්සත් රාජධානියේ ලන්ඩන් නුවරදී පවත්වනු ලැබිණි. එවකට එහි අගමැතිවරිය වූයේ මාග්‍රට් තැචර් ය. 

1987 සමුළුව 

දසවැනි රාජ්‍ය නායක සමුළුව වූ මෙය 1987 ඔක්තෝබර් 13 - 1987 ඔක්තෝබර් 17 වැනි දින අතර සමයේ කැනඩාවේ වැන්කූවර් නුවරදී පවත්වනු ලැබිණි. එවකට එහි අගමැතිවරයා වූයේ බ්‍රයන් මල්රෝනි ය. 

1989 සමුළුව 

එකොලොස්වැනි රාජ්‍ය නායක සමුළුව වූ මෙය 1989 ඔක්තෝබර් 18 - 1989 ඔක්තෝබර් 24 අතර සමයේ මැලේසියාවේ ක්වාලාලාම්පූර්වලදී පවත්වනු ලැබිණි. එවකට එහි අගමැතිවරයා වූයේ මහාතීර් මොහොමඩ් ය. 

1991 සමුළුව 

දොළොස්වැනි රාජ්‍ය නායක සමුළුව වූ මෙය 1991 ඔක්තෝබර් 16 - 1991 ඔක්තෝබර් 21 අතර සමයේ සිම්බාබ්වේ හි හරාරේ නුවරදී පවත්වනු ලැබිණි. එවකට එහි ජනපතිවරයා වූයේ රොබට් මුබාගේ ය. 

1993 සමුළුව 

දහතුන්වැනි රාජ්‍ය නායක සමුළුව වූ මෙය 1993 ඔක්තෝබර් 21  - 1993 ඔක්තෝබර් 25 අතර සමයේ සයිප්‍රස් හි ලිමාසොල් නුවරදී පවත්වනු ලැබිණි. එවකට එහි ජනපතිවරයා වූයේ ජෝර්ජ් වෙසිලියු ය. 

1995 සමුළුව 

දහහතරවැනි රාජ්‍ය නායක සමුළුව වූ මෙය 1995 නොවැම්බර් 10 - 1995 නොවැම්බර් 13 අතර සමයේ නවසීලන්තයේ ඕක්ලන්ඩ් නුවරදී පවත්වනු ලැබිණි. එවකට එහි අගමැතිවරයා වූයේ ජිම් බොල්ගර් ය. 

1997 සමුළුව 

පහළොස්වැනි රාජ්‍ය නායක සමුළුව වූ මෙය 1997 ඔක්තෝබර් 24 - 1997 ඔක්තෝබර් 27 අතර සමයේ එක්සත් රාජධානියේ එඩින්බර්ග් නුවරදී පවත්වනු ලැබිණි.. එවකට එහි අගමැතිවරයා වූයේ ටෝනි බ්ලෙයාර් ය. මෙය මෙතෙක් පැවැති දැවැන්තම සමුළුව ලෙස සළකනු ලබයි. 

1999 සමුළුව 

දහසයවැනි රාජ්‍ය නායක සමුළුව වූ මෙය 1999 නොවැම්බර් 12 - 1999 නොවැම්බර් 14 අතර සමයේ දකුණු අප්‍රිකාවේ ඩර්බන් නුවරදී පවත්වනු ලැබිණි. එවකට එහි ජනපතිවරයා වූයේ තාබෝ ම්බෙකි ය. මෙතෙක් වැඩිම රාජ්‍ය නායකයන් සංඛ්‍යාවක් සහභාගී වූ සමුළුව ලෙස මෙය සළකනු ලබයි. 

2002 

දහහත්වැනි රාජ්‍ය නායක සමුළුව වූ මෙය 2002 මාර්තු 2 - 2002 මාර්තු 5 අතර සමයේ ඕස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ කූලම් හිදී පවත්වනු ලැබිණි. එවකට එහි අගමැතිවරයා වූයේ ජෝන් හොවාර්ඩ් ය. මෙම සමුළුව නියමිත ලෙස පවත්වන්නට යෙදී තිබුණේ 2001 ඔක්තෝබර් 6 වැනිදා වුව ද 2001 සැප්තැම්බර් 11 වැනිදා ඇමරිකා එක්සත් ජනපදයට එල්ල කරන ලද ත්‍රස්තවාදී ප්‍රහාරය හේතුකොට ගෙන දින මෙය පැවැත්වීමට දින 9 කට පෙර කල්දමනු ලැබිණි.  


2003 සමුළුව 

දහඅටවැනි රාජ්‍ය නායක සමුළුව වූ මෙය 2003 දෙසැම්බර් 5 - 2003 දෙසැම්බර් 8 අතර සමයේ නයිජීරියාවේ අබුජා නුවරදී පවත්වනු ලැබිණි. එවකට එහි ජනපතිවරයා වූයේ ඔලුසෙගුන් ඔබ්සන්ජෝ ය. 

2005 සමුළුව 

දහනවවැනි රජ්‍ය නායක සමුළුවන වූ මෙය 2005 නොවැම්බර් 25 - 2005 නොවැම්බර් 27 අතර සමයේ මෝල්ටාවේ වැලෙට්ටා නුවරදී පවත්වනු ලැබිණි. එවකට එහි අගමැතිවරයා වූයේ ලෝරන්ස් ගොන්සි ය. මෙතෙක් රාජ්‍ය නායක හමුවක් පවත්වනු ලැබූ කුඩාම රාජ්‍යය වන්නේ මෝල්ටාව ය. 

2007 සමුළුව 

විසිවැනි රාජ්‍ය නායක සමුළුව වූ මෙය 2007 නොවැම්බර් 23 - 2007 නොවැම්බර් 25 අතර සමයේ උගන්ඩාවේ කම්පාලා නුවරදී පවත්වනු ලැබිණි. එවකට එහි ජනපතිවරයා වූයේ යොවේරි මුසෙවෙනි ය. 

2009 සමුළුව 

විසිඑක්වැනි රාජ්‍ය නායක සමුළුව වූ මෙය 2009 නොවැම්බර් 27 - 2009 නොවැම්බර් 29 අතර සමයේ ට්‍රිනිඩෑඩ් හා ටොබෑගෝ රාජ්‍යයේ පොර්ට් ඔෆ් ස්පේන් හිදී පවත්වනු ලැබිණි. එවකට එහි අගමැතිවරයා වූයේ පැට්‍රික් මෑනින්ග් ය. 

2011 සමුළුව 

විසිදෙවැනි රාජ්‍ය නායක සමුළුව වූ මෙය 2011 ඔක්තෝබර් 28 - 2011 ඔක්තෝබර් 28 අතර සමයේ බටහිර ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවරදී පවත්වනු ලැබිණි. එවකට එහි අගමැතිවරිය වූයේ ජුලියා ගිලාර්ඩ් ය. 

2013 සමුළුව 

විසිතුන්වැනි රාජ්‍ය නායක සමුළුව වන මෙය 2013 නොවැම්බර් 15 - 2013 නොවැම්බර් 17 අතර සමයේ ශ්‍රී ලංකාවේ කොළඹදී පවත්වනු ලබන අතර ශ්‍රී ලංකා රාජ්‍ය නායක ජනපති මහින්ද රාජපක්ෂ මෙහි මුලසනු හොබවනු ලබයි. වසර 40ක කාලයක් තුළ මුල්ව වරට දෙවැනි එලිසබෙත් රැජින මෙයට සහභාගී වන්නේ නැත. 87 හැවිරිදි වියෙහි පසුවන ඇයට වෛද්‍ය උපදෙස් මත විදෙස් සංචාරවලට සහභාගී නොවන්නැයි උපදෙස් ලැබී තිබේ. ඇය වෙනුවට චාර්ල්ස් කුමරු සහභාගී වනු ඇත. 


පොදු රාජ්‍ය මණ්ඩලය පිළිබඳ නොදත් කතා 

1. මේවන විට පොදු රාජ්‍ය මණ්ඩලයේ සම්පූර්ණ සාමාජික රටවල් සංඛ්‍යාව 54 කි. එය ලෝක ජනගහණයෙන් හතරෙන් පංගුවක් පමණ වේ. පොදු රාජ්‍ය මණ්ඩලයේ ආරම්භය සිදුවූයේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයෙනි. පොදු රාජ්‍ය මණ්ඩලයේ බොහෝ රටවල් ඉතිහාසයේ බ්‍රිතාන්‍යයේ යටත් විජිතයන් ලෙස පැවති ඒවාය. 

2. පොදු රාජ්‍ය මණ්ඩලයේ රටවල් 54ක් අතුරින් 16කම රැජින වන්නේ බ්‍රිතාන්‍ය මහ රැජිනය. නමත් මේ සියල්ල සම්පූර්ණයෙන්ම ස්වාධීන රාජ්‍යයන්ය. එක්සත් රාජධානය හැරුණු විට රැජින නියෝජනය කරනු ලබන්නේ  ඒ ඒ රටවල් අග්‍රාණ්ඩුකාරවරයා විසිනි. 

3. පොදු රාජ්‍ය මණ්ඩල දිනය යෙදී ඇත්තේ සෑම වසරකම මාර්තු මස දෙවැනි සඳුදා ය. එම දිනය තෝරාගෙන ඇත්තේ සියලු පොදු රාජ්‍ය මණ්ඩල රටවල පාසල් දරුවන් නිසැකවම පාසල් එන දිනයක් මේ සඳහා තෝරාගත යුතු බැවිනි. වෙනත් නිවාඩුවක් නොමැති නම් මේ දිනයේ පාසල් දරුවන් නිසැකවම පාසලට පැමිණෙන්නේය. 

4.  පොදු රාජ්‍ය මණ්ඩල දිනය බ්‍රිතාන්‍යයයේ ලන්ඩන් නුවර සැමරෙන්නේ සියලු ආගම්වල සහභාගිත්වයෙන් වන අතර රැජින මෙහි මූලිකස්ථානය ගනු ලබයි. ඇය සමඟ එහි මහ ලේකම් සහ ලන්ඩනයේ පොදු රාජ්‍ය මණ්ඩල මහකොමසාරිස්වරයා ද මෙයට සහභාගී වේ. 

5. පොදු රාජ්‍ය මණ්ඩලයේ රටවල සංවර්ධණ වැඩකටයුතු පිළිබඳ එහා මහ ලේකම්වරයාගෙන් හා මහලේකම් කාර්යාලයෙන් රැජින නිරතුරු තොරතුරු විමසනු ලබයි. මහ රැජින පොදු රාජ්‍ය මණ්ඩලයේ රටවල නායකයන් සමඟ එම වැඩකටයුතු පිළිබඳ නිරන්තර සාකච්ඡා ද පවත්වන්නීය. 

6. තම සංවිධානයට අදාළ පොදු ගැටලු පිළිබඳ සාකච්ඡා කිරීමට පොදු රාජ්‍ය මණ්ඩලයේ රටවල් 54 රාජ්‍ය නායකයෝ සෑම වසර දෙකකටම වරක් හමුවෙති. මෙය හඳුන්වනු ලබන්නේ ‛පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුව’ හෙවත් CHOGM (Commonwealth Heads of Government Meetings)  යනුවෙනි. මුල්ම පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුව පවත්වනු ලැබුවේ 1971 ජනවාරි මාසයේදී සිංගප්පූරුවේදීය. 

8. බ්‍රිතාන්‍ය මහරැජින විසින් සහභාගී වූ මුල්ම පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුවන පවත්වනු ලැබුයේ 1973 දී කැනඩාවේ ඔටාවා නුවරදීය. ඒ ඇය එරට කළ රාජකීය සංචාරයේ එක් අංගයක් වශයෙනි. ඉන් අනතුරුව පවත්වනු ලැබූ සෑම සමුළුවකටම ඇය සහභාගී වී තිබේ. 

9. පසුකාලයේදී ‛පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙළ’ ලෙස නම්කළ මුල්සමයේදී ‛බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය ක්‍රීඩා’ ලෙස හඳුන්වනු ලැබූ ක්‍රීඩා උත්සවය මුළින්ම පවත්වනු ලැබුයේ 1930 වසරේ අගෝස්තු මාසයේදී කැනඩාවේ ඔන්ටාරියෝ ප්‍රාන්තයේ හැමිල්ටන් නගරයේය. මෙය අවසන්වරට පවත්වනු ලැබුයේ 2010 ඉන්දියාවේ නවදිල්ලියේය. 

10. පොදු රාජ්‍ය මණ්ඩල සංචාරයන් සදහා පැමිණෙන රැජින සඳහා විවිධාකැරයේ තිළිණ ලැබේ. මේවා අතර ශිෂ්‍යත්වල සිට වෙනත් ආධාර, ගස්වැල්, පැළෑටි, ආහාර සහ සතුන් ද වේ. දැනට ලැබුණු තිළිණ අතර බිටිෂ් කොලොම්බියාවලින් ලද මූර්ති, ෆිජිවලන් ලද තල්මසකුගේ දතක්, අසාන්ති රාජ්‍යයෙන් ලද කැටයම් කරන ලද දැව ඔටුන්නක්, මැන්ඩෙලිගෙන් ලද සේද උතුරු සළුවක් ආදි ය වේ. 

No comments:

Post a Comment

මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න