පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Friday, November 29, 2013

ඔබේ දරුවා සහ පෙර පාසල - Your Child and Pre School

පෙර පාසල් යන ඔබේ දරුවා යන්නේ සැබෑ මොන්ටිසෝරියකට නොවේ


වර්තමානයේ දරුවකු පාසලකට ඇතුලත් කරගන්නවා හා සමාන වෙහෙසක් ළදරු පාසලකට ඇතුළත් කිරීමේදී ද යොදන්නට දෙමාපියන්ට සිදුව තිබේ. ඒවා දැන් ඒ  තරමටම වැදගත්ය. දැනට වසර ගණනාවකට පෙර, පෙර පාසල් හඳුන්වනු ලැබුයේ ‛මොන්ටිසෝරි’ යන නමිනි. නමුත් වර්තමානයේ මේවා හඳුන්වනු ලබන්නේ ‛මුල් ළමා විය සංවර්ධණ මධ්‍යස්ථාන’ නමිනි. ක්‍රමවත් ලෙස පවත්වාගෙන යන මෙවැනි මධ්‍යස්ථාන ඔස්සේ නවීන ළමා අධ්‍යාපන ක්‍රවේදයන්ට අනුව වයස අවුරුදු 5 ට අඩු දැරුවන් උදෙසා අධ්‍යපානය ලබාදීම සිදුකරයි. මෙවැනි ඇතැම් මධ්‍යස්ථානවල පාසලේ පළමු වසර තුළ උගන්වනු ලබන කරුණු ද උගන්වනු ලබන බැව් පෙනේ. නමුත් එය එසේ සිදු නොවිය යුතුය. මෙවැනි වයස් කාණ්ඩවල සිටිනා දරුවන් සඳහා පිළිගත් අධ්‍යාපන ක්‍රමයක් ද තිබේ. නමුත් වර්තමාන අධ්‍යාපන තරගයට හා මුදල් සෙවීම අරමුණු කරගත් මෙවැනි ඇතැම් ස්ථාන දෙමාපියන්ගෙන් ‛හොඳ නම’ අසාගැනීමට ඇති කැමැත්ත නිසා කුඩා දරුවන්ට දිය යුතු අධ්‍යපානය මගහැර, ඒ වෙනුවට තරගකාරී අධ්‍යාපනයට අවශ්‍ය මූලික අඩිතාලම දමන්නට උත්සාහ කරනු පෙනේ. නමුත් මෙවැනි පාසල් ලොවට හඳුන්වා දෙන්නට මූලිකත්වය  දුන් ‛මාරියෝ මොන්ටිසෝරි’ සඳහන් කරන්නේද මෙවැනි අධ්‍යාපන ක්‍රමයක් පිළිබඳව නම් නොවේ. 

මාරියෝ මොන්ටිසෝරි යනු කවරෙක්ද? 

මාරියා මොන්ටිසෝරි

ඔබ ද මොන්ටිසෝරි ගොස් ඇතිවාට සැක නැත. නමුත් මේ නම කෙසේ ඇතිවූවාදැයි ඔබ නිකමට හෝ නොසිතන්නට ඇත. මේ සියල්ලට මුල් වූයේ මාරියෝ මොන්ටිසෝරි නමැති කාන්තාවයි. වර්ෂ 1870 අගෝස්තු 31 වැනිදා උපන් ‛මාරියෝ ටෙක්ලා ආර්ටිමීසියා මොන්ටිසෝරි’ යනු ඉතාලි ජාතික වෛද්‍යවරියකි. ඇය ලොව පුරා අතිශය ජනප්‍රියත්වය පත් වූයේ තමා විසින් ලොවට හඳුන්වා දුන් ළදරු අධ්‍යාපන ක්‍රමය නිසාය. ‛මොන්ටිසෝරි’ නම් වූ එම නම අප රටේ දැනට භාවිතයට නොගැනුන ද ලෝකයේ වෙනත් රටවල තවමත් භාවිතයට ගැනෙන බැව් පෙනේ. 
ඇය මුළින්ම සිය ළදරු අධ්‍යපාන ක්‍රමය අත්හදා බලා තිබුණේ මානසික ආබාධවලින් යුක්ත දරුවන් සඳහාය. සිය ක්‍රමවේදයන්ට අනුව අධ්‍යාපනය ලබාදීමෙන් පසු එම දරුවන් ඉතා දක්ෂ ලෙස අධ්‍යාපන කටයුතුවල යෙදන්නට වූ නිසා වර්ෂ 1907 දී ඇය රෝම නගරයේ මුඩුක්කු කලාපයක් ආශ්‍රිත ළදරු පාසලක අධ්‍යක්ෂවරිය බවට පත්කෙරිණි. එහි අරමුණ වූයේ වීදි දරුවන් වීදිවලින් මුදාගෙනවුත් ඔවුනට යහපත් ජීවිතයක් ලබාදීමය. එහි වයස අවුරුදු 3 - 6 දක්වා දරුවෝ වූහ. ඇය තමා මානසික ආබාධවලින් යුක්ත දරුවන් වෙනුවෙන් යොදාගත් ක්‍රමවේදයම මෙහිදී යොදාගත් අතර එය සාර්ථක විය. ඇය මෙහිදී සිදු කළේ දරුවන්ට පොත්පත්වල ඇති දේ දරුවන්ට ඉගැන්වීම නොවේ. ඇය සෑම දරුවකුටම තමා කැමති වැඩකටයුතු නිදහසේ කරගෙන යන්නට ඉඩදීමය. ඇය දරුවන්ගේ ක්‍රියාකාරකම් දෙස දැඩි අවධානයෙන් යුක්තව සිටියාය. ඔවුන් සිය වැඩකටයුතු සඳහා යොදාගන්නේ කුමනාකාර ද්‍රව්‍ය දැයි සාවධානයෙන් බලා සිටියාය. ඉන්පසු දරුවන් යොදාගත් ඇතැම් ද්‍රව්‍ය ඔවුනගේ යහවර්ධණයට බාධා කරන බැව් දුටු ඇය ඒවා ඉවත්කොට යහවර්ධණයට ඉවහල්වන ද්‍රව්‍ය පමණක් දරුවන් අතට දුන්නාය. 

මාරියෝ මොන්ටිසෝරි අපේක්ෂා කළ අධ්‍යාපනය වූයේ දරුවකු මනුෂ්‍යත්වයෙන් යුක්ත පරිපුර්ණ වැඩිහිටියකු බවට පත්කරන්නට අවශ්‍ය ක්‍රමවේදයක් සැකසීමයි. එකල පැවති සාම්ප්‍රදායික අධ්‍යාපන ක්‍රමය මෙන්ම අද ඇතැම් මුල් ළමාවිය සංවර්ධණ මධ්‍යස්ථානවල ඇත්තේ යම්කිසි දැනුම් කොටසක් දරුවන් වෙත පෙවීමේ උත්සාහයකි. නමුත් මොන්ටිසෝරි ගේ ඉගැන්වීමේ ක්‍රමවේදයන්ට අනුව වැඩිහිටියකු බවට පත්වන දරුවා සමස්ථ සමාජයටම වැඩදායක පුරවැසියකු බවට පත්වන්නේය යන සහතිකය ඇය ලබාදුන්නාය. 

අනෙක අප බොහෝ දෙනෙකු සිතන්නේ මොන්ටිසෝරි අධ්‍යාපනය යනුවෙන් හඳුන්වනු ලබන්නේ දරුවා පාසලට ඇතුළත් කිරීමට වසරකට හෝ දෙකකට පෙර ඇතුළත් කළ යුතු ස්ථානයක්ය යනුවෙනි. පෙර පාසලකට දරුවකු ඇතුළත් කිරීමෙන් බලාපොරොත්තු වන්නේ පාසල් අධ්‍යාපනය සඳහා පෙහුරුවක් ලබාදීම වුවත් වර්තමානයේ එය වඩාත් වැදගත් වී ඇත්තේ පාසලකට දරුවකු ඇතුළත් කිරීමෙදී පෙර පාසල් සහතිකය ඉල්ලා සිටිනා නිසාවෙනි. නමුත් පෙර පාසල් අධ්‍යාපනයේ නියමු කාන්තාව වන මාරියෝ මොන්ටිසෝරි, පෙර පාසල පිළිබඳ දක්වන අදහස මේ සියල්ලටම වඩා වෙනස්ය. ඇයට අනුව මොන්ටිසෝරි අධ්‍යාපනය ආරම්භ වන්නේ දරුවාගේ සහජ දක්ෂතාවයන් මොනවාදැයි දෙමාපියන්ට අවබෝධවන අවස්ථාවේදීය. 

දරුවකුගෙ ජීවිතයේ මුල්ම අවස්ථාවේ පටන්ම ඔහුගේ/ඇයගේ මනසෙහි සහ සිතෙහි දැඩි නිර්මාණාත්මක ශක්තියක් පවතී. මොන්ටිසෝරි අධ්‍යාපනය ලබා දිය යුත්තේ දරුවාගේ මෙම හැකියාව ඔස්සේ ඔහු යහපත් ලෙස අනාගතයට යොමුකරවීම සඳහාය. දරුවා තමා අවට ඇති දෑ නිරීක්ෂණයෙන් ලබාගන්නා දැනුම සංස්කෘතියෙන් සංස්කෘතියට වෙනස්වන්නට පුළුවන. කෙසේ මුත් දරුවා තුළ ලෝකය පිළිබඳ අවබෝධයක් ඇතිවන්නේ මෙම නිරීක්ෂණයන් තුළිනි. එබැවින් මොන්ටිසෝරි අධ්‍යාපනය යනු දරුවා පෙර පාසලකට ඇතුළත් කිරීමෙන් ලබාදෙන අධ්‍යාපනයට වඩා වෙනස් දෙයක් බැව් ඔබට අවබෝධ වන්නට ඇත. දරුවා ඉපදීමෙන් පසු එළිමහනට රැගෙන ගොස් අවට ලෝකය පිළිබඳ අවබෝධය ලබාදීම ද මාරියෝ මොන්ටිසෝරි පවසන පරිදි මොන්ටිසෝරි අධ්‍යාපනයටම අයත් වේ. 

මොන්ටිසෝරි අධ්‍යාපනය තුළින් දරුවාගේ අධිෂ්ඨානය වර්ධණය කිරීමට ද හේතු වේ. යම් යම් සරල තීරණ ගැනීමට හැකියාව ලබාගැනීම තුළින් ඔහුගේ කැමති අකැමැති දේ පිළිබඳ අවබෝධයක් කුඩා කල සිටම ලබාගන්නට හැකියාව ලැබෙයි. එමෙන්ම ස්වයං හික්මීම, මානසික ඒකාග්‍රතාවය, ස්වාධීනබව, ප්‍රයෝජනවත් ක්‍රියාවන් සඳහා ඇති උනන්දුව වර්ධණය, දයාව, කරුණාව ආදිය ද කුඩා කල සිට දෙමාපිය රැකවරණයේදී ලැබෙන අධ්‍යාපනයෙන් හිමිකර දිය යුතුය. 

මේ සියල්ලෙන් පෙනෙන්නේ පෙර පාසල් අධ්‍යාපනය හෝ මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන හෝ මොන්ටිසෝරි හෝ වෙනයම් නමකින් හඳුන්වන අධ්‍යාපන ක්‍රමය යනු පාසලට ඇතුළත්වන්නට වසර දෙකකට පෙර ලබන අධ්‍යාපනය පමණක් නොවන බවය. එය දරුවා උපන් මොහොතේ සිට ඔහුගේ පෞරුෂ වර්ධණය සඳහා ලැබිය යුත්තකි. නමුත් වර්තමානයේ බොහෝ පෙර පාසල්වල සිදු නොවන්නේ ද මෙයම ය. එබැවින් දරුවාට නිසි පරිදි ‛මොන්ටිසෝරි’ අධ්‍යාපනයක් ලබාදීමේ වගකීම පැවරෙන්නේ අන්කිසිවකුට නොව දෙමාපියන් වන ඔබටමය. 


14 comments:

  1. ඇත්තෙන්ම ගොඩාක් වැදගත් ලිපියක්...මට ගොඩාක් ප්‍රයොජනවත්...

    ReplyDelete
    Replies
    1. මේ ලිපිය ඔබට ප්‍රයෝජනවත් වීම ගැන මට සතුටුයි.

      Delete
  2. ඇත්තෙන්ම ගොඩාක් වැදගත් ලිපියක්...මට ගොඩාක් ප්‍රයොජනවත්...

    ReplyDelete
    Replies
    1. මේ ලිපිය ඔබට ප්‍රයෝජනවත් වීම ගැන මට සතුටුයි.

      Delete
  3. ඉතා ප්‍රයෝජනවත් ලිපියක්.මුල් ළමාවිය ගැන තවත් වැදගත් ලිපි ඉදිරිපත් කරන්න.

    ReplyDelete
    Replies
    1. ඔබේ අදහස් දැක්වීමට ස්තූතියි.

      Delete
  4. ගොඩක් වැදගත්

    ReplyDelete
  5. Ma lipiya godak wadagath thawa thawa hoda dawala idirpath karanna

    ReplyDelete
    Replies
    1. ඔබේ අදහස්වලට ස්තුතියි

      Delete
  6. ගොඩක් වැදගත් ලිපියක්.තවත් ලියන්න.

    ReplyDelete
    Replies
    1. ඔබේ අදහස් දැක්වීමට ස්තූතියි

      Delete
  7. මේ ලිපිය හුඟක් වැදගත් වුණා මටත්. ස්තූතියි ඔබට. තව තවත් ඔබගේ අධ්‍යාපන දැනුම දියුණු වේවා.

    ReplyDelete
    Replies
    1. ඔබට ප්‍රයෝජනයක් වීම තමයි මට ඇති සතුට

      Delete

මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න