පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Thursday, November 7, 2013

සුදු වෑන් කතා සහ ලීනා මනිමේකලායි - White Van Stories and Leena Manimekalai


අප ලෝකයේ අන් රටවල් පිළිබඳ දක්වන උනන්දුවට වඩා වැඩි උනන්දුවක් ලෝකයේ අන් රටවලට අප පිළිබඳව දක්වන බව පෙනේ. ඒ උනන්දුව අප රටේ යහපැවැත්ම, සංවර්ධණය වැනි දේ සඳහා නම් එය අගය කළ යුත්තක් වේ. නමුත් එයින් අප රටට සිදුවන්නේ අනර්ථයක් නම් ඒ උනන්දුවෙන් පලක් නැත. වසර 30ක් පමණ පැවති ත්‍රස්තවාදී ගැටලුව නිමකිරීමෙන් පසු ලෝකයේ බොහෝ රටවල් උනන්දු වූයේ යුද්ධයෙන් දිනූ රටට උදව් කරන්නට නොව මානව හිමිකම් ඉදිරියට දමා ආර්ථික සම්බාධක සම්බාධක ඔස්සේ අපට පහර ගසන්නටය. ජාත්‍යන්තර මාධ්‍ය පවා මෙම ක්‍රියාදාමයට හවුල් විය. මහා බ්‍රිතාන්‍යයේ චැනල් 4 නාලිකාව වෙනුවෙන් නිපදවුණු අප රටට එරෙහි චිත්‍රපට පවා මේ සඳහා යොදා ගැනුණි. දකුණු ඉන්දීය ජනතාව අප රටේ දෙමළ ජනතාව පිළිබඳ ඇති අපූරු ආදරය නිසා ඔවුහු අපර ටට එරෙහිව විවිධ උද්ඝෝෂණය කරමින් ජාත්‍යන්තර මතය අවුස්සන්නට ක්‍රියා කළහ. මේ සියල්ලෙන් හැඟී යන කරුණ වන්නේ වසර 30 ක යුද්ධයෙන් බැට කෑවේ දෙමළ ජනතාව පමණක් බවය. මානව හිමිකම් කැඩුනේ ඔවුන්ගේ පමණක් බවය. සිංහල ජනතාව දකුණට වී සතුටින් ගී කියමින් සිටි බවය. කුමක් හෝ හේතුවකට දෙමළ ජනතාව අතරින් නැගී සිට ජාත්‍යන්තරයේ ඕනෑ එපාකම් ඉටුකරමින් සිටි ත්‍රස්තවාදී නායකයාගේ වැඩකටයුතු නිසා සිංහල ජනතාවගේ මානව හිමිකම් කැඩුණු අයුරු පිළිබඳ කතා කරන්නට ජත්‍යන්තරයේ  කිසිවකු ඉදිරිපත් නොවූ තරම්ය. මෑතකදී මෙම ප්‍රවණතාවයේ අලුත්ම ජවනිකාව එළැදැක්වී තිබේ. ඒ දකුණු ඉන්දියාවෙනි. 


දකුණු ඉන්දියාවේ වෙසෙන කිවිඳියක, සිනමාකාරිනියක, නිළියක හා කාන්තා ක්‍රියාකාරිනියක යැයි පැවසෙන ‛ලීනා මනිමේකලායි’ අප රටට එරෙහිව සිනමා පටයක් නිර්මාණය කොට තිබේ. ‛වයිට් වෑන් ස්ටෝරිස්’ (White Van Stories) හෙවත් ‛සුදු වෑන් කතා’ නම් වූ මෙය අප රටේ සිදුවූයේ යැයි පැවසෙන සුදු වෑන්වලින් මිනිසුන් පැහැරගෙන යාම් පදනම්කොටගෙන තනනු ලැබූවක් වේ. මෙයට පෙර ද ඇය ‛සෙන්දගල්’ (මළ මුහුද - The Dead Sea) නමින් චිත්‍රපටයක් නිර්මාණය කරමින් ශ්‍රී ලංකා නාවික හමුදාවේ අත්අඩංගුවට පත්වන දකුණු ඉන්දීය දෙමළ ජනතාවගේ ඉරණම පෙන්වන්නට උත්සාහයක නියැලුණාය. 
ඇය අනෙකුත් ක්‍රියාකාරකම් මගින් ද අප රටට එරෙහිව බොහෝ කටයුතුවල නිරතව සිටී. 

සැබැවින්ම මේ ලීනා මනිමේකලායි යනු කවරෙක්ද? 

තමිල්නාඩුවේ උපත ලබා ඇති ඇගේ උපන් දිනයක් පිළිබඳ අන්තර්ජාලයෙන් සොයාගන්නට නැත. පියා රගුපති නම් වූ මහාචාර්යවරයකු වන අතර ඇය කුඩා වියේදීම පියා මියගොස් තිබේ. කුඩා කල සිටම ඇය හදාවඩාගෙන ඇත්තේ සිය මව වූ රාමා විසිනි. උසස් අධ්‍යාපනය සඳහා කාම්රාජ් සරසවියට ඇතුළුවූ ඇය එහිදී ඉංජිනේරු විද්‍යාව පිළිබඳ උපාධියක් ලබාගෙන තිබේ. 

ඇය මේවන විට වාර්තා චිත්‍රපට 9ක් ද වෘතාන්ත චිත්‍රපට එකක්ද නිර්මාණය කොට ඇති අතර ඒවා බොහොමයකට සම්මාන ද හිමිව තිබේ. කාව්‍ය සංග්‍රහ තුනක් ද මේවන විට එළිදක්වා ඇත. ඇය වීදි නාට්‍ය ශිල්පිනියක ලෙසින් ද ඉන්දියාවේ ප්‍රකටව සිටින්නීය. ‛කනවුපත්තරයි’ නම් වූ සිය ප්‍රකාශන ආයතනය ඔස්සේ ඇය ලෝක සිනමාව හා සාහිත්‍ය පිළිබඳ පොත්  25ක් ප්‍රකාශයට පත්කොට තිබේ. ඇගේ  ‛ටුවරින් ටෝකිස්’ නම් රූපවාහිනි නිෂ්පාදන ආයතනය දකුණු ඉන්දියාවේ සෑහෙන නමක් දිනාගෙන තිබේ. ඇය ‛තිරායි’ නම් විකල්ප සිනමා සඟරාවක්ද ප්‍රකාශයට පත්කරයි. 

ඇයට සම්මාන ලබා දී ඇති සංවිධාන හා ආයතන පිළිබඳ සළකා බැලීමේදී පෙනී යන්නේ, ඒවා අතුරින් බොහොමයක් රාජ්‍ය නොවන සංවිධාන, ජනවාර්ගික අර්බුද පිළිබඳ සොයා බලන ආයතන, සුළු ජාතික අයිතිවාසිකම් ආරක්ෂාකිරීමේ සංවිධාන වැනි ඒවා වේ. අප රටේ සුළු ජාතිකයින්ට දැඩි ආදරයක් දක්වන යුරෝපයේ බොහෝ ආයතන ද ඇයගේ නිර්මාණ සඳහා සම්මාන ලබාදී තිබේ. 

‛ද හින්දු’ පුවත්පත ඇය හඳුන්වා දී තිබුණේ ‛සත්‍ය තරුණිය’ නමිනි. එයින් කියැවෙන්නේ ඇගේ සියලු නිර්මාණවලින් යථාර්ථය නිරූපණය වන බවය. මේ ‛සත්‍ය තරුණිය’ අප රටට එරෙහිව කළ ඇගේ නවතම නිර්මාණ වන ‛සුදු වෑන් කතාව’ මේ වන විට ඕස්ට්‍රේලියාව, යුරෝපය යන මහාද්වීපවල විකාශනය සඳහා දැනටමත් තෝරාගෙන තිබේ. චැනල් 4 ආයතනය ද මේ අතර සිටී. ඔවුනගේ අරමුණ අප රටේ ඉදිරියේදී පැවැත්වීමට නියමිත පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක හමුවට සමගාමීව මෙය විකාශනය කොට අප රට කෙරෙහි ජාත්‍යන්තරයෙන් දැඩි බලපෑමක් එල්ල කිරීමය. ශ්‍රී ලංකාව නැවතත් මානව හිමිකම් කඩකිරීමේ චෝදනාව දෙසට තල්ලු කරන්නට මෙය හේතුවක් වනු ඇතැයි පැවසේ. 

ඇය සාහිත්‍යවේදිනියක මුවාවෙන් මෑතකදී අප රටට පැමිණ උතුරේ බොහෝ ස්ථානවල සංචාරය කොට ඇති පැවසෙන අතර පැමිණ ඇත්තේ උතුරේ පැවැත්වෙන් සාහිත්‍ය උත්සවයකට සහභාගීවන බව පවසමිනි. මේ සඳහා සිංහල ජාතිකයකු ද උදව් උපකරාකොට ඇති බවවාර්තාවේ. ඇය එම උත්සවයට සහභාගී වූ බව ජාත්‍යන්තර පුවත්වල පළවූව ද, වෙනත් ආරංචි මාර්ගවලින් පැවසෙන්නේ ඇය එවැන්නකට සහභාගී වී නැති බවය.  මෙයට පෙර ‛සෙන්දගල්’ නමින් අප රටට එරෙහි චිත්‍රපටයක් නිර්මාණ කළ ඇය බුද්ධි අංශවලින් ද සැඟවී රටට ඇතුළු වී යළි ආරක්ෂිතව තමිල්නාඩුව බලා පිටව ගියේ කෙසේදැයි බොහෝ දෙනෙකු ප්‍රශ්න කරති. උතුරේ පවතින නව දේශපාලන වාතාවරණය මත ඉදිරියේදී මෙවැන් සිදුවීම් වැඩිවනු මිස අඩුනොවනු ඇත. ඇගේ නිර්මාණ ජාත්‍යන්තර මට්ටමින් උසස් තත්වයක පවතිනවා වන්නට පුළුවන. අප රටේ නිර්මාණය කෙරෙන ඇතැම් සිනමා නිර්මාණවලට ජාත්‍යන්තර සම්මාන ලබාදෙන්නේ ඒවායේ කතා සාරයේ ඇති උසස් තත්වය නිසාම පමණක් නොවේ, ඒවා අප රටේ සභ්‍යත්වයට, සදාචාරයට හානි ගෙන දෙන දර්ශන පෙන්වන බැවිනි. ‛සුදු වෑන් කතා’ චිත්‍රපටයද එසේමය. එය ජාත්‍යන්තරයට අවංක ප්‍රකාශනයක් වන්නට පුළුවන. සුදු වෑන්වලින් පැමිණ මිනිසුන් පැහැරගෙන ගොස් මරාදැමීම අනුමත කළ නොහැක. ඇය පවසන්නේ මෙම චිත්‍රපටයෙන් අප රටේ සිංහල, දෙමළ, මුස්ලිම් ඇතුළු සියලු දෙනා මෙසේ පැහැරගෙන යාම් සිය නිර්මාණයෙන් පෙන්නුම්කරන බවය. නමුත් අවසානයේ ඇය සිය නිර්මාණවලින් පවසන්නේ සියලු අසාධරණය සිදුව ඇත්තේ දෙමළ ජාතිකයන්ට බවය. ඇය වරෙක පවසා තිබුණේ දෙමළ ජනතාවට ශ්‍රී ලංාකවෙන් කොටසක් සිය නිජබිම වශයෙන් වෙන්කරගන්නට අවස්ථාවක් නොලැබී ඇති බවය. නමුත් දෙමළ ජනතාවට මෙතරම් ආදරය කරන ඇය තමිල්නාඩුවේ දෙමළ ඊළමක් බිහිකරගත යුතු යැයි සිය නිර්මාණවලින් පවසන්නේ නැත. අප රටට වඩා අනේක ගැටලුවලින් දුක් විඳින ජනතාවක් තමිල්නාඩුවේ ඇතත්, ඇය ඒ ගැටලු ලෝකයාට පවසන්නට නිර්මාණ කරන්නේ නැත. ඉන්දියාවේ බොහොමයකට තවමත් වැසිකිලි පහසුකම් නැත. ඔවුන් ඒ සදහා තෝරාගෙන ඇත්තේ දුම්රිය මාර්ගයන්ය. බොහෝ දෙනා මුඩුක්කුවල දිවිගෙවති. ගණිකා ව්‍යාපාරය එහි තදින්ම තිබේ. නමුත් ඇයට සිය නිර්මාණ සඳහා තමන්ගේ රටේ පවතින මෙවැනි අනෙක් ගැටලු පෙනී නැත. තමන්ගේ තුවාලය පාර ගන්නවාට වඩා අනුන්ගේ තුවාලය පෑරීමේ න්‍යාය ඇය මෙහිදී අනුගමනය කොට තිබේ. 

කෙසේ හෝ ලෝකයා ඇය පවසන ‛සුදු වෑන් කතාව’ නරඹනු ඇත. අප රටට එරෙහිව ඉන්පසු හඬ නගනු ඇත. එක් ජනකොටසකගේ අයිතිවාසිකම් ලෝකයාට පෙන්වන්නට යාමෙන් තවත් බොහෝ දෙනෙකුගේ අයිතිවාසිකම් අහිමිවන බව ඇගේ නිර්මාණශීලී මනසට පෙනෙන්නේ නැත. මේ සියල්ලටම ගැටලුව එයයි

No comments:

Post a Comment

මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න