පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Friday, November 29, 2013

කුඩා කාමරයක පෙනුම විශාල කරගන්නේ කොහොමද? - How to make bigger look to a small room or house?

අද තරම් ඉඩකඩම් මිල අධික නොවූ අතීතයේ නිවෙසක් ගොඩනගන විට එය සැළකිය යුතු තරම් විශාල ලෙස ගොඩනගන්නට බොහෝ දෙනෙකු උත්සාහගත් බැව් පෙනේ. සාලය, ඉස්තෝප්පුව, කෑම කාමරය හා නිදන කාමර සෑහෙන ඉඩපහසුකම්වලින් සමන්විතවන සේ ගොඩනගනු ලැබිණි. නමුත් වර්තමානය වන විට ඉඩකඩම් මිල අධික බැවින් බොහෝ දෙනෙකුට මිලදී ගැනීමට සිදුව ඇත්තේ කුඩා ඉඩමක් පමණි. ඒ කුඩා ඉඩමෙහි පවා නිවසක් ගොඩනගාගන්නේ ද මහත් දුෂ්කර කටයුත්තක නියැළෙමිනි. එබැවින් අතීතයේ මෙන් සැළකිය යුතු තරම් විශාල ලෙස ඉදිකිරීම් කරන්නට බොහෝ දෙනෙකුට හැකියාවක් නැත. මෙසේ ගොඩ නගාගත් නිවසට හිතවතකු හෝ වෙනත් අමුත්තකු හෝ පැමිණි විට, “අයියෝ මේ කාමර එහෙම හරි පොඩියි නේද? හැරෙන්නවත් ඉඩක් නැහැනේ” වැනි දෙයක් පැවසුවහොත් එය නිසැක ලෙසම ඔබගේ සිත්තැවුලට හේතුවක් වනු ඇත. නමුත් ඔබට වැටහෙන පරිදි ඔබගේ නිවස සැළසුම් කරන්නට ඇත්තේ හැකි උපරිම ආකාරයෙන් දැකුම්කලු නිවසක් හිමිවන පරිදි වන්නට පුළුවන. කෙසේ මුත් ඔබ මෙවැනි ගැටලු පිළිබඳ සිතමින් කල්ගත කළ යුතු වන්නේ නැත. නිවෙස්වල අභ්‍යන්තරව සිදුකෙරෙනා යම් යම් සැළසුම් මගින් ඔබට මෙම ගැටලුවෙන් මිදෙන්නට පුළුවන. අද අප කතා කරන්නට සැරසෙන්නේ ද ඒ පිළිබඳවය. 
මේ සඳහා යොදාගැනෙන්නේ ‛අභ්‍යන්තර සැළසුම්’ (Interior Design)  යනුවෙන් හැඳින්වෙන ශිල්පීය ක්‍රමයයි. ඔබට මෙහි සඳහන් පියවර ඔබගේ දැනුම ද උපයෝගී කොටගෙන අනුගමනය කළහොත් වඩාත් යහපත් ප්‍රතිඵල අත්කරගන්නට හැකිවනු නොඅනුමානය. සැබවින්ම මෙහිදී කෙරෙන්නේ ඇස රැවටීමකට ලක්වන සේ සියලු දේ පිළියෙල කිරීමය. එවිට සැබවින්ම පවතින ඉඩකඩට වඩා වැඩි ප්‍රමාණයක් අප ඉදිරියේ ඇතැයි සිතේ. වර්ණ ගැළපුම, ගෘහභාණ්ඩ සැළසුම, ආලෝකය මේ අතර විශේෂ තැනක් ගනී. 

1. ළා වර්ණය හා නිවැරදි වර්ණ සංකලනය 


කුඩා ඉඩක් විශාල කර දැක්වීම සදහා භාවිත කළ හැකි හොඳම වර්ණයන් වන්නේ ක්‍රීම් හා අයිස් නිල් පැහැයයි. තද වර්ණයන්ට වඩා ළා වර්ණයන් භාවිතයෙන් ඕනෑම කුඩා ඉඩක් විශාල කොට දැක්විය හැකිය. බිත්තවල ළා පැහැය ආලේප කිරීමෙන් එයින් පරාවර්තනය වන ආලෝකය වැඩිය. ස්වභාවික ආලෝකය මෙසේ පතිතවන්නට සැළසීමෙන් කාමරය සෑහෙන ඉඩපහසුකම් ඇති තැනක් ලෙස පෙන්නුම් කරයි. තද පැහැය භාවිතය මගින් සිදුවන්නේ අලෝකය උරා ගැනීමය. එවිට කාමරය කුඩා ලෙස දිස්වේ. වඩාත් යහපත් ප්‍රතිඵල සඳහා නිල් සහ කොළ වර්ණයන්ගේ ළා සහ මෘදු නිෂාපාදනයන් භාවිත කරන්න. දීප්තිමත් කුටි වඩාත් විශාල ලෙස දිස්වන අතර ඇසට ද ප්‍රිය උපදවයි. ඔබගේ කුටියෙහි බිත්තවලින් ඉල්පී ඇති කොටස් ඇත්නම් ඒවා බිත්තවලට ද වඩා ළා පැහැ වර්ණයකින් පින්තාරු කරන්න. එවිට කුටායෙහි බිත්ති වඩාත් පසුපසින් පිහිටා ඇති බවක් දිස් වේ. එවිට එහි විශාල පෙනුම තවත් වර්ධණය වේ. 

2. ස්වභාවික ආලෝකය 


ස්වභාවික ආලෝකය කාමරයක් තුළට පතිත වන්නට සැළැස්වීමෙන් එහි පෙනුම කෙතරම් විශාලව පෙනේදැයි ඔබටම අවබෝධ කරගන්නට හැකිය. ඔබගේ කුටියට ස්වභාවික ආලෝකය ලබාගන්නට ඇති හැකියාව අඩු නම් ඒ වෙනුවට නිර්මාණශීලී ආලෝක ක්‍රම භාවිත කරන්නට පුළුවන. මෙවැනි කුඩා දෙයකින් වුවත් කෙතරම් දැවැන්ත ප්‍රතිපළයක් ගත හැකි දැයි ඔබ විශ්මයට පත්වනු නිසැකය. ඔබගේ කුටියෙහි ඇත්තේ කුඩා කවුළු නම් ඒවා වෙනුවට තරමක් විශාල ඒවා යොදන්න. එසේ කිරීමෙන් පෙරට වඩා ස්වභාවික ආලෝකය කුටිය තුළට පතිත වනු ඇත. එවිට කුටිය පෙරට වඩා එළිමහන සමඟ සම්බන්ධ වේ. එමෙන්ම කවුළුවලට දමා ඇති තිර රෙදි හැකිතාක් දෙපසට කොට ආලෝකය හැකි තරම් කුටිය තුළට පතිතවීමට සළස්වන්න. කවුළුවෙන් පෙනෙන දර්ශනය එතරම් දැකුම්කළ නැතිනම් කවුළුව අසළ මල් බඳුන්, පෝච්චිවල සිටුවන ලද පැළෑටි වැනි දෑ පෙනෙන සේ තබන්න. පහන් කණුවක් එළිමහනෙහි සවිකිරීමෙන් වඩාත් හොඳ ප්‍රතිපළ ලබාගන්නට පුළුවන. 

3. සංවිධිතබව 


කුඩා ඉඩක් ඇති ස්ථානයක් අපිළිවෙලට තිබීමෙන් ඉඩකඩ මද බවක් දිස්වේ. අනවශ්‍ය සියලු දෑ නොපෙනෙන සේ තබා, අවශ්‍ය දෑ ඉතාමත් පිළිවෙළකට තබාගන්න. එවිට ඉඩ මදබව දිස්වන්නේ නැත. ඔබගේ කුටියේ බිත්තිවල බොහෝ පින්තූර එල්ලීමෙන් වළකින්න. කුඩා පින්තූර කිහිපයකට වඩා එක් විශාල පිංතූරයක් වැඩි මෙහෙයක්ඉටු කරනු ඇත. එය තෙල් හෝ දියසායම් සිතුවමක් නම් වඩාත් සුදුසු වේ. පින්තූර බොහෝ තිබීමෙන් එතුළට පැමිණෙන පුද්ගලයාගේ අවධානය ඔබමොබ දිව යයි. එවිට ඒ තැනැත්තාගේ සිතේ සන්සුන්බව බිඳී යාමෙන් ඔබේ කුටිය තුළ කලබලකාරීබව ඇති තැනකැයි හැඟෙන්නට පුළුවන. කුඩා කුටියක් අලංකාර කිරීම්දී යම්කිසි එක් ස්ථානයක් පමණක් කේන්ද්‍රවන සේ සියල්ල පිළියෙල කරන්න. එවිට ඕනෑම අයෙකුගේ නෙත ඇදෙන්නේ එම ස්ථානයට පමණි. කෑම කාමරයක් නම් කේන්ද්‍රගත ස්ථානය විය යුත්තේ කෑම මේසයයි. නිදන කාමරයක් නම් යහන යි. එම කුටියෙහි අනෙකුත් සියලු දේ සකස්කළ යුත්තේ එම කේන්ද්‍රගත ස්ථානයෙන් අවධානය ඉවතට නොයන පරිදිය. බිම හැකිතාක් හිස්ව තබන්න. ඉඩකඩ වැඩිපුර ඇතිබව පෙන්වීමට මෙය අත්‍යවශයම දෙයකි. 

4. කැඩපත් තැබීම 


ඔබගේ කුටියේ නිවැරදි ආකාරයට කැඩපත් තැබීමෙන් ද එහි ඉඩකඩ වැඩි පෙනුමක් ඇතිකළ හැකිය. එමගින් ඇති කෙරෙන්නේ දෘෂ්‍ය මායාවක් වැනි දෙයක් වුවද එය ඔබගේ අරමුණ ඉටුකරදෙයි. එමෙන්ම කැඩපත් මගින් ස්වභාවික මෙන්ම කෘත්‍රීම ආලෝකය පරාවර්තනය වීම ද සිදුවේ. ඒවා මගින් කුටියේ සියලු අත ආලෝකය පතුරුවා හරින බැවින් එහි ඉඩකඩ වැඩි බව වඩාත් හොඳින් දිස් වේ. කුටියෙන් එළිමහනේ ඇති දෑ පරාවර්තනය කොට පෙන්වීම සඳහා කැඩපතක් තැබීම ද ප්‍රතිඵලදායක වේ. 

5. සිත් ඇදගන්නා සුළු ලෙස ගෘහ භාණ්ඩ පිළියෙලකරීම 


ගෘහභාණ්ඩ සඳහා වැඩි ඉඩකඩක් වෙන්වෙයි. එය මගහැරගැනීම සඳහා මෙම පියවර අනුගමනය කල හැකිය. 
- කාර්යයන් කිහිපයක් කරගතහැකි ආකාරයේ ගෘහභාණ්ඩ භාවිත කරන්න. එමෙන්ම හැකිළිය හැකි ගෘහභාණ්ඩ ද ප්‍රයෝජනවත් වේ. 
-විශාල ගෘහභාණ්ඩ ඇත්නම් ඒවා බිත්තිය අද්දරටම වන සේ තබන්න. එවිට ඉඩකඩ ඉතිරිවෙයි. ඒවා කුටිය මැදින් තැබීමෙන් ඉඩකඩ ඇහිරී යයි. 
- කුටියට ගැළපෙන ප්‍රමාණයේ ගෘහභාණ්ඩ පමණක් මිලට ගන්න. අනවශ්‍ය තරම් විශාල වූ විට සිදුවන්නේ කුටියෙහි ඉඩ ඇහිරී යාමයි. එමෙන්ම බිත්ති හා ගෘහභාණ්ඩ එකම පැහැයෙන් යුක්තවීමද වැදගත්ය. එවිට ගෘහභාණ්ඩ වෙනුවෙන් වෙන්වී ඇති ඉඩ එතරම් පෙනෙන්නේ නැත. 
- ගාහභාණ්ඩ උසින් වැඩි නම් ඒවායේ මුදුන සහ සීලිම අතර ඉඩකඩ අඩුවෙන් පෙනෙන්නට පුළුවන. එවිට ඉඩකඩ ඇහිරී ඇති පෙනුමක් දිස්වන්නට ඉඩතිබේ. ඒ පිළිබඳව සැළකිලිමත් විය යුතුය. 



No comments:

Post a Comment

මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න