පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Wednesday, November 20, 2013

CHOGM 2013 තේමා ගීතයේ කතාව - Story of the theme song of CHOGM 2013


මහා කරුණා උතුරනා 
ගල් කුළෙන් මෙත් වැගිරෙනා 
ලොවක් හමුවෙයි අපේ ලක් දේසේ 
සත්කාරයට නම් දැරූ 
ඇතුන්ටත් පාවඩ එලු 
දේශයයි මේ මහා සත්කාරේ 

මහා කරුණා සිනා ගඟුලෙන් 
පොදක් බොනු මැනවී 
සේද මාවතෙ මුතු ඇටය වෙත 
ඔබත් එනු මැනවී // 

ගව් දහස් දුර සොයා මෙහි ඇදෙනා 
සියොතුනුත් මේ දැයේ සුව දනිතී 
අසා සිටියොත් උන්ගෙ ගී නාදේ 
දේශයම කෙම්බිමක් බව ගයතී 

රැයේ ඉඳිකටු පානේ ගෙතවෙන්නේ 
අපේ හදෙහී සොඳුරු ගෙත්තම වේ 
දෝතියයි පිරුවටෙයි පත්කඩයයි 
එකම හුයකින් වියූ බව දැනවේ 

මහා කරුණා සිනා ගඟුලෙන් 
පොදක් බොනු මැනවී 
සේද මාවතෙ මුතු ඇටය වෙත 
ඔබත් එනු මැනවී // 

(දෙමළ බසින් ගැයෙන කොටස) 

මහවේද මහ නැව් තොටත් සැදිලා 
ගම්දොරත් මහ පුරවරත් නැගිලා 
කවි ගීත මහ වන්නම් ද බැඳිලා 
පෙර මගට මල් පියවිලිත් ඉසිලා 

මහා කරුණා සිනා ගඟුලෙන් 
පොදක් බොනු මැනවී 
සේද මාවතෙ මුතු ඇටය වෙත 
ඔබත් එනු මැනවී // 

ලොවක් හමුවේ අපේ ලක් දේසේ . . . 


මේ ගීතය කුමක් අරඹයා ලියැවුණක්දැයි විස්තර කිරීමෙහි අර්ථයක් නැති තරමටම මෙය ජනහද පතුලේ සනිටුහන් වී හමාරය. මේ දිනවල අප රටේ ජනප්‍රියතම ගීත අතරට එක්වරම පැමිණි මේ 2013 වසරේ අප රටෙහි පැවැත්වුණු පොදු රාජ්‍ය මණ්ඩල නායක හමුව හෙවත් අප කවුරුත් හොඳින් දන්නා පරිදි CHOGM වෙනුවෙන් නිර්මාණය වුණු තේමා ගීතයයි. මෙහි පදවැල ඔස්සේ සිත සැරිසරද්දී හැඟෙනුයේ මිනිත්තු කිහිපයක් තුළ අප රට වටා පියඹා ගියා වැනි හැඟීමකි. අප රට, අප ජනතාව,  සංස්කෘතිය පිළිබඳ සෞන්දර්යාත්මක කැටිකොට දැක්වීමක් මේ ගීතය මුළුල්ලේ ගැබ් වී තිබේ. අපට අප ගැන අභිමානයක් හැඟෙන පරිදි ලියැවුණු මේ ගීතයේ නිර්මාණ ශිල්පියා ජනපති මාධ්‍ය අධ්‍යක්ෂ, ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදී මහින්ද ඉලේපෙරුම මහතාය. 

ගේය පද රචක මහින්ද ඉලේපෙරුම

අනාදිමත් කාලයක් තිස්සේ අප රට ප්‍රකටව පැවතියේ ආගන්තුක සත්කාරයකට. අමුත්තකු හමුවන විට පවා අප පුරුදුව සිටියේ සිනාමුසු මහුණින් යුක්තව, දෑත් එක්කොට ඔහුට ‛ආයුබෝවන්’ යැයි පවසා දීර්ඝායුෂ පැතීමය. අපගේ ආගන්තුක සත්කාරය එතරමටම උසස්ය. මේ ගීතය ඔස්සේ දිවයන්නේ අපගේ ඒ උතුම් සිරිතයි. මහින්ද ඉලේපෙරුම නම් වූ මේ ගේය පදරචකයා අපගේ ඒ ආගන්තුක සත්කාරයේ උසස් බව කෙතරම්දැයි දක්වන්නට යොදා ඇත්තේ ‛ඇතුන්ටත් පාවඩ එලූ’ නම් අපූරු යෙදුමකි. ධාතුන් වහන්සේ පිටෙහි බැඳගත් පසු හස්ති රාජයකු පාවඩ නොමැතිව සිය පය බිම නොතබන බැව් අපි අසා ඇත්තෙමු. තිරිසන් සතකු වුව ද හස්තියකුට ධාතූන් වහන්සේ වඩමවා යන්නට පාවඩ එළන්නට තරම් සිංහලයා ආගන්තුක සත්කාරයට ලැදි පිරිසකි. 

ගේය පද රචකයා අප රටෙහි ආගන්තුක සත්කාරය කෙතරම්දැයි දක්වන්නට  ලොව වටා විවිධ දේශයන්ගෙන් අප රටට ඇදී එන සංචාරක පක්ෂීන් පිළිබඳව ද සඳහන් කරයි. අන් බොහෝ රටවල මෙන් අප රටෙහි විනෝදයට පක්ෂීන් දඩයම් කරන්නන් සුලභ නැත. අප රටට ඔවුන්ව ද සාදරයෙන් පිළිගනී. එබැවින් පක්ෂීන්ට අප රටම කෙම්බිමකි. පක්ෂීන් ගයමින් පවසන්නේ ඒ පණිවිඩයයි. 

සිනහවෙන් පිරුණු මේ ආගන්තුක සත්කාරය බිඳක් විඳගන්නට ගේය පද රචකයා ලොවටම ඇරයුම් කරයි. දශක තුනක් තිස්සේ පැවති ත්‍රස්තවාදයෙන් මිදුණු අප රට ජනතාව දැන් සාමයේ සුව විඳිති. ඒ සුවය විඳගන්නට ඉඩදෙන්නැයි ඔහු ලෝකයාගෙන් ඉල්ලයි. 

පොදු රාජ්‍ය මණ්ඩලීය සමුළුවේ මාධ්‍ය හා ප්‍රචාරක අනු කමිටුවේ සභාපති, ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍යංශ ලේකම් චරිත හේරත් මහතාගේ ඉල්ලීමකට අනුව මහින්ද ඉලේපෙරුමයන් මෙම ගීතය රචනා කොට තිබේ. සිතෙහි දේශාභිමානී හැඟීම් ඔපවත්වන අයුරුන් තනුව හා සංගීතය රචනා කොට ඇත්තේ රුවන් වල්පොලයන් ය. 

දෙමළ ජනතාව නියෝජනය කරමින් මෙයට දෙමළ බසින් ද කොටසක් එක්කොට තිබීම සුවිශේෂීය. අමරසිරි පීරිස්, සමිතා එරන්දතී මුදුන්කොටුව ඇතුළු ගායක ගායිකාවන් බොහෝ දෙනෙක් ගායනයෙන් දායක වී තිබේ. 

ගීතයේ අරුත වඩාත් තීව්‍ර කරන්නට සමත් මෙහි රූප රචනය ද විශිෂ්ඨය. මෙය අන්තර්ජාලයේ යූටියුබ් වීඩියෝ අඩවියෙහි ඉහළ ප්‍රතිචාර මධ්‍යයේ දිනෙන් දින ජනප්‍රියත්වයට පත්වෙමින් පවතී. අප රටේ ආගන්තුක සත්කාරයෙන් පිරිපුන් අභිමානනීය බව අනාගත දරු පරපුරට උරුමකර දෙන්නට තරම් මෙහි පදරචනය ප්‍රබලය. 
මේ අපූර්ව ගීතය පොදු රාජ්‍ය මණ්ඩල නායක හමුවෙන් ඔබ්බට අකාලික වටිනාකමකින් යුක්ත ගීතයක් වන බවට සළකුණු මේ වනවිට පහළවී තිබේ. 



CHOGM තේමා ගීතය නරඹන්න

No comments:

Post a Comment

මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න