පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Thursday, November 21, 2013

ඔටුන්න හිමි බිළිඳු ජෝර්ජ් කුමරු වෙනුවෙන් සැදුණු බෝනික්කෝ - Dolls made similar to Prince George



බ්‍රිතාන්‍යයේ විලියම් හා කේට් කුමරියගේ පුතු, අනාගතයේ මහා බ්‍රිතාන්‍යයේ කිරුළ හිමිවන බිළිඳු ජෝර්ජ් ඇලෙක්සැන්ඩර් ලුවී කුමරු යනු වර්තමානයේ ලෝකයේ අතිශය ජනාදරයට පත්ව ඇති චරිතයකි. මෑත කාලයේ ලෝකයේ වැඩිපුරම කතාබහට ලක්වූ බිළිඳා වන්නට ඇත්තේ ද ජෝර්ජ් කුමරුමය. විශේෂයෙන් බ්‍රිතාන්‍ය වැසියන් මෙම බිළිඳු කුමරා කෙරෙහි දක්වන්නේ අසීමිත ආදරයකි. බොහෝ දෙනා පවසන පරිදි ඔවුනට මේ බිළිඳු කුමරා සිය දෑතින් තුරුළට ගන්නට තරම් ඕනෑකමක් තිබේ. නමුත් එය ඔවුනට සිහිනයක් පමණි. 




කෙසේ වුවද බ්‍රිතාන්‍ය වැසියන්ගේ මෙම උන්මාදය තෙරුම් ගත් ‛සාෆ් ක්‍රියේෂන්ස්’ (Zapf Creation) නම් ජර්මානු කෙළිබඩු නිෂ්පාදන සමාගමක කදිම නිර්මාණයක් වෙළෙඳපළට ඉදිරිපත්කොට තිබේ. ඒ ජෝර්ජ් කුමරාගේ ජීවමාන ප්‍රමාණයේ වූ අපූරු බෝනික්කෙකි. එහි නම ද ‛ජෝර්ජ්’ මය. බිළඳු ඇඳුමෙහි My  name is baby George  (මගේ නම ජෝර්ජ් බබා) යනුවෙන් මසා තිබෙන අතර බ්‍රිතාන්‍ය ධජය ද දක්නට ලැබේ. බෝනික්කා සමඟ කිරි බෝතලයක් ද හිමිවේ. සෑම අතින්ම සැබෑ ජෝර්ජ් කුමරු නිරූපණය වුව ද මෙම සමාගම පවසන්නේ  මෙම නිෂ්පාදනය සඳහා ඔහුගේ ආභාෂයක් නොගත් බවය. ඔහු පවසන්නේ මෙවැනි බෝනික්කන් මාළාවක් තම සමාගම මගින් නිෂ්පාදනය කොට ඇති අතර එය ‛බේබි ඇනාබෙල්’ නම් බෝනික්කාගේ සහෝදරයකු ලෙස පමණක් ඉදිරිපත් කළ බවය. මෙය බ්‍රිතාන්‍ය පවුම් 47.99 ක් වන අතර එය ශ්‍රී ලංකා මුදලින් රුපියල් 10,068.55 කි. කෙසේ මුත් මෙයින් පෙනෙන්නේ මේ දිනවල ජෝර්ජ් යන නම යුරෝපයේ අතිශය ජනප්‍රියත්වයකට පත්ව ඇති බැවින් එම සමාගම මෙයින් ප්‍රයෝජන ගන්නට ඇති බවකි. මෙම බෝනික්කා නව තාක්ෂණය සහිතව නිර්මාණය කොට ඇති අතර ඔහු හඬන්නේ නම් නැළිවිලි ගීයක් ගැයීමෙන් හැඬීම නවතාලිය හැකිය. නැළවිළි ගීයක් ගයන විට සැබෑ දරුවකු සේම විවිධ හඬ නගන අතර මුහුණේ ඉරියව් ද ඒ අනුව වෙනස් වේ. කෙසේ මුත් රාජකීය පවුල කිසිඳු වෙළෙඳ කටයුත්තකට සම්බන්ධ කරගැනීමට නීතිමය අවසරයක් නැති බව චැම්බ්රලේන් සාමිවරයාගේ කාර්යාලයේ ආරංචි මාර්ග පවසයි. රාජකීය පවුගේ සියලුම කටයුතු සංවිධානය කරනු ලබන්නේ මම කාර්යාලයෙනි. ඇතැම් විට ඉදිරියේදී මෙම බොනික්කා සම්බන්ධව නීතිමය පියවරක් ගැනෙන්නට ඉඩ ඇති බව පැවසේ. 




මීට අමතරව ජෝර්ජ් කුමරු වෙනුවෙන්ම නිර්මාණය කරන ලද පෝසිලේන් බෝනික්කකු පිළිබඳ පුවතක් ඇමරිකාවෙන් අසන්නට ලැබේ. ඇමරිකාවේ ඉලිනොයිස් ජනපදයේ පිහිටි ‛ඇෂ්ටන් ඩ්‍රේක්-ගැලරීස්’ (Ashton-Drake Galleries) සමාගම වෙනුවෙන් ඉතාලි ජාතික සම්මානලාභී මූර්ති ශිල්පිනියක වන ‛ෆියොරෙන්සා බියැන්කෙරි’ විසින් නිර්මාණය කරන ලද මෙය අඟල් 20ක් දිගය. ජෝර්ජ් කුමරුගේ ජීවමාන ප්‍රමාණයට ආසන්නය. බිළිඳු කුමරු බෞතීස්මය සඳහා ඇඳ සිටි ඇඳුම සැබෑ සැටින් රෙද්දකින් මසා අන්දවා ඇති අතර ඉතා සියුම් ලෙස එහි සියලු ලක්ෂණ මෙහි නිරූපණය කොට තිබේ. සියල්ල අතින්ම සිතුවම් කොට ඇත. ජෝර්ජ් කුමරුගේ සෑම ලක්ෂණයක්ම දක්නට ලැබීම සුවිශේෂීය. බෝනික්කා වෙනුවෙන් ඇති මෘදු කොට්ටයේ ඔහුගේ නම හා උපන් දිනය ද සඳහන් කොට තිබේ. ඇමරිකන් ඩෝලර් 149.99 ක් වන මෙය ශ්‍රී ලංකා මුදලින් රුපියල් 19,666.69ක් වේ. කෙසේ මුත් මේ පිළිබඳව මෙතෙක් චැම්බර්ලේන් කාර්යාලය පළ කළ අදහසක් පිළිබඳව අසන්නට නැත. 

No comments:

Post a Comment

මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න