පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Tuesday, December 3, 2013

කාව්‍යමය පරිකල්පයන් මවන සිත්තරා - පරම්ජිත් සිං - Paramjit Singh - Contemporary Indian Art


ගර්හි ගේට් හි මුදුනෙහි වූ සිය සිතුවම් හළ දෙසට විහිදුණු දළ සෙල් පියපියගැට පෙළ ඔස්සේ පරම්ජිත් සිං පිය මනින්නට වූයේය. “මම නිර්මාණය කළ පතිත පත් (Fallen Leaf)  සිතුවම් මාළාවට අදහස ආවේ මෙයින් තමයි.” ඔහු පවසයි. ඒ වනවිටත් ඔහු එතැන පසුකොට යමින් සිටියේය. රන්පැහැ කොහොඹ කොළ පතිත වුණු බුමුතුරණක් දමන ලද දහනවවැනි සියවසට පමණ අයත් පුළුල් සඳළුතලයකට අපි පා තැබුවෙමු. ඔහුගේ සිතුවම් හළට යායුත්තේ එතැනිනි. සොබා දහමේ අතිශය සරල අංගයන් කාව්‍යමය කාල්පනිකයන් බවට පරිවර්තනය කරන්නට පරම්ජිත් සතු අපූර්ව හැකියාව, ඔහු තුළ ඇතිවන්නා වූ සාරවත් පරිකල්පනයන් පිළිබඳ හැඟීමක් එක සැනින් ඔබ තුළ පහළවන්නේ ය. 

උපැස් පැළඳි, ලා පැහැ දෙනෙතක් හිමි, තරමක් ස්ථුල පරම්ජිත් වූ කලී හුදෙක් අලංකාර සිතුවම්වල පමණක් සිරවූවෙක් නොවේ. පසුගිය දශක දෙක පුරා ඔහු ඇඳි සිතුවම්වලින් නිරූපණය වූයේ මනහර වර්ණයෙන් යුක්ත සාරවත් භූමි දර්ශන, තණපත් පිස හමන සුළඟේ ඇති සංකල්පනීය දැක්ම, රන්පැහැයෙන් වැසුණු කෙත් යාය සහ සර්පාකාර කෙටි මංපෙත් ය. ආලෝකයෙන් පෙඟුණු සොල්මනක් බොහෝ අත්භූත වන්නා සේම ඔහුගේ පුනරුක්තීන් ද ප්‍රශ්න කළ හැකි ය. මේ සිතුවම්කරුවා ගැළවී යා ගත නොහැකි ගැඹුරු ආගාධයක තමා ම සිරවී සිටීද? 



සිතුවම්කරණයේ දී දැඩි ලෙස පුද්ගලභාවය සමඟ පරම්ජිත් ගේ සබැඳියාව මතුපිටට පමණක් සීමා වූවක් නොවේ. “යම් ස්ථානයක් ඇති සුවඳ, ආලෝකය, වර්ණ, හැඟීම, වියළි හා තෙත්බව මේ සියල්ල සිතුවමක පැවතිය යුතුයි. නිර්මාණය පිළිබඳ සිත ක්‍රියාත්මක වන්නේ මේවායින්. රබීන්ද්‍රනාථ ඨකූරයන් තමයි මෙසේ නිර්මාණ කළ මුල්වැන්නා.” 


ඨකූරයන් සහ ඉන්දීය කලා දැක්ම පිළිබඳ පරම්ජිත්ගේ බැඳීම මෑතකදී ඇතිවූවක් නොවේ. හතළිහ දශකයේදී පමණ ඔහු හැදුණු වැඩුණු අම්රිත්සාර් හි පිහිටි ඔහුගේ නිවසේ අම්රිතා ෂෙර්ගිල් නම් ඉන්දීය සිතුවම් ශිල්පිනියගේ සිතුවමක් එල්ලා තිබිණි. එපමණක් නොව ඔහුගේ මුත්තණුවන්ගේ පොත්ගුළෙහි ඨකූරයන් විසින් නිර්මාණය කරන ලද සොබා දහමේ ප්‍රබල ප්‍රකාශනවාදී භූමි දර්ශන ඇතුළත් සිතුවම්වල පිටපත් ගණනාවක්ම විය. මේවා පිටපත් කරන්නට මේ කුඩා දරුවටෙ සිතක් පහළ විය. එමෙන්ම සියළු අතට විහිදී ගිය රන්වන් පැහැ තිරිඟු කෙත්වතුවල දසුන ද ඔහුගේ සිතෙහි නොමැකී සනිටුහන් වී තිබේ. 

සිය දක්ෂතාවයන් පිළිබඳ කීර්තියක් හිමිකොට සිටි ශාංගාරාත්මක සහ පුද්ගලවාදී සිතුවම් ශිල්පයකු වූ සයිලොස් මුඛර්ජි යටතේ සිතුවම් අධ්‍යයනය කරන්නට පරම්ජිත් ට අනගි අවස්ථාවක් හිමි විය. ඒ 1953 - 58 දක්වා සමයේදී දිල්ලියේ සිතුවම් සඳහා වූ බහුතාක්ෂණික ආයතනයේදී ය. “යමෙකුගේ කලාත්මක සංවේදීතාව විනිවිද යන්නට ඔහුට අපූර්ව හැකියාවක් තිබුණා.“ ඔහු පවසයි. ඩෙලාක්‍රොයික්ස්ගේ ශාංගාරාත්මක යුගය, ගියොටෝ සහ බොටිසෙලීගේ වර්ණ ආදී සියල්ල ඔහු ප්‍රබෝධවත් කළේය. ඉන්දීය කලාව ඔහු තුළ එසේ රෝපණය වන්නට විය. ඉන්දීය සිතුවම් ශිල්පීන් වූ හුසේන්, ඛජුහාරෝ දෙවොලේ සෙල් කැටයම් සිතුවමට නගමින් සිය කුළුඳුල් සිතුවම් දැක්ම පැවැත්වූයේ පරම්ජිත් ගේ පාසලේ ය. පැරීසියේ සිය අධ්‍යයනයක් නිමකොට පැමිණි රාම් කුමාර් භූමි දර්ශන සිතුවම් මාළාවක් ම නිර්මාණය කළේය. සතිෂ් ගුජ්රාල් බලය සහ අදහස්වලින් පිරුණු සිතුවම් නිර්මාණය කළේය. පරම්ජිත් මේ සියල්ල උකහා ගත්තේය. සිය සිතුවම් ගුරුතුමා වූ අවිනාෂ් චන්ද්‍ර එංගලන්තය බලා පිටත්ව ගිය දිනයේ පලාම් ගුවන්තොටට සිය සඟයන් සමඟ පාපැදියෙන් ගිය පරම්ජිත් ආපසු පැමිණීමේ දී දිල්ලි කඳු වැටියේ දළ සටහනක් ඇඳගත්තේය. සිතුවම්කරණයේදී ඔහුට සිය පාපැදිය ඉතා විශ්වාසවන්ත සඟයකු විය. 



වර්ෂ 1980 දී පරම්ජිත් ‛නාඳුනන්නා’ (The Unknown) නමින් කණ්ඩායමක් පිහිටුවා ගත්තේය. සිය බිරිඳ වූ අර්පිතා සිං, එරික් බොවෙන්, නානද් කත්යාල්, වේද් නයියාර්, සුරාජ් ඝායි, ආර්.කේ. ධවාන් සහ මූර්ති ශිල්පියෙකු වූ එස්.එස් වොහොරා එහි අනෙකුත් සාමාජිකයෝ වූහ. සාමාජිකයන් අතර වූ විරසකයක හේතුවෙන් මෙය පසුව වසර තුනකට පසුව විසුරුවා හැරිණි. තනිව වැඩකටයුතු කිරීම පිළිබඳ පරම්ජිත් තුළ හැඟීමක් පහළ වූයේ ඉන් අනතුරුවය. “දිල්ලියේ කණ්ඩායම් පිහිටුවාගෙන වැඩකටයතු කිරීම ගැන විශ්වාසයක් නැතිවුණු එක ගැන මම ආඩම්බර වෙනවා. කලාව කියන්නේ පුද්ගලවාදී අරගලයක්. දිල්ලි කලාකරුවන් තමන්ගේ ප්‍රකාශනයක් පිළිබඳ නිදහස්වාදීන්.” 


එසේ වුවත් පරම්ජිත් යනු පරම වශයෙන්ම දිල්ලි කලාකරුවෙකි. ඔහු ඇතැම්විට පහාරි ක්ෂුද්‍ර සිතුවම් සහ භූමි දර්ශනවලින් ආශ්වාදයක් ලබාගන්නට ඇත. (ඔහු වසරේ එක් කාලයක් වැඩකටයුතු කරමින් ජීවත්වන්නේ හිමාචල් ප්‍රදේශයේ සුන්දර ගම්මානයකය.) එහි ඇති නොහික්මුණු කඳුවැටි, පැරණි ස්මාරක, තුරුලතා, වැලිකතර සිසාරා හමා එන දුහුවිලි කුණාටු ආදිය ඔහුගේ සිතෙහි විවිධ හැඟම් ඇතිකරන්නට ඇත. අසූව දශකයේ මුල් සමයේදී පමණ සිය පාපැදිය මත නැගුණු ඔහු දිල්ලි වැටිය ප්‍රදේශයට ගොස් එහි දිරාපත්වෙමින් පැවති පැරණි ස්මාරක, පවුරු ආදිය සමඟ ජීවත්වන්නට විය. පසුව මල් බඳුන් වැනි නිශ්චල වස්තූන් සමඟ භූමි දර්ශන සිතුවම්කරණය ආරම්භ කළේය. පසුකාලයේදී ඔහු නිල් අහසේ එල්ලෙමින් පවතින ගල් හෝ පර්වත සහ සාමාන්‍ය භූමි දර්ශන නිර්මාණය කළේය.  කෙසේ වුවත් 1975 න් පසුව ඔහු ඇඳි සිතුවම් බොහොමයකින් සොබා දහම ඉතා  පිවිතුරු ලෙස නිරූපනය කළේය. එම සිතුවම් තුළ නෛසර්ගිකබවක් පැවැතිය ද අවුල් සහගත බවක් නොපැවතිණි. අනන්ත නිමේශයන් සහ සංකලනයන් ඔස්සේ, සොඳුරු මංමාවත්, කෙත් යාය, සුළඟ හෝ සඳ එළිය සමඟ පාවෙන තණපත් සමඟ ඇලුණු තුරු වදුල්  ඔහුගේ තෙළි තුඩින් නිර්මාණය විය. 



ඉදින් මෙම නිශ්චිත අනන්‍යතාවය පිළිබඳව ඇති ප්‍රතිචාරයන් සම්මිශ්‍රණය කළ හැක. පරම්ජිත් ගේ සිතුවම්වල ඇති සොඳුරුබව තුළ සැඟව ඇත්තේ සංවේදීතාවයෙන් යුක්ත සිත නමැති උයනය.  ගුප්ත භාවනායෝගීබවක්, කාංසාවන්ගෙන් මිදුණු ස්වභාවයක්, පමණ ඉක්මවා යන්නාවූ ශෘංගාරයක්, සිත්ගල්ගැසීයන හැඟීමක් මෙම සිතුවම්වල ගැබ්ව තිබේ. පරම්ජිත් සිය ආවේශයන් මගින් පෙන්නුම් කරන්නේ  ටර්නර්ගේ හෝ ප්‍රංශ ස්වරස ප්‍රතිපාදකයන්ගේ පිළිබිඹුවන් හෝ ඔවුන් මිනිසා වෙනුවෙන් සොබා දහම නිර්මාණය කිරීමේ වැදගත්කම පිළිබඳ දැක්වූ හැඟීම් ය. හර්බට් රීඩ් මෙසේ සඳහන් කරයි. “සෑම මෙහොතක්ම සිය හැඟීම් කෙරෙහි එකිනෙකට වෙනස් භාවයන් ඇති කරයි. එවිට නිර්මාණයවන්නේ ද එකිනෙකට වෙනස් කලාකෘතීන්ය.” මොන්ටේ ගේ ‛වෝටර් ලිලීස්’ නම් නිර්මාණය ඔහු සිය ප්‍රකාශනය උදෙසා ස්වභාවික මාධ්‍යක ලෙස භාවිත කොට ඇත. නමුත් මේ සියල්ල පරම්ජිත් සමඟ සංසන්දනය කිරීමේ දී එය වඩාත් සරල සහ යථාර්ථවාදී ලෙස පෙනේ. ඔහු තම ඇසට සොබා දහම පෙනෙන ආකාරයට වඩා වෙනස් අයුරුන් එය නිර්මාණය කරන්නට නොසිතන තරම් වේ. නමුත් ඔහු ලා රූසෝ මෙන් සොබා දහම ඒ අයුරින්ම නිරූපණය කරන්නට උත්සුක වන්නේ ද නැත. ඔහු තමාට අවශ්‍ය පරිදි සිය නිර්මාණ තුළ සොබා දහම යළි සකස්කිරීමකට ලක් කරයි. එය කාර්යබහුල ජීවන චාරිකාව මඳක් නවතා ගිමන් හරින්නට කරනා ඇරයුමක් වැනිය. ඔහුගේ සිතුවම්වලින් ප්‍රකාශනවාදී ගුණය හා සොබා දහම පහසුවෙන් එකිනෙක මිශ්‍රකොට තිබේ. ඔහු වෙනස්වන කලා ප්‍රවණතාවයන්ට නතු නොවී සිය ශෛලියේම රැඳී සිටියි. “මගේ පින්සලේ වර්ණ එහි භාෂාව බවට පත්වන තැනට ළඟාවන්නටයි මට අවශ්‍ය. ඒක හරියට වචනයක් වාක්‍යයක් තුළට දමනවා වැනි දෙයක්. හිතේ ඇති දේ ශෘංගාරාත්මක ලෙස වර්ණයකින් අර්ථනිරූපණය කරන්නට හැකි තරමට මෙම ක්‍රියාවලිය වඩාත් ස්වභාවික විය යුතුයි.” ඔහු විශ්වාස කරන්නේ එයයි. 


පහත සබැදියන්ගෙන් වැඩිදුර තොරතුරු කියවිය හැකියි
http://www.saffronart.com/artists/paramjit-s
http://www.contemporaryindianart.com/paramjit_singh.htm
http://www.christies.com/lotfinder/paintings/paramjit-singh-untitled-5049176-details.aspx
http://www.cimaartindia.com/NewCima/Artists/PARAMJITSINGH.htm

No comments:

Post a Comment

මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න