පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Friday, December 13, 2013

ලොව වටිනාම ගෙවල් දහය මෙන්න - 10 Most Expensive Houses in the World

අප බොහෝ දෙනෙකු හිසට වහළක් ගොඩනගා ගැනීමට දරන උත්සාහයේ දුෂ්කර බව පිළිබඳ අටුවාටීකා සහිතව විස්තර කරන්නට අවශ්‍ය නැත. ඉඩමක් මිලදීගන්නට සිතන මොහොතේ පටන් බොහෝ දෙනෙක් බැංකුවලට සහ වෙනත් ආයතනවලට, පුද්ගලයන්ට ණය වී හමාරය. බොහෝ දෙනෙකුට සිය නිවස එකවර ගොඩනගා ගන්නට හැකියාවක් ද නැත. ඇතැමුන් සිය ජීවිත කාලය නිමවන තුරුම නිවස ගොඩනගති. ඇතැමුන් අවසන් හුස්ම හෙළන්නේ ද නොනිමි නිවස දෙස දෑස් දල්වාගෙනය. අප බහුතරයකගේ ඉරණම මෙය වුවද සිතූ පමණින් සියලු සුඛ විහරණයෙන් සපිරි මහා මන්දිර ගොඩනගන්නට හැකි පුද්ගලයෝ ද සිටිති. අප රටේ මෙන්ම විදෙස් රටවල් ද එවැන්නෝ දක්නට ලැබෙති. ඔවුනට මහා මන්දිර ගොඩනැගීම යනු අප වෙළෙඳසළෙන් සහල් කිලෝ එකක් මිලදී ගන්නා තරම්වත් දුෂ්කර කටයුත්තක් නොවේමේ ආකාරයට ලෝකයේ විවිධ රටවල ගොඩනැගූ මහා මන්දිර පිළිබඳ තොරතුරු අපට මාධ්‍යයන්ගෙන් විටින් විට අසන්නට ලැබේ. අපට සිහිනෙකිනිඳු හිමිකරගන්නට නොහැකි වුවත් ලෝකයේ ඇති මෙසේ ගොඩනැගූ වටිනාම මන්දිර පිළිබඳ දැනගැනීම වුව වටිනා දෙයකි. ඒ පිළිබඳ අප කතා කරන්නට සිතුවේ එබැවිනි.

1. රයිබොලොව්ලෙව් එස්ටේට් - Rybolovlev Estate
වටිනාකම ඇමරිකන් ඩොලර් මිලියන 95
රුපියල් මිලියන 12,464



රුසියාවේ තනි පුද්ගලයකුට අයත් වටිනාම මන්දිරය මෙය යැයි සැළකේ. ඩොනල්ඩ් ට්‍රම්ප් නමැත්තකුට අයත්ව තිබූ මෙය පසුව දිමිත්‍රි රයිබොලොව්ලෙව් නමැති කෝටිපති ව්‍යාපාරිකයා විසින් මිලදී ගනු ලැබිණි. මෙය දික්කසාද නඩුවක් වෙනුවෙන් වැඩිවශයෙන්ම කතාබහට ලක්වූ මන්දිරයක් ලෙස ද සැළකේ. මුහුදට මුහුණ ලා සිටින සේ ඉදිකොට ඇති මෙහි මුළු ප්‍රමාණය වර්ග අඩි 33,000 කි. නිදන කාමර 18ක්, නානකාමර 22ක් මෙහි තිබේ.

2. සිලිකන් වැලී මෑන්සන් - Silicon Valley Mansion
වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 100
රුපියල් මිලියන 13120



සිලිකන් මිටියාවතේ ප්‍රාසාදය වැනි නමකින් හඳුන්වා දිය හැකි මෙය ඇමරිකා එක්සත් ජනපදයේ තනි පුද්ගලයකුට අයත් වටිනාම නිවස වේ. නිදන කාමර 5කින් හා නාන කාමර 9ක් සහිත මෙහි නිවස තුළ මෙන්ම නිවසින් පිටත් පිහිනුම් තටාක දෙකක් දක්නට ලැබේ.

3. ෆ්ලුයර් ඩි ලිස් - Fleur De Lys
වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 125
රුපියල් මිලියන 16400



කැලිෆෝර්නියාවේ පිහිටා ඇති මෙය වර්ග මීටර 45,000කින් යුක්තවන අතර නිදන කාමර 12 කිනාන කාමර 15ක් ඇති අතර 15 දෙනෙකුට අසුන්ගත හැකි සිනමා ශාලාවක් ද වෙයි. මීටර් 1200 කින් යුක්ත ධාවන පථයක් තිබේ.

4. ද මෑනර් - The Manor
වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 150
රුපියල් මිලියන 19687



ඇමරිකාවේ ඇති වැඩිම වටිනාකමකින් යුක්ත නේවාසික කාර්යය සඳහා භාවිතවන දේපළ මෙයයි. වර්ග අඩි 56,000කින් යුක්ත මෙහි කාමර 123කි. ලෝකයේ ඉතා ජනප්‍රියත්වයට පත් වූ ඩිනාස්ටි, චාර්ල්ස් ඒන්ජල්, ද ලව් බෝට් 90210 සහ චාර්ම්ඩ් වැනි රූපවාහිනි නාට්‍ය රූගත කිරීම සදහා යොදාගෙන ඇත්තේ ද මේ මහා මන්දිරය යි.



5. ද පිනකල් The Pinnacle
වටිනාක ඇමරිකානු ඩොලර් මිලියන 155
රුපියල් මිලියන් 20343



ඇමරිකාවේ යෙලෝස්ටෝන් හි පිහිටි මෙය ටිම් බ්ලික්සෙත් නමැති කෝටිපතියාට අයත් මන්දිරයකි. කාමර සංඛ්‍යාව 10 කි. සෑම නාන කාමරයකටම ගිනි උඳුන බැගින් තිබේ. ඇතුළත හා පිටත වශයෙන් නාන තටාක දෙකක් ඇති අතර ව්‍යයාම කුටියක් හා සම්බාහන ශාලාවක් ද ඇත.

6. ෆ්‍රැන්චුක් විලා - Franchuk-Villa
වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 161
රුපියල් මිලියන 21131



ලන්ඩනයේ පිහිටා ඇති මෙය වික්ටෝරියානු ශෛලියට ගොඩ නගන ලද මහල් 5 කින් යුක්ත මන්දිරයකි. නිදන කාමර 10ක්, නිවස තුළ පිහිටි පිහිනුම් තටාකයක්, පෞද්ගලික සිනමා ශාලාවක්, හුමාල ස්නානාගාරයක්, ව්‍යයාම ශාලාවක් සහිත මෙය වර්ග අඩි 21,000කින් යුක්තය.

7. හාර්ස්ට් මෑන්සන් - The Hearst Mansion
වටිනාකම ඇමරිකන් ඩොලර් මිලියන 165
රුපියල් මිලියන 21656



ජෝන් එෆ් කෙනඩි සිය මධුසමය ගත කළේ මෙහිය. ගෝඩ් ෆාදර් සිනමා පටයේ රූපගත කිරීම් සිදු කළේ ද මෙහි ය. පිහිනුම් තටාක 3කින් හා නිදන කාමර 29කින් සමන්විත මෙය වර්. අඩි 90,000කට වඩා විශාලත්වයෙන් යුක්තය.

8. ෆෙයාර්ෆීල්ඩ් පොන්ඩ් - Fairfield Pond
වටිනාකම ඇමරිකන් ඩොලර් මිලියන 198
රුපියල් මිලියන 25987


අයිරා එල්. රෙනාර්ට් නම් ඇමරිකානු කෝටිපතියාගේ නිවස වූ මෙය නිව්යොර්ක් හි ෆෙයාර්ෆීල්ඩ් පොකුණ අසළ පිහිටා ඇති බැවින් එම නම මේ සඳහා ද යොදාගෙන තිබේ. මෙය මුහුණ ලා ඇත්තේ අත්ලාන්තික් සාගරයටය. මන්දිරය පිහිටා ඇති භූමිය අක්කර 63කි. නිවසේ ප්‍රමාණය වර්ග අඩි 110,000 ක් පමණ වේ. නිදන කාමර 29කින් හා නාන කාමර 39කින් සමන්විත වේ. පැසි පන්දු පිටියක්, ටෙනිස් පිටි 2ක් ඉදිකොට ඇත.

9. විලා ලියෝපොල්ඩා - Villa Leopolda
වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 736
රුපියල් මිලියන 967181



ප්‍රංශයේ පිහිටා ඇති මෙය වර්ෂ 1902 දී බෙල්ජියමේ දෙවැනි ලියෝපෝල්ඩ් රජු විසින් ගොඩනංවා තිබේ. පසුව රුසියානු කෝටිපතියකු වූ මිහායිල් ප්‍රොක්රොව් විසින් මිලදී ගනු ලැබිණි. මහල් 27කින් සමන්විත මෙහි නිදන කාමර 19ක් තිබේ.

10. ඇන්ටිලා - Antilla
වටිනාකම ඇමරිකානු ඩොලර් 1,000,000,000
රුපියල් 131,250,000,000 (කෝටි 1312)



ඉන්දියාවේ මුම්බායි පිහිටි මෙය රිලයන්ස් ඉන්ඩස්ට්‍රීස් නම් සමාගමේ හිමිකරු වන මුකේෂ් අම්බානි නම් ව්‍යාපාරිකයාට අයත් නේවාසික කටයුතු සඳහා භාවිතවන ගොඩනැගිල්ලකි. මහල් 27කින් සමන්විත වේ. පෙරදිග වාස්තු විද්‍යාවට අනුකූලවන සේ ඉදිකොට ඇති මෙහි මහල් 4ක් පුරා පැතිර ඇත්තේ උද්‍යානයකි. මහල් 6ක් වාහන ගාල්කිරීම සඳහා වෙන්ව තිබේ. මෙහි ඇති තවත් විශේෂත්වයක් වන්නේ රික්ටර් පරිමාපක 8ක් තරම් ප්‍රබල භූමිකම්පාවක් ඇති වුවද මෙය විනාශ නොවන සේ සැළසුම්කොට තිබීමය.







No comments:

Post a Comment

මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න