පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Friday, December 6, 2013

කායික මානසික සුවසෙත සළසන ගෘහ අලංකරණ පැළෑටි - Indoor Plants for mental and physical helath


නිවසක් අලංකාර කරගන්නට නිවෙස් හිමියෝ බොහෝ දේ සිදුකරති. නිවස තුළ ගෘහභාණ්ඩ පිළිවෙළකට තැබීම, විවිධ පින්තූර එල්ලීම, මූර්ති කැටයම් වැනි දෑ සුදුසු ස්ථානවල තැබීම, නිවස ස්වභාවිකව ආලෝකවත් කිරීම ආදී බොහෝ දේ මෙයට ඇතුළත් විය හැකිය. මේ අතුරින් බොහෝ කාලයක් තිස්සේ සිටම පුරුදු කරගෙන පැමිණි තවත් එක් පුරුද්දක් තිබේ. ඒ, නිවස තුළ කුඩා ප්‍රමාණයේ ගස් වර්ග තැබීමයි. එය නෙතට ප්‍රිය දසුනක් සේම තවත් වාසි ගණනාවක්ම තිබේ. මෙහිදී බලාපොරොත්තුවන්නේ මෙම වාසි පිළිබඳව මෙන්ම ඔබටත් නවස තුළ තබාගත හැකි අප රටට ගැළපෙන ශාක වර්ග කිහිපයක් හඳුන්වාදීමයි. 

නිවසක් තුළ ශාක වර්ග තබාගැනීමේ ප්‍රයෝජන 

නිවසක් තුළ ශාක වර්ග තබාගැනීමෙන් ඔබ සිදුකරන්නේ නෙතට පිය උපදවන කොළ පැහැයෙන් නිවස සරසනවා පමණක් නොවේ. මෙම ශාක අපගේ ගතට, සිතට ඉමහත් බලපෑමක් කරනා අතර අපගේ ජීවන ශෛලීන් ද උසස් තත්වයකට පමුණුවයි. 

ස්වසනය පහසු කරවයි 

අප හුස්ම ගන්නා විට සිරුරට ඔක්සිජන් ඇතුළුවන අතර හුස්ම පිටකරද්දී කාබන්ඩයොක්සයිඩ් වායුගෝලයට එකතු වෙයි. ප්‍රභාසංස්ලේෂණ ක්‍රියාවලියේදී, ශාක මගින් කාබන්ඩයොක්සයිඩ් අවශෝෂණය කරගෙන වායුගෝලයට ඔක්සිජන් මුදාහැරේ. මිනිසාගේ ස්වසන ක්‍රියාවලියට ප්‍රතිවිරුද්ධ ක්‍රිියාවලියක් ශාක තුළ සිදුවන බැවින් ශාක සහ මිනිසා අතර සබැඳියාවෙන් මිනිසුන්ට වාසි සහගත තත්වයක් උදාවෙයි. නිවස තුළ ශාක තැබීමෙන් වටපිටාවේ ඔක්සිජන් මට්ටම ඉහළ නැංවිය හැකි වේ. 
රාත්‍රියේදී ප්‍රභාසංස්ලේෂණය නතරවන අතර ශාක ද මිනිසුන් සේම ස්වසන ක්‍රියාවලියෙහි නිරත වෙයි. එනම් ඔක්සිජන් අවශෝෂණය කොට කාබන්ඩයොක්සයිඩ් පිට කරයි. නමුත් උඩවැඩියා, කෝමාරිකා වැනි මාංශමය ශාක, අන්නාසි කුළයේ ශාක මෙයට ප්‍රතිවිරුද්ධ ක්‍රියාවලියක් සිදුකරයි. එනම් කාබන්ඩයොක්සයිඩ් අවශෝෂණය කොට ඔක්සිජන් පිටකිරීමයි. එබැවින් එවැනි ශාක නිදන කාමරවල තබාගනීම මගින් වඩාත් නැවුම් වාතය ලබාන්නට හැකි වේ. 

තෙතමනය ඇතිකිරීම 

ප්‍රභාසංස්ලේෂණය හා ස්වසන ක්‍රියාවලිය නිසා ශාකවලින් වාෂ්ප ස්වභාවයෙන් අවට පරිසරයට තෙතමනය මුදාහැරේ. එමගින් අවට වාතයේ තෙතමනය ඉහළ යයි. සාමාන්‍යයෙන් ශාක ලබාගන්නා ජලයෙන් 97%ක් ම පිටකරයි. ශාක වර්ග කිහිපයක් තැබීමෙන් කාමරයක තෙතමනය ඉහළ දමන්නට හැකිය. එය වියළි සම, සෙම්ප්‍රතිශ්‍යාව හා වියළි කැස්ස වැනි රෝග නිවාරණයට හේතුවක් වන බැව් නොර්වේ හි කෘෂිකාර්මික සරසවියක කළ පර්යේෂණයකින් හෙළිවී තිබේ. 

වාතය පිරිසිදු කිරීම 

ශාක මගින් පරිසරයේ ඇති අහිතකර විෂබව 87%කින් පමණ ඉවත් කරයි. නිවෙස් තුළ ඇති බුමුතුරුණු, සම්වර්ග, වෙළෙඳසලවලින් භාණ්ඩ දමාදෙනු ලබන ඉටි හා පොලිතීන් මලු නිසා පරිසරය දූෂණය වෙයි. මේවා මගින් ඇති කෙරෙන විෂ සහිත බව සෑහෙන පමණ ඉවත් කරන්නට ශාක ඉවහල් වේ. 

සෞඛ්‍ය තත්වය වර්ධණය වීම 

රෝහල් කුටිවල ශාක තැබීමෙන් සැත්කම්වලට බඳුන් වූ රෝගීන් සුවවීමේ සීග්‍රතාවය වැඩි ඇමරිකා එක්සත් ජනපදයේ කැන්සාස් සරසවියේ කළ පර්යේෂණයකින් හෙළිවී තිබේ. එමෙන්ම කාර්යාල පරිසරයේ ශාක තැබීමෙන් සේවකයින් තුළ නිතර ඇතිවන්නාවූ හිසෙහි බර ගතිය, හිසරුදාව, කැස්ස, උගුර වනවීම, සෙම්ප්‍රතිශ්‍යාව වැනි රෝග වැළඳීමේ හැකියාව බොහෝ සෙයින් අඩුවන බැව් සොයාගෙන තිබේ. 

අප රටට ගැළපෙන, නිවෙස් තුළ තැබිය හැකි ශාක වර්ග පිළිබඳ සළකා බැලීමේදී ඒවා බොහොමයක් තිබෙන බැව් පෙනේ. අප මෙහි සඳහන් කරන්නා වූ ශාක, ඒවායේ විශාලත්වය හා ඔබගේ නිවසේ ඇති ඉඩ ප්‍රමාණය අනුව තෝරාගන්නට පුළුවන. 

පෙපරෝමියා 

ඉටිවලින් සකස්වී ඇති  පෙනුමකින් යුක්ත මෙහි ශාක විවිධ රටාවලින් අලංකාර වී තිබේ. මේ සඳහා වැඩි ඉඩකඩක් වෙන් කළ යුතු නැත. මද ආලෝකයක් ප්‍රමාණවත්ය. මෙය සිටුවා ඇති බඳුනෙහි මතුපිට පස වියළි තත්වයට පත්වූ විට පමණක් ජලය දැමීම සෑහේ. උස අඩි 1ක් පමණ වේ. 

ඩ්‍රැකේනා 

තදකොළ පැහැ, පටු, දිගු පත්‍රවලින් යුක්ත ශාකයකි. කුඩා කාලයේ පඳුරු ලෙස වැඩුනත් කල්යත්ම උසට වැඩෙන්නට පටන් ගනී. මෙහි ඇතැම් ශාක වර්ණ තුනකින් සමන්විත බැවින් ඒවා ‛දේදුණු ගස්’ වැනි නමකින් ද හැඳින්වේ. මද ආලෝකයක් සෑහේ.  මෙය සිටුවා ඇති බඳුනෙහි මතුපිට පස වියළි තත්වයට පත්වූ විට පමණක් ජලය දැමීම ප්‍රමාණවත්ය. අඩි 10ක් පමණ උසය වැඩෙන බැවින් ඉඩ පිළිබඳ සැළකිළිමත් වන්න. 

ජේඩ් පැළෑටිය 

ඔබට ශාකවලට ජලය දමන්නට නිතර අතපසුවනවා නම් ඔබට ගැළපෙන්නේ ජේඩ් පැළෑටියයි. ඉතා සෙමින් වර්ධණය වන මෙය දීප්තිමත් ආලෝකය ඇත්නම් ජලය නොමැතිව බොහෝ කාලයක් ජීවත්වෙයි. පතොක් හා මාංශමය ශාකවල එකතුවක් සේ සැළකිය හැකි ශාකයකි. සාමාන්‍ය කාමර උෂ්ණත්වය ප්‍රමාණවත් වුව ද තෙතමනයක් ඇති කරන්නට හැකි නම්  වඩාත් සුදුසුවනු ඇත. අඩි 3 -6 දක්වා උස විය හැකිය. 

කුඩා පයින් ගස් 

නිවාස තුළ තැබීම සඳහා සාමාන්‍යයෙන් යොදාගන්නේ ‛නෝෆෝල්ක් දූපතේ වැඩෙන පයින්’ යන වර්ගයයි. මේවා විසිතුරු පැළෑටි අළෙවිකරනා ස්ථානවලින් මිලට ගත හැකිය. මෙයට ආලෝකය හා තෙතමනය යහමින් අවශ්‍ය වේ. මෙම ශාකය උපන් නෝෆෝල්ක් දූපත්වල නම් මෙය අඩි සියය ද ඉක්මවා වැඩෙන මුත් නිවෙස් තුළ මේවා අඩි 10කට වැඩි උසකට වැඩෙන්නේ කලාතුරකිනි. මෙය සිටුවා ඇති බඳුනෙහි මතුපිට පස වියළි තත්වයට පත්වූ විට පමණක් ජලය දැමීම ප්‍රමාණවත්ය. 

ස්පයිඩර් ශාකය 

මෙය අපට හුරුපුරුදු ශාකයක් වන අතර බොහෝ කාලයක් සිට අපගේ නිවෙස්වල දක්නට ලැබේ. මෙහි පත්‍රවල වර්ණය විවිධ විය හැකිය. එල්ලා තැබිය හැකි මෙහි දිගු පත්‍රයේ කෙළවර කුඩා ශාක වර්ධණය වීම මෙහි දකිය හැකි විශේෂත්වයකි. නිතර තෙතමනයෙන් තැබිය යුතු ශාකයකි. අඩියක් පමණ උසට වැඩෙන අතර අඩි දෙකක පමණ ප්‍රදේශයක් අවශ්‍ය වේ. 

පෝනිටේල් පාම් 

පෝනියකුගේ වළිගයක් සේ කඩාවැටුණු සකස්වුණු මෙය සාමාන්‍ය පාම් ශාකවලට වඩා මාංශමය ගතියෙන් යුක්ත වේ. මෙයට ජලය නොමැතිව බොහෝ කාලයක් ජීවත්වන්නට පුළුවන. මෙහි කඳෙහි ජලය රැස්කර තබාගැනීම සිදු වේ. හොඳින් ආලෝකය අවශ්‍ය වේ. මෙය සිටුවා ඇති බඳුනෙහි මතුපිට පස වියළි තත්වයට පත්වූ විට පමණක් ජලය දැමීම ප්‍රමාණවත්ය. අඩි 10ක් පමණ උසට වැඩේ. 

ස්නේක් ප්ලාන්ට් 

ඇතැම් අය ‛හණ’ නමින් ද හඳුන්වන  අප කවුරුත් දන්නා හඳුනන මෙම ශාකය කිසිදු සැළකිල්ලකින් තොරව වුව ද වැඩෙයි. නිවෙස තුළ විවිධ ශාක තබාගන්නට උත්සාහ කොට ඒ සියල්ල අසාර්ථක වූයේ නම් ඔබට මෙය අත්හදා බැලිය හැකිය. මද ආලෝකයේ වුවද වැඩෙන මුත් හොඳින් අලෝකය ඇත්නම් පත්‍රවල වර්ණය තවත් අලංකාර වේ. අධික ලෙස ජලය යෙදීමෙන් මෙහි මුල් නරක්වන්නට ඉඩ තිබේ. අඩි 4ක් පමණ උසට වැඩේ. 

මෙම සඳහන් කළ ඒවාට අමතරව නිවෙස් තුළ තබාගත හැකි තවත් ශාක වර්ග බොහොමයක් තිබේ. විසිතුරු පැළෑටි අළෙවි කරන ස්ථානවලින් ඔබට මේවා පිළිබඳ දැනගන්නට හැකිය. ඔබට පහසුවෙන් පවත්වාගෙන යා හැකි ශාක වර්ගයක් නිවෙස තුළ තබාගැනීමෙන් අලංකාරය පමණක් නොව සෞඛ්‍ය අතින් ද ඉමහත් ප්‍රයෝජන අත්වෙන බැව් ඔබට දැන් අවබෝධ වන්නට ඇත. 

2 comments:

මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න