පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Monday, March 6, 2017

මුලින්ම දැක්ක හොල්මන් මොනවාද? - World's Most First Ghost Stories


මිනිසුන් මහත් අභිරුචියකින් කතා බහ කරන්නට පෙලඹෙන මාතෘකා අතර ඉතා ජනප්‍රිය එකක් ලෙස හොල්මන් සහ අවතාර සඳහන් කළ හැකිය. මේ නිසාම හොල්මන් අවතාර පසුබිම් කර ගනිමින් බොහෝ නවකතා හා සිනමා පටි ද නිර්මාණය වී තිබේ. ඊට අමතරව විශේෂයෙන් රාත්‍රී කාලයේ දී කිහිප දෙනෙකු එක්වී අල්ලාප සල්ලාපයේ යෙදී සිටිද්දී මෙවැනි කතා නිරායාසයෙන්ම මතුවී එයි. අඳුර වැටෙද්දී සොහොන් පිටියක් අසලින් ගමන් කරද්දී වෙනත් කිසිම දෙයකටත් වඩා සිතට ගළා එන්නේ හොල්මන් අවතාර පිළිබඳ කතා ය. ඔබ මෙය කියවන්නේ රාත්‍රී කාලයේ නම් ඉක්මනින් ගොස් ජනේලය වසා දමා නැවත කියවීම ආරම්භ කරන්නට සිතන්නේ ද හොල්මන් අවතාර පිළිබඳ ඔබේ සිතේ පවතින සිතිවිලි නිසාම ය. මිනිස් ඉතිහාසයේ මුළින්ම හොල්මනක් දුටුවේ කවදාදැයි මෙවැනි විටෙක දී අපට සිතෙයි. එය හොල්මන් අවතාර පිළිබඳ කතා කරන්නට ඇති වෙනස් ආකාරයක් නිසා එවැනි දෙයක් කතා කිරීම සෑම අතින්ම හොඳ යැයි ද ඔබට සිතෙනු ඇත.

මුල්ම හොල්මන් වීම

මේ පිළිබඳ ලිඛිතව වාර්තා වූ සිදුවීම් දෙකක් පිළිබඳ අසන්නට ලැබේ. ඉන් එකක් වාර්තා කරන්නේ පළමු සියවසේ දී ප්ලූටාර්ච් විසිනි. අනෙක වාර්තා කරන්නේ ක්‍රි.ව. 50 දී ප්ලිනි විසිනි. මොවුන් දෙදෙනාම අතීතයේ විසූ සුප්‍රකට ලේඛකයන්ය. මොවුන් දෙදෙනා විස්තර කරන්නේ මිනීමැරුම් චෝදනා ලැබ දම්වැල්වලින් බැඳ දමා සිටි එකම පුද්ගලයකුගේ හොල්මන් ආත්මයක් පිළිබඳවය. ප්ලූටාර්ච් මේ පිළිබඳව කෙටි විස්තරයක් සඳහන් කරමින් පවසන්නේ එක්තරා ප්‍රදේශයක පැවැති නිවසකින් මතුවූ මෙම හොල්මන සිදුවීමක් නිසා අසල්වැසියන්ට ඉමහත් පීඩාවන් සිදුවුණු බවත් අවසානයේ අසල්වැසියන් පදිංචිය හැර ගිය බවත්ය. ප්ලින් මේ පිළබඳව දීර්ඝ විස්තරයක් සපයයි.

ප්ලින් පවසන පරිදි එක්තරා උගත් තරුණයෙක් මෙම හොල්මන් නිවසෙහි පදිංචි වෙයි. ඔහු ශක්ති සම්පන්න පුද්ගලයෙකි. දම්වැල්වලින් බැඳ දමා සිටි හොල්මන් ආත්මය පසුපස ගොස් එහි සැබෑ කතාව අනාවරණය කරගන්නට ද ඔහු සමත් වෙයි. හොල්මන සෑම රාත්‍රියකම පැමිණ දර්ශනය වන ස්ථානයේ පොලොව හාරා බැලීමෙන් පසු ඔහුට හමුවන්නේ දම්වැල්වලින් බැඳ දැමූ ඇටසැකිල්ලකි.

දුක්බර හොල්මන්

කැතරින් හොවාර්ඩ් බිසව

ඇතැම් හොල්මන් ආත්ම තමා ජීවත්ව සිටි කාලයේ මුහුණ දුන් දුක්බර සිදුවීම් පිළිබද කතා බහ කරනු අසන්නට ලැබෙන්නකි. මෙවැනි සිදුවීම් බොහෝ සිනමා නිර්මාණවල ද දක්නට ලැබේ. දහසය වැනි සියවසේ එංගලන්තයෙන් අසන්නට ලැබෙන  කැතරින් හොවාර්ඩ්ගේ කතාව ද එවැන්නකි.

කැතරින් යනු රූමත් එහෙත් නූගත් තරුණියකි. ඇය කිහිප වතාවක්ම සිය ගරුවරුන්ගේ හා එක් මහල්ලකුගේ අපචාරයට ලක් වූ තැනැත්තියක ද වූවාය. මෙසේ සිටියදී ඇය එංගලන්තයේ හෙන්රි රජුගේ ඇසට හසු වෙයි. රජුගේ අඩුම ආදරයක් දිනා ගත් බිසවක වූ ක්ලීව්ස් හි ඈන්ගේ පාද පරිචාරිකාව ලෙස කැතරින්ට මුළින්ම තනතුරක් හිමි වෙයි. ඈන්රජු පිළිබඳ ආදරයකින් පසුවන්නියක නොවූවාය. කෙසේ නමුත් මෙයට පෙර සිටි බිසවකට අනාචාරයේ හැසිරීමේ වරදකට චෝදනා කරමින් හිස ගසා දැමූ බැවින් එයට බිය වී රජුගේ කෝපය ඇවිස්සීමෙන් වැළකී සිටීමට ඇය උත්සාහ කළාය. කෙසේ හෝ කැතරින් සහ රජු අතර විවාහයක් සිදුවන අතර මෙම විවාහයේ ප්‍රතිඵලයක් ලෙස රජු ඇයගෙන් දරුවකු අපේක්ෂා කළේය. මේ අතරේ කැතරින් සහ රජුගේ ඉතා හිතවත් ඇමතිවරයකු වූ තෝමස් කල්පෙපර් අතර අනියම් සබඳතාවක් හට ගත්තේය. මෙහි අවසන් ප්‍රතිඵලය වූයේ දෙදෙනාගේම හිස් ගසා දමා එම හිස් ප්‍රසිද්ධියේ ලන්ඩන් පාලම මත උල්වල ගසා තැබීමය.  මෙම සිදුවීම එතැනින් අවසන් වූයේ යැයි පෙනුණ ද එසේ වූයේ නැත.

ඇගේ මරණින් පසු ඇගේ අවතාරය රජුගේ අනුකම්පාව යදිමින් දුවගෙන පැමිණෙන ආකාරය දිගින් දිගටම දර්ශනය වන්නට පටන් ගෙන තිබේ.


විධානයක් නිසා හොල්මන් ඇතිවූ නිවස

ගිනි ගෙන දැවුණු ගොඩනැගිල්ලේ අවශේෂ කොටස්


1863 වර්ෂයේදී ඉදිකරන ලද බෝර්ලිනම් එංගලන්ත ගම්මානය ද හොල්මන් අවතාරවලට අතිශය ප්‍රසිද්ධ ස්ථානයකි. මෙය ඉදිකොට තිබුණේ අඳුරු රහස් සඟවා ගත් පූජා ආශ්‍රමයක් පැවැති ස්ථානයකය. අතීතයෙන් ඇසෙන කතාවට අනුව මෙම ස්ථානයේ සිටි පූජකවරයකු සහ පූජකවරියක අතර ආදරයක් හටගෙන තිබේ. මෙතැනින් පළායාමට උත්සාහ කළ ද ඔවුන් හසු විය. පූජකවරයා එල්ළා මරාදමනු ලැබිණි. නමුත් පූජකවරියට ලැබුණේ එයට වඩා භයානක දඬුමවකි. ඇය නිරාහාරව දින ගණණක් තබා පණපිටින්ම බිත්තියකට හේත්තු කොට ගල් අල්ලා බිත්තියක බැඳ මිය යන්නට හරිනු ලැබිණි. එයින් පසුව ඇගේ හොල්මන දිගින් දිගටම දර්ශනය වන්නට විය.  ඇය බිත්ති අතරින් ඇවිදගෙන පැමිණෙන ආකාරය, ගෘහ භාණ්ඩ බිඳී යාම්, සෙලවීම් ආදිය වාර්තා විය. මෙම ස්ථානයේ පිහිටි නිවසේ සිටි පදිංචිකරුවන් ලයනල් ෆොවිස්ටර් නම් පියතුමකුගේ සහාය ඉල්ලා සිටියේ මේ රහස කුමක්දැයි තේරුම් බේරුම් කරගැනීමටය. කෙසේ නමුත් කිසිවක් සොයා ගැනීමට හැකි නොවූ අතර 1938 දී මෙම ගොඩනැගිල්ල ගින්නකින් විනාශ වී ගියේය.

ඡායාරූපවලට හසුවුණු හොල්මන

ගිනිගත් ගොඩනැගිල්ලේ කුඩා දැරියකු සිටිනු පෙනේ.

ඇසට හසු නොවන හොල්මන් බොහොමයක් ඡායාරූපවලට හසුවන අවස්ථා අපි කොතෙකුත් අසා ඇත්තෙමු. මෙය ද එවැන්නකි. එංගලන්තයේ නගරයක් වන ස්ට්‍රොප්ෂයර් හි නගර ශාලාව ගින්නකින් අලු වී ගියේය. එම ප්‍රදේශයේ එවැනි ඛේදවාචකයක් සිදූවූ ප්‍රථම අවස්ථාව එය නොවේ. වසර ගණනකට පෙර 1677 දී ද මෙම ප්‍රදේශයේ පැවැති දැවයෙන් කරන ලද නිවාස කිහිපයක් ද මෙසේ ගින්නෙන් දැවුණු අතර එය සිදුවී ඇත්තේ ජේන් ච්ර්ම් නම් තරුණියක අතින් අත් වැරදීමකින්  වහලයට ගිනි ඇවිලීම නිසාය. මෙම සිදුවීමෙන් පසු ඇගේ අවතාරය බොහෝ අවස්ථාවලදී මෙම ප්‍රදේශයේදී දර්ශනය වී තිබේ.


ගින්නෙන් දැවුණේ යැයි මුළින්ම සඳහන් කළ නගර ශාලාව ඉදිකරන ලද්දේ 1905 දීය. 1995 දී මෙම පැරණි ඓතිහාසික ගොඩනැගිල්ල ගින්නෙන් දැවී ගියේ බොහෝ දෙනෙකු බලා සිටියදීය. මෙම අවස්ථාවේදී අවට සිටි ටෝනි ඕරේලි නමැත්තා මෙහි ඡායාරූපයක් ගත්තේය. එය මුද්‍රණය කළ පසු ඔහු දුටුවේ ඇඟ කිලිපොළන දසුනකි. එහි තිබුණේ ගිනි ගන්නා ගොඩනැගිල්ලේ දොර අසල තරුණියක සිට ගෙන සිටින දසුනකි. 

No comments:

Post a Comment

මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න