යළි කිසිදා
දෑස් නෑරෙන සේ මුහුදු වෙරළක සදාකාලික නින්දකට වැටුණු සුරතල් සිඟිත්තාගේ මේ
ඡායාරූපය බොහෝ දෙනෙකුගේ මතකයෙන් ගිළිහී නොගොස් ඇතැයි සිතේ. මේ සිරියානු බල අරගලයේ
වේදනාබර මතකයන්ගෙන් එකක් පමණි. බලලෝභය නිසා අහිංසක මල් කැකුළු තැළී පොඩි වී යන
රටක් ඇත්නම් ඒ අන් කිසි රටක් නොව මැදපෙරදිග කලාපයේ පවතින මුස්ලිම් රටක් වන
සිරියාවය. පසුගිය වසර හය මුළුල්ලේ සිරියානු දරුවෝ බෝම්බ ප්‍රහාරයන්ට ගොදුරු වූහ.
වෙඩිතැබීමවලට ගොදුරු වූහ. කුසගින්නේ මිය ගියහ. තම ආදරණීයයන් තම දෑස් ඉදිරිපිටදීම
මරා දැමෙනු, හිංසා
පීඩාවන්ට ලක්වන අයුරු ඔවුහු දුටුවහ. අනාගත සිහින දහසක් හිතේ දරා අකුරු කරන්නට ගිය
පාසල් සියල්ල දුහුවිලි ගොඩක් බවට පත් විය. ඔවුනගේ පවුල් සී සී කඩ විසිරුණි.
මේ සියලු
දුක්ඛ දෝමනස්සයන්ට මුහුණ දුන් සිරියානු දරුවන් තුළ ඉතා බරපතළ මානසික රෝගාබාධයන්
මතුව තිබේ. ඒ බොහෝ ඒවා ඔවුන්ගේ ජීවිතය පවතින තුරුම තුරන්ව නොයනු ඇත. මේ බලලෝභී
අර්බුදයට මැදි වූ ඇතැම් සිරියානු දරුවන් තව දුරටත් ජීවතුන් අතර නැත. ඇතැම්හු
ආබාධිත වූහ. ඇතැම්හු කතා කරගන්නට පවා නොහැකි තත්වයට පත් වූහ. සුරතල් වියෙහි පසුවන
මේ සිත්වලට දරාගත නොහැකි තරම් භීෂණයක් අත් දැක ඇති නිසාම බොහෝ දරුවන්ට නින්දක් පවා
ලබන්නට මානසික තත්වයක් නැත. නින්දකට වැටුනහොත් යළිත් කිසිදා අවදිවන්නට නොහැකි වනු
ඇතැයි බොහෝ දරුවෝ බියෙන් පසුවෙති.
සිරියානු
ජනපති බෂාර් අල්-අසාද්ට පක්ෂපාතී සහ විරුද්ධ හමුදා අතර දැන් වසර හයකට ආසන්න
කාල්යක් තිස්සේ දරුණු ගැටුම් පවතී. මෙය මේ වන විට අන්තවාදී මුස්ලිම් කල්ලි අතර බල
අරගලයක් බවට පත්ව හමාරය. මේ වන විට දෙලක්ෂ පනස් දහසක් පමණ දෙනෙක් මෙයින්
ජීවිතක්ෂයට පත්ව තිබේ. කෙසේ නමුත් සිරියානු අර්බුදයෙහි වඩාත් ඛේදජනකම කාරණය වන්නේ
දහස් ගණනක් දරුවන් මේ අර්බුදය නිසා පීඩාවට පත්ව තිබීමය.
පසුගිය කාලය
ගෙන බැලුවහොත් 2016 වසර යනු
සිරියානු දරුවන් දරුණු ලෙසම යුද්ධයෙන් බැට කෑ වසර යැයි සදහන් කළ හැකිය. සිරියාවේ
දරුවන්ගෙන් මිලියන 1.75 ක් පාසල්
යන්නේ නැත. දරුවන්ට ලැබිය යුතු ආදරය සහ රැකවරණය නොමැති සිරියානු දරුවෝ මිලියන 8.4ක් අවතැන්ව පසුවෙමින්
ආරක්ෂිත ස්ථාන සොයමින් යති. ඔවුන්ගෙන් ඇතැමෙක් සිරියාව තුළ ද, ඇතැමෙක් වෙනත් රටවල ද
ජීවත් වෙති. ලෝකයේ අවතැන් වූවන් වැඩිම ප්‍රමාණයක් සිටින රට බවට ඇත්තේ සිරියාවය.
“අපි කෑම කාලා නිදාගන්න ලෑස්ති වුණා විතරයි
ඩෝං ගාලා සද්දයක් ඇවිත් පැත්තම දෙදරලා ගියා. අපි කාමරේට වෙලා පාර දිහා බලාගෙන
හිටියේ. එක පාරට ප්ලේන් එකකින් දාපු බෝම්බය අපට වැදුණා. පුපුරන සද්දේ ඇහෙන කොට අපි
මූණට මූණ බලාගෙන හිටියේ. මම ‘තාත්තේ’
කියලා කෑ ගැහුවා. ඒත්
කවුරුවත් ආවේ නෑ. අන්තිමේදී අපිව බේරගන්න කවුරුහරි එනකල්ම එහෙමම හිටියා. අපේ
අම්මයි තාත්තයි දෙන්නම මැරුණා.”
මේ අවතැන් වූ
දරු කිහිප දෙනෙකුගේ අත්දැකීමකි. මෙවැනි ඛේදජනක කතා තව දහස් ගණනක් තිබෙන්නට පුළුවන.
2016 වසරේ අවම
වශයෙන් දරුවෝ 652 ක් මරණයට පත්
වූහ. එය 2015 වසරට වඩා 20%ක් වර්ධණයකි. දරුවන් 850දෙනෙක් ළමා
සොල්දාදුවන් ලෙස සටන් බිමට යවා තිබේ. වෙඩි වැදීම්, බෝම්බ් ආදියට සිදුවන ගොදුරුවීම්වලට අමතරව
පහසුවෙන් වළකාගත හැකි රෝගාබාධවලින් බොහෝ දරුවෝ මිය යති. වෛද්‍ය පහසුකම් ලැබීමට ඇති
දුෂ්කරතාවය මෙයට ඇති ප්‍රධානතම හේතුවය. බොහෝ රෝහල් බෝම්බ ප්‍රහාරවලට ලක්ව විනාශ වී
හමාරය.
මේ වන විට
මානූෂීය රැකවරණය අවශ්‍ය දරුවන්ගේ සංඛ්‍යාව මිලියන 6 කට ආසන්නය. එය 2012 වසරට වඩා දොළොස්
ගුණයක වර්ධණයකි. මිලින 2.3ක අධික ප්‍රමාණයක්
තුර්කිය, ලෙබනනය,
ජෝර්දානය, ඊජිප්තුව සහ ඉරාකය යන
රටවල සරණාගතච කඳවුරුවල දුක්බර ජීවිත ගත කරති.
බොහෝ සිරියානු
දැරියන් බාල වයස්කාර විවාහවලට බලයෙන්ම යොමු කරනු සුලබ සිදුවීමකි. ළමා වහල්
මෙහෙය නතුවන දරුවෝ ද බොහෝ ය. බොහෝ දරුවන්ට
යුද්ධය යනු ඛේදනීය අත්දැකීමකි. ඔවුන් සිහින මවන්නේ යුද්ධයක් නොමැති සිරියාවක් බිහිවන තුරුය. එහෙත්
ඒ සිහිනය සැබෑ වන දිනයක් පිළිබඳ සිතාගත නොහැකිය.
මා ජාතිවාදයට සහ ආගම වාදයට තදින්ම විරුද්ධය. අපේ එකම ජාතිවාදී අදහසකින්,ප්‍රකාශයකින්,ක්‍රියාවකින් අවුලන්නේ අනාගත යද්ධයක ගිනි පුපුරුය. එහි අවසානය කිසිත් නොව ඉහත විස්තර කල ළමා ලපටින්ගේ ශෝකන්තයයි.....
ReplyDeleteඔබේ අදහස සමග මා ද එකඟයි.
Delete