පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Sunday, March 12, 2017

සමලිංගික හුටපටයක් නිසා රුසියාව Beauty and the Beast තහනම් කරයි


සුප්‍රකට වෝල්ට් ඩිසිනි සමාගම මගින් නිෂ්පාදනය කොට මේ මාර්තු මාසයේ 16 වැනිදා තිරගත කිරීමට නියමිත බියුටි ඇන්ඩ් ද බීස්ට්’ (Beauty and the Beast) නම් නවතම සංගීතමය සිනමා පටය රුසියාව තුළ තහනම් කිරීමේ සූදානමක් පැවතීම පිළිබඳ පුවත මේ දිනවල ජාත්‍යන්තර මාධ්‍යය ඔස්සේ ආන්දෝලනාත්මක කතා බහකට ලක්වෙමින් පවතී. මෙයට හේතුව වශයෙන් සඳහන් කරන්නේ රුසියාවේ සමලිංගික නීතියට පටහැනි දර්ශන මෙහි අන්තර්ගතවීම යන්නය. 


බියුටි ඇන්ඩ් ද බීස්ට්යනු ලොව පුරා ළමා පරපුර මෙන්ම වැඩිහිටි පරපුරද එකසේ රස විඳි සුප්‍රකට සුරංගනා කතාවකි. මෙය සුරංගනා කතාවක් ලෙස ඒ ආකාරයෙන්ම නිර්මාණය වූ පොත් සහ සිනමා නිර්මාණ බොහොමයකි. එමෙන්ම මෙය පාදක කරගනිමින් බිහි වූ නිර්මාණයන් ද එමටය. වෝල්ට් ඩිස්නි සමාගම වෙනුවෙන් මෙය යළි නිර්මාණය කරන්නට දායක වී ඇත්තේ එහ අධ්‍යක්ෂ බිල් කොන්ඩන්ය. තිර රචනය ස්ටීවන් ච්බොස්ක්ගෙනි. එමා වොට්සන්, ඩෑන් ස්ටීවන්, ලූක් එවන්ස්, කෙවින් ක්ලයින් ඇතුළු ලෝක ප්‍රකට නළු නිළියන් රැසක් පෙනී සිටින මෙහි නිෂ්පාපදන පිරිවැය ඇමරිකානු ඩොලර් මිලියන 160කි. මෙහි පූර්ව දර්ශනයක් පසුගිය පෙබරවාරි 23 වැනිදා ලන්ඩනයේ දී දැක ගත හැකි විය. ඉන්පසු වෝල්ට් ඩිස්නි සමාගම මෙය ලොව පුරා ප්‍රදර්ශනය කරන්නට සූදානම් වෙද්දී රුසියාවෙන් ඉහත සඳහන් කළ විරෝධය මතු ව ආවේය. 


රුසියානු නීති සම්පාදකයකු වන විටාලි මිලිනොව් විසින් එරට සංස්කෘතික අමාත්‍ය ව්ලැදිමීර් මෙඩින්ස්කි වෙත ලිපියක් යොමු කරමින් පවසා තිබුණේ ඉදිරියේ ප්‍රදර්ශනය වීමට නියමිත මෙම චිත්‍රපටයේ සමලිංගික දර්ශනයක් ඇතුළත්ව ඇති බැවින් ඒ පිළිබඳ සොයා බලා ප්‍රදර්ශනය කිරීම අවලංගු කොට දමන ලෙස බව එරට ආර්.අයි.ඒ. නොවොස්ති පුවත් සේවය වාර්තා කොට තිබිණි. 


බාල වයස්කරුවන්ට සමලිංගිකත්වය පිළිබඳ තොරතුරු දැනගන්නට සැළැස්වීම රුසියාව තුළ 2013 වසරේ සිට නීතියෙන් තහනම්ය. රුසියානු ජනධිපති ව්ලැදිමීර් පුටින් විසින් අත්සන් තබන ලද මෙම නීතියට එරට මෙන්ම සෙසු බටහිර ලෝකයේ මානව හිමිකම් ක්‍රියාකාරීන්ගේ සහ ලොව පුරා සමලිංගිකයන්ගේ දැඩි කෝපයට හේතු වී ඇත. මෙම නීතියෙන් ප්‍රකාශ කොට ඇත්තේ සමලිංගිකත්වය යනු සාම්ප්‍රදායික නොව ලිංගික සබඳතාවයක්ලෙසිනි. 


ළමා කතා කියන වෙස් මුහුණ දාගෙන චිත්‍රපට නිෂ්පාදකයෝ කරන්නේ මොනවද කියන එක ගැන සමාජයට මේ තත්වය යටතේ නිහඬව බලා ඉන්න බැහැ.මිලිනොව් පැවසීය. 


මෙම චිත්‍රපටයේ පිටපතක් ලද වහාම සංස්කෘතික අමාත්‍යංශය මේ පිළිබඳ නීතිමය පියවරක් ගනු ඇති බව මෙඩින්ස්කි බීබීසී පුවත් සේවයට පැවසූවේය. 



ඩිස්නි සමාගම තම සිනමා නිර්මාණයකට එක් කළ සමලිංගික අර්ථයක් කුළුගැන්වෙන ප්‍රථම අවස්ථාව මේ යැයි පැවසේ. මෙහි සමලිංගික චරිතය වන ලීෆෞ ලෙස පෙනී සිටින්නේ ජොෂ් ගාර්ඩ් නම් රංගන ශිල්පියාය. ප්‍රසිද්ධ දර්ශනයක මෙම රංගන ශිල්පියා සමලිංගික හැඟීම් ජනිත කරවමින් රංගනයේ යෙදෙයි. තත්පර කිහිපයක පමණ දර්ශනයක් වන මෙහි පිරිමින් දෙදෙනෙකු අතර ප්‍රේමාන්විත හැඟීම් හුවමාරු වන බව දක්නට ලැබේ. 


රුසියාවේ පමණක් නොව ඇමරිකාවේ ඇලබාමා ප්‍රාන්තයේ සිනමා ශාලාවක පරිපාලනය ද මෙම දර්ශනය සහිතව මෙය ප්‍රදර්ශනය කිරීම ප්‍රතික්ෂේප කොට ඇති බව වාර්තා වේ. 


රුසියාවේ පාසල් දරුවන්ට සිසිර ඍතුව සඳහා නිවාඩු ලබාදීමත් සමඟම මෙම චිත්‍රපටය එරට ප්‍රදර්ශනය කරන්නට සැලසුම් කොට තිබීම පිළිබඳ එරට දෙමාපියන් ද මහත් කනස්සල්ලට පත් සිටින බැව් වාර්තා වේ. එවැනි බොහෝ දෙමාපියන්ගෙන් මෙයට විරෝධය පළකොට ලිපි ද ලැබී ඇති බව ඔහු සඳහන් කරයි. 


රජයේ ප්‍රධාන වගකීම වන්නේ පිළිකුල් සහගත දෙයින් පිරුණු ලෝකයෙන් තම දරු පරපුර සහ තරුණ පරපුර ආරක්ෂා කරගැනීමයි. දරුවන්ගේ පිවිතරු බව රැකගෙන ඔවුන්ව අහිතකර දෙයින් වළකාලිය යුතුයි. ඒ නිසා කුමන ආකාරයෙන් වේශයකින් පැමිණියත් මේ සංගීතමය චිත්‍රපටය රුසියාව තුළ ප්‍රදර්ශනය කිරීම තහනම් කළ යුතුයි.” 


යනුවෙන් මිලිනොව් සිය අදහස් ඉදිරිපත් කරමින් පැවසීය. 


ලෝකයේ සිදුවන විවිධාකාර විනාශකාරී සිදුවීම් පිළිබඳ ලෝකය දැනුම්වත්කරමින් ඒවා නවතාලන්නට ක්‍රියාත්මක වන ජාත්‍යන්තර සංවිධානයක් සහ වෙබ් අඩවියක් වන චේන්ජ්.ඕආර්ජී’ (www.change.org) ද අන්තර්ජාලය ඔස්සේ පෙත්සමක් ඉදිරිපත් කරමින් උදක්ම මෙම සමලිංගික දර්ශනය ඉවත්කොට මෙය තිරගත කරන ලෙස පවසා සිටියත් දැන් එම පෙත්සම ඉවත්කොට ගෙන තිබේ.


මෙය තිරගත වන්නට තව වැඩි දිනක් නැත. ඩිස්නි සමාගම මේ සම්බන්ධව කුමන තීරණයක් ගනු ඇති දැයි කිව නොහැකිය. අපට සිදුව ඇත්තේ කුමක් සිදුවේදැයි බලා සිටීම පමණි.



4 comments:

  1. billion is mistaken for million in 2nd paragraph. it should be 160 million.

    ReplyDelete
    Replies
    1. Thank you for showing the error. I corrected it.

      Delete
  2. පක්ෂ හෝ විපක්ෂ කමෙන්ට් වලින් ඔබව මනිනු ලබන අතර ඔබ සමලිංගිකයකු හෝ ප්‍රතිගාමියකු ලෙස වර්ග කරනු ලැබේ.

    ReplyDelete
    Replies
    1. හ්ම් . . . එහෙම වෙන්නත් පුළුවන් . . .

      Delete

මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න