පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Saturday, December 24, 2016

අලුත් ලෝකයට අලුත් ගැජට් 15 කොටස - New Gadgets for New World Part 15

මේක තමයි අලුත්ම වතුර බෝතලේ




අපට ලොකු ජල හිඟයක් නැතත් පිරිසිදු ජලය බොන්න කැමති බොහෝ දෙනෙක් කොහේ ගියත් වතුර බෝතලයක් අරන් යන එක නම් දැන් පුරුද්දක් වෙලා. උණුකරලා නිවාගත්ත ජලය වුනත් සම්පූර්ණයෙන්ම සෞඛ්‍ය සම්පන්නයි කියන්න බැහැ. ඒ නිසා මේ අලුත්ම වතුර බෝතලය ගැන දැනගෙන ඉන්න එක හොඳයි. මේක හඳුන්වන්නේ Black+Baum Eau Good Water Bottle නමින්. සෞඛ්‍යයට හිතකර, ඉතා සැහැල්ලු ප්ලාස්ටික් වර්ගයකින් නිමවා ඇති නිසා මෙය බරින් ද ඉතාමත් අඩුයි. ඒ විතරක් නෙවෙයි මේ බෝතලේ ඇතුලේ සක්‍රීය බින්කොටාන් කියල ගල් අඟුරු වර්ගයෙන් සාදන ලද පෙරහනයක් තියෙනවා. බින්කොටාන් කියන්නේ ජපන් භාෂාවෙන් සුදු ගල් අඟුරුකියන තේරුම තියෙන වචනයක්. ජපන් වැසියන් 17 වැනි සියවස තරම් ඈත කාලයක පටන් ජලය පිරිසිදු කරගන්න මේ බින්කොටාන් කියන ගල් අඟුරු විශේෂය භාවිත කරලා තියෙනවා. ජලයේ ඇති ක්ලෝරීන් අවම කරලා එයට අවශ්‍ය ඛනිජ ලවණ කොටස් එකතු කරන්නත් ජලයේ තිබිය යුතු නිවැරදි පී.එච් මට්ටම (pH level) පවත්වා ගන්නටත් මේ පෙරහනයට පුළුවන්. මේ නිසා තමන් පානය කරන්නේ නිසැකැවම පිරිසුදු ජලය කියලා ඔබට සහතික වෙන්න පුළුවන්. සැහැල්ලු ප්ලාස්ටික් වර්ගයක් වුනත් ඉතාමත් ශක්තිමත්ව නිපදවා ඇති මෙහි මිල ඇමරිකානු ඩොලර් 18.95 (රුපියල් 2,816) වෙනවා.






ස්මාර්ට් වයර් කෝඩ් එකක්





හැමදේම ස්මාර්ට් වෙන එකේ වයර් කෝඩ් එකටත් එයින් ගැළවෙන්න බැහැ. Orvibo COCO කියන්නේ මේ විදිහට ස්මාර්ට් ආකාරයෙන් නිපදවපු වයර් කෝඩ් එකක්. මෙයට සාමාන්‍ය ප්ලග් හෙවත් කෙවෙනි තුනක් සම්බන්ධ කරන්න පුළුවන්. ඒ වගේම යූ.එස්.බී. කෙවෙනි දෙකක්ද තිබෙන නිසා ජංගම දුරකතන ආරෝපණය කරගන්නටත් පුළුවන්. මෙයින් ලැබෙන ප්‍රයෝජනය මෙය පමණක් නෙවෙයි. මෙය හා ඔබගේ ස්මාර්ට් ජංගම දුරකතන අතර සම්බන්ධතාවයක් ගොඩනගා ගත හැකි නිසා මෙයට සම්බන්ධ කොට ඇති විවිධ උපකරණවල තත්වය ඔබගේ ජංගම දුරකතනයෙන් පරීක්ෂා කරන්නටත්, ඒවායේ ක්‍රියාකාරීත්වය පාලනය කරන්නටත් පුළුවන්. මෙහි මිල ඇමරිකානු ඩොලර් 64.86 (රුපියල් 9,639) වෙනවා.




සුවඳ හමන අත් පළඳනාවක්






අත් පළඳනා එහෙමත් නැත්නම් දන්න විදිහට කිව්වොත් බ්‍රේස්ලට් කියන්නේ බොහෝ දෙනෙක් පළඳින්න ප්‍රිය කරන දෙයක්. රන්, රිදී වගේම වෙනත් ලෝහවලින් තනන ලද ඒවා, විවිධ ප්‍රමාණයන්ගෙන්, විවිධ මිල ගණන් යටතේ මිලට ගන්නට පුළුවන්. නමුත් මේ කතා කරන්න සැරසෙන අත් පළඳනාව මේ හැම එකක්ටම වඩා වෙනස්. මෙය Lockstone Solaris Fragrance Infused Bracelet නමින් හඳුනවනවා. නමින්ම කියැවෙන පරිදි මේක සුවඳ හමන අත් පළදනාවක්. ගැහැනු පිරිමි භේදයක් නැතිව පළඳින්න පුළුවන්. මෙය නිපදවා ඇති ද්‍රව්‍යයට ඕනෑම සුවඳක් උරාගැනීමේ හැකියාව තිබෙනවා. ඒ නිසා ඔබ කළ යුත්තේ ඔබේ ප්‍රියතම සුවඳ විලවුන් වර්ගය මෙම අත් පළඳනාවට විදීම පමණයි. මෙයට එම සුවඳ උරාගෙන ඔබ අවට සුවඳවත් කරන්නට මෙයට හැකියාව තිබෙනවා. මෙහි ඇති අනෙක් විශේෂත්වය තමයි ඔබේ සුවඳ විලවුනයේ සුවඳ පවතින කාලය මෙන් සත් වාරයක කාලයක්  සුවඳ රඳවාගන්නට මෙයට ඇති හැකියාවයි. මෙය නිෂ්පාදනය කළ විශේෂඥයන් පවසන්නේ මෙය පසුපස ඇති ක්‍රියාකාරීත්වයේ රහස කේශාකර්ෂණ ක්‍රියාවලිය බවයි. මෙහි මිල ඇමරිකානු ඩොලර් 44ක් (රුපියල් 6,552ක්) වෙනවා.





පෙර ලිපිය

No comments:

Post a Comment

මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න