පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Friday, December 16, 2016

ජයලලිතා - ශෂිකලා අසම්මත ප්‍රේමය සහ තමිල්නාඩු දේශපාලනය


ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ මහ ඇමතිනියව සිටි ජයලලිතා පසුගියදා මිය ගියාය. නිළියක ලෙසින් හඳුනාගත් ඇය මිය ගියේ ප්‍රබල දේශපාලන චරිතයක් ලෙසිනි. හිටපු දකුණු ඉන්දීය නළුවකු වූ එම්.ජී. රාමචන්ද්‍රන්ගේ නොනිල බිරිඳ ලෙස ප්‍රකටව සිටි ඇය ඔහුගේ මරණින් පසු ඔහුගේ උරුමය වු සමස්ත ඉන්දීය අන්නා ද්‍රවිඩ මුන්නේත්‍ර කසාගම් පක්ෂයේ නායිකාව බවට ද පත්වූවාය. ඇගේ දේශපාලන ජීවිතය පසුපස සිටි දැවැන්තම සෙවනැල්ල වූයේ රාමචන්ද්‍රන් වුවත්, ඇතැම් විට ඔහුට ද වඩා ඇයට බලපෑම් කළ තවත් චරිතයක් ලෙස ශෂිකලා නට්රාජන් පිළිබදව සඳහන් කළ හැකිය. ජයලලිතා සහ ශෂිකලා අතර පැවැති සමීපත්වය කෙතරම් ද යත් එය අසම්මත ඇසුරක් දක්වා දුරදිග ගොස් පැවැති බව ප්‍රසිද්ධ කරුණකි.  ජයලලිතාගේ මරණින් පසුව  ඔවුන්ගේ මේ අසම්මත ඇසුර පිළිබඳ කතා මතුවන්නට පටන් ගෙන තිබේ.

ශෂිකලාගේ සැමියා වූ ආර්. නට්රාජන් තමිල්නාඩු රජයේ තාවකාලික පදනම යටතේ මහජන සම්බන්ධතා නිලධරයකු- ලෙස සේවය කළ අයෙකි. ඔහු දිස්ත්‍රික් අයබදු එකතු කරන්නිය වූ චන්ද්‍රලේඛා සමඟ ඉතා සමීපව වැඩකටයුතු කළේය.  චන්ද්‍රලේඛා එවකට මහ ඇමතිව සිටි රාමචන්ද්‍රන්ට ඉතා සමීපව සිටි තැනැත්තියක විය.

රාමචන්ද්‍රන් සහ ජයලලිතා අතර පැවැති සමීප සබඳතාවය නිසා ඔහු නිතරම උත්සාහ කළේ සිය දේශපාලන උරුමකාරිය බවට ජයලලිතා පත්කිරීමය. ජයලලිතා වටා බොහෝ පිරිසක් අකාර්ෂණීය වීම මෙයට බලපෑ ප්‍රබලතම හේතුව විය. එහි මුල් පියවර වශයෙන් රාමචන්ද්‍රන් විසින් ජයලලිතා සිය පක්ෂයේ ප්‍රචාරක ලේකම්වරිය බවට පත් කළේය.

ශෂිකලා චිත්‍රපට පිළිබඳ උනන්දු වූ තැනැත්තියක බැවින් අමතර ආදායමක් උපයා ගනු වස් වීඩියෝ පට කුලියට දීමේ ව්‍යාපාරයක් ආරම්භ කළාය. එමෙන්ම කුඩා විඩියෝ කැමරාවක් ගෙන අසල්වැසියන්ගේ මංගල උත්සව ආදිය වීඩියෝ ගත කර යම් ආදායමක් උපයාගන්නට පටන් ගත්තාය. ජයලලිතාගේ වීඩියෝ චිත්‍රපටයක් රූප ගත කරන්නට මේ කාලයේ ශෂිකලාට සිතුණි. ඇය සිය සැමියාට පැවසූවේ චන්ද්‍රලේඛා ලවා මේ සඳහා අවස්ථාව සලසා ගන්නා ලෙසය. චන්ද්‍රලේඛාගේ කුඩා පුතු වූ අභිජීත් බලා කියා ගන්නා වැඩකටයුතු සිදු කළේ ශෂිකලා වූ බැවින් ඇයට මෙම ඉල්ලීම මග හරින්නට හැකියාවක් තිබුණේ ද නැත.

චන්ද්‍රලේඛා විසින් ශෂිකලාව ජයලලිතා හට හඳුන්වා දුන් අතර ඔවුහු දුටු සැනින් මිතුරියන් බවට පත් වූහ. ජයලලිතා සහ ශෂිකලා හමුව සිදුවූයේ ඒ අයුරිනි. කාලයත් සමග ජයලලිතාගේ ඉතා විශ්වාසවන්තම මිතුරිය බවට පත් වූයේ ශෂිකලාය. ජයලලිතාගේ යහපත් කාලවලදී පමණක් නොව අයහපත් කාලවලදී ද ශෂිකලා ඇය සමඟ සිටියාය.


1987 වර්ෂයේ ජයලලිතාගේ මරණයත් සමඟ ජයලලිතා මහත් කැලඹීමකට පත් වූ ඇය රාමචන්ද්‍රන්ගේ බිරිඳ වූ ජානකීගේ රූකඩයක් බවට පත්වූවාය. කෙසේ මුත් තමා ජානකීගේ හිංසනයන්ට ලක්වන බව ජනතාවට පවසමින් තමාට පැවැති ජනප්‍රසාදය ඔස්සේ වැඩි කාලයක් ගතවන්නට මත්තෙන් තමිල්නාඩු ප්‍රාන්තයේ මහ ඇමතිනිය බවට පත්වන්නට සමත් වූවාය.

පසුව ජයලලිතාගේ ආධාරකරුවන් විසින් ගෙන ආ දෝෂාභියෝගය හමුවේ පරාජයට පත්වූ ජානකීට පක්ෂය පවා අහිමිව ගියේය. ජයලලිතා මහ ඇමතිනිය ලෙසත් රාමචන්ද්‍රන්ගේ දේශපාලන උරුමකාරිය ලෙසත් පෙරමුණටම පැමිණියාය. ජයලලිතාගේ ප්‍රබලත්වය සමග ශෂිකලාගේ තත්වය ද ප්‍රබල විය. සැබැවින්ම පැවසුවහොත් ඇය ජයලලිතාට ද වඩා ප්‍රබල තැනකට පත් වූවාය. ඇමතිවරුන් ඇතැම් විට කෙළින්ම විධාන ලබාගත්තේ ශෂිකලාගෙනි.

ජයලලිතාගේ ජීවිතය වට කොට සිටියේ ශෂිකලාගේ ඥාතීන්ය. ඇයගේ සියලු ඕනෑ එපා කම් ඉටු කරන්නට ඔවුහු සැදී පැහැදී සිටියහ. ඉන්දියානු දේශපාලඥනයකු වූ සුබ්‍රමනියම් ස්වාමි මෙය හඳුන්වා දුන්නේ මන්නාර්ගුඩි මාෆියාවලෙසිනි. මන්නාර්ගුඩි යනු ශෂිකලා උපන් ගමය.
1989 දී ජයලලිතා මහ ඇමතිනිය බවට පත්ව සිටි සමයේ ශෂිකලා සිය ගම වූ මන්නාර්ගුඩියේ සිට සේවකයන් 40 දෙනෙක් ජයලලිතාගේ නිවසේ වැඩකටයුතු කිරීම සඳහා රැගෙන ආවාය. ජයලලිතාගේ සේවිකාවන්, අරක්කැමියන්, රියැදුරන් ආදී සියලු දෙනා ශෂිකලාගේ ගමෙහි පිරිස විය. ජයලලිතාගේ ආනුභාවයට පින් සිදුවන්නට 1996 වන විට ශෂිකලා ඇතුළු ඥාතීහු ඉතා ධනවතුන් බවට පත්ව සිටියහ. ශෂිකලා ඇතුළු ඥාතීන් අයථා ක්‍රම මගින් මුදල් උපයන බවට තොරතුරු  තමිල්නාඩු ප්‍රාන්තය පුරා පැතිර ගියේය. 1996 මැතිවරණයෙන් ජයලලිතා පරාජයට පත්වීමට මෙය ප්‍රබල හේතුවක් විය.



කෙසේ නමුත් 1998 දී ජයලලිතා නැවත තමිල්නාඩු මහ ඇමතිනිය බවට පත්වූවාය. ඒ එවක ඉන්දීය අගමැති වූ අතල් බිහාරි වජ්පායිගේ ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානය සමග එක්වීමෙනි. කෙසේ නමුත් අගමැතිවරයාගේ පක්ෂයේ සිටි ප්‍රමෝද් මහ්ජාන් සහ බරේෂ් මිශ්‍රා, මන්නාර්ගුඩි මාෆියාව පිළිබඳ කතා නැවත හාරා අවුසන්නට වූහ. කෙසේ නමුත් ශෂිකලාගේ පවුලේ පැවැති අධික ධන බලය හමුවේ ප්‍රමෝද් මහජාන් වැනි දේශපාලනඥයන් ද පසුබා ගිය බැව් පෙනෙන්නට තිබිණි.  මහජාන් අවසානයේ සිදු කළේ ශෂිකලාව නොසළකා හැරීම. කෙසේ මුත් එම නොසළකා හැරීම මහ විනාශයක් බවට පත් වූ බව පෙනුණේ ශෂිකලා සෝනියා ගාන්ධි සමඟ එක්වීමත් සමගිනි. ශෂිකලා 1999 වසරේදී නවදිල්ලියේ අශෝක හෝටලෙයේ තේ පැන් සාදයක් සංවිධානය කළේය. මෙයට අනුග්‍රහ දැක්වූයේ සුබ්‍රමනියම් ස්වාමිය. ඔහු එයට අනුග්‍රහය දක්වන්නට හේතුව වූයේ එවක අගමැති වජ්පායි ඔහුව කැබිනට් ඇමැතිකමක් ලබාදීම ප්‍රතික්ෂේප කිරීම නිසාය.  ජයලලිතාගේ පක්ෂය වජ්පායීගේ රජයෙන් ඉවත් වූ අතර වජ්පායීගේ රජය බිඳ වැටුණි. 2003 වසරේදී අධිකරණය නියෝගයකින් ජයලලිතා නැවත බලයට පැමිණිය ද 2006 වසරේදී යළි පරාජයට පත්වූවාය. මේ සියලු ජය පරාජයන්හීද ශෂිකලා නොසැලී ජයලලිතා සමග සිටියාය.

2011 දී ජයලලිතා නැවත බලයට පැමිණියාය. ශෂිකලා තමිල්නාඩු මහ ඇමතිනිය බවට පත්කිරීම සඳහා මේ සමයේ ශෂිකලාගේ මන්නාර්ගුඩි මාෆියාව සැලසුම් කළේය. එයට හේතුව වූයේ බැංගලෝර් උසාවියේදී අසමින් පැවැති වත්කම් නඩුවේ තීන්දුව නිසා ජයලලිතාට සිරගත වන්නට සිදුවනු ඇතැයි ඔවුන් සිතූ බැවිනි. ජයලලිතාගේ කල්‍යාන මිත්‍රයකු වූ එවකට ගුජ්රාත් මහ ඇමතිව සිටි  නර්න්ද්‍ර මෝඩි, මන්නාර්ගුඩි මාෆියාව පිළිබඳ ජයලලිතාට අනතුරු ඇඟවූවේය. තමිල්නාඩුව කරා පැමිණෙන ආයෝජකයන්ගෙන් ශෂිකලාගේ පිරිස විසින් කප්පම් ලබාගන්නා බැවින් ඔවුන් ආයෝජනයන් අමතක කොට දමා තමිල්නාඩුව අතහැර යන බව ද හෙළි කළේය. එමෙන්ම ඔවුන් තමාට වස දෙන්නට කුමන්ත්‍රණයක් කරන බවට දූෂමාන ආරංචියක් ද ජයලලිතාගේ කණ වැකුණි. ඉමහත් භීතියට පත් ජයලලිතා, වෛද්‍ය පරීක්ෂණ කිහිපයක් සිදුකරගැනීම සඳහා ශෂිකලාට ද නොකියා වෛද්‍යවරයකු හමුවන්නට ගියාය. එහිදී හෙළිවූයේ ඇයට සුළු ප්‍රමාණයකින් ආසනික් අඩංගු වේදනා නාශක ලබාදී තිබුණු බවය. මේ වන විට ජයලලිතාගේ නිවසේ සේවය කළේ ශෂිකලාගේ හෙදියකි. ඇයගේ සියලු කෑම බීම භාරව සිටියේ ඇය ය. ජයලලිතාගේ ඉවසීමේ රතු කට්ට පැන්නේ මේ සමයේදීය. යම් හෙයකින් තමා සිරගතවුවහොත් තම පුටුවශෂිකලාට ලබාදීම සඳහා පැවැති කුමන්ත්‍රණ කතා බහ පිළිබඳව ද ඇයට දැනගන්නට ලැබිණි.

2011 දෙසැම්බර් 17 වැනිදා ජයලලිතා කෙවිට අතට ගත්තාය. ඇය මන්නාර්ගුඩි කල්ලියට සිය නිවසින් පටවන ලෙස අණ කළාය. ශෂිකලාව ද පක්ෂයෙන් නෙරපා දැමුවාය. අයථා ක්‍රම මගින් මුදල් ඉපැයූවේ යැයි චෝදනා කරමින් ශෂිකලාගේ ඇතැම් ඥාතීන් සිරභාරයට ද පත් කෙරිණි.
දශක කිහිපයක් තිස්සේ ජයලලිතා සහ ශෂිකලා අතර පැවති, ඉන්දීය දේශපාලනයේ අසමසමසමීප සබැඳියාවට කණකොකා හැඩුවේ ඒ අයුරිනි. නමුත් මේ විරසකය වැඩි කාලයක් පැවැතියේ නැත. 2012 මාර්තු මාසයේදී ජයලලිතා නැවත ශෂිකලා සිය සමීපයට ගත්තාය. ඇය එවර පැවසූවේ ශෂිකලා සහ ඇගේ පවුලේ පිරිස තමාට එරෙහිව කුමන්ත්‍රණයක් කළ බව තමා නොදන්නා බව හා එවැනි කටකතා විශ්වාස නොකරන බවය.


තමාගේ ජීවිතය පවා අවදානමේ හෙළන ලද ශෂිකලා නොමැතිව ජයලලිතාට ජීවිතය ඉදිරියට රැගෙන යාම මේ තරම් දුෂ්කර වූයේ මන්ද යන්න කිසිවකු දන්නේ නැත. ජයලලිතා මිය ගිය බැවින් ඇගෙන් ඒ පිළිබඳව දැනගන්නට හැකියාවක් ද නැත. ශෂිකලා කිසිදා එවැන්නක් හෙළිකරතැයි සිතිය නොහැකිය. ශෂිකලාගේ සිතෙහි දැන් බලපවත්වනවා ඇත්තේ තමිල්නාඩු මහ ඇමති සිහිනය බව නිසැකය. ජයලලිතාගේ නිසල දේහය අසල ශෂිකලා නිරතුරු රැඳී සිටිමින් ලෝකය හමුවේ පැවසුවේ තමා ඇයට සිටි එකම ආරක්ෂකයා තමාය යන්න පමණක් නොව, “අම්මා ගියාය - ශෂිකලා දිනේවායන්න විය හැකිය. 

මේ සම්බන්ධ තවත් ලිපියක්

2 comments:

  1. Hodai Niwaradi karanu mata padanam wela digatama liyanna

    ReplyDelete
    Replies
    1. ඔබේ අදහස් දැක්වීමට ස්තූතියි

      Delete

මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න