පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Thursday, October 9, 2014

ජයලලිතාගේ පැටිකිරිය මෙන්න - Story behind Jayalalitha



අප රටේ ඊළාම් රාජ්‍යයක් ගොඩනගන්නට කලකට පෙර අරගලයක යෙදුනේ වේලුපිල්ලේ ප්‍රභාකරන්. ඔහුගේ මරණයෙන් පසුව තවත් බොහෝ අය ඒ වෙනුවෙන් හඬ නැගුවත් ඒ අතරින් අප රටට හිසරදයක් වන තරමට කෑගැසුවේ ඉන්දියාවේ තමිල්නාඩු මහඇමතිනී ජයලලිතා ජයරාම්. අප රටේ ඊළාම්  රාජ්‍යයක් බිහිකරන්නේ යැයි ඇය නොයෙක්වර කියා සිටියා. තමිල්නාඩුවේ ඇගේ දේශපාලන බලය ද සෑහෙන මට්ටමතින් ඇති නිසා ඇයට ඒ වෙනුවෙන් සිටින ආවඩන්නන්ගේ පිරිස ද විශාලයි. පැණි වරකා ගෙඩියටත් හෙණ වදිනවා කියා කියමනක් අපේ තියෙනවා. එය යළිත් වරක් ඇත්තක් කරමින් ජයලලිතා 2016 දෙසැම්බර් 05 වැනිදා රාත්‍රී 11.30 ට පමණ ඉන්දියාවේ ඇපලෝ රෝහලේදී මිය ගියා. ඇය ජීවත්ව සිටි කාලයේත් අප රටට විනකොටන්නට හැකි සෑම උත්සාහක්ම දැරුවා. 

එක් අවස්ථාවකදී ඇය සිදුකළ විශාල මූල්‍ය වංචාවක් ද රටට හෙළිවුණා.  අවසානයේ ඇයට සැළකිය යුතු මුදල් වන්දියක් ගෙවන්නටද සිදුවුණා පමණක් නොවෙයි  වසර හතරක සිර දඬුවමක් ද හිමිවුණා. මේ පිළිබඳ උරණ වූ ඇගේ පාක්ෂිකයෝ කලබල කරන්නට පටන්ගත් අතර ඒවායේ ප්‍රතිපල ලෙස සෑහෙන දෙනෙකුට ජීවිත ද අහමි වුණා. 

දැන් ඇය මිය ගිහින්. කෙසේ වෙතත්අ ප රටට මෙතරම් විනකොටන්නට උත්සාහ කළ ඇගේ පැටිකිරිය ගැන යමක් කතාකිරීම වටිනා දෙයක්. 



ජයලලිතා ජයරාම්  1948 පෙබරවාරි 24 වැනිදා මයිසූර් දිස්ත්‍රික්කයේ (වර්තමාන කර්නාටක) මෙලුකෝටේ නම් ගමෙහි දෙමළ පවුලක උපත ලැබුවා. මේ කියන කාලේ ඇගේ සීයා මයිසූර් හි රජමාලිගාවේ ශල්‍ය වෛද්‍යවරයා ලෙස සේවය කළ බව පැවසෙනවා. ඒ නිසාම ඔවුනගේ පවුලත් මයිසූරයේ මහරාජා අතරත් සමීප ඇසුරක් පැවැතණා. ඇයට මව දුන් නම වූයේ කොමලවල්ලි’.





ජයලලිතාට අවුරුදු විසි දෙක පිරෙන කොට ඇගේ පියා මිය ගියා. ඇගේ මව කළේ ජයලලිතා ද සමග සිය දෙමාපියන් සිටි බැන්ගලෝර් ප්‍රාන්තයේ පදිංචියට යාමයි. පවුලට හරිහැටි ආදායම් මාර්ගයක් නොමැති වීම නිසා ජයලලිතාගේ මව සිනමාවට එක්වන්නට තීරණය කළා.  ඇය ඉන්දීය සිනමාවේ ජනප්‍රිය වූණේ සන්ධ්‍යානමින්.



බැන්ගලෝර් ප්‍රාන්තයේ සිටියදී පාසල් කිහිපයකදීම අධ්‍යාපනය ලබන ජයලලිතාට වැඩිදුර අධ්‍යාපනය සඳහා ශිෂ්‍යත්වයක් පවා හිමිවුණා. නමුත් ඇය එයින් ප්‍රයෝජනයක් ගත්තේ නැහැ. ජයලලිතා පාසල් යන අතරතුරේ ඇගේ මව චිත්‍රපටවල රඟපෑමට ගිය ද ජයලලිතාගේ පාසල් වැඩකටයුතුවලට බාධා නොවන විදිහට ඒවා සැළසුම් කරගැනීමට ඇය සිනමා අධ්‍යක්ෂවරුන් සමග ගිවිසුමකට එළැඹ තිබුණා. 1961 දී, පාසල් යන කාලයේම ජයලලිතා Epistle කියන ඉංග්‍රීසි චිත්‍රපටයේ පෙනී සිටියා. 1964 දී තිරගතවුණු චින්නදා ගොම්බේචිත්‍රපටයටත් ඇය රංගනයෙන් දායක වුණා. ඒක කන්නදා චිත්‍රපටයක්.  ඒ වනවිට ඇය 15වැනි වියෙහි පසුවුණා.  ජයලලිතාගේ මුල්ම දෙමළ චිත්‍රපටය වන්නේ 1965 දී තිරගතවුණු වෙන්නිර ආඩෛ’. දෙමළ චිත්‍රපට සඳහා මුළින්ම කොට සායක් ඇඳි නිළිය වන්නේ ද ජයලලිතායි. ඒ නිසා ඇය දෙමළ සිනමාවේ කැරළිකාර නිළියක් විදිහටද හඳුන්වනවා.

 
ඇම්.ජී. රාමචන්ද්‍රන්ගේ ඇල්ම බැල්මට හසුවුණේ මේ කාලෙදියි

1965 සහ 1972 අතර කාලයේ ඇය වැඩි වශයෙන්ම රඟපෑවේ එවකට දකුණු ඉන්දියාවේ ජනප්‍රිය නළුනකු වූ එම්.ජී. රාමචන්ද්‍රන් සමගයි. 1972 දී ඇය තවත් ජනප්‍රිය නළුවකු වූ ෂිවාජි ගනේෂන් සමඟ රඟ පෑ පට්ටිකඩා පට්ටනම්’, දෙමළ බසින් නිර්මාණය වුණු හොඳම චිත්‍රපටයට හිමි ජාතික සිනමා සම්මානය පවා දිනාගත්තා. ඉන්දියාවේ විවිධ බසින් නිර්මාණය වුණු චිත්‍රපට ගණනාවකම රඟපෑම වෙනුවෙන් ජයලලිතා හොඳම නිළියට හිමි සම්මාන රැසක්ම දිනාගත්තා.





ඇම්.ජී. රාමචන්ද්‍රන් සහ ජයලලිතා යනු දකුණු ඉන්දීය සිනමාවේ සුප්‍රකට පෙම්වතුන් යුවලක්. ඔවුන්ගේ මෙම පෙම් ජවනිකාවන් සිනමා තිරයට පමණක් සීමා වුණේ නැහැ. ඒවා තිරයෙන් පිටුපස ද රඟපෑ බැව් ප්‍රසිද්ධ රහසක්. ඔවුන්ගේ මෙම පෙම් හුටපටය දිගහැරෙන විටත් රාමචන්ද්‍රන් විවාහකයක්. ශ්‍රී ලංකාවේ නාවලපිටියේ උපන්නකු වූ ඔහු  විවාහ වී සිටියේ  ජානකී රාමචන්ද්‍රන් සමගයි. තත්වය එසේ වුවත් මාධ්‍යලෝකයේ නම් රාමචන්ද්‍රන්ගේ ප්‍රියාදරිය විදිහට ප්‍රකටව සිටියේ ජයලලිතායි. නමුත් ජයලලිතා බොහෝ විට රාමචන්ද්‍රන්ව හඳුන්වාදෙනු ලැබුයේ සිය උපදේශකයාහෝ ගුරුවරයාලෙසින්. ඔහු ජයලලිතාව සිය ග්‍රහණයට නතුකරගන්නා විට 42 වැනි වියෙහි පසුවුවත් ජයලලිතා ඒ වනවිට පසුවූයේ යන්තම් වයස 16ක් තරම් අඩු වයසක. ඒ කියන්නේ ඇය ඒ වෙනකොටත් ළමා වයසේ පසුවුණේ. අද වගේම නම් ළමා අපචාරයක් සිදු කළ වරදට රාමචන්ද්‍රන්ට නඩු පැවරෙන්නත් ඉඩ තිබුණා. 

රාමචන්ද්‍රන් සමග

සිනමාවෙන් ජයලලිතාට බොහෝ දුර ගමනක් යන්නට උදව් කළ රාමචන්ද්‍රන් පසුව ඇය දේශපාලනයට ද ඈඳා ගත්තා. ජයලලිතා දේශපාලනයට රැගෙන ආවේ එම්.ජී. රාමචන්ද්‍රන් කියන කාරණය සුප්‍රකට කරුණක් වුවත් ජයලලිතා නම්  එය නිතරම ප්‍රතික්ෂේප කළා.  නමුත් ඇය දේශපානයට පිවිසෙන්නේ 1982 දී ඇම්.ජී. රාමචන්ද්‍රන් විසින් ආරම්භ කරන ලද සමස්ත ඉන්දීය දෙමළ අන්නා ද්‍රවිඩ මුන්නේත්‍ර කසාගම්පක්ෂයේ සාමාජිකත්වය ලබාගැනීමෙන්. ඇය පසුව එම පක්ෂයේ ප්‍රචාරක ලේකම්වරිය බවට ද පත්වුණා. රාමචන්ද්‍රන්ට බිරිඳක් සිටිය ද බොහෝ දෙනෙකු අනාවැකි පළකළේ ඔහුගේ දේශපාලන උරුමය නිසැක ලෙසම හිමිවන්නේ ජයලලිතාට බවයි. මෙම තනතුරේ ඉතා සාර්ථක ලෙස වැඩකටයුතු කළ නිසා ඇයට එම පක්ෂයේ ප්‍රබල පුද්ගලයන් බොහොමයක් හඳුනාගන්නට ලැබුණා.  ඔවුන්ගේ කුමන්ත්‍රණයක් ලෙස ජයලලිතා සහ රාමචන්ද්‍රන් අතර සිත් පලුදුවීමක් ඇති වුණා.  1984දී රාමචන්ද්‍රන් රෝගාතුරවීමේ ප්‍රතිඵලයක් ලෙස එම තනතුරට පැමිණීමට ජයලලිතා උත්සාහ ගත්තත්  එහිදී ඇයට පක්ෂපාතී වුණේ පක්ෂයේ එක් පිරිසක් පමණයි. තවත් පිරිසක් සහාය පළ කළේ ජානකී රාමචන්ද්‍රන්ටයි. අවසානයේ බොහෝ අරගල මැද ජයලලිතා 1989 දී තමිල්නාඩු ප්‍රාන්තයේ මහඇමතිනිය බවට පත්වුණා. ජයලලිතා සහ ජානකී අතර ඇති එදිරිවාදි බව අදටත් එසේම පවතන බවයි පැවසෙන්නේ. ඔවුන්ගේ ආධාරකරුවන් අතර නිතරම ගැටුම් සිදුවෙනවා.

 
ගීයක් පටිගත කරමින්. රාමචන්ද්‍රන් පසෙක සිටී

මේ අතර තමිල්නාඩුවේ හිටපු මහ ඇමතිවරයෙකු වූ කරුණානිධි පවසන්නේ ජයලලිතා දිගින් දිගටම අවිවාහකව සිටින්නට හේතුව ඇය සමලිංගික ඇසුර ප්‍රියකිරීම නිසා බවයි. ඇය සිය පක්ෂයේ සමීප සාමාජිකාවක වූ ශෂිකලා නට්රාජන් සමඟ සමලිංගික ඇසුරක් පැවත්වූ බව සුප්‍රකට කාරණයක්. ඒ කෙසේ වුවත් ජයලලිතා සහ ශෂිකලා අතර දැනට ටික කලකට පෙර  විරසකයක් ඇති වුණා. අවසානයේ ජයලලිතා, ශෂිකලා වෙනුවෙන් ලබාදී තිබූ නිවසින්ද ඔවුනට යන්නට සිදු වුණා. 

ශෂිකලා සමඟ




ඇය දේශපාලන වශයෙන් ජයග්‍රහණය කළත් එය තමිල්නාඩු ප්‍රාන්තයේ අසරණ ජනතාවගේ ජයග්‍රහණය නොවේය යන්න එදත් අදත් සුප්‍රකට කරුණක්. ඇය අසරණ ජනතාවගේ ජීවන තත්වය උසස් කරනු වෙනුවට කළේ එහි අනෙක් පැත්ත. හොරමැරකම්, වංචා දූෂණ ආදිය සම්බන්ධව ඇයට එරෙහිව ඇති චෝදනා බොහොමයි. බලය අයුතු ලෙස යොදා ගැනීම නිසා වරක් ඇය පොලිස් අත්අඩංගුවට ද පත්වුණා.  ඒ කෙසේ වුවත් තමිල්නාඩුවේ බොහෝ දෙනෙකුට ඇගේ වැරදි නොපෙනෙන බවයි පෙනෙන්නට තිබෙන්නේ. අපට ඇය ‘නොදකිං‘ වර්ගයේ චරිතයක් වුණත් ඔවුනට ඇය තවමත් වීරවරියක්. 

ඇගේ අනුගාමිකයෝ ඇයට අම්මා’ හෝ පුරට්චි තලයිවි’ හෙවත් විප්ලවීය නායිකාව’ ලෙස හඳුන්වනවා. ජයලලිතාගේ දෙපා පවා නමදින ඇගේ අනුගාමිකයේ දැන් ඇගේ පින්තූරවලටත් වඳින්නට පටන් අරන්.  එයින් පෙනෙන්නේ ඇයට තවමත් එහි ඇති බලයයි. අපේ රටේ ඊළම පිහිටුවනවා යැයි පවසමින් ඇය අපට පසුගිය කාලය පුරාම පෙන්වූයේ ඇයට ඇති මේ බලයයි.

අගමැති මෝදි සමඟ




ජයලලිතා ජ්‍යෝතිෂය ගැන බොහෝ විශ්වාසයෙන් කටයුතු කළ තැනැත්තියක් බව පැවසෙනවා. ඇය නිතර තම කේන්ද්‍රය පවා පරීක්ෂාකර ගැනීමට පුරුදුව සිටි බවයි දැනගන්නට ලැබෙන්නේ. වරක් ඇගේ ජයග්‍රහණයක් පිළිබඳ අනාවැකි පළකළ නක්ෂත්‍රකරුවකුට ඇය ඉන්දීය රුපියල් දශලක්ෂයක් පවා ප්‍රදානය කළා. කෙසේ වුවත් ඇගේ සිර දඬුවම ගැන අනාවැකි පළකරන්නට කිසිම නක්ෂත්‍රකරුවකුට හැකියාවක් තිබුණේ නැහැ. අඩුම තරමේ මරණය ගැනවත්. ඊයේ (දෙසැම්බර් 05) දහවල් කාලයේදී පවා ඇගේ පාක්ෂිකයන් සඳහන් කළේ ඇය සම්පූර්ණ සුවය ලබා නොබෝ දිනකින්ම දේශපාලන කටයුතුවල නිරතවන්නට ද සූදානම්වන බවයි. 

තමන්ගේ ඇසේ ඇති පොල් පරාලය ගැන නොසිතා අනුන්ගේ පොල් කෙන්ද සොයන්නට යන කාටත් අත්වන්නේ මේ ඉරණම බව ජයලලිතා ලෝකය හමුවේ නැවත වරක් සපථ කළ බව නම් අවසාන වශයෙන් සඳහන් කළ හැකියි. 




No comments:

Post a Comment

මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න