පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Thursday, December 14, 2023

ඇන්ඩ්‍රොයිඩ් සංස්කරණ හඳුන්වන්නට රසකැවිලිවල නම් යොදා ගැනීම නැවැත්තුවේ ඇයි? - Why Did Google Stop Using Android Dessert Names?


ඔබත් ඇන්ඩ්‍රොයිඩ් පරිශීලකයෙක් නම්, වසර ගණනාවක් තිස්සේ ඇන්ඩ්‍රොයිඩ් සංස්කරණයන් Froyo, Ice Cream Sandwich, Lollipop, Oreo  ආදී විවිධ රසකැවිලි නම්වලින් හැඳින්වූ බව මතකයේ ඇති. නමුත් දැන් එම සංස්කරණයන් හඳුන්වන්නේ අංකයකින් පමණයි. එයට හේතු වන්නට ඇත්තේ කුමක්ද යන ගැටලුව බොහෝ දෙනෙකුට තිබෙන දෙයක්. ඒ ගැන තමයි අද අපි කතා කරන්න හදන්නේ. 

ඇන්ඩ්‍රොයිඩ් රසකැවිලි නම්වල ඉතිහාසය සැකෙවින්

ඇන්ඩ්‍රොයිඩ් පළමු සංස්කරණය, එනම් 1.0 2006 ඔක්තෝබර් මාසයේ T-Mobile G1  සඳහා නිකුත් කෙරුණා. ගූග්ල් සමාගම තුළ එය ‘ඇස්ට්‍රො බෝයි’ (Astro Boy) යන කේත නාමයෙන් හඳුන්වනු ලැබුවා. කෙසේ නමුත් එය මහජනතාව අතර ප්‍රචලිත වූයේ නැහැ. වසරකට පසුව ඇන්ඩ්‍රොයිඩ් 1.1 සංස්කරණට නිකුත් වූ අතර එය  ‘පෙටිට් ෆෝර්’ (PetitFour) කියන කේත නාමයෙන් හඳුන්වනු ලැබුවා. පෙටිට් ෆෝර් කියන්නේ ප්‍රංශ රසකැවිලි වර්ගයක්.

ඇන්ඩ්‍රොයිඩ් සංස්කරණයන් මහජනතාව වෙත නිකුත් කිරීමේ දී රසකැවිලි නම්වලින් ඒවා හැඳින්වීමේ අදහස මුලින්ම රැගෙන ආවේ ගූග්ල් සමාගමේ ව්‍යාපෘති කළමනාකරුවකු වූ රයන් ගිබ්සන් විසින්. මේ අනුව 2009 අප්‍රේල්  මාසයේ දී ඇන්ඩ්‍රොයිඩ් 1.5 සංස්කරණය Cupcake නමින් මහජනතාව වෙත නිකුත් වුණා. එයින් පසුව දශකයක පමණ කාලයක් තිස්සේ ඉංග්‍රීසි හෝඩියේ අකාරාදි පිළිවෙලට මේ සංස්කරණයන් සඳහා නම් භාවිත කෙරුණා. 

මේ අනවර්ත නම්වලට අමතරව සෑම රසකැවිලි වර්ගයක් සඳහාම ප්‍රතිමා නිර්මාණය කරන්නට ද ගූග්ල් සමාගම පියවර ගත්තා. මේ ලිපියේ ඉහළින්ම දක්වා තියෙන්නේ ඒවායි. ගූග්ල් සමාගම නිල වශයෙන් ඇන්ඩ්‍රොයිඩ් සංස්කරණයක් නිකුත් කරද්දී අනුගමනය කළ ක්‍රමවේදය වුණේ එයයි. මේ ප්‍රතිමා අදටත් කැලිෆෝර්නියාවේ මවුන්ටන් වීව්වල ඇති ගූග්ල් මූලස්ථානයේ දැකගන්නට පුළුවන්. 

පහතින් දක්වා ඇත්තේ මෙතෙක් නිකුත් කරන ලද ඇන්ඩ්‍රොයිඩ් සංස්කරණයන් හැඳින්වීම සඳහා යොදා ගත් රසකැවිලිවල නම් සහ නිකුත් කළ දිනයන්වල ලැයිස්තුවක්.

ඇන්ඩ්‍රොයිඩ් 1.5 - Cupcake -  2009 අප්‍රේල් 27

ඇන්ඩ්‍රොයිඩ් 1.6 - Donut -  2009 ඔක්තෝබර් 15

ඇන්ඩ්‍රොයිඩ් 2.0 - 2-1 - Eclair -  2009 ඔක්තෝබර් 26

ඇන්ඩ්‍රොයිඩ් 2.2 - 2.2.3 - Froyo -  2009 ඔක්තෝබර් 26

ඇන්ඩ්‍රොයිඩ් 2.3 - 2.3.7 - Gingerbread -  2010 දෙසැම්බර් 6

ඇන්ඩ්‍රොයිඩ් 3.0 - 3.2.6 - Honeycomb -  2011 පෙබරවාරි 22

ඇන්ඩ්‍රොයිඩ් 4.0 - 4.0.4 - Ice Cream Sandwich  -  2011 ඔක්තෝබර් 18

ඇන්ඩ්‍රොයිඩ් 4.1 - 4.3.1 - Jelly Bean  -  2012 ජූලි 9

ඇන්ඩ්‍රොයිඩ් 4.4 -  4.4.4 - KitKat  -  2013 ඔක්තෝබර් 31

ඇන්ඩ්‍රොයිඩ් 5.0 - 5.1.1 - Lollipop -  2014 නොවැම්බර් 12

ඇන්ඩ්‍රොයිඩ් 6.0 - 6.0.1 - Marshmallow -  2015 ඔක්තෝබර් 5

ඇන්ඩ්‍රොයිඩ් 7.0 - 7.1.2 - Nougat -  2016 අගෝස්තු 22

ඇන්ඩ්‍රොයිඩ් 8.0 - 8.1 - Oreo  -  2016 අගෝස්තු 22

ඇන්ඩ්‍රොයිඩ් 9.0 - Pie -  2018 අගෝස්තු 06

රසකැවිලි නමකින් හඳුන්වන ලද අවසන් ඇන්ඩ්‍රොයිඩ් සංස්කරණය වූයේ 2018 දී නිකුත් වූ ඇන්ඩ්‍රොයිඩ් 9.0 ලෙස නිකුත් වූ Pie නම් සංස්කරණයයි. එතැන් පටන් ඇන්ඩ්‍රොයිඩ් සංස්කරණයන් හඳුන්වන්නට පටන් ගත්තේ හුදෙක් සරල අංකයකින් පමණයි. එයට හේතුව කුමක්ද?

රසකැවිලි පටලැවිල්ල

2019 අගෝස්තු මාසයේ දී ගූග්ල් සමාගම ඇන්ඩ්‍රොයිඩ් 10 සංස්කරණය නිකුත් කරන ලද්දේ හුදෙක් සරල අංකයකින් පමණයි. 

එයට හේතුව වූයේ ගූග්ල් සමාගමට Q අකුරෙන් රසකැවිල්ලක් සොයාගන්නට බැරිකමක් නිසා නොවෙයි. ඇත්ත වශයෙන්ම එහි නිෂ්පාදන සම්බන්ධව උප සභාපති සමීර් සමාත් පැවසූවේ මේ සඳහා ගෝලීය ඇන්ඩ්‍රොයිඩ් කණ්ඩායම මේ වෙනුවෙන් Queens Cake  සහ quindim යන නම් මේ යෝජනා කර තිබුණු බවයි. නමුත් ඒ සඳහා එම නම යොදා ගැනීමේ යම් ගැටලුවක් පැවතුණා.

Quindim යනුවෙන් හඳුන්වනු ලැබුවේ බ්‍රසීලයේ අතිශය ජනප්‍රිය රසකැවිල්ලක්. නමුත් ගැටලුව වූයේ බ්‍රසීලයෙන් පිටත කී දෙනෙක් මේ පිළිබඳ අසා තිබෙනවාද යන්නයි. සාමාන්‍යයෙන් ආහාර පාන ගතහොත් රසකැවිලි යනු කලාපීය වශයෙන් ජනප්‍රියව පවතින ඒවායි. අනෙක ඇතැම් වචන වෙනත් භාෂාවලට හැරවීමේදී ද ගැටලු මතු වුණා. නමුත් ඇත්තේ අංකයක් පමණක් නම් එවැනි ගැටලුවක් පැන නගින්නේ නැහැ.      

අවසන් වශයෙන් ගූග්ල් සමාගමට අවශ්‍ය වූයේ සෑම භාෂාවක්ම, සෑම කලාපයක්ම තුළ පහසුවෙන් අවබෝධ කර ගත හැකි නමක් භාවිත කිරීමයි. එහි ප්‍රතිඵලය වූයේ Android 10  යන්නයි. ඉන් අනතුරුව නිකුත් වූ සෑම සංස්කරණයක්ම ඒ අයුරින්ම හඳුන්වන්නට පටන් ගැනුණා. 

සමාගම තුළ පවතින ඇන්ඩ්‍රොයිඩ් රසකැවිලි  නාමයන් 

සෑම ඇන්ඩ්‍රොයිඩ් සංස්කරණයක් සඳහාම මහජනතාව වෙත නිකුත් කරන නමට අමතරව අභ්‍යන්තරව භාවිත වන කේතු නාමයක් පවතිනවා. උදාහරණයක් ලෙස ගත්හොත් Android 9 - Pie සඳහා අභ්‍යන්තර වශයෙන් භාවිත වන කේත නාමය වන්නේ Pistachio IceCream යන්නයි. ඒවා මහජනතාව වෙත නිකුත් නොකෙරුන ද අභ්‍යන්තර වශයෙන් තවමත් භාවිතයේ පවතිනවා.

මේ අනුව Android 10  සඳහා වූ කේත නාමය වන්නේ Quince TartAndroid 11  සඳහා Red Velvet Cake ද, Android 12  සඳහා Snow Cone  ද, Android 13  සඳහා Tiramisu ද වශයෙන් අභ්‍යන්තර කේත නාම භාවිතයේ පවතිනවා. කෙසේ නමුත් ඒවා මහජනතාව වෙත නිකුත් කෙරෙන්නේ නැහැ.  

කණගාටුවට කරුණ නම් නැවත කෙදිනක හෝ ඇන්ඩ්‍රොයිඩ් සඳහා රසකැවිලි නාමයක් නිල වශයෙන් මහජනතාව වෙත නිකුත් නොකෙරෙන බවයි. බොහෝ දෙනෙක් ඊළඟට නිකුත් වන ඇන්ඩ්‍රොයිඩ් සංස්කරණය හඳුන්වන රසකැවිලි නාමය අනුමාන කරන්නට ද පුරුදුව සිටියා. ඇන්ඩ්‍රොයිඩ්වලට ආදරය කරන පරිශීලකයන්ට තවදුරටත් එවැන්නක් කරන්නට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. 


මේ පෝස්ට් එකත් කියවන්න

ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතියේ කතාව

                                                                                                                                                                            


No comments:

Post a Comment

මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න