පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Wednesday, July 31, 2013

රාජකීය දරු උපත, විලියම් සහ කැතරින් - Unknown Facts about the birth of Royal Baby


පසුගිය 23 වැනිදා එංගලන්ත රජ කිරුළේ අලුත්ම උරුමකරුවා ලොවට බිහි විය. ඒ මහ එලිසබෙත් මහ රැජිනගේ මුණුබුරා වූ විලියම් කුමරුගේ සහ ඔහුගේ බිරිඳ වූ කැතරින් කුමරියගේ කුළුඳුල් දරුවා ලෙසිනි. මේ පිළිබඳ එලිසබෙත් රැජිනගේ ප්‍රතිචාර කෙසේවේදැයි දැනගන්නට සියලු දෙනා බලා සිටියහ.  මන්ද මේ අලුත උපන් කේම්බ්‍රිජ් හි ජෝර්ජ් කුමරු, එසේත් නැත්නම් ජෝර්ජ් ඇලෙක්සැන්ඩර් ලුවිස් කුමරු යනු සියවසකටත් අධික කාලයකට පමණ පසුව එංගලන්ත රජ කිරුළට සෘජුව උරුම කියනා මී මුණුබුරකු හා මහ රැජිනක හමුවන ප්‍රථම අවස්ථාව මෙය වූ බැවිනි. වර්ෂ 1894 න් පසුව මෙවැනි හමුවීමක් සිදුව නැත. සැබැවින්ම ජෝර්ජ් කුමරුගේ උපත නිසා 87 හැවිරිදි එලිසබෙත් මහ රැජින මහත් උද්දාමයකට පත්ව සිටිනා බැව් පෙනෙන්ට තිබිණි. ඇය සිය මී මුණුබරාගේ සුව දුක් විමසා බැලීම සඳහා පසුගිය 24 වැනි බදාදා කෙන්සිංටන් මාළිගය බලා ගියාය. මෙය මාධ්‍යවල පුළුල් අවධානයට ලක්විය. සිය සැමියා වූ පිලිප් කුමරු සැත්කමකට බඳුන් වී විවේක ගනිමින් පසුවන බැවින් රැජින මේ ගමනට සහභාගී වූයේ තනිවමය. 


එංගලන්ත මහ රැජිනගේ මුණුබුරකු වූ කේම්බ්‍රිජ් හි ආදිපාදවර විලියම් කුමරු හා කේම්බ්‍රිජ් හි ආදිපාදවරිය කැතරින් කුමරියට කුළුඳුල් දරුවා ලැබීමේ පුවත වාර්තා කරන්නට බොහෝ මාධ්‍ය කල් තියාම සූදානම් වී සිටියහ. කැතරින් කුමරිය අන් කරුණක් සඳහා  රෝහලකට ගිය ද මාධ්‍ය ඇය පසුපස හඹා යන්නට තරම් මේ අවධානය දැඩිව තිබිණි. කේම්බ්‍රිජ් හි ආදිපාදවරිය වූ කැතරින් කුමරිය ජූලි 22 වැනිදා සාන්ත මේරි රෝහලට ඇතුළු කෙරිණි. අවසානයේ මාධ්‍යයට පුවත් ලබාදෙමින් පසුගිය ජූලි 22 වැනිදා බ්‍රිතාන්‍ය ගිම්හාන වේලාවෙන් ප.ව. 4.24ට (ජාත්‍යන්තර වේලාවෙන් ප.ව. 3.24) එංගලන්ත රජ කිරුළේ අලුත්ම උරුමකරුවා ලන්ඩනයේ සාන්ත මේරි රෝහලේ ලින්ඩෝ වින්ග් හිදී මෙලොව එලිය දුටුවේය. කැතරින් කුමරියට අවශ්‍ය වූයේ සිය පුත් කුමරු ස්වභාවික ලෙස උපත ලබනු දකින්නටය. එය එසේම සිදු විය. මෙහි ‛ලින්ඩෝ වින්’ යනු රාජකීයයන්ගේ හා ප්‍රභූවරුන්ගේ දරු උපත් සඳහා වෙන්වී ඇති අංශය වෙයි. ඩයනා කුමරිය විලියම් කුමරු හා හැරී කුමරු ප්‍රසූත කළේ ද මෙම රෝහලේ මෙම අංශයේම ය. 


මේ උපත සාම්ප්‍රදායික ලෙස බකින්හැම් මාලිගයේ පිටත රාජකීය ලාංඡනය සහිත දැන්වීමක් මගින් රටවැසියා හට දැනුම් දෙනු ලැබිණි. 
ඉපැරණි සම්ප්‍රදායයන් පිළිබඳ ගෞරවයෙන් ඒවා අනුගමනය කරන්නන් වශයෙන් ලෝකයේ ප්‍රකට සිටින්නේ ආසියානුවන් වුවත්, බටහිර රටක් වූ එංගලන්තවාසීන් ද අදට ත් ඉපැරණි සම්ප්‍රදායයන් බොහොමයක් තවමත් මහත් ගෞරවයෙන් යුක්තව පිළිපදින බැව් පෙනෙන්නේ මෙවැනි අවස්ථාවලදීය. ලෝකයේ සම්මත මිණුම් ක්‍රමය ලෙසට ‛මෙට්‍රික්’ පිළිගැනුන ද එංගලන්තය එයට වඩා මුල් තැන දෙන්නේ තමන් ලොවට හඳුන්වා දුන් ‛ඉම්පීරියල්’ ක්‍රමය බැව් පෙනෙන්නේ ජෝර්ජ් කුමරු උපන් අවස්ථාවේ බර රාත්තල් 8 යි අවුන්ස 6 (කිලෝ ග්‍රෑම් 3.8) ක් ලෙස සඳහන් කළ බැවිනි. එමෙන්ම එංගලන්තයේ කිරුළට උරුම කියන්නකු උපන් විට අතීතයේ සිටම කාල තුවක්කු වෙඩි මුර පැවැත්වීම ඔවුනගේ සම්ප්‍රදායයකි. එම සම්ප්‍රදායයට ගරු කරමින් ලන්ඩන් කුළුනේ සිට කාලතුවක්කු වෙඩි මුර 62ක් ද ග්‍රීන් පාර්ක් හි සිට වෙඩි මුර 41 ක් ද පැවැත්විණි. එමෙන්ම එංගලන්ත කොඩිය සෑම රජයේ ගොඩනැගිල්ලකම  ඔසවා තැබිණි. එමෙන්ම උපත සමරා රන් කාසියක් ද නිකුත් කෙරුණු අතර එය රන්කාසියකින් සැමරූ ප්‍රථම රාජකීය උපත විය. එසේ සමරන්නට හේතුව වූයේ බ්‍රිතාන්‍ය කිරුළට සෘජු උරුමයක් ඇති තිදෙනකුම ජීවතුන් අතර සිටීම නිසාය. 

විලියම් - කැතරින් රාජකීය යුවලගේ මේ කුළුඳුල් දරුවා මෙලොව උපන් විගස මුළු ලෝකයාම බලා සිටියේ ඔහුට කුමන නමක් ලබාදේ ද යන්නය. ජූලි 25 වැනිදා ප.ව. 6.20ට ඔවුහු සිය පුත් කුමරාගේ නම නිල වශයෙන් ලෝකය හමුවේ තැබූහ. ඒ ඔබ දැනටමත් දන්නා පරිදි ‛ජෝර්ජ් ඇලෙක්සැන්ඩර් ලුවිස්’ යන්නය. ඔහුව හඳුන්වන රාජකීය නාමය වන්නේ ‛රාජකීය මහෝත්තම ජෝර්ජ් කුමරු’ වශයෙනි. නම නිල වශයෙන් දැනුම් දුන් පසු සියලු දෙනාම පැවසූයේ විලියම් කුමරු හා කැතරින් කුමරිය සම්ප්‍රදායයනට ගරුකොට නම් තබා ඇති  බවය. මෙම නම් පිටුපස යම් යම් කතාන්දර ද අසන්නට ලැබේ. 

ජෝර්ජ් 

මේවන විට ‛ජෝර්ජ්’ නමින් බ්‍රිතාන්‍ය නරපතියන් 6 දෙනෙකු සිට ඇත. අවසන් වරට සිටි 6 වැනි ජෝර්ජ් යනු එලිසබෙත් මහ රැජිනගේ පියාණන්ය. එමෙන්ම මීට පෙර ද ජෝර්ජ් යන නම සහිත කේම්බ්‍රිජ් හි කුමරුකු සිට ඇත. එමෙන්ම ජෝර්ජ් යනු මේ බිළිඳු කුමරුගේ සීයා වූ චාර්ල්ස් ගේ නම්වලින් එකක් ද වන්නේය. මෙම නමෙහි අර්ථය වශයෙන් දැක්වෙන්නේ ‛ගොවියා’ හෙවත් ‛භූමියේ සේවකයා’ යන්නය. 2011 වසරේදී එන්ගලන්තයේ හා වේල්සයේ අලුත උපන් බිළිඳුන්ට තැබූ නම් අතරින් 12 වැනි ස්ථානයට ජනප්‍රියතම නම වූයේ ජෝර්ජ් යන්නයි. මෙන්ම සතරවැනි සියවසේදී සාන්ත ජෝර්ජ් නමින් රණශූරයකු ජීවත්ව සිට ඇත. ඔහු බිහිසුණු මකරකුගෙන් අසරණ තරුණියක් ගළවාගත් බැව් පැවසේ. 

ඇලෙක්සැන්ඩර් 

බිළිඳු කුමරාගේ දෙවැනි නම වන්නේ ‛ඇලෙක්සැන්ඩර්’ ය. එය ජනප්‍රිය ස්කොට්ලන්ත නමකි. තුන්වැනි ඇලෙක්සැන්ඩර් යනු මෙහි ශ්‍රේෂ්ඨ නරපතියකු ලෙස සැළකේ. එමෙන්ම මෙම වසරේදී (2013) නෙදර්ලන්තයේ බියට්‍රික්ස් රැජින සිහසුන අතහැරීමෙන් පසුව රජබවට පැමිණියේද ඇයගේ පුතු වූ ‛විලෙම්- ඇලෙක්සැන්ඩර්’ ය. 

ලුවිස් 

‛ලුවිස්’ යන්න රාජකීය පවුලේ ජනප්‍රිය මෙන්ම ගෞරවාන්විත නමකි. එය චාල්ස් කුමරුගේ ප්‍රියතම මාමා වූ, අයර්ලන්ත ගරිල්ලන් විසිනා ඝාතනය කරනු ලැබූ මවුන්ට් බැටන් සාමිවරයාගේ නමේ කොටසකි. මවුන්ට් බැටන් සාමිවරයා හා විලියම් කුමරුගේ පියා ඉතා සමීපව ඇසුරු කළ දෙදෙනෙකි. එමෙන්ම එය විලියම් කුමරුගේ නමේ කොටසක් ද වන්නේය. 

අලුත් උපන් කුමරුගේ නම දින කිහිපයකින් ප්‍රසිද්ධ කළ ද ඔහුගේ පියා වූ විලියම් ගේ නම මහජනතාව හමුවට පත්වන්නට සතියක පමණ කාලයක් ගතවිය. නමුත් විලියම්ගේ පියා වූ චාර්ල්ස් කුමරුගේ නම ප්‍රසිද්ධවන්නට මාසයක් පමණ ගත විය. 

මේ වසර මුළදී එක් වෙබ් අඩවියක විලියම් - කැතරින් යුවලගේ අනාගත දරුවා පිළිබඳ අංක විද්‍යාත්මක විවරණයක් ඇතුළත්කොට තිබිණි. එහි සඳහන් වූයේ ජූලි මස මුල් භාගයේ උපන්නේ නම් ඔහු කටක ලග්න හිමියකු වන බවත්, නායකයකු බවට පත්නොවන බවය. නමුත් ජූලි අගභාගයේ උපන්නේ නම් ඔහු සිංහ ලග්න හිමියකු වන බවත්, එය සහජ නායකත්වයක ලක්ෂණයක් ද වනු ඇති බවත්ය. ජෝර්ජ් කුමරු උපන්නේ ජූලි අගභාගයේ ය. එසේ නම් ඔහු නිසැක ලෙසම නායකයකු වනු ඇත. ජෝර්ජ් කුමරු උපත ලද පසුව ද ඔහුගේ නම අංක විද්‍යාත්මකව විග්‍රහ කරනු ලැබූ අතර එහිදී ඔහුට හිමි අංකය වූයේ 1 ය. එහි අර්ථය වන්නේ ද නායකත්වයයයි. 

විලියම් කුමරු සහ කැතරින් කුමරිය නවීන ලෝකය සමඟ ඉදිරියට ගමන් කරන්නට කැමැත්තෙක් පසුවන බැවින් ඇතැම් පැරණි චාරිත්‍ර වාරිත්‍ර බැහැර කරන්නට ඔවුන් පෙළඹුන ද,  මේ ඉපදී සිටින්නේ අනාගත රජකු බැවින් ඇතැම් සම්ප්‍රදායයන් බැහැර කරන්නට ඔවුනට හැකියාවක් නැත. 
සාමාන්‍යයෙන් මීට දශක කිහිපයකට පෙර රාජකීය උපතක් සිදුවූයේ මාලිගාවේම වුවද දැන් එය රෝහල්වල සිදු වේ. එමෙනම් දරු උපතක් සිදුවන විට පියා ඒ අසලින්ම සිටීමේ සම්ප්‍රදායයක් ද පවතී. එබැවින් විලියම් කුමරු ද එය කැමැත්තෙන්ම අනුගමනය කළේය. විලියම් ඉපදෙන විට චාර්ල්ස් කුමරු ද ඩයනා කුමරිය අසළින්ම සිටියේය. නමුත් චාර්ල්ස් කුමරු ඉපදෙන විට නම් ඔහුගේ පියා වූ පිලිප් කුමරු සිටියේ ස්කොෂ් ක්‍රීඩා කරමින් බව පැවසේ. 


කේම්බ්‍රිජ් හි ජෝර්ජ් කුමරු ඉපදෙන්නට පෙර රජ කිරුළේ සමීපතම උරුමකරුවන් අතරින් තෙවැනි තැන පසුවූයේ හැරී කුමරුය. නමුත් ජෝර්ජ් කුමරුගේ ඉපදීමත් සමඟ හැරී කුමරු කිරුළේ උරුමයෙන් සිව්වැනි තැනට පත්විය. රාජ උරුමය යනු සුළුවෙන් තැකිය හැක්කක් නොවේ. තමා රාජ උරුමයෙන් තවත් ඈත්කරමින් උපන් තම බෑණනුවන් පිළිබඳ හැරී කුමරු අදහසක් දක්වන තෙක් මාධ්‍යය පුල පුලා බලා සිටියේය. තම මාමා වූ හැරී කුමරු දුටු මුහුදේ ජෝර්ජ් කුමරු මහ හඬින් හැඬූ බැව් කියැවේ. ඒ 24 වැනි බදාදා හැරී කුමරු සිය බෑණනුවන් බැලීමට ගිය අවස්ථාවේදීය. හැරී කුමරු විනෝදකාමියෙකු ලෙස ප්‍රකටය. ඔහු එහිදී පවසා සිටියේ, “පවුලට අලුත් සාමාජිකයකු එක්වීම ගැන මට හරිම සතුටක් දැනෙනවා. හැබැයි මම ළමයි බලාගන්න නම් ලොකු ගාණක් අය කරනවා කියලා අපේ අයියට කියන්න ඕන.” එසේ කියමින් ඔහු මහ හඬින් සිනහ විය. “මගේ මේ පුංචි බෑණගේ ජීවිතේ විනෝදයෙන් පුරවන්න මම හැමදේම කරනවා. එයාගේ සියලු අතුරු අන්තරාවන් දුරු කරන්න මම හැමදේම කරනවා. ඉතුරු වැඩ ටික අම්මටයි තාත්තටයි බාරයි.” ඔහු එසේද පවසා සිටියේය. 

දරු උපතින් පසුව විලියම් කුමරු සහ කැතරින් කුමරිය සිය පුතු සමග කැතරින්ගේ නිවසේ දින කිහිපයක් නතර වන්නට ගියහ. එහි ජීවිතය කැතරින් හට සුවපහසු එකක් වනු ඇතැයි විලියම් කුමරු පවසා සිටියේය. 

No comments:

Post a Comment

මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න