පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Thursday, July 18, 2013

මායාවරුන්ගේ ලෝකයේ ප්‍රධාන නිළි ගිලියන් චුන්ග් - Gillian Chung of Mayawarunge Lokaya - Holy Pearl


‛අභීත දියණි’ සියලු ප්‍රේක්ෂකයින්ට සමුදීමෙන්  දැන් පුංචි තිරයට පැමිණ සිටින්නේ ‛මායාවරුන්ගේ ලෝකය’ යි. කාලය ඔස්සේ අතීතයට ප්‍රේක්ෂකයා රැගෙන යන්නා වූ අද්භූත සිදුවීම් මාළාවකින් සමන්විත මෙය චීනයේ නිෂ්පාදිත ටෙලිනාට්‍යයකි. ඉතිහාස විෂයය හදාරන්නාවූ ශිෂ්‍යාවක් වූ ‛ඩින්ග් යාඕ’ වටා මෙහි ප්‍රධාන චරිතය ගෙතී තිබේ. තමාට මුහුණ දෙන්න සිදුවන අද්භූත සිදුවීමකින් පසුව වසර 3500 ක අතීත ලෝකයකට කාලය ඔස්සේ ගමන් කරනා ඇය ඒ ලෝකයේ අපූරු සිදුවීම් රැසකට මුහුණ දෙයි. ‛මායාවරුන්ගේ ලෝකය’ නාට්‍යයේ මෙම චරිතයට පණපොවන්නේ ‛ගිලියන් චුන්ග් නමැති හොංකොං ජාතික නිළියයි. 1981 ජනවාරි 21 වැනිදා  උපන් ඇය ප්‍රසිද්ධියට පත්ව ඇත්තේ නිළියක හා ගායිකාවක ලෙසනි. ඇය චීනයේ හා හොංකොං හි අතිශය ජනප්‍රිය ‛කැන්ටොපොප්’ කණ්ඩායමේ සාමාජිකාවක් ද වන්නීය. 

හොංකොං හි උපන් ඇයගේ මුල් නම වූයේ ‛චුන්ග් ඩික්-සාන්’ ය. මෙහි ‛ඩික්’ යන අක්ෂරය ගැහැණියකට ප්‍රබල බවින් වැඩි යැයි විශ්වාසයක් පැවතුණු බැවින්, එය පසුව වෙනස් කෙරිණි. ඇය දෙහැවිරිදි වියෙහිදී ඇයට ‛චුන්ග් කා-ලායි’ යනුවෙන් නම තැබිණි. 

ඇයට වසරක් සපිරෙද්දී ඇගේ පියා ජීවිතයෙන් සමුගත්තේය. එබැවින් ඇගේ මුල් කාලය ගතවූයේ මව සමග පමණකි. චුන්ග් උසස් අධ්‍යාපනය ලබද්දී ඇගේ වම නැවත විවාහයක් කරගත්තාය. කොව්ලන් ටෲ ලයිට් මධ්‍ය පාසලෙන් උසස් අධ්‍යාපනය ලැබූ චුන්ග්, ඕස්ට්‍රේලියාවේ මෙල්බෝන් නුවර විලියම් ඇන්ග්ලිස් අධ්‍යාපන ආයතනට බැඳුනාය. ඇයට ‛ගිලියන්’ නම් ඉංග්‍රීසි නාමය ලැබුණේ එහි අධ්‍යාපනය හදාරන සමයේදී ය. 

වසර 2000 දී ඇය හොංකොං හි මෝස්තර නිරූපණ ආයතනයක් සමඟ එක්ව එහි අර්ධකාලීන රැකියාවක නියුත්ක වූවාය. ඇයට එම වසරේදීම හොංකොංහි සිනමා හා ටෙලි නාට්‍ය නිෂ්පාදන සමාගමක් වූ  ‛එම්පරර් එන්ටර්ටේන්මන්ට් සමූහ ව්‍යපාරය’ මගින් රැකියාවක් සඳහා ඇරයුම් කළ අතර ඇය එය පිළිගත්තාය. කොන්ත්‍රාත් පදනම මත වැඩකටයුතු කරන කලාකාරියක ලෙසින් එම සමාගම සමඟ අත්වැල් බැඳගත් ඇය සිය ප්‍රථම රංගනයට පෙර පුහුණු පාඨමාළාවකට සහභාගී වූවාය. දෛවඥයින්ගේ උපදෙස් ලබාගැනීමෙන් පසුව ඇගේ කලමණාකරු පවසා සිටියේ කලාකාරියක ලෙස ඇයට වඩාත් ගැළපෙන්නේ ‛චුන්ග් යෑන්-ටුන්ග්’ යන නම බවයි. මෙම නම නිසා ඇය ව්‍යාපාරික වශයෙන් ඉහළ තැනකට රැගෙන යන බැව් දෛවඥයින් විසින් පවසා තිබිණි. සංගීත කණ්ඩායමක් ආරම්භ කිරීම සඳහා මෙම සමාගම 2001 මැයි 18 වැනිදා ඇය සමඟ ගිවිසුමකට එළැඹිණි. ඇය සමඟ එයට ‛චෝරි’ නමින් තවත් ගායිකාවක ද එක්වූවාය. ඔවුන්ගේ ප්‍රථම ඇල්බමයය ඉන් මාස තුනකට පසුව නිකුත් කෙරිණි. 

චුන්ග් නිළියක් ලෙසින් සිය ප්‍රථම ප්‍රධාන චරිතය සඳහ පෙනී සිටියේ ‛යූ මෑන්’ චිත්‍රපටය සඳහා 2000 වසරේදී ය. එයින්ම ඇගේ රංගන හැකියාවන් පිළිබඳ අවබෝධයක් ක්ෂේත්‍රයේ සියලු දෙනාටම දැනුණු නිසාදෝ ඉන් අනතුරුව ඇයට දිගින් දිගටම රඟපෑම් සඳහා ඇරයුම් ලැබෙන්නට විය. 2004 වසරේදී ‛බියොන්ඩ් අවර් කෙන්’ චිත්‍රපටයෙහි  ඇගේ රංගනය සඳහා විචාරක පැසසුම් ද ලැබිණි. ‛ගැම් ශි ගින්ග්’ සම්මාන උළෙල සඳහා ඇගේ නම ද හොඳම නිළියන් අතරට යෝජනාවන්නට ද මෙම රඟපෑම ඉවහල් විය. එම චිත්‍රපටිය හොංකොං හි ඉහළතම ආදායම් වාර්තා තැබූ ඒවා අතරට ද එක්විය. 

වර්ෂ 2006 දී චුන්ග් මැලේසියාවේ සංචාරයක් අතරතුරදී ඇය කාමරයක් තුළ ඇඳුම් මාරු කරනා ආකාරය සොරෙන් ඡායාරූපගතකොට ‛ඊසි ෆයින්ඩර්’ නම් සඟරාවක පළකොට තිබුණි. මෙය හෙළා දකිමින් සුප්‍රකට නළුවකු වූ ජැකී චෑන් ද ඉදිරියට ආවේය. මේ පිළිබඳ පැවති නඩුවිභාගයේ අවසානයේ එම සඟරාවේ හිමිකරු චුන්ගෙන් ප්‍රසිද්ධියේ සමාව අයැද සිටියේය. සඟරාවේ හිමිකරු විසින්  එම ඡායාරූපවල නෙගටිව් පට ද ඇයට භාරදෙනු ලැබිණි. 

2008 ජනවාරි මාසයේ දී හොංකොං නළුවකු වූ එඩිසන් චෙන්ග් ගේ අනුරාගී ඡායාරුප ගණනාවක් අන්තර්ජාලයේ දක්නට හැකිවිය. එහි හොංකොංහි තවත් නිළියන්ගේ ඡායරෙූප ද දක්නට හැකිවිය. මෙම ක්‍රියාවට චුන්ග් සම්බන්ධ යැයි චෝදනා එල්ළවිණි. ඇයට මෙතෙක් තිබූ හොඳ නම ද ඇයට අහිමිවල ලකුණු පහළ විය. පසුව ඇය සියලු දෙනාගෙන්ම සමාව අයැද සිටියාය. ඇයට ලැබෙන්නට නියමිතව තිබූ සියලුම අවස්ථා ඇයට අහිමි විය. 2008 වසරේ ගිම්හාන ඔලිම්පික් තරගයේ ආරම්භක උත්සව අවස්ථාවට සහභාගී වීම ද ඇයට තහනම් කෙරිණි. 

මේ සියලු අපකීර්තිමත් සුදුවීම්වලින් පසුව වසරක් පමණ ගතවන තුරු ඇය ප්‍රසිද්ධ ජීවිතයට පැමිණියේ නැත. ඇය පසුව පවසා තිබුණේ තමාට සියදිවි නසාගන්න පවා ද සිතුණු බවය. ඇය තමා වටා සිටි සියලු දෙනාගෙන්ම තමා අතින් සිදුවූ වරද පිළිබඳ සමාව අයැද සිටියාය. 
2009 සැප්තැම්බර් 13 වැනිදා  ඇය හාර්බින් ලෝක හිම සංගීත උළෙලේ දී තමා මීට පෙර රූගත කළ වීඩියෝ පටයක් ඉදිරිපත් කරමින් යළි කරළියට පය තැබුවාය. මිනිත්තු 8යි තත්පර 43ක ධාවන කාලයක් පැවති මෙහි ඇයගේ රංගනය මුළුමනිනුම නිහඬ වූවක් විය. පැවතියේ සංගීතය පමණි. සිනහවේ සිට කඳුළ දක්වා සිය ජීවිතය ගමන් කළ අයුරු ඇය එයින් නිරූපණය කළාය. 

මෙසේ හැළහැප්පීම් මධ්‍යයේ ඇය පැමිණි ගමනේ එක් සන්ධිස්ථානයක් වන්නේ ‛හෝලි පර්ල්’ හෙවත් ‛මායාවරුන්ගේ ලෝකය’ යි. ඇයට මෙම රංගනය වෙනුවෙන් ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබිණි. 
මේවන විට ඇය සිනමා නිර්මාණ 34 කට අධික සංඛ්‍යාවක් වෙනුවෙන් දායක වී ඇති අතර රූපවාහිනි නාට්‍ය 15කට පමණ දායක වී තිබේ. 


No comments:

Post a Comment

මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න