පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Wednesday, July 31, 2013

බොලිවුඩ් සුරූපිනියන්ගේ රුව රැක ගන්නා රහස් - Beauty Secretes of Bollywood Actresses

රුව වඩවා ගන්නටත්, රුව රැකගන්නටත් කාන්තාවන් දක්වන්නේ පුදුමාකාර කැමැත්තකි. මේ සඳහා ඔවුහු රූපලාවන්‍ය ශිල්පීන්ගේ උපදෙස්, රුව වඩවාගැනීම පිළිබඳව ඇති පුවත්පත් ලිපි, රූපවාහිනි වැඩසටහන් ආදිය කෙරෙහි විශේෂ සැළකිල්ලක් දක්වති. ඊට අමතරව රූමත් යැයි සම්මත කාන්තාවන්, සිය රුව රැකගන්නට අනුගමනය කරනා උපක්‍රමයන් ආදිය පිළිබඳව ද සොයා බලති. කාන්තා ඔබගේ මේ උනන්දුව වෙනුවෙන් උදව්වක් කරන්නට සිතුණු බැවින් රුව වඩවාගැනීම හා රුව රැකගැනීම පිළිබඳ යමක් ඔබට පවසන්නට සිතුණි. මේ සඳහා කරුණු සොයා ගියේ ඉන්දියාවේ බොලිවුඩ් පුරයටයි. එහි සිටින්නේ ලෝකයේ අංක එකේ වැජඹෙන සුරූපි නිළියන් බැව් ඔබට රහසක් නොවේ. මේ සුරූපිනියන් සිය රුව රැකගැනීමට අනුගමනය කරන්නේ කුමනාකාරයේ උපක්‍රමදැයි දැනගන්නට ලැබිණි. ඒ සියලු තතු ඔබට පවසන්නේ ඔබ ඒවා දැනගන්නට කැමැත්තෙන් සිටිනා බැව් අප දන්නා නිසාය. 



අපට මුළින්ම හමුවන්නේ ශ්‍රී ලංකාවට අයත් වුවත් බොලිවුඩ් පුරවරයේ වැජඹෙන සුරූපී නිළියක වූ ජැකලීන් ෆර්නැන්ඩස් ය. 1985 අගෝස්තු 11 වැනිදා උපන් ඇය 2006 වසරේදී ශ්‍රී  ලංකා රූ රැජින බවටද පත්වූවාය. ජැකලීන් වැඩිවශයෙන්ම උනන්දුවක් දක්වන්නේ සම පිරිසිදු කිරීම ( cleansing ), සිරුරේ හැඩය හා වර්ණය පවත්වාගෙන යාම හා සමෙහි තෙතමනය ආරක්ෂා කරගැනීම පිළිබඳවය. ඇය සම පිරිසිදු කිරීමේදී කපු පුළුන් බෝලයක් යොදාගනී. ඇය පවසන්නේ කපු පුළුන්වලින් සම පිරිසිදු කිරීමෙන් පසු කිසිදු ලකුණක් ඉතිරි නොවන බවය. ජැකලීන් දිනකට අඩුම තරමේ පස්වතාවක් හෝ මුහුණ සෝදයි. ඇය එළිමහනට බසින්නේ නම් සූර්ය තාපයට සම ඔරොත්තු දෙන අන්දමේ ක්‍රීම් වර්ගයක් (sunscream)ඇඟ ගල්වා ගන්නට අමතක කරන්නේ නැත. අනෙක ඇය භාවිත කරන්නා වූ රූපලාවන්‍ය ද්‍රව්‍යවල වර්ගය නිතර වෙනස් කරන්නේ ද නැත. අනෙක ජැකලීන් සියලුවිටම චර්ම විශේෂඥයින්ගේ උපදෙස්වලට පිටින් යන්නේ ද නැත. කොල පැහැ එළවළු සහ නැවුම් පළතුරුවලට, විශේෂයෙන් දොඩම් හා ගස්ලබුවලට දැඩි කැමැත්කත් දක්වන්නීය. 


රූපලාවන්‍ය රහස් සොයා යද්දී ඊළඟට හමුවන්නේ 1973 නොවැම්බර් 1 වැනිදා උපන් හින්දි සිනමාවේ අතිශය ජනප්‍රිය නිළියකවන අයිශ්වර්යා රායි ය. 1994 ලෝක රූ රැජින බවට පත්වීමත් සමඟ ඇය සිය රූමත්බව පිළිබඳ ලොව පුරා එකසේ ජනප්‍රියත්වයක් හිමි කරගත්තාය. කෙසේ නමුත් ඇය ද සිය රූමත් බවේ රහස් ලෝකයා හමුවේ හෙළිකරන්නට තරම් නිර්ලෝභී වූවාය. 

ඇය සිය සිරුර විජලනයවීමෙන් වළක්වාගන් පිණිස දිනකට අවම තරමේ ජලය වීදුරු 8ක්වත් පානය කරන්නීය. ඇය පවසන්නේ සිරුරේ ඇති ජල මට්ටම ප්‍රශස්ථ මට්ටමක රඳවාගැනීමෙන් ඇතිකරගත හැකි නැවුම් පෙනුම අන් කිසිවකින් හෝ හිමිකරගත නොහැකි බවය. අනෙක ඇය හැකිතාක් රසායනික ද්‍රව්‍ය අඩංගු රූපලාවන්‍ය ද්‍රව්‍යවලින් වැළකී සිටී. හැකිතාක් දුරට මුදල් දී මිලදී ගත යුතු නැති, ස්වභාවික ද්‍රව්‍යවලට ඇය වැඩි නැඹුරුවක් දක්වන බව ද පෙනෙන්නට තිබේ. ඇය සිය සම පිරිසිදු කිරීමට ( cleanse ) යොදා ගන්නේ ධාන්‍ය වර්ග අඹරාගත් කුඩු ය. සමෙහි තෙතමනය රඳවා ගැනීම සඳහා යොදා ගන්නේ කිරි සහ යෝගට් මිශ්‍රණයකි. ඇගේ අලංකාර කෙස් කළඹ පිළිබඳව ද බොහෝ දෙනෙක් උනන්දුවෙන් කතාබහ කරති. ඇය කිසිවිටෙක රසායනික අඩංගු රූපලාවන්‍ය ද්‍රව්‍ය යොදා නොගන්නා අතර හිසකෙස් වර්ණ ගැන්වීමට කිසිවිටෙකත් උනන්දු වන්නේ ද නැති බව පවසයි. ඇය පවසන්නේ නිරවුල් මනසක් පවත්වාගෙන යාම ද නිරෝගීමත් බව අති කරන්නට දැඩි සේ බලපානා බවයි. නිරෝගී සිරුරක් හිමිවන විට නිරායාසයෙන්ම රූමත්බව ද හිමිවන බව ඇගේ අදහසයි. ඇය සිය මනස නිරවුල්ව තබාගැනීම සඳහා යෝග ව්‍යයාමවලට යොමුවී සිටින්නීය. 


කැත්රිනා කායිෆ් යනු බොලිවුඩ් සිනමාවේ තවත් ජනප්‍රිය තරුවකි. 1984 ජූලි 16 වැනිදා හොංකොංවලදී උපන් ඇයගේ පියා කාශ්මීර ජාතිකයෙක් වන අතර මව බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවකි. බොහෝ දෙනෙකු පවසන්නේ ඇයට ඇත්තේ අහිංසක මුහුණක් බවය. 2005 වසරේදී ඉන්දියාවේ ලක්මී සමාගම පැවැත්වූ ‛හොඳම මුහුණු’ තරගයෙන් ජයග්‍රහණය කළේ ද ඇය යි. 

ඇය පවසන්නේ තමා දවස ආරම්භ කරන්නේ ජලය වීදුරු 4ක් පානය කිරීමෙන් පසු බවයි. පිහිනීම, අශ්වයින් පිට යාම, දිවීම වැනි ව්‍යයාම සිය රූමත්බවේ මූලික රහස බැව් ඇය පවසන්නීය. ව්‍යයාම කිරීමෙන් රුධිර සංසරණය හොඳින් සිදුවන අතර එය සමෙහි නිරෝගීබවට රුකුළක් බව ඇය පවසයි. අවශ්‍ය අවස්ථාවක හැර වේශනිරූපණයට යොමුනොවන ඇය, එවැන්නක් කිරීමෙන් පසුව කල්නොයවාම සියල්ල සෝදා හරින්නට හුරුපුරුදුව සිටී. 


1980 සැප්තම්බර් 21 වැනිදා උපන් කරීනා කපූර් ගේ රූපලාවන්‍ය රහස් පිළිබඳවද අපට දැනගන්නට ලැබිණි. සිනමාවට සම්බන්ධ පවුලක තැනැත්තියක බැවින් ඇයට සියලු දෙනාගේම අවධානය යොමුවන්නට පටන් ගැනුනේ ඇය ඉතා කුඩා සමයේ සිටමය. ඇයගේ රුව රැකගැනීමේ රහස කුමක්දැයි රසිකයින් ඇගෙන් විමසන සෑම විටම ඇය පවසන්නේ සියල්ල පසුපස ඇත්තේ එළවළු හා පළතුරු බවයි. 

“මම නිතර යෝග ව්‍යයායමවල නිරත වෙනවා. ඊට අමතරව මම ආහාරයට ගන්නේ එළවළු හා පළතුරු පමණයි. මම මස්වර්ග කිසිවක් ආහාරයට ගන්නේ නැහැ. මම එළවළු පමණක් ආහාරයට ගැනීම ගැන මටම ආඩම්බරයක් දැනෙනවා. අනෙක මස් ආහාරයට ගන්නන්ට මම විරුද්ධයි. ඒක මගේ ප්‍රතිපත්තිය. 2007 වසරේදී අන්තර්ජාලය ඔස්සේ පවත්වන ලද ‛රූමත්ම නිර්මාංශ ආහාරගන්නා කාන්තාව’ තේරීමේ තරගයෙන් ද ඇය මුල්තැනට ආවාය. එළවළු ආහාරවලට අමතරව ඇය ජලය වැඩි වශයෙන් පානය කරන්නට දැඩි කැමැත්තක් දක්වයි. සමට දිදුලන සුළුබවක් ලැබෙන්නට නම් ජලය පානය කිරීම හැර වෙනත් පහසු ක්‍රමයක් නැති බව ඇය පවසයි. 


අප අවසාන වශයෙන් කතාකරන්නේ බිපාසා බාසු පිළිබඳවය. 1979 ජනවාරි 7 වැනිදා උපන් ඇය තෙළිඟු සිනමාවේ ද ජනප්‍රිය නිළියකි. ඇය ආසියාවේ අනුරාගීතම කාන්තාව ලෙස ද වරෙක ප්‍රසිද්ධව සිටියාය. ඇය සිය රූමත්බවේ රහස් හෙළි කරමින් පවසන්නේ දිනකට ජලවීදුරු 10ක්වත් පානය කරනා බවය. ඇය එළිමහනට යන්නා වූ සියලු විටම සූර්ය තාපයට ඔරොත්තු දෙන්න හැකි ‛සන්ස්ක්‍රීම්’ වර්ගයක් භාවිත කරයි. දිනකට සය වරක් පමණ නිශ්චිත කාල අන්තරයකදී කුඩා ආහාරවේල් පමණක් ගනී. දිනකට අවම වශයෙන් පැයක් බැගින් සතියකට දින හතරක් ව්‍යයාමවල නිරත වෙයි. දිනකට පැය 7-8 අතර කාලයක් නිදාගනී. ඇය මිලදී ගන්නේ ගුණත්වයෙන් වැඩි රූපලාවන්‍ය ද්‍රව්‍ය පමණි. හැකි සෑම විටම රූපලාවන්‍ය දව්‍යවලින් වැළකී සිටී. සම නිරතුරු පිරිසුදුව තබා ගනී.  ඇය නින්දට පෙර ඇස් වඩා ආමන්ඩ් තෙල් ආලේප කරගනී. 

බොලිවුඩ් සිනමාවේ සියළුම නිළියන් පිළිබදව අපට මෙහිදී කතාකරන්නට ඉඩකඩ නැතත්, මොවුන් හෙළිකළ තොරතුරුවලට අනුව අපට පෙනෙන්නේ බොහෝ දෙනෙක් වැඩි වශයෙන් ජලය පානයට යොමුවී සිටිනා බවය. එමෙන්ම එළවළු හා පළතුරු ආහාරයට ගැනීම, ව්‍යයාම, නිරවුල් මනස, විවේකය ආදිය රුව රැකගැනීම මහඟු රුකුළක් ලබාදෙන බවයි. බොලිවුඩ් නිළියන් උසස් තත්වයේ රූපලාවන්‍ය ද්‍රව්‍ය පරිහරණය කළ ද, ඒ සියල්ලටම වඩා වැදගත් යැයි ඔවුන් පවසන්නේ ස්භාවික ක්‍රමයන්ය. ඔබගේ අවධානය යොමුවිය යුත්තේ එයටය. 

No comments:

Post a Comment

මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න