පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Thursday, July 4, 2013

Poisoning to Queen Ok-jeong - අභීත දියණිය ටෙලි නාට්‍යයේ ඔක්ජොන්ග් බිසවට වස දී මරා දැමීම ඉතිහාසගත සිද්ධියක්ද?


අභීත දියණිය ඔබගේ ද ජනප්‍රියතම ටෙලි නාට්‍යය නම් මෑතකදී සිදුවුණු උද්වේගකර සිදුවීමක් තවමත් ඔබේ මතකයෙන් ඈත් වී නොතිබිය යුතුය. ඒ හුයි ජෑන්ග්-බින්හෙවත් කවුරුත් දන්නා පරිදි ඔක්ජොන්ග්බිසව මරණයට පත්කිරීමය. ඇය මිය යන්නේ වස පානය කිරීමට සැලැස්වීමෙනි. ඒ ටෙලි නාට්‍යයේ දැක්වෙන කතාවයි. සැබෑ ඉතිහාසයේදීත් ඇය මෙසේ මරණයට
පත්වූවාද ? මෙය ඓතිහාසික පුවතක් මුල්කොට ගනිමින් නිර්මාණය වූවක් බැවින් බොහෝ දෙනෙක් මෙවැනි දේ පිළිබඳව ද නිතර විමසා සිටිති. ඇයගේ ඉතිහාස තතු පිළිබඳවත් ඇගේ මරණය පිළිබඳ වූ ඓතිහාසික තොරතුරු පිළිබඳවත් කතා කරන්නට අප සිතුවේ එබැවිනි. 

ඓතිහාසික තොරතුරුවලට අනුව ඇගේ නම අප කවුරුත් දන්නා පරිදි ඔක්ජොන්ග් වුවත් ඇයට රජ බිසවක් ලෙසින් ලබා දී තිබුණේ ජැන්ග් හුයි-බින් යන නාමයයි. 1659 නොවැම්බර් 3 වැනිදා ඇයගේ උපන් දිනය ලෙස ඉතිහාසයේ සඳහන්ව තිබේ.

ජෑන්ග් හියොන්ග් හා පැප්යොන්ග් යුන් රාජ වංශයේ යුන් ආර්යාව යන යුවළගේ දියණිය ලෙස ඉපදෙන ඇයට නම තැබෙන්නේ ජැන් ඔක්-ජොන්ග්ලෙසයි. ජෝසියන් රාජවංශයේ අතිශය රූමත්ම කාන්තාව ඇය ලෙස කොරියානු ඉතිහාසයේ විශේෂයෙන් සඳහන් කොට තිබේ. දුටුවන් මන්මත් කරවීමට තරම් රූමත් පෙනුමක් ඇය සතුව තිබූ බව ඉතා පැහැදිලිය.

සුක්ජොන්ග් රජුගේ ඥාති සොයුරකු වන දොංග්ප්යොන්ග් කුමරුගේ නිර්දේශය මත ඇය ඉන්ජෝ නම් කොරියානු රජුගේ දෙවැනි බිසව වූ ඩොවාගර් ජැන්ග්හියොල්ගේ පරිචාරිකාවක බවට පත්විය. එක් අවස්ථාවකදී ඇයව දකින සුක්ජොන්ග් රජු ඇය සිය අන්තඃපුරයේ සුක්-වොන් තනතුරට පත් කරයි. මේ නමින් හැඳින්වෙන්නේ අන්තඃපුරයේ පහළම ස්ථානයයි. වර්ෂ 1688 දී ඇය සෝ-යුතත්ත්වයට උසස් කෙරෙයි. එය අන්තඃපුර කාන්තාවන්ගේ තෙවැනි ස්ථානයයි. ඇයට මේ නමට හුයියන ගෞරව නාමයද එක්කෙරයි. එහි අරුත් රූමත්යන්නට සමානය. ඇයට මේ සියල්ල හිමිවන්නේ අනාගතයේදී ග්යොන්ග්ජොන්ග්නමින් රජවන පුතු ඇය බිහිකිරීමත් සමගිනි. ඇයට සොන්ග්සු කුමරු නමින් තවත් පුතකු සිටිය බැව් කියවෙතත් ඉතිහාසයේ එය පිළිබඳ පැහැදිලි සඳහනක් නැත. වර්ෂ 1688 දී ඉන්හියොන් බිසව සුක්ජොන්ග් රජුගේ අග බිසෝ තනතුරින් නෙරපා හැරීමත් සමග ජැන්ග් හුයි-බින් බිසෝ තනතුරට පත්වන අතර ඇගේ පුතු ඔටුන්න හිමි කුමරු බවට නම් කරයි. මෙම සිදුවීම් දාමය මීට අතිශය සමාන අයුරකින් අභීත දියණිය ටෙලි නාට්‍යයේ දිග හැරෙනු ඇත.

නමුත් වර්ෂ 1694දී ඉන්හියොන් යළිත් අග බිසෝ තනතුරේ පිහිටුවනු ලබන අතර ජැන්ග් හුයි-බින් යළිත් පහළට දමනු ලබයි. වර්ෂ 1701 දී ඉන්හියොන් බිසව හඳුනා නොගත් රෝගයකින් මරණයට පත්වෙයි. පසුව සොයාගනු ලබන්නේ ජැන් හුයි-බින් පූජකවරියක් සමග එක්වී ඉන්හියොන් බිසව මිය යන සේ පූජාවක් පැවැත්වූ බවය. මෙයට ජැන්ග් හුයි-බින්ගේ සොහොයුරු ජෑන්ග් ජීජේ සහ ඔවුන්ගේ මෑණියන් ද සම්බන්ධ වෙයි. මේ හේතුව නිසා ඔවුන් අත්අඩංගුවට ගනු ලබන අතර 1701 නොවැම්බර් 9 වැනිදා ඔක්ජොන්ග් බිසව වස
ශරීර ගතකොට මරණයට පත්කරනු ලබයි. ඇය ඒ වන විට 42 හැවිරිදි වියෙහි පසු විය. කෙසේ වුවද ඇගේ පුතු ඔටුන්න හිමි කුමරු බැවින් ඇයට මරණින් පසු ඔස්කාන් ආර්යාවයන ගෞරව නාමය ලබාදෙයි. එම නාමයෙන් හැඟවෙන්නේ ඇය රාජමාලිගාවේ ප්‍රධානතම අන්තඃපුර කාන්තාව ලෙස සිටි බවය.

මේ සඳහන් කළේ ඔක්ජොන්ග් බිසව පිළිබඳ ඉතිහාසයේ සඳහන් කතාවය. ඇතැම් විට ඔබ නරඹන ටෙලි නාට්‍යයේ කතාව මීට වඩා වෙනස් වන්නට පුළුවන.

මෙම සිදුවීමෙන් හැඟවෙන දෙයක් වන්නේ පැරණි කොරියාවේ වස දීමෙන් ලබාදෙන මරණ දඬුවම ප්‍රකටව තිබුණු බවය. ලෝකයේ මරණ දඬුවම් ලබාදෙන නොයෙක් ක්‍රම පිළිබඳ සොයා බලන විට විකිපීඩියා වබේ අඩවියේ මෙය ද විශේෂයෙන් සඳහන් කොට තිබේ. එහි වස දීමෙන් මරණයට පත්කිරීම පිළිබඳ සඳහන් කොට ඇත්තේ ද කොරියාව පමණි. නමුත් මෙහිදී සිදුවන්නේ යැයි පැවැසෙන්නේ අධික වස වර්ගයක් ශරීරයට එන්නත් කිරීමකි.

එය එසේ වුවත් මාරක එන්නත් කිරීම මගින් මරණයට පත්කිරීම පිළිබඳ තොරතුරු ඉපැරණි චීනයෙන් ද වාර්තා වේ.
මීට අමතරව ලෝකයේ වෙනත් බොහෝ රටවලින් ද වස දීම මරණ දඬුවමක් ලෙස ක්‍රියාත්මක වූ අවස්ථා ඉතිහාසය මුළුල්‍ලේ දක්නට ලැබේ. සොක්‍රටීස්  මරණයට පත්කරන ලද්දේ ද වස දීමෙන් බැව් ඉතිහාසයේ සඳහන්ය. විෂ සහිත වායු ශරීර ගතකිරීමෙන් මරණයට පත්කිරීම ද මේ ගණයටම වැටේ.

 ‍පෝලන්ත බිසවක වූ බෝනා ස්ෆෝර්සා හට ඇගේ සමීප නිලධරයකු විසින් වසදීමෙන් මරණයට පත්කිරීමේ සිදුවීම 


වස ශරීර ගතකිරීමෙන් මරණයට පත්කිරීම පැරණි ලෝකයේ කෙතරම් සුප්‍රකටව පැවැතියේද කිවහොත් ‍පෝලන්ත බිසවක වූ බෝනා ස්ෆෝර්සා හට ඇගේ සමීප නිලධරයකු විසින් වසදීමෙන් මරණයට පත්කිරීමේ සිදුවීම ලෝක ප්‍රකට සිතුවමකට ද නැගී තිබේ.



No comments:

Post a Comment

මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න