ඔබේ දෙමාපියන් වයස්ගත තත්වයේ පසුවන්නන්
විය හැකිය. එසේත් නොමැති නම් බොහෝ විට ඔබේ නිවසේ කවුරුන් හෝ වයස්ගත අයකු සිටිය
හැකිය. සාමාන්‍යයෙන් වයස්ගත වූ විට විවිධ රෝගාබාධ වැළඳෙයි. මේ නිසාම ඔවුන්ව වෛද්‍ය
ප්‍රතිකාර සඳහා රැගෙන ගිය ද ඔවුන් පවසන තරමට කායික ආබාධ වෛද්‍ය පරීක්ෂණවලට හසු නොව
අවස්ථාවන් ඕනෑ තරම් තිබේ. වෛද්‍යවරයාට හසුවන සුළු සුළු ආබාධ සඳහා ප්‍රතිකාර ලබා
දුන්න ද ඇතැම් විට ඒවා සුව අතට හැරෙන්නේ නැත. ඇතැම් විට සුව අතට හැරුණත් වැඩි
දිනක් ගත්වන්නට පෙර නැවත එම රෝග ලක්ෂණ මතු වේ. යළිත් වෛද්‍යවරයකු හමුවට යාමට
සූදානම් වුවහොත් බොහෝ වැඩිහිටියන් පවසනුයේ,
“මේවාට ඉංග්‍රීසි බෙහෙත් නැහැ දරුවෝ.
කසාය වඩියක් දෙකක් තම්බලා බිව්ව නම් ඔක්කෝම හරි” කියාය.
එමෙන්ම සිරුරේ විවිධ ස්ථානවල ඇතිවන
ආබාධයන් සඳහා ඔවුන් ආලේප කරන්නට සොයන්නේ පැරණි සිංහල බොහෙත් තෙල් වර්ගයන්ය. බටහිර
වෛද්‍ය විද්‍යාවේ මෙවැනි රෝග සඳහා ප්‍රතිකාර නැතැයි යන මතය බොහෝ දෙනෙකු අතර තිබුණ
ද පැහැදිලිවම පැවසිය හැක්කේ නූතන වෛද්‍ය ක්‍රමවලින් මෙවැනි තත්වයන් හඳුනාගෙන ඇති
බවය.
බටහිර වෛද්‍ය විද්‍යාව සහ මනෝ විද්‍යාව
විසින් හඳුනාගෙන ඇති පරිදි මෙවැනි රෝග ලක්ෂණ විවිධාකාර වේ. ඉන් එකක් වනුයේ ‛දීර්ඝ කාලීනව සිතේ ඇතිවන්නා වූ ගැටලුවල කායික
ප්‍රකාශන’ (Chronic Fatigue Syndrome)
ලෙසිනි.
එමෙන්ම තවත් පිරිසකට ‛මනෝ කායික දෝෂ’ (Psychosomatic
Disorders) නම් රෝගාබාධ තත්වයක් වැළඳෙනු දැකිය
හැකිය. මෙවැනි රෝගී තත්වයක් ඇතිවන්නේ යම්කිසි ශාරීරික සහ මානසික දෝෂ තත්වයක්
හේතුවෙනි. ඇතැම් ශාරීරික රෝග විවිධ මානසික හේතුන් නිසා අසාධ්‍ය වන අවස්ථා වෛද්‍ය
විද්‍යාවේදී ඕනෑ තරම් දැකිය හැකි වේ. විශේෂයෙන් ආතතිය හා කාංසා තත්වයන් නිසා කායික
රෝග දරුණු අතට හැරුණු අවස්ථා ඇත. වයස්ගත වැඩිහිටියන් නිරායාසයෙන්ම අන්‍යන්ගෙන්
වැඩි වැඩියෙන් සැළකිලි බලාපොරොත්තු වන්නේ මේ නිසාය.
එමෙන්ම ඇතැමුන්ට ‛දේහීකරණ ආබාධ’ (Somatization disorder) නම් රෝග තත්වය ද වැළඳුණු අවස්ථාවන් ද දැකිය
හැකිය. ‛බ්‍රිකට්ගේ සහලක්ෂණය’ (Briquet's
syndrome) යනුවෙන් හඳුන්වනු ලබන්නේ ද මෙයමය.
මෙහිදී සිදුවන්නේ තමාට යම් යම් කායික ආබාධ ඇතැයි යම් වයස්ගත පුද්ගලයකු විසින් නිතර
නිතර පවසනු ලැබුවත්, වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීමට ගිය විට
පරීක්ෂණ මගින් එවැනි ආබාධ කිසිවක් සොයාගැනීමට නොමැතිවීමය. බොහෝ වයස්ගත
වැඩිහිටියන්ගෙන් මෙම ලක්ෂණ දැකිය හැකි වේ.
මේවා සියල්ල කාලයක් තිස්සේ මානසික
වශයෙන් පැවතී වයස්ගත වන විට කායික රෝග ලක්ෂණ ලෙස මතුවන තත්වයන්ය. ඉන්පසු වන්නේ
ඔවුන් නිතර විවිධ හේතූන් නිසා අසනීප තත්වයට පත්වීමය. බටහිර වෛද්‍ය විද්‍යාවේ ප්‍රතිකර
නැතැයි බොහෝ වැඩිහිටියන් පවසන්නේ මෙවැනි රෝගාබාධවලටය.
වයස්ගත වූ වැඩිහිටියන් මෙවැනි රෝගාබාධ
තත්වයන් පවසද්දී කිසිවකු ඔවුනට දොස් පැවරීමක් සිදුකරන්නේ නැත. මේ නිසාම ඇතැම්
වැඩිහිටියෝ මේ තත්වයෙන් ප්‍රයෝජන ගන්නට උත්සාහ කරනු දැකිය හැකිය. නමුත් පැහැදිලිවම
පැවසිය හැක්කේ මෙය ඔවුන් හිතාමතා කරන දෙයන් නොව මානසිකව ඉබේ ඇතිවන දෙයක් බවය.
වයස්ගත වූවන්ට ඔවුන් තරුණ වියේ කළ කී දෑ කෙසේවත් කළ නොහැකිය. ඔවුන් තරුණ වියෙහිදී
කළ දේ වයස්ගතව පසුවද්දී කරන්නට නොහැකි වීම නිසා ඔවුන්ගේ සිතෙහි ඒ පිළිබඳව යම්
කනස්සල්ලක් ඇතිවේ.
“තාත්තා අපි පොඩි කාලේ නම් මේ වැඩේ
නියමෙට කරලා දුන්නා”
යැයි ඔවුන්ගේ දරුවකු පවසනු ඇසුනහොත්
එවැනි වැඩිහිටියකුට ඇතිවන්නේ වරදකාරී හැඟීමකි. දැන් එවැන්නක් කළ නොහැක්කේ තමා
වයස්ගත්ව සිටින නිසා බව තමන් දන්නා නමුත් අනෙක් අය එය එසේ තේරුම් ගනීවි ද නැද්ද
කියා ඔවුනට අවබෝධයක් නැත. මෙවැනි අවස්ථාවක යමෙකු,
“ඒ කාලේ නම් තාත්තාට මේ වගේ වැඩ ටොයිස්.
ඒත් දැන් මේ වයසයි අසනීපයි නිසා ඒවා කරන්න බැහැ. අපි ඒ වගේ වැඩ කරන්න දෙන්නෙක්
නැහැ”
වැනි දෙයක් පවසනු ඇසුණ හොත් එවිට
වැඩිහිටින්ට සිය සිතේ ඇතිවුණු වරදකාරී හැඟීම තුරන්ව යයි. ඔවුන්ගේ කණස්සල්ල නැති
වෙයි. මෙවැනි මානසික තත්වයක් නිසා ඔවුන් තුළ වෙනත් කායික රෝග තත්වයක් තිබුණේ නම්
ඒවාද ඒවාද සුව අතට හැරෙන්නට ඇති ඉඩකඩ වැඩිය. මෙම තත්වය මනෝ විද්‍යාවේදී හඳුන්වන්නේ
‛මූලික ප්‍රතිලාභ’ (Primary gain)
වශයෙනි. ඔවුන්ගේ මේ නොහැකි බව වෙනත් අයකු විසින් සාධාරණීකරණය කරනු අසන්නට
ලැබීම ඔවුන්ගේ සිතේ සතුට ඇති කරන්නකි.
යම් ස්ථානයකට ගිය විට බොහෝ වැඩිහිටියන්
තමා වයස්ගත වූවකු නිසාම විශේෂ සැළකිල්ලක් බලාපොරොත්තු වන අවස්ථාවන් තිබේ. ඔවුන්ට
එවැනි සැළකිල්ලක් නොලැබී යාම නිතර නිතර සිදුවන්නේ නම් අවසානයේ එයින් සිදුවන්නේ ද
ඔවුන් තුළ යම් යම් රෝගාබාධ ලක්ෂණ ඇතිවීමය. ප්‍රතිකාර ගැනීමට වෛද්‍යවරයකු හමුවට ගිය
විට පෝළිමේ සිටින්නට ඉඩ නොහැර වෛද්‍යවරයා කරා යන්නට අවස්ථාවක් ලබාගැනීම ආදිය බොහෝ
වැඩිහිටියන් බලපොරොත්තු වන දේවල්ය. මෙම තත්වය මනෝ විද්‍යාව විසින් හඳුනාගෙන
තිබෙන්නේ ඉහත සඳහන් කළ ‛මූලික ප්‍රතිලාභ’ තත්වයේ දෙවැනි අවස්ථාව ලෙස වන අතර මෙය ‛ද්වීතීක ප්‍රතිලාභ’ (Secondary gain) යනුවෙන් හඳුන්වනු ලබයි. එමෙන්ම වයස්ගත
වැඩිහිටියන්ගේ යම් යම් ශාරීරික ආබාධ ඇති අවස්ථාවලදී දරුවන් විසින් හන්දිවල,
අත පයවල තෙල් ආලේපකිරීම සිදුකරයි. එසේ තෙල්
ආලේප කරන විට එම ආබාධ ද සුවවී යයි. සැබැවින්ම එතැන ඇත්තේ කායික රෝගී තත්වයක් නොවේ.
වයස්ගත වැඩිහිටියන්ට අවශ්‍ය වන්නේ ඔවුන්ගේ රෝගාබාධ කෙරෙහි අන් අයගේ සැළකිල්ල
ලබාගැනීමය. මෙයින් ඔවුන්ගේ මනස තෘප්තිමත් තත්වයකට පත් වේ. මෙය ද ‛ද්වීතික ප්‍රතිලාභ’ ගණයට වැටෙන්නකි.
ඔබ පවුලේ වයස්ගත වැඩිහිටියකු සිටී නම්
මෙවැනි කරුණු පිළිබඳ අවබෝධයෙන් සිටීම ඉතා ප්‍රයෝජනවත්ය. අනෙක ඔබ අප සියලු දෙනා යම්
දිනයක වයස්ගත තත්වයට පත් වේ. වර්තමානයේ වෙනත් කෙනෙකුගෙන් මෙවැනි ලක්ෂණ දකින අප ඒවා
පිළිබඳ නුරුස්නා සිතින් බැලිය හැක. නමුත් සියලු දෙනාම වයස්ගතවීමේදී මෙම තත්වයට පත්වන්නේ
නිරායාසයෙනි. සමාජයෙන් කොන්වීම, තනිකම, පිළිගැනීම අඩුවීම, යැපෙන්නකු බවට පත්වීම වැනි වයස්ගත
තත්වයට පත් සියලු දෙනාටම පොදු කරුණු මෙවැනි මානසික තත්වයන් ඇතිවීම කෙරෙහි බලපෑ
හැකිය. මේවා පිළිබඳ අවබෝධයෙන් සිටියහොත්, සියලු වැඩිහිටියන්ගේ කායික හා මානසික සෞඛ්‍යය වඩාත් සතුටුදායක තත්වයට
පත්කරගැනීමට ඔබට සහය වන්නට හැකිය.
No comments:
Post a Comment
මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න