පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Saturday, January 4, 2014

ඇමරිකාව විසින් ඉන්දියාව නිරුවත් කරයි - Striping of Devyani Khobragade of India by USA



හින්දි චිත්‍රපට නරඹනවිට අපට ඉන්දියාවෙ පෙනෙන්නේ ලෝකයේ කිසිදු රටක් හමුවේ දණ නොනමන රටක් හැටියටය. නමුත් සැබෑ ලෝකයේදී නම් ජාත්‍යන්තර කටයුතුවලදී අපට පෙනෙන්නේ ඉන්දියාව යනු බොහෝවිට ඇමරිකාව ගසන පදයට නටන රටක් ලෙසය. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසිවරායේදී ඉන්දියාව අපට එරෙහිව ඡන්දය භාවිත කළේද සියවස් ගණනක් තිස්සේ අසල්වැසි සහෝදර දේශයක්ව පැවති අප රට වෙනුවෙන් සිතා නොව ඇමරිකාව සතුටුකිරීම සඳහාය. නමුත් එතරම් ලෙන්ගතුකම්පෑ ඇමරිකාව මෑතකදී ඉන්දියාවේ හිත තදින්ම පාරවන දෙයක් කළේය. ඒ ඉන්දීය රාජ්‍ය තාන්ත්‍රික නිලධාරිනියක වූ දෙව්‍යානි ක්‍රොබ්‍රගාඩේ ප්‍රසිද්ධියේ අත්අඩංගුවට ගෙන, නිරුවත්කොට පරීක්ෂාවන්ට ලක්කිරීමය. රාජ්‍ය තාන්ත්‍රික මට්ටමේ කිසිවකු හෝ ලක්නොවිය යුතු අන්දමේ අපහාසයකට ලක්වීම හේතුවෙන් ඉන්දියාව දැඩි සේ කෝපයටත් කණස්සල්ලටත් පත්වූ බැව් පෙනුණි.

සිද්ධිය සවිස්තරව මෙසේය.

39 හැවිරිදි කොබ්‍රගාඩේ යනු ඉන්දීය විදේශ සේවයේ නියුතු නිව්යෝර්ක් නුවර මූලස්ථානය කරගනිමින් නියෝජ්‍ය කොන්සල් ජෙනරාල්වරිය ලෙස කටයුතු කරන රාජ්‍ය තාන්ත්‍රික නිලධාරිනියකි. ඇය විදේශ සේවයට එකතුවන්නේ 1999 වසරේදීය. කාන්තාවන් සම්බන්ධ කටයුතු මෙන්ම දේශපාලන හා ආර්ථික කටයුතු ද ඇගේ විෂය පථයට අයත් වේ. නිව්යොර්කයේ උපන්, ඇමරිකානු පුරවැසිභාවය සහිත ඉන්දියානුවකු වූ ආකාශ් සිංග් රතෝර් ඇගේ සැමියා ය. ඔහු පෙන්සිල්වේනියා සරසවියේ මහාචාර්යවරයෙකි.

දෙව්‍යානි සහ ඇගේ සැමියා


නිවසට සේවිකාවක් ගෙන්වාගැනීම

ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ ජීවත්වූ 42 හැවිරිදි සංගීතා රිචර්ඩ් සිය නිවසේ මෙහෙකාරියක ලෙස වැඩකටයුතු කිරීම සඳහා 2012 නොවැම්බර් මාසයේදී ඇමරිකාවට ගෙන්වාගැනීමට කොබ්‍රගාඩේ කටයුතු කරන්නීය. ඇයට ලැබෙනුයේ ඒ - 3 වර්ගයේ වීසා බලපත්‍රයකි. එය සංක්‍රමණික නොවන වීසා බලපත්‍රයක්වන අතර ඇමරිකාවේ ඕනෑම තැනක සේවය කිරීමට එයින් බලය හිමි වේ. 2013 ජූනි 21 වැනිදා සිට සංගීතා රිචර්ඩ් හදිසියේම ආගිය අතක් සොයාගැනීමට නොහැකි තත්වයකට පත් විය. මේ හේතුවෙන් ඇගේ වීසා බලපත්‍රය අහෝසිකොට දැමිණි. දෙව්‍යානි විසින් සිදුකරන ලද පැමිණිල්ලකට අනුව දිල්ලි අධිකරණය සංගීතාව අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තුවක් නිකුත් කළේය.

අත්අඩංගුවට ගැනීම

එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවට හා රාජ්‍ය තාන්ත්‍රික ආරක්ෂක කාර්යාංශයට සම්බන්ධ විශේෂ නියෝජිතයකු විසින් ලබාදුන් තොරතුරුවලට අනුව චෝදනා රැස්කරීමෙන් පසු එක්සත් ජනපද මහේස්ත්‍රාත් අධිකරණය 2013 දෙසැම්බර් 12 වැනිදා උදේ 9.30 ට සිය දරුවන් පාසලට ඇරලවා පැමිණෙන අතරතුරදී දෙව්‍යානි කොබ්‍රගාඩේ ප්‍රසිද්ධියේ අත්අඩංගුවට ගැනුණි.
ඉන්දීය මාධ්‍ය ප්‍රකාශ කරන අන්දමට ඇය අත්අඩංගවට ගැනීමෙන් අනතුරුව මාංචු දමා, ඇය නිරුවත්කොට ඩී.එන්.ඒ. පරීක්ෂාවක් සඳහා පටක සූරාගැනීමක් සිදුව ඇති අතර, සිරුරේ කුහර පරීක්ෂාවකට ද ලක්කෙරී තිබේ. කුහර පරීක්ෂාව යනු සිරුරේ කුහර ලෙස ශරීරය අ්‍යන්තරයට ගමන්කරනා කොටස් පරීක්ෂාවට ලක්කිරීමය. නමුත් ඇමරිකාව පවසන්නේ ඇය කුහර පරීක්ෂණයකට ලක්නොකළ බවය. නිව්යෝර්ක් ෆෙඩරල් අධිකරණයට ඉදිරිපත් කරනා ඕනෑම අයකු නිරුවත්කොට පරීක්ෂාවට ලක්කිරීම සාමාන්‍ය සිරිතක් බව ඇමරිකාව පවසන්නේය. එදිනම සවස 4 ට ඇමරිකානු ඩොලර් 250,000 ක ඇපයක් මත ඇය මුදාහරිනු ලැබිණි.

ඇයට එරෙහි චෝදනා

කොබ්‍රගාඩේට එරෙහිව ඇති චෝදනාව වන්නේ ඇය සිය නිවසේ සේවය සඳහා සංගීතා රිඩර්ඩ් ගෙන්වාගැනීමේදී අසත්‍ය තොරතුරු ඇතුලත් කරමින් වීසා වංචාවක් සිදුකොට ඇති බවය. වීසා වංචාවක් කිරීමේදී වසර 10කට නොඅඩු සිරදඬුවමක් ද, වැරදි ප්‍රකාශන ලබාදීමේදී වසර 5කට නොඅඩු සිරදඬුවම් ද හිමි වේ.

සංගීතා සිය නිවසේ සේවය කිරීම වෙනුවෙන් මාසිකව ඉන්දියානු රුපියල් 25,000ක් ගෙවීමට ද, ඊට අතිරේකව අතිකාල වශයෙන් තවත් ඉන්දියානු රුපියල් 5,000ක් ගෙවීමට ද ඔවුන් දෙදෙනා ඉන්දියාවේදී වාචිකව එකඟතාවය පළකොටගෙන ඇත. එම සමයේ විනිමය හුවමාරු අනුපාතිකයය අනුව ඉන්දීය රුපියල් 30,000 ක් යනු ඇමරිකානු ඩොලර් 573.07 කි. සතියකට පැය 40 බැගින් සේවය කරන්නේ යැයි සිතුවහොත් මෙය පැයකට ඇමරිකානු ඩොලර් 3.31 ක ගෙවීමකි. පසුව කොබ්‍රගාඩේ සහ සංගීතා අතර ලිඛිත ගිවිසුමක් අත්සන් කෙරුණු අතර, එහි සඳහන් වූ අන්දමට ඇයගේ පැයක වැටුප ඇමරිකානු ඩොලර් 9.75ක් විය. සේවය කළ යුතු කාලය සතියකට පැය 40ක් විය. සංගීතාගේ වීසා අයැදුම් පත්‍රයත් සමඟ මෙම ගිවිසුම ද ඇමරිකානු රජයට ඉදිරිපත් කරනු ලැබිණි. එවිට ගිවිසුමට අනුව සංගීතාගේ මාසික වැටුප ඇමරිකානු ඩොලර් 4,500කි. මාසිකව ඉන්දීය රුපියල් 30,000ක් ගෙවන බවට වූ වාචික එකඟතාවය පිළිබඳ සම්මුඛ පරීක්ෂණයේදී කිසිවක් නොපවසන ලෙස සංගීතාට උපදෙස් දී තිබිණි. නමුත් පැයකට ඇමරිකානු ඩොලර් 9.75 බැගින් සතියකට පැය 40ක් සේවය කළයුතු බව පමණක් පවසන ලෙස සංගීතාට උපදෙස් දෙනු ලැබිණි.

ඉන්පසුව සංගීතා ඉන්දියාවෙන් පිටවන්නට සුළු මොහොතකට පෙර ඇයට තවත් ගිවිසිමුක් අත්සන් කරන්නට සිදුවිය. එය ඇමරිකානු රජයට හෙළිනොකරන උපදෙස් ලැබී තිබිණි. මෙම දෙවැනි ගිවිසුමට අනුව ඇයට මාසිකව ඉන්දීය රුපියල් 30,000ක් ගෙවන බව සඳහන් විය. ලෙඩ නිවාඩු හෝ වෙනත් නිවාඩු පිළිබඳ සඳහනක් නොවිණි.

විකිපීඩියා නිදහස් විශ්වකෝෂයේ සඳහන් වන්නේ මෙම ප්‍රවෘත්තියයි. කොබ්‍රගාඩේගේ නීතිඥවරයා වන ඩැනියෙල් අර්ෂක් පවසන්නේ වීසා අයැදුම්පතත් සමඟ ඉදිරිපත්කරන ලද මෙම වැටුප් ලියවිල්ල ඇමරිකානු බලධාරීන් විසින් වරදවා වටහාගෙන මෙවැනි චෝදනා ඉදිරිපත් කළ බවය.

දෙව්‍යානි කොබ්‍රගාඩේ යනු එක්සත් ජාතීන්ගේ සංවිධානය වෙනුවෙන් ඉන්දීය නිත්‍ය උපදේශක කමිටුවේ සිටිනා උපදේශකවරියක ද වන්නේ ය. එබැවින් රාජ්‍ය තාන්ත්‍රික නිලධාරිනියකට ඇති වරප්‍රසාදවලට අමතරව එකසත් ජාතීන්ගේ සංවිධානයේ උසස් නිලධාරිනියකට ඇති වරප්‍රසාදයන් ද ඇයට හිමිය. ඒ අනුව පෞද්ගලික අත්අඩංගුවට ගැනීම්, රඳවා තබාගැනීම්, පෞද්ගලික දේපළ අත්පත්කරගැනීම් ආදිය කළ නොහැකිය. නමුත් කොබ්‍රගාඩේ මේ සියල්ලටම ගොදුරුවිය. ඒ සියල්ලටම වඩා සාමාන්‍ය සිරකාරියක් ලක්වන නිරුවත් සෝදිසිකිරීමකට ද බදුන් විය. ඇමරිකාව ඉන්දියාවෙන් සමාවගත යුතු යැයි ඉන්දියානුවන් උද්ඝෝෂණ පවා සිදුකරමින් පවසන්නේ එයයි. ඇමරිකා එක්සත් ජනපද රාජ්‍ය ලේකම් රිචර්ඩ් බැරී මෙම සිදුවීම පිළිබඳ සිය කණගාටුව පළකොට තිබිණි. නමුත් ඉන්දියාව එයින් සෑහීමකට පත්වන බව පෙනෙන්නට නැත. කෙසේ මුත් ඉන්දියාවෙන් සමාව ගන්නට හෝ කොබ්‍රගාඩේට එරෙහිව ඇති චෝදනා ඉවත්කරගන්නට හෝ ඇමරිකාව සූදානම් බවක් ද නොපෙනේ. ඉන්දීය රජය ඇයට සිට රටට ගෙන්වාගැනීමට කටයුතු කළේය. නමුත් ඇය කෙදිනක හෝ ඇමරිකාවට පය තැබූ විගස එහි නීතියට අනුව ඇයට දඬුවම්දීමට ඇමරිකානු රජය කටයුතු නොකරනු ඇතැයි සිතිය නොහැකිය. ඇමරිකානු පුරවැසියකුවන ඇගේ සැමියා සමඟ සමඟ ඇමරිකාවේ එක වහළක් යට යම්දිනෙක ජීවත්වන්නට ඇයට ඇති නිදහස ද මෙයින් සීමාවන බැව් පෙනේ.

අදාළ වීඩියෝව පහළින් නරඹන්න


No comments:

Post a Comment

මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න