පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Friday, January 10, 2014

වයසට ගැළපෙන සේ දරුවන්ට සෙල්ලම් බඩු තෝරන හැටි - How to Select Toys Suit to the Children's Age



කුඩා දරුවන්ගේ වැඩිපුරම කැමැත්තක් දක්වන දේ පිළිබඳව සොයා බලනවිට අපට හමුවන්නේ එක දෙයකි. ඒ සෙල්ලම් බඩු ය. මේ පිළිබඳ දන්නා වැඩිහිටියෝ තම දරුවාට හෝ වෙනත් දරුවන්ට හෝ තිළිණකිරීම සඳහා විවිධ සෙල්ලම් බඩු රැගෙනයාමට පෙළැඹී සිටිති. සෙල්ලම්කිරීම, එසේත් නැත්නම් ක්‍රීඩාකිරීම යනු දරුවන්ට අත්‍යවශ්‍යම දෙයකි. සෙල්ලම් බඩු යනු දරුවන්ට සෙල්ලම් කිරීම සඳහා ඇති හොඳම දෙයයි. තෝරාගත යුත්තේ කුමන සෙල්ලම් භාණ්ඩය ද, ඒවායේ ප්‍රයෝජන මොනවාද යන්න දැනගැනීම එකසේ ප්‍රයෝජනවත්ය. වැඩිහිටියන් තමාට ආදරේ බව දරුවන්ට දැනෙන එක් දෙයක් ලෙස සෙල්ලම් බඩු ලබාදීම සැළකිය හැකි මුත්, ඒවා දෙමාපියන් හෝ වැඩිහිටියන්, ඔවුනගේ ආදරය වෙනුවට  ආදේශකයක් නොවන බව ද අප මතක තබාගත යුතුය. සෙල්ලම් බඩු ආරක්ෂිත විය යුතුය. දරාගැනීමට  හැකි මිලකින් යුක්ත විය යුතුය. දරුවාගේ බුද්ධිවර්ධණයට ඉවහල් විය යුතුය. නමුත් බොහෝ දෙනෙකු සෙල්ලම් බඩු තෝරන්නේ කිසිදු විචාරයකින් තොරව බව හොඳින්ම පෙනෙන්නට ඇති දෙයකි. හොඳින්ම ගැළපෙන සෙල්ලම් භාණ්ඩයක් දරුවකු අතට පත්කිරීමෙන්, ඔහුගේ/ඇයගේ බුද්ධි වර්ධණය හොඳින් සිදුවන බැව් මනෝවිද්‍යාත්මක පර්යේෂණවලින් පවා හෙළිවී තිබේ. නමුත් ගැටලුව වන්නේ නිවැරදි සෙල්ලම් භාණ්ඩයක් තෝරාගන්නේ කෙසේද යන්න ය.  ඒ නිසාම අපි ඒ පිළිබඳව කතාබහ කරන්නට තීරණය කළෙමු. 

උපන් මොහොතේ සිටම දරුවෝ ඉගෙනගනිති. එබැවින් ඉගෙනගැනීම සඳහා හොඳ වටපිටාවක් නිර්මාණය කිරීම දෙමාපියන්ගේ හා වැඩිහිටියන්ගේ යුතතුකම හා වගකීම වන්නේය. සෙල්ලම් භාණ්ඩයක් සහ දරුවා අතර ඇති අන්තර් සම්බන්ධතාවය තුළින් දරුවකුගේ මොලයේ මුල්කාලීන වර්ධණයට දැඩි බලපෑමක් එල්ල කරනා බැව් සොයාගෙන තිබේ.  එබැවින් සෙල්ලම් භාණ්ඩයක් තෝරාගන්නට පෙර පහත සඳහන් ප්‍රශ්න ඔබෙන්ම අසාගන්නට හැකි නම් එය වඩාත් හොඳින් ගැළපෙන සෙල්ලම් භාණ්ඩයක් තෝරාගන්නට මූලික් අඩිතාලම දැමීමක් වනු නොඅනුමානය. 

1. මෙය දරුවාගේ වර්ධණයට ගැළපේද? සෑම සෙල්ලම් භාණ්ඩයක්ම දරුවාගේ වයසට, කැමති අකැමති දෙයට හා හැකියාවන්ට ගැළපිය යුතුය. 
2. මෙම සෙල්ලම් භාණ්ඩය එකිනෙකට වෙනස් විවිධ ආකාරවලින්, විවිධ වයස් කාණ්ඩ සඳහා භාවිත කරන්නට හැකිද? එසේ නම් එය දිගු කාලයක් භාවිත කරන්නට හැකිය. 
3. සෙල්ලම් භාණ්ඩයේ සවි ශක්තිය කෙසේද? කිහිප වාරයක් භාවිතකිරීමෙන් පසු එය කැඩී බිඳී යනවාද? වඩාත් දිගුකලක් පවත්නා සෙල්ලම් භාණ්ඩයක් තෝරාගැනීමේදී තමා වියදම්කරනා මුදලට වැඩි වටිනාකමක් ලැබෙනු ඇත. 
4. මෙම සෙල්ලම් භාණ්ඩය දරුවාගේ පරිකල්පනය ශක්තිය වර්ධණය කරන්නේද? එනම් නිර්මාණාත්මක බව වර්ධණයට උපකාරී වන්නේද? 
5. මෙය ආරක්ෂිතද? සෙල්ලම් බඩු අසුරණයේ ඇති උපදෙස් බලන්න. කුඩාම දරුවන්ට ඇතැම් විට ලබාදෙන සෙල්ලම් බඩු කොටස් ගිළින අවස්ථාවන් ද දක්නට ලැබේ. 
6. සෙල්ලම් භාණ්ඩය ගළවා නැවත සවිකරන්නට හැකි එකක්ද? ගළවා සවිකිරීමෙන් ඔවුනගේ නිර්මාණාත්මක හැකියාවන් වර්ධණය වේ. 
7. සහයෝගයෙන් වැඩකටයුතු කරන්නට මෙම සෙල්ලම් භාණ්ඩය උපකාරී වේද? රූපවාහිනියේ ඇති ජනප්‍රිය චරිත ආශ්‍රිතව තනන ලද සෙල්ලම් බඩු කෙරෙහි දරුවන් තුළ කැමැත්ක් ඇති බැව් පෙනෙන්ට තිබේ. මෙවැනි චරිත ආශ්‍රිතව බොහෝ විට තනා ඇත්තේ සෙල්ලම් තුවක්කු, සෙල්ලම් පිහි සෙල්ලම් කඩු වැනි ඒවාය. මෙවැනි චරිත ඔස්සේ දරුවන් කිහිප දෙනෙකු එකතුවී සෙල්ලම් කරනු ද දැකිය හැකිය. නමුත් මේ චරිත ආශ්‍රිතව ඇත්තේ සටන් හා බිහිසුණු බව වැනි දේ ය. එවැනි ඒවා තේරීමෙන් වැළකී සිටීම ඔබගේ වගකීම වන්නේය. 
පහත සඳහන් කරුණු පිළිබඳ අවධානය යොමුකිරීමෙන් ඔබට වඩාත් පහසුවෙන්, දරුවනට ගැළපෙන සේ සෙල්ලම් බඩු තෝරාගැනීමට හැකිවනු ඇත.  

1. වයස අවුරුදු 1 දක්වා දරුවන් සඳහා 

මේ වයස් කාණ්ඩයේ දරුවන් දීප්තිමත් වර්ණවලට කැමැත්තක් දක්වයි. කුඩා සෙල්ලම් බඩු එල්ලූ, තල්ලු කරන කරත්තයක් වැනි ඒවා සුදුසුය. එමෙන්ම අල්ලන්නට බැරිවන අයුරින් එල්ලන ලද සෙල්ලම් බඩු තැබීම සුදුසුය. මිරිකන විට හඬක් නැගෙනා, නොකැඩෙන, සේදිය හැකි සෙල්ලම් බඩු හා බෝනික්කන් ප්‍රවේශම් සහගතය. බෝනික්කන්ගේ ඇස් බොත්තම්වලින් නොව එයටම මැසූ ඒවාම ගැනීමට සැළකිලිමත්වන්න. ළිහිල් කොටස් ගිලීමට නොහැක ඒවා ද විය යුතුය. කොටස් ගැළවිය හැකි, උල් හැඩැති, විෂ සහිත තීන්ත ආලේප කළ, දිගු රැහැන් සහිත සෙල්ලම් බඩු සහ බැලූන් ආදිය මෙම වයසට සුදුසු නැත. 

2. අවුරුදු 1 -12 අතර දරුවන් සඳහා 

දීප්තිමත් වර්ණයන්ගෙන් යුක්ත චිත්‍ර සහිත පොත් සුදුසුය. විශේෂයෙන් රෙදි හෝ ඝන කාඩ්බෝඩ්වලින් තැනූ ඒවා නම් වඩා හොඳය. වීදුරුවලින් නොසාදන ලද දර්පණ, විශාල කොටස්වලට වෙන්කළ හැකි සෙල්ලම් බඩු, කාඩ්බෝඩ්වලින් හෝ ප්ලාස්ටික්වලින්  තනන ලද බිල්ඩින් බ්ලොක්ස්, නහවන විට බේසමේ පා කරවිය හැකි ඒවා, සංගීතමය උපකරණ සේ තැනූ සෙල්ලම් බඩු ආදිය යෝග්‍ය වේ. බැලූන්, උල් කෙළවරවල් සහිත හා කුඩා කොටස්වලට වෙන්කළ හැකි සෙල්ලම් බඩු සුදුසු නැත. 

අවුරුදු 2-3 අතර දරුවන් සඳහා 

මෙම වයසට වඩාත් සුදුසු වන්නේ නිර්මාණාත්මක කාර්යයන් සිදුකළ හැකි සෙල්ලම් බඩුය. විෂ රහිත මැටි, ලොකු පැස්ටල්, සංගීතය සහිත පොත්, පැදවිය හැකි හෝ තල්ලු කළ හැකි සෙල්ලම් කාර්, උසින් අඩු සෙල්ලම් අශ්වයින්, මෘදු බෝල ආදිය සුදුසු ය. විදුලියෙන් ක්‍රියාත්මක වන සෙල්ලම් බඩු සුදුසු නැත. අඟල් 12කට වඩා උස රෝදතුනේ බයිසිකල් ද සුදුසු නොවේ. එමෙන්ම පබලු, කාසි, උල් කෙළවර සහිත සෙල්ලම් බඩු හා බැලූන් ලබාදීම අනතුරුදායක විය හැක. 

අවුරුදු 3 - 4 අතර දරුවන් සඳහා 

ඇඳුම් ඉවත් කළ නොහැකි අන්දමට සකස්කළ බෝනික්කන්, විදුලියට සම්බන්ධයක් නැති වාහන, බෝල, බිල්ඩින් බ්ලොක්ස් හා එකිනෙක සවිකළ හැකි ප්ලාස්ටික් කොටස්, මුවහත නැති සෙල්ලම් කතුරු, විෂ රහිත මාර්ක්ර් පෑන් සහ පැස්ටල් ආදිය මේ වයසට සුදුසු ඒවා වේ. එමෙන්ම සෙල්ලම් දුරකථන, නොකැඩෙන සෙල්ලම් භාජන, පොත්, සරල ගැටලු විසඳීම පිණිස සකස්කළ සෙල්ලම් බඩු ආදිය පිළිබඳව ද සළකා බැලිය හැකිය. විදුලියට සම්බන්ධ ඒවා, වැඩිහිටියන් භාවිතයෙන් ඉවත්කළ රූපලාවන්‍ය උපකරණ, කොටස් වෙන්කළ හැකි හා උල් කෙළවර සහිත සෙල්ලම් බඩු ද සුදුසු නොවේ. 

අවුරුදු 4 -5 අතර දරුවන් සඳහා 

බිල්ඩින් බ්ලොක්ස්, මැටි, ඇඟිළිවලින් ඇඳිය හැකි තීන්ත, සරල ගොඩනැගීම් උපකරණ, බැටරියෙන් ක්‍රියාත්මක වන සෙල්ලම් බඩු, ස්ටෙන්සිල්, කාර්ඩ් හා පුවරු ආශ්‍රිතව කළ හැකි ක්‍රීඩා සුදුසු වේ. සරල සංගීත උපකරණ ද සුදුසුය. අඟල් 20 රෝද හා වැටීම වළක්වන්නට පිටුපසින් රෝද දෙපැත්තට රෝද දෙකක් සහිත පාපැදි, කුඩා ක්‍රීඩා උපකරණ ආදිය ද ඔබේ තෝරාගැනීමට එකතුකරගත හැකිය. විදුලියෙන් ක්‍රියාත්මක වන සෙල්ලම් බඩු සුදුසු නැත. විෂ සහිත, තෙල් සහිත ගිනිගන්නා සුළු ද්‍රව්‍ය, වෙළෙඳපළේ අළෙවියට ඇති සරුංගල්, උල් කෙළවර සහිත සෙල්ලම් බඩු ද සුදුසු නොවේ. 

අවුරුදු 5 -8 අතර දරුවන් සඳහා 

අඟල් 24 රෝද සහිත පා පැදි, ‛ජිග්සෝ පසල්’ නමැති ගැටළු විසඳන සෙල්ලම් බඩු, ඩොමිනෝ ක්‍රිඩා උපකරණ, නිවසේ තනන ලද සරුංගල්, සංකීර්ණ නොවන මෙවළම් උපකරණ, විශාලකොට බලන කාච, කාන්දම්, බැටරියෙන් ක්‍රියාත්මක වන සෙල්ලම් බඩු, බෝනික්කන්, සෙල්ලම් කැමරා, චිත්‍ර අඳින උපකරණ, මැහුම් උපකරණ ආදිය සුදුසුය. ඈතට යමක් විදිය හැකි සෙල්ලම් බඩු සුදුසු නැත. උල් කෙළවර සහිත ඒවා ද තෝරාගැනීමෙන් වළකින්න. 

අවුරුදු 8 - 12 අතර දරුවන් සඳහා 

චිත්‍ර ඇඳීම හා නිර්මාණාත්මක අත්වැඩ කළ හැකි කට්ටල සුදුසු වේ. විවිධ ගොඩනැගීම් කට්ටල, විදුලියෙන් ක්‍රියාතමක වන දුම්රිය, තනිව ගොඩනැගිය හැකි යම් යම් උපකරණ කට්ටල (මෙවැනි කට්ටල කොළඹ පිටකොටුවේ පළමුවන හරස් වීදියේ බහුලව මිලට ගැනීමට තිබේ), අඟල් 26 ප්‍රමාණයේ රෝද සහිත පාපැදි, ක්‍රීඩා උපකරණ ආදිය සුදුසුය. යමක් ඈතට විදිය හැකි ඒවා, පුපුරණ ද්‍රව්‍ය සහිත සෙල්ලම් තුවක්කු, ඊතළ ආදිය සුදුසු නොවේ. 

මෙහි සඳහන්ව ඇත්තේ ළමා මනෝ විශේෂඥයින් විසින් කරන ලද නිර්දේශයන්ය. වර්තමාන වෙළෙඳ පළේ දක්නට ඇති බොහෝ සෙල්ලම් බඩු සැබවින්ම දරුවන්ට සුදුසු ද නැතිද යන්න දැන් ඔබට අවබෝධවන්නට ඇත. අපට අවශ්‍යවන්නේ අනාගතයේ නිර්මාණාත්මක කුශලතාවයන්ගෙන් හෙබි දරුවකු බිහිකිරීම විනා සමාජය හානිදායක දරුවකු බිහිකිරීම නොවේ. එබැවින් වැඩිහිටියකු වශයෙන් ඔබ දරුවකුට සෙල්ලම් කිරීම සඳහා යමක් තෝරාගැනීමේදී නිරතුරුව සිහියේ තබාගත යුත්තේ එයයි. 

No comments:

Post a Comment

මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න