පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Sunday, January 19, 2014

ඉසිවර වෙදැදුරු නාට්‍යයේ ජී න්‍යොන්ග් - Lee Yo-won as Kang Ji-nyeong in The King's Doctor


‛ඉසිවර වෙදැදුරු’ කියන්නේ මේ දවස්වල කවුරුත් වගේ නරඹන ජනප්‍රිය කොරියානු ටෙලිනාට්‍යයක්. හැම කොරියානු ටෙලි නාට්‍යයක් වගේම ‛ඉසිවර වෙදැදුරු’ත් සත්‍ය ඉතිහාස කතාවක්. මේ නාට්‍යය අධ්‍යක්ෂණය කරන්නේ ඔබ මෙයට පෙර නැරඹූ ‛සුජාත දියණි’ සහ ‛අභීත දියණි’ කියන ජනප්‍රිය නාට්‍යවල අධ්‍යක්ෂවරයාමයි. මෙය මේ තරම් ජනප්‍රියවන්නට එයත් හේතුවක් වෙන්න ඇති. ජෝසෙන් රාජ්‍ය සමයේ අවසාන භාගයේ දී පමණ ජීවත් වූ අශ්වයිනට ප්‍රතිකාර කිරීමට දක්ෂකම් දැක් වූ ‛බෙක් ක්වන්ග් - හ්‍යුන්’ නම් පශු වෛද්‍යවරයකු වටා මෙම කතාව ගෙතී තිබෙනවා. කුලයෙන් පහත් පුද්ගලයකු වන බැවින් පශු වෛද්‍යවරයකු ලෙස පවා ඉහළට පැමිණෙන්ට ඔහු ඉදිරියේ ඇති බාධාවන් අපමණයි. නමුත් වැඩවසම් සමාජ ක්‍රමයේ තාඩන පීඩනවලින් නොසැලී දිරියෙන් ජීවිතය ජයගන්නා මේ පශු වෛද්‍යවරයා අවසානයේ රජමාලිගාවේ රාජකීය වෛද්‍යවරයා බවට පත්වෙනවා. මේ තමයි ප්‍රධාන චරිතය. එය නිරූපණය කරන ‛ජෝ සුන්ග් - වූ’ ගැන අපි පසුගිය සතියක කතා කළා. අද අපි කතා කරන්න සූදානම් වෙන්නේ ඔහු සමග මෙහි ප්‍රධාන චරිතයට දායකවන රංගන ශිල්පිනිය ගැනයි. ‛ඉසිවර වෙදැදුරු’ නාට්‍යයයෙන් අපි ඇයව හඳුනාගන්නේ ‛ජි න්‍යොන්ග්’ විදියට. (ඉසිවර වෙදැදුරු නාට්‍යයේ මේ නම තරමක් වෙනස්ව්නට පුළුවන. මෙහි සඳහන්කොට ඇත්තේ මුල් කොරියානු නමයි) හැබෑ ජීවිතයේ දී අප ඇය හඳුනාගන්නේ ‛ලී යෝ-වොන්’ නමින්. 

විවාහය

1980 අප්‍රේල් 9 වැනිදා දකුණු කොරියාවේ ග්‍යොන්ගි පළාතේ සොන්ග්නම් නගරයේ උපන් ලී යෝ-වොන් ගේ කුඩා සමය ගැන තොරතුරක් සොයාගන්නට නැහැ. ඇය තමන්ගේ වෘත්තිය ජීවිතය ආරම්භ කරන්නේ මෝස්තර නිරූපණ ශිල්පිනියක් විදියට. ඇය වර්ෂ 1997 ඇය ඩැන්කොන් සරසවියේ උසස් අධ්‍යාපනය හදාරමින් සිටින කාලයේ මෝස්තර නිරූපණ ශිල්පිනියන් සඳහා වූ තරගයකට අයැදුම්කරනවා. එය අවසන්වන්නේ ඇයට ජග්‍රහණය ලබාදෙමින්. ඉන් පසුව ඇයට කොරියාවේ අතිශය ජනප්‍රිය මාසික මෝස්තර සඟරාවක් වන ‛ෆිගාරෝ’ හි 1998 නොවැම්බර් කලාපය සඳහා පෙනී සිටින්නට අවස්ථාවක් ලැබෙනවා. ඒ තමයි ඇය තමන්ගේ රූ සපුව ප්‍රසිද්ධියේ ඉදිරිපත් කළ මුල්ම අවස්ථාව. 

1988 වසරේම ඇයට තමන්ගේ මුල්ම සිනමා නිර්මාණය සඳහා සහභාගී වන්නට ද අවස්ථාව ලැබෙනවා. ඒ ‛සෙන්ට් ඔෆ් මෑන්’ සඳහායි. ප්‍රථම සිනමා නිර්මාණයේදීම ඇයට මුහුණ දෙන්නට ලැබෙන්නේ දුක්බර අත්දැකීමක්. ඇය අලුත් නිසා කාර්ය මණ්ඩලයේ කිසිකෙනෙක් ඇයගේ රංගනය අගය කරමින් කතා කළේ නැහැ. ඔවුන් එක් ජවනිකාවකින් පසුව අත්පොළසන් දුන්නේත් ජනප්‍රිය අය සඳහා පමණයි. මේක ලී යෝවොන් ගේ පළමු රංගනය නිසා මේ වෙනස දරාගන්නට බැරිව නිතර හැඬුම් එන්න පටන් ගත්තා. ඇය හඬනවා දුටු කාර්ය මණ්ඩලයේ කිහිප දෙනෙක් කිව්වේ, “ඔයා අඬන්න නම් මාර දක්ෂයි” කියලයි. තමන්ගේ කුමක් හෝ දක්ෂතාවයක් ගැන මුළින්ම හොඳක් අහන්න ලැබුණේ ඒ වෙලාවෙයි. ඇය ඒ ගැන හිතුවේ ඒ විදියට. ඒ විදිහට ආත්ම විශ්වාසය ගොඩනගාගත්තු ඇය රංගනය වෘත්තීය මට්ටමෙන් කළ යුතුයි කියා සිතුවා. 
ඇගේ දෙවැනි සිනමා නිර්මාණය ‛ඇටෑක් ද ගෑස් ස්ටේෂන්’. එහි ප්‍රවේශ පත්‍ර මිලියන 2.4ක් අළෙවි වූ බව වාර්තා වෙනවා. මෙය ජනප්‍රියවීමත් සමඟ ලී යෝ-වොන්’ මහජනතාවගේ අවධානයට ද ටිකෙන් ටික ලක්වන්නට පටන් ගත්තා. ඒ එක්කම ඇයට රූපවාහිනි නාට්‍ය ද ලැබෙන්නට පටන්ගත්තා. 2001 දී ඇය  ‛බ්ලූ ලව්’ කියන ටෙලි නාට්‍යයේ ප්‍රධාන චරිතයට දායක වුණා. ඒ ටෙලි නාට්‍යයක් සඳහා කළ ඇගේ මුල්ම ප්‍රධාන චරිතයයි. මේ නාට්‍ය මාළාව නොසිතූ විදිහට ජනප්‍රිය වුණා. මේ කතාවෙන් කියැවුණේ අවුරුදු 40 ක පමණ පුද්ගලයකු සමග ආදර සබඳතාවයක් පවත්වාගෙන යන අවුරුදු 20 ක පමණ තරුණියක් ගැනයි. මේ කතා තේමාව නිසාම මෙය බොහෝ දෙකෙුගේ කතාබහට ලක්වුණු ටෙලිනාට්‍යයක් බවටත් පත් වුණා. 
පුංචි පවුල

ඒ වසරේදී ඇයට ‛ටේක් කෙයාර් මයි කැට්’ චිත්‍රපටයේ ප්‍රධාන චරිත තුනෙන් එකක් සඳහා රංගනයෙන් දායකවන්නට අවස්ථාවක් ලැබුණා. අධ්‍යක්ෂවරියක් යටතේ නිර්මාණය වුණු මෙය විචාරක පැසසුමට ද ලක්වූ සිනමා නිර්ාමාණයක්. ‛සිනේ සෝල්’ සඟරාව 2001 වසරේ තිරගත වූ හොඳම චිත්‍රපට 5 අතරට මෙය ද තෝරාගෙන තිබීම විශේෂත්වයක්. අනෙක ‛එල්ලේ කොරියා’ කියන මෝස්තර සඟරාව සමඟ ලී යෝ-වොන් කළ සාකච්ඡාවකදී සඳහන් කොට තිබුණේ ‛ටේක් කෙයාර් මයි කැට්’ කියන සිනමා නිර්මාණය ඇගේ රංගන ජීවිතයේ අමතක නොවන සන්ධිස්ථානයක් බවයි. 

කවුරුත් බලාපොරොත්තු නොවූ විදියට 2003 වසරේ ආරම්භයේදීම ඇය පැවසූයේ තමන් විවාහවන්නට සූදානම්වන බවයි. ජනවාරි මාසයේ අවසන්වන විට ඇය වෘත්තීය ගොල්ෆ් ක්‍රීඩකයකු හා ව්‍යාපාරිකයකු වන ‛පාර්ක් ජින්-වූ’ සමඟ විවාහ වුණා. සිය සැමියා සමඟ අධ්‍යයන කටයුතු සඳහා ඇමරිකා එක්සත් ජනපදය කරා යාමට සියලු කටයුතු සූදානම්කරගත් නිසා මද කලකට රංගන ජීවිතයෙන් සමුගන්නට ඇයට සිදු වුණා. 2004 වසරේදී ඇය සිය පළමු දරු උපතට මුහුණ දුන්නා. 

2005 වසරේදී ඇය නැවතත් රංගනයට එක් වුණා. ඒ ‛ෆැෂන් සෙවන්ටීස්’ නාට්‍ය මාළාවෙන්. ඇය මෙහි තමාට හිමි චරිතය භාරගැනීම සඳහා හේතු තුනක් සඳහන් කොට තිබුණා. එකක් එය ඓතිහාසික කතාවක් වීම. අනෙක මෙය අධ්‍යක්ෂණය කළේ මෙයට පෙර ස්ත්‍රීවාදී දෘෂ්ටියකින් රහස් පරීක්ෂක කතාවක් (ඩේමෝ - ද ලෙජන්ඩරි පොලිස් වුමන්) නිර්මාණය කළ ජනප්‍රිය සිනමාකාරියක වන ලී ජේ-ක්‍යු’ වීම. අනෙක මේ කතාව කාන්තාවන් ගැන කතා කිරීම. ඇය පැවසූයේ හුදු ප්‍රේම කතාවලට වඩා කාන්තාවන් ගැන කියැවෙන කතාවලට රංගනයෙන් දායකවීමෙන් ප්‍රේක්ෂක ප්‍රතිචාර දිනාගැනීමට වැඩිවශයෙන් මගපෑදෙන බවයි. 
‛පැෂන් සෙවන්ටීස්’ නාට්‍යයෙන් පසුව ඇය විවිධ සිනමා නිර්මාණ හා ටෙලිනාට්‍යවලට දායක වුණා. 2009 දී ඇය අතිශය ජනාදරයට පත් වූ තවත් ටෙලිනාට්‍යයක් සඳහා දායක වුණා. ඒ ‛ද ග්‍රේට් ක්වීන් සොන්ඩොක්’. ඇය මෙහි නිරූපණය කළේ අසාමාන්‍ය බුද්ධියකින් හා ශක්තියකින් යුක්ත වුණු සොන්ඩොක් රැජිනගේ චරිතයයි. දුර්වල කාන්තා චරිත නිරූපණය කරන්නට තමන් අකැමති බව ඇය එක් අවස්ථාවක පවසා තිබුණා. මෙවැනි ශක්තිමක් චරිත තෝරාගන්නට ඇය දෙවරක් නොසිතන්නේ ඒ නිසා යැයි ද ඇය පැවසුවා. 

2010 දී ඇය ‛ද රෙසිපි’ සඳහා දායක වූ අතර ඔක්තෝබර් අවසානවන විට එය තිරගතවන්නට පටන් ගත්තා. ජාත්‍යන්තරයට ගිය ඇගේ ප්‍රථම සිනමා නිර්මාණය එයයි. 

ඉසිවර වෙදැදුරු


ඇය පසුගිය වසරේ (2013) අවසන් වරට රංගනයෙන් දායක වූයේ ‛එම්පයර් ඔෆ් ගෝඩ්’ ටෙලිනාට්‍යය සඳහායි. ඉන්පසුව ඇය මාධ්‍ය හමුවේ පවසා සිටියේ තමන් දෙවැනි දරුවා අපේක්ෂාවෙන් පසුවන බවයි. ඒ නිසා තමන්ට විවේකය අවශ්‍ය බවත් ඇය පවසා තිබුණා. 

මේවන විට ඇය සිනමා නිර්මාණ 10කටත්, ටෙලි නිර්මාණ 12කටත් පමණ දායක වී තිබෙනවා. අප නරඹන ‛ඉසිවර වෙදැදුරු’ විකාශනය වී තිබෙන්නේ 2012 වසරේ. ඇය සිය රංගනය උදෙසා මේවන විට සම්මාන 14ක් පමණ දිනාගෙන තිබෙනවා. 

No comments:

Post a Comment

මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න