අනාදිමත් කාලයක සිට ශ්‍රී ලාංකේය ජන සමාජයේ ප්‍රධාන
ආහාරය බත් ය.අතීතයේ සිට විවිධ සහල් වර්ග වලින් බත් පිසිනු
ලැබුවද ඒ සියළු බත් වර්ග අතුරින් පෙරටු වන බතක්
තිබේ.එනම් සම්බා බතය.ශ්‍රී ලංකේය බෞද්ධ සමාජයේ ආධ්‍යාත්මික පක්ෂය නියෝජනය
කරන අග්‍ර භෝජනය වන බුද්ධ පූජාවේ සිට ලෞකික පක්ෂය නියෝජනය
කරන අග්‍ර
භෝජනය වන මංගල භෝජනය තෙක් වන සියළු සම්භාවනීය අවස්ථාවන් සඳහා යොදා ගැනෙන
සම්බා ඉන්දියානු සම්භවයකින් යුතු වී වර්ගයකි.ඉන්දියාවේ දී මෙම වී වර්ගය සඳහා
කෙතරම් සම්භාව්‍ය තත්වයක් ආරෝපණය වී තිබේ ද යන්න බටහිර බෙංගාලයේ දී එය
ගෝභින්දෝ භෝග්[විෂ්ණු දෙවියන්ගේ බෝගය] නමින් හැඳින්වීමෙන්
පැහැදිලි
වෙයි.එමෙන්ම මෙම උතුම් බත අප රටට හඳුන්වා දුන් අතීත වීර පුරුෂයකු පිළිබඳ මානව
විද්‍යාත්මක සාක්ෂි රැසක් සහිත අප්‍රකට පුරාවෘත්තයක් ගොනු කර
ගැනීමට අපට හැකි විය.
ගම්පහ දිස්ත්‍රික්කයට, ගම්පහ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් ගණේමුල්ලේ පිහිටි හොරගොල්ල ගම්මානයේ කොටසක් අතීතයේ භැඳින්වෙන ලද්දේ “මහ ගම” යනුවෙනි. ඒ පැරණි ග්‍රාම නාමය මතකයෙන් කිව හැකි ගැමියෝ තවමත් එම ප්‍රදේශයේ සිටිති. මෙම හොරගොල්ල ග්‍රාමයේ උතුර ග්‍රාම නිලධාරී කොට්ඨාශයට අයත් නිවාස එකසිය පනහක් පමණ අයත් වන කොටසක් අදටත් ගෘහ මූලික ලැයිස්තු වල “හම්බාගම” යනුවෙන් සඳහන් ය. ඒ එහි මුල් නම වන සම්බාගම යන්නෙන් බිඳී ඒමේ ප්‍රතිඵලයක් ලෙසිනි. සිරිලකට සම්බා බත හඳුන්වාදුන් බව පැවසෙන "මහගම මුත්තා": පුරාවෘත්තය මතු වනුයේ ඒ ගම් පියස ඇසුරිනි. මෙම හොරගොල්ල ගම්වරයේ වෙසෙන ජනතාව සමඟ පාරම්පරික ඥාති සම්බන්ධයක් සහිත ජනතාවකගෙන් යුතු තවත් ගම්වරයක් ඊට යාබදව පිහිටා තිබේ. එය හැඳින්වෙනුයේ තිබ්බටුගොඩ ලෙසිනි. එහෙත්, ඉහත සඳහන් හොරගොල්ල සහ තිබ්බටුගොඩ යන ගම්මාන වල සෑම පාරම්පරික වැසියකුගේම පෙළපත් නාමය ආඬිගේ හෝ සේනාසිගේ යනුවෙන් දැක්වෙයි. සන්‍යාසි යන්නෙන් බිඳීගත් මෙම සේනාසිගේ නාමය පසුව සේනාසිංහගේ හෝ සේනාසිංහ යනුවෙන් වෙනස් වී ඇති බව ද පෙනෙයි. අතීතයේ විසූ මෙම මහගම මුත්තා පිළිබඳව විමසීමට පෙර ඔහු නියෝජනය කළ එම ජන වර්ගය පිළිබඳව ද විමසා බැලිය යුතු ය. මුඛ පරම්පරාගත කතා වලට අනුව අතීතයේ වනයෙන් වැසී තිබූ මෙම ප්‍රදේශය ජනාවාස වීම ඇරඹී ඇත්තේ ඉන්දියාවෙන් පැමිණි ආඬි සහ සන්‍යාසි මිනිස් කණ්ඩායම් දෙකකිනි. මොවුන් අතර කාන්තාවන් සිටියේ ද නැතහොත් ඔවුන් මෙරට කාන්තාවන් විවාහ කරගත්තේ ද යන්න අවිනිශ්චිතය.
මෙම ආඬි මිනිස්සු
තෙළිඟු බස කතා කරන දකුණු ඉන්දියාවේ නැගෙනහිර කොටසට වන්නට පිහිටි ආන්ද්‍රා
දේශයෙන් පැමිණි අතර ඔවුන් කතා කළ තෙලිඟු බස තේරුම් ගත නොහැකි අප රටේ
ගැමියෝ ඊට ආන්ද්‍රා දෙමළ යන අරුත ගෙනෙන අණ්ඩර දෙමළ යැයි කීහ. දහ අට වන සියවසේ
ලියැවුණු රාජාවලියෙහි දැක්වෙන අන්දමට ද ආඬි යනු වත්මන් ආන්ද්‍රා
දේශයෙන් හෙවත් තෙළිඟු රටින් පැමිණි ජන වර්ගයට කියන නමකි. එම සියවසටම අයත්
උපාසක ජනාලංකාරය, සුළු පූජාවලිය වැනි කෘතීන් මඟින් අබෞද්ධ පූජක
කොට්ඨාශයක් සේ නම් කොට ඇති ආඬි ජනයා පිළිබඳව මදුරාසි සරසවියේ දෙමළ ශබ්ද
කෝෂයෙහි [Tamil Lexicon] අර්ථ දක්වා ඇත්තේ ද පූජක විශේෂයක් ලෙසිනි. ඔවුන් සමඟ
මෙහි පැමිණි සන්‍යාසී මිනිසුන් දකුණු ඉන්දියාවේ බටහිරට වන්නට පිහිටි කේරලයෙන්
පැමිණි අතර ඔවුන්ගේ මව් බස මලයාලම් විය. සන්‍යාසීන් යනුවෙන්
හින්දු සංස්කෘතික ධාරාවේ ගිහි පූජක පිරිස් හැඳින්වුණු
අතර හිස මුදුනට වන්නට බැඳගත් ජටාව හෝ ඒ අයුරින් සකසා ගත් කෙස් කළඹ, මුහුණ පුරා වැඩුණු
රැවුල, උඩු කය වසා
ගත් සාළුව ගෙලෙහි වූ නව ගුණ වැල සේම උරෙහි එල්ලා ගත් ලෝගුව සන්‍යාසියකු
ගේ විශේෂ ලක්ෂණ විය. එවක ගමින් ගමට යමින් වැසියන් ගේ රෝග පීඩා,
අපල, යක්ෂ බලපෑම් ආදිය තමන්
සතු මලයාලී මන්ත්‍ර
ශාස්ත්‍ර බලයෙන් දුරු කළ හැකි බව පැවසූ මොවුන් කෙරෙහි මෙරට සාමාන්‍ය වැසියන්
තුළ බිය හා සබැඳි ගෞරවයක් තිබූ බව පෙනෙයි. ඒ අතරේ ඔවුන් තමන්ගේ උරෙහි
එල්ලෙන ලෝගුවේ බහා කුඩා දරුවන් පැහැර ගෙන යන බවට පැවැති වැරදි සමාජ
විශ්වාසය මත ගම්මු මොව්හු සන්නාසි බිල්ලන් ලෙස ද හැඳින්වූහ. ජලය හා
සබැඳි පූජා චාරිත්‍ර සම්ප්‍රදායක් පවත්වාගෙන ගිය මෙම සන්‍යාසීන් ඒ සඳහා
හොරගොල්ල, තිබ්බටුගොඩ යන
ගම්මාන මැදින් ගලා යන ඌරුවල් ඔය යොදා ගත් බව පෙනෙයි. ඒ අනුව මෙම
තිබ්බටුගොඩ ග්‍රාම නාමය පූජකයන් හෙවත් තීර්ථකයන් ගොඩ බසින ලද
ගොඩැල්ල හෙවත් තිත්+බට+ගොඩ යන්නෙන් බිඳී ආ එකක් බව පෙනෙයි. මෙය වඩාත්
තහවුරු වනුයේ තිබ්බටුගොඩ ගමේ කෙලවර ඌරුවල් ඔය ආසන්නයේ පුරාණ පත්තිනි
දේවාලයක් කේන්ද්‍ර කර ගත් පත්තිනිපිටිය නම් ප්‍රදේශයක් අදත් දක්නට ලැබීමෙනි.
අද අපගේ මාතෘකාවට
බඳුන් වන මහගම මුත්තා එම ඉන්දීය සංක්‍රමණික ජනතාවගේ නායකයා වූ බව පැහැදිලි
ය. එහෙත්, ඔහු ආඬි
මිනිසෙකු ද නැතහොත් සන්‍යාසියෙකු ද යන්න තහවුරු කර ගැනීමට අවශ්‍ය
සාක්ෂි නොමැත. නමුදු ඔහුජීවත් වූ ගම්වරය “මහ ගම” නමින් හැඳින්වීමට ඔහු ගේ එම පෞරුෂය, ප්‍රතාපය හේතු වන්නට
ඇත. අදටත් ඒ අවට හොරගොල්ල සහ තිබ්බටුගොඩ වැසියෝ මෙම ප්‍රදේශය හැඳින්වීම
පිණිස “ගම දිහා”
යන්න යොදති. මහගම මුත්තා පිළිබඳව කෙරෙන ඓතිහාසික
විමසුම්වල දී ඔහු පහලොස් වන සියවසත් දහසය වන සියවසත් අතර
කෝට්ටේ යුගයේ
ජීවත් වූවකු බව පෙනී යයි. එමෙන්ම මහගම මුත්තා ඒ සමයේ උඩුගම්පල රජ කළ සකල
කලා වල්ලභ රජුගේ සමීපතමයකු වූ බවට ද තොරතුරු තිබේ. සිංහල රජවරුන්ගේ
නාමාවලිය අතුරින් තරමක් වෙනස් ස්වරූපයක් ගන්නා සකල කලා වල්ලභ නාමය ද ද්‍රවිඩ
ඌරුවකින් යුතු වූවකි. එහි එන වල්ලභ යන වදන අධිපති යන්න හැඟවෙන වල්ලවන්
යන ද්‍රවිඩ වදනට අනුරූප ආර්ය සම්භවයේ වදනකි. මෙම කලා යන්නෙන් සියලු ශාස්ත්‍ර
සේම ආත්මාරක්ෂක සටන් කලා (Martial Arts)
ද හැඟවෙයි.
කෘෂිකර්මාන්තයේ, වාරි
කර්මාන්තයේ, සේම සටන්
කලාවන් හි ද විශාරදයකු වූ රජතුමා ඒ සියලු ශාස්ත්‍ර දකුණු ඉන්දීය ආභාෂයකින් ප්‍රගුණ කළ බව ද
සාධාරණ ලෙස අනුමාන කළ හැක.
සකල කලා වල්ලභ රජු ගේ
කෘෂිකාර්මික විප්ලවයේ අග්‍ර ඵලය වත්මන් ගම්පහ දිසාවේ බටහිරට වන්නට
පිහිටි සුවිසල් තෙත් බිමක් විධිමත් වාරි තාක්ෂණිකක්‍රම යොදා ගනිමින් අස්වද්දන ලද
මුතුරාජවෙල ය. මුතුවන් සහල් ලැබෙන රාජකීය වෙල්යාය යන අරුතින් ඊට
"මුතුරාජවෙල" යන නම ලැබී තිබේ.හොරගොල්ල,තිබ්බටුගොඩ ප්‍රදේශයේ මුඛ
පරම්පරාගත කතාවලට අනුව මෙම සම්බා වී මුලින්ම වගා කොට ඇත්තේ මෙම මහගම මුත්තා
විසින් දැනට හොරගොල්ල, ශ්‍රී ලංකා විද්‍යාලයට
පහලින් ඇති වෙල් යායේ ය. පසුව එතෙක් කිසිවකු දැක නොතිබූ මුතු වැනි වූ මෙම
අපූරු සහල් වර්ගය දුටු සකල කලා වල්ලභ රජතුමා වහාම මහ ගම මුත්තා රජ වාසලට කැඳවා
ඒ වී වර්ගය ගැන විමසා දැන එම වී වගාව ව්‍යාප්ත කරන ලෙස දන්වා ඇත. පසුව ඊට
දියවර සපයා ගැනීම පිණිස එම කුඹුරු යාය ඉහත්තේ වැවක් ද තනා දුන් බව
පැරණි මුඛ පරම්පරාගත කතාවල සඳහන් ය. අද වන විට එම වැව මුළුමනින්ම ගොඩ වී
ඇතත් ශ්‍රී ලංකා විද්‍යාලයට පහලින් වැටී ඇති මාර්ගය අද ද
හඳුන්වනුයේ ‘වැව් වේල්ල’
යනුවෙනි. පසුව සකල කලා
වල්ලභ රජ තුමා විසින් රාජකීය කුඹුරු යායක් බවට පත් කරන ලද මෙය
සම්බා කෙත යනුවෙන් හැඳින්වුණු බව කියනු ලැබේ. ශ්‍රී ලංකාවේ
මුල්ම පුරාවිද්‍යා කොමසාරිස් පදවිය හෙබ වූ එච්. සී. පී. බෙල් සූරීන්ගේ
කෑගලු වාර්තාව මඟින් ද කෙත යනු රාජකීය කුඹුර බව තහවුරු වෙයි. එමෙන්ම එකල
මෙම සම්බා කෙතින් ලබා ගන්නා වී අස්වැන්න සකල කලා වල්ලභයන්ගේ සේම අටවන වීර
පරාක්‍රමබාහු නමවන ධර්ම පරාක්‍රමබාහු ආදී සමකාලීන කෝට්ටේ රාජධානියේ
රජවරුන් ප්‍රමුඛ ප්‍රභූන්ගේ ආහාරය සඳහා යොදා ගැනුණු රජ බොජුනක් වූ බව
පෙනෙයි. නමුදු මහගම මුත්තා විසින් හඳුන්වා දුන් මෙම මුතුවන් සහල සහිත
වී වර්ගය සකල කලා වල්ලභයන් විසින් පසුව
මුතුරාජවෙල පුරා ව්‍යාප්ත කිරීමත් සමඟ එය සාමාන්‍ය ජනතාවගේ ආහාරයක් බවට
පත්ව තිබේ. මෙලෙස හොරගොල්ල සහ තිබ්බටුගොඩ යන ගම්මාන වල ජනතාවගේ නොමඳ
ආදර ගෞරවයට පත් වෙමින්, සම්බා වී වගාවේ පුරෝගාමීත්වය දරමින් සහ තමන්
දන්නා ගුප්ත ශාස්ත්‍ර මුල් කොට ඔවුනට සෙත සලසමින් දිගු කලක් වැජඹුණු
ගමේ මුත්තා මරණයෙන් පසුව මහගම ඉහත්තාවේ ඇති නාගොඩ අල්ලිය නම් නාගස්
ගොඩැල්ල වාස භවනය කරගත් ගම්බාර දෙවියකු වශයෙන් දේවත්වයට පත් ව
තිබේ. එහෙත්, ඉන් පසුව ඛේදනීය අකල්
මරණයකට පත් සකල කලා වල්ලභයන් ද අස්වානේ දෙවියන් නමින් දේවත්වයට පත් වන ලදුව
මේ දේවත්වයන් දෙකම එකම දේවත්වයක් සේ සැලකෙන ලදී. ඊටත් පසු කලෙක දිවයිනේ
ප්‍රදේශ බොහොමයක අදහනු ලබන සූනියම් ගම්බාර දේවත්වය තුළට මේ දේවත්වයන්
දෙකම අවශෝෂණය වීම තුළ මහගම මුත්තාගේ දිව්‍යමය අනන්‍යතාව මුළුමනින්
ගිලිහී තිබේ.
සම්පත් දායකත්වය - ප්‍රවීණ මාධ්‍යවේදී තිලක් සේනාසිංහ මහතා
A well researched, well presented article. Thank you.
ReplyDeleteIn fact, it is Thilak Senasinghe who deserves that honor. He is the one who did the research and gave me this article to put on the blog.
Delete