පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Thursday, March 6, 2014

ගබ්සා කාරකයක් වන සතකුප්ප වෙළෙඳපළේ සූදුරුවලට මුසු කරලා - Dil Weed (Stakuppa) Vs. Cumin Seed War on Sri Lanka

දැනට දින කිහිපයකට පෙර විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය ඔස්සේ විශේෂ ප්‍රවෘත්තියක් ජනතාව අතරේ පැතිරුණි. ඒ පාකිස්තානයෙන් ආනයනය කරන ලද සූදුරුවල සතකුප්පනම් වූ සෑම අතින්ම සූදුරුවලට සමාන ඇට වර්ගය මිශ්‍රකොට ඇති බවය. ඒ සමගම මෙහි ඇති භයානක තත්ත්වය පිළිබඳව සෑම මාධ්‍යයකින්ම වාර්තා ගතකොට තිබුණි. එනම් සතකුප්ප යනු ගර්භණී කාන්තාවන්ගේ දරුගැබ විනාශ කරන්නට මෙන්මකාන්තාවන් සදාකාලික වඳ බවට පත්කරන්නට තරම් ප්‍රබල ශක්තියකින් යුතු ඇට වර්ගයක් බව ආයුර්වේද වෛද්‍යවරුන් පවසන බවය. ලක්ෂ පනහක් පමණ වටිනා මෙවැනි සූදුරු කිලෝ ග්‍රෑම් 22,000ක් පමණ පිටකොටුවේ වෙළෙඳසල්වලින් සොයාගන්නට ලැබිණි. මෙසේ  සතකුප්ප මිශ්‍ර කරන ලද තවත් සූදුරු තොග ඇත්දැයි සොයා බලන ලෙස වෙළෙඳ අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා උපදෙස් දී ඇති බවද එම මාධ්‍ය වාර්තාවල වැඩිදුරටත් සඳහන් විය.



සූදුරු සහ සතකුප්ප ස්වරූපයෙන් බොහෝ දුරට එක හා සමානය. නමුත් සතකුප්ප දිගින් අඩුය. මහතින් වැඩිය. තිත්ත රසයෙන් යුක්තය. සතකුප්ප යනු ආයුර්වේදයේ භාවිත වන ඖෂධයක් වුවද ආයුර්වේද වෛද්‍යවරයකුගේ උපදෙස්වලින් තොරව නොගන්නා ලෙසත්, විශේෂයෙන් ගර්භණී කාන්තාවන්ට මෙය අහිතකර බවත් ආයුර්වේද  වෛද්‍යවරු උපදෙස් දී තිබේ.  ඒ කාන්තාවන් වඳභාවයට පත්වන්නට ඇති ඉහළ හැකියාව නිසාය. සිංහල කාන්තාවන් වඳ බවට පත් කරන්නට එක්තරා ආගමික අන්තවාදීන් පිරිසක් විසින් සිදුකරනු ලබන කුමන්ත්‍රණයක එක් පියවරක් ලෙස ද මෙය තවත් පිරිසක් හඳුන්වා තිබේ. මේ අතර ගැබ් ගැනීම වළක්වනු පිණිස භාවිතා වන ඩි‍පෝ‍ප්‍රොවේරා නම් එන්නත් වර්ගයද පාකිස්තානයෙන් නීති විරෝධී ලෙස ආනයනය කෙට තිබියදී රේගුවේ භාරයට ගනු ලැබිණි. නමුදු එක ජනවර්ගයක් පමණක් ඉලක්ක කරගනිමින් කුළුබඩු වැනි පාරිභෝගික ද්‍රව්‍යයක් අලෙවි කරන්නේ කෙසේදැයි ඇතැමෙක් ප්‍රශ්න කරති. තවත් පිරිසක් පවසන්නේ මෙවැනි කුමන්ත්‍රණකාරී සැලසුම් ඔස්සේ එසේ බෙදාහැරීම් පවා කළ හැකි බවය.

කෙසේ වෙතත් සූදුරු සහ සතකුප්ප පිළිබඳ දැනුවත්ව සිටීම අප කාටත් ප්‍රයෝජනවත්ය. අප මුලින්ම මේ ශාක දෙකෙහි උද්භිද විද්‍යාත්මක සමාන අසමානකම් පිළිබඳ සලකා බලමු.



සූදුරු 
^ Cuminum cyminum&
සතකුප්ප   
^ Anethum graveolens&
රාජධානිය
Plantae
Plantae
ශ්‍රේණිගත නොකරන ලද
Angiosperms
Angiosperms
ශ්‍රේණිගත නොකරන ලද
Eudicots
Eudicots
ශ්‍රේණිගත නොකරන ලද
Asterids
Asterids
ගෝත්‍රය
Apiales
Apiales
කුලය
Apiaceae
Apiaceae
ගණය
Cuminum
Anethum L.

උද්භිද විද්‍යාත්මකව සලකා බලන විට සූදුරු සහ සතකුප්ප අතර වෙනස්කම ඇත්තේ ගණයෙන් පමණක් බැව් ඔබට මෙහිදී පැහැදිලි වනු ඇත. ශාකයේ බාහිර පෙනුම අතින් මෙහි පැහැදිලි වෙනසක් දක්නට නැත.


සතකුප්ප පිළිබඳ තොරතුරු සොයා යාමේදී අපට දැනගන්නට ලැබෙන්නේ එය ද ආහාර රසවත් කිරීමට භාවිත කරන කුළු බඩු විශේෂයක් සහ ඖෂධයක් ලෙස විදෙස් රටවල භාවිත වන  බවය. වියළන ලද හා අමු සතකුප්ප කොළ ජර්මනිය, ග්‍රීසිය, ‍පෝලන්තය, නෝර්වේ, බෝල්ටික් රටවල්, රුසියාව හා මධ්‍යම ආසියාවේ ඖෂධයක් ලෙස භාවිත කෙරේ.

එමෙන්ම මෙහි ඇති සුවඳවත් බව නිසා ඇතැම් ආහාර වර්ග සඳහාද සතකුප්ප මිශ්‍ර කෙරේ. සතකුප්ප ආහාරවලට මිශ්‍ර කළ යුත්තේ අමුවෙන් බවත්, වියැලුණු පසු එහි රසවත් බව අඩුවන බවත් බටහිර සූපවේදයේ සඳහන්ව තිබේ. මාළු පිළියෙළ කිරීමේදී විශේෂයෙන්ම සතකුප්ප මිශ්‍ර කෙරේ. එහෙත් අප රටේ ආහාර පිළියෙළ කිරීමේදී මෙය භාවිතා වන බවක් දැන ගැනීමට නැත.

ලොව ඇතැම් රටවල මුස්ලිම් ජාතිකයන් අතර සතකුප්ප මිශ්‍රකොට ආහාර සකස් කෙරෙන බැව් දක්නට ලැබේ. සතකුප්ප මිශ්‍රකොට සකස් කරන බත් වර්ගයක්ද ඔවුන් අතර ප්‍රසිද්ධය. එම වට්ටෝරුවට අනුව ඔවුහු එය සතකුප්ප මේස හැන්දක්  පමණ මිශ්‍රකරති. මේ නිසා ඇතැම් විට සූදුරුවලට සතකුප්ප මිශ්‍ර කරන්නට ඇත්තේ ලාබ ලැබිමේ අපේක්ෂාවෙන් වන්නට පුළුවන.

කෙසේ නමුත් සතකුප්ප මිශ්‍රකොට ආහාර පිළියෙළ කිරීමේදී නිවසේ ගර්භණී කාන්තාවන් සිටීදැයි සැලකිලිමත්වන ලෙස බටහිර රටවල මේ සම්බන්ධව ඇති විවිධ වබේ අඩවිවල සඳහන්ව තිබිම ද විශේෂත්වයකි. ගර්භණී කාන්තාවන් සතකුප්ප සහිත ආහාරවලට විශේෂ කැමැත්තක් දක්වන බවත්, එසේ වුවද මේවා ආහාරවලට මිශ්‍ර කළ යුත්තේ සාමාන්‍ය මට්ටමින් හෙවත් අඩු  මාත්‍රාවකින් බවද එම වබේ අඩවිවල සඳහන් වේ. මේවා අධික වශයෙන් ගෙන ශරීරයේ තැන්පත් වුවහොත් එය ප්‍රබල ගබ්සා කාරකයක් ලෙස ක්‍රියාත්මක වන බැව් ඒවායේ සඳහන් වේ. එමෙන්ම පුරුද්දක් ලෙස සතකුප්ප ආහාරයට ගැනීම නිසා ගැබ්ගැනීම් වැළකෙන බැව් ද සඳහන්ව තිබේ.


මේ තත්ත්වය කුමක් වුවත් ඔබ සූදුරු මිලට ගැනීමේදී සැලකිලිමත් විය යුතු බැව් දැන් පැහැදිලිය. වෙන්කොට හඳුනාගත නොහැකි වුවද දැන් ඔබ මේ පිළිබඳ දන්නා නිසා වෙනසක් ඇත්නම් එය සොයාගන්නට අපහසු නොවනු ඇත. ඔබ වෙළෙඳපළින් මිලදී ගන්නා සූදුරුවල යම් වෙනසක් සුවඳක් හෝ ඇටයක් සැපූ විට වෙනත් රසයක්  ඇති බව දැනේ නම් එය වහාම පාරිභෝගික සේවා අධිකාරියට දැනුම් දිය යුතුය. 

ඔබට ගමන් පහසුකම් ඇත්නම් එය පිහිටා ඇත්තේ කොළඹ 02  වොක්ෂෝල් මාවතේ අංක 27 දරන ස්ථානයේ පිහිටි සතොස මහ ‍ලේකම් කාර්යාල ගොඩනැගිල්‍ලේ පළමු හා  දෙවැනි මහ‍ලේය. ෆැක්ස් මගින් පැමිණිල්ලක් කරන්නේ නම් 011 2 299148 හෝ 011 2 432253 ඔස්සේ ද, දුරකථනයෙන් දැනුම් දෙන්නේ නම් 011 2445897, 011 242253 හෝ 011 7755464 යන අංක ඔස්සේ ද සම්බන්ධ කොට ගත හැකිය.

වැඩිදුර කියැවීම්

Wednesday, March 5, 2014

අයථා ලිංගික බලපෑමක් කළ බව කියන අධ්‍යක්ෂට නිළියකගෙන් කන හරහා පහරක් - A Slap by an Actress to an Indian Director

කලාව යනු සරසවි දේවියගේ වරම් ලබා ඇගේ ආශීර්වාදයෙන් ඉදිරියට යායුතු දෙයකැයි අප අනාදිමත් කාලයක සිට අසා ඇත්තෙමු. පොතපතවල සඳහන්ව ඇත්තේද කලාවට අධිපති දෙවඟන වන්නේ සරසවි දේවියකියාය.  කලාව උතුරා පිටාර ගළන්නා වූ අපට අසල්වැසි භාරතයේ සිනමා පටයක් ආරම්භ කරන බොහෝ අවස්ථාවලදී සරසවි දේවියගේ පිංතූරයක් දමනවා ඇත්තේ ද මේ නිසාමය. මේ අප දන්නා තරම වුව ද සැබෑ ලෝකයේ නම් කලාවේ ඉදිරියට යන්නට වරම් හා ආශීර්වාද ගත යුත්තේ සරසවි දේවියගෙන් පමණක් නොවේ යැයි පෙනේ. විශේෂයෙන් කලා ක්ෂේත්‍රයට පිවිසෙන්නට පෙරුම් පුරනා කාන්තාවන්ට නම් සරසවි දේවියගෙන් වැඩක්ම නැත. ඔවුනට සරසවි දේවිය වඳින්නට පෙර තවත් වැඳිය යුතු දෙවිවරු සිටිති. උදාහරණයක් ලෙස සිනමා ක්ෂේත්‍රය ගතහොත් බොහෝ අවස්ථාවලදී රංගන ශිල්පිනියක ලෙස ඉදිරියට යාමට නම් නිෂ්පාදකවරයාට හා අධ්‍යක්ෂවරයාට සිරුරු පූජාවක්’ සිදුකළ යුතු වේ. තේරෙන බසින් පවසන්නේ නම් ලිංගික අල්ලස්’ ලබාදිය යුතුවේ. එවැනි පූජාවන් කරන තරමට ක්ෂේත්‍රයේ ඉදිරියට යාමට හැකියාව ලැබේ. මේ දිනවල අපේ රටේ එක්තරා ජනප්‍රිය ටෙලි නාට්‍යයක්ද ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයේ මේ ලිංගික අල්ලස් ගැනීම පිළිබඳ කතාබහ කරයි. එම ටෙලි නාට්‍යයට අපේ රටේ ටෙලි නාට්‍ය ප්‍රබලයන් කැමැති නැත. එයට හේතුව අපට වැඩක් නැත. මාධ්‍යවලින් අපට ඇසෙන පරිදි සෑම නිෂ්පාදකවරයෙක්මඅධ්‍යක්ෂවරයෙක්ම මෙසේ නැතැයි පැවසේ. ඇතැම් රංගන ශිල්පිනියන්ද පවසන්නේ තමන් ඒවාට අකැමැති බැවින් අන් අය ද එවැනි පූජාවන් තමාගෙන් අපේක්ෂා නොකරන බවය. ඒ පිළිබඳ අප කිසික් නොදන්නා නිසා වැඩිදුර කතාකළ යුතු නැත. කෙසේ හෝ මේ ලිංගික අල්ලස් පුරුද්ද නිසා අප රටේ පමණක් නොව ලෝකයේ සෙසු රටවල ද නිෂ්පාදකවරු සහ අධ්‍යක්ෂවරු නවක නිළියන්ගෙන් මෙම පූජාවන් අපේක්ෂාකරනු දැකිය හැක. බටහිර රටවල නම් නිළියන්ට මෙවැනි දේ අරුමයන් නොවේ. නමුත් ආසියානු රටවල තත්වය තරමක් වෙනස්ය. මෙහි ද කලා ක්ෂේත්‍රයේ ඉදිරියට යාමට ඕනෑම දෙයක් කරන්නට පෙළඹෙන කාන්තාවන් නැතිවා නොවේ. නමුත් ඇතැමුන් එසේ නොවෙති. මෙවැනි එක් අපූරු සිදුවීමක් පිළිබඳ මෑතකදී ඉන්දියාවෙන් වාර්තා විය.

සුභාෂ් කපූර්
ඇය නමින් ගීතිකා ත්‍යාගි’ ය. කලක් රූපවාහිනී නිවේදිකාවක ලෙස කටයුතු කළ ඇය පසුව නිළියක් බවට පත්විය. ආත්මා’ සහ What The Fish and One By Two යන සිනමා නිර්මාණවලද පෙනී සිටින ඇය තමාගෙන් ලිංගික අල්ලසක් ඉල්ලුවේ යැයි චෝදනා එල්ළ කරන්නේ සුප්‍රකට සිනමා අධ්‍යක්වරයකු වූ  සුභාෂ් කපූර්’ හටය. සුභාෂ් කපූර් යනු හින්දි බස පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් සහිතව දේශපාලන මාධ්‍ය කලාවට පිවිසි පුද්ගලයෙකි. 2001 වසරේදී කෙටි චිත්‍රපටයක් නිර්මාණය කරමින් සිනමා ක්ෂේත්‍රයට පිවිසි ඔහු වාර්තා චිත්‍රපට බොහෝ ගණනක් නිර්මාණය කොට තිබේ. 2007 දී ඔහු සිය ප්‍රථම සිනමා නිර්මාණය Say Salaam India නමින් එළිදැක්වූයේය. ඉන් අනතුරුව ජොලි එල්.එල්.බී.’, පාස් ගායේ රේ ඔබාමා’, මුන්නා බායි චාලේ ඇමරිකාවශයෙන් සිනමා නිර්මාණ කිහිපයක්ම ඉදිරිපත් කොට ඇත.
ගීතිකා ත්‍යාගි පවසන්නේ දැනට වසරකට පමණ පෙර සාදයක් අවස්ථාවේදී ඔහු තමාව බලෙන් ඇදගෙන ගොස් ලිංගික අතවරයක් සිදුකරන්නට උත්සාහ කළ බවය. මේ පිළිබඳව හොඳින්ම තොරතුර දත්සිනමා පිටපත් රචිකාවක වන ඩැනිෂ් රාසා පවසන්නේ වෙනස් කතාවකි. ඇය පවසන පරිදි ත්‍යාගිව දැලේ දමාගන්නට’ සුභාෂ් ඇගේ සහාය පතා ඇත. මෙම සාදය අවස්ථාවේ මුළින්ම ත්‍යාගි නිදන කාමරයට ගොස් ඇත්තේ ඇගේම කැමැත්තෙන් වුවත් සුභාෂ් විසින්ම තමාව බලෙන් ඇදගෙන ආ බව පසුව ගීතිකා පැවසූ බැව් ඩැනිෂ් රාසා පවසයි.  ගීතිකා මෙම කතාව ප්‍රතික්ෂේප කරයි.

ගීතිකා


මෙය සුභාෂ් කපූර්ගේ බිරිඳ ද දැන සිටි බැව් ඇය පවසයි. සුභාෂ්ගේ බිරිඳ ත්‍යාගිගෙන් ඉල්ලා සිට ඇත්තේ තමාට පුතකු සිටින බැවින් ඔහු ගැන සිතා මෙය ප්‍රසිද්ධ නොකොට සමථයකට පත්කරගන්නා ලෙසය. මෙසේ වසරක් පමණ ගෙවුණු පසු කිසිවක් සිදුනොවූ ශුද්ධවන්තයකු ලෙස සුභාෂ් කපූර් සිටිනවා දැක උරණ වූ ත්‍යාගි මිනිත්තු 31 ක ධාවන කාලයක් සහිත අපූරු වීඩියෝවක් යූ ටියුබ් අඩවියට එක් කළේය. මෙම වීඩියෝවේ සුභාෂ් කපූර්, ඔහුගේ බිරිඳ, මෙම චෝදනාව කරන ගීතිකා ත්‍යාගි හා තවත් චිත්‍රපට අධ්‍යක්වරයකු වූ  අතුල් ශබ්‍රවාල් ද සිටී. තමාට සුභාෂ් කළ බලපෑම් පිළිබඳ ත්‍යාගි මෙම වීඩියෝ පටය පුරාම චෝදනා කරන අතර ඒ සියල්ලක්ම බැහැර නොකරන බව සුභාෂ්ගේ ඉරියව්වලින් පෙනෙනන්ට තිබේ. නමුත් තමා ඇයට ලිංගික බලපෑමක් සිදුකළ බව පමණක් ඔහු ප්‍රතික්ෂේප කරයි. මේ පිළිබඳ උරණ වන ත්‍යාගි සුභාෂ්ගේ කම්මුලට වැරෙන් පහරක් එල්ල කරයි. මෙය වඩාත් උද්දීපනය කරනු පිණිස එම පහර කිහිප වතාවක්ම පුනරූපනය කොට දැක්වීමට ද ත්‍යාගි අමතක කොට නැත. පහර වැදුණු විගසම නිසොල්මන්ව සිටියත් එහි වේදනාව ඉක්මණින් පහව නොයන බව දැනුණු සුභාෂ් තරමක් වේලාවකට පසුව සිය කම්මුල අතින් පිරිමදී. ඔහුගේ බිරිඳ කරකියාගත නොහැකිව බලා සිටී. තමා ඉදිරියේදීම තම සැමියා කුණු ගොඩක් කරේ දමාගැනීම පිළිබඳ ඇය හඬා වැළපෙන අයුරු ද මෙම රූප රාමුවේම පැහැදිලිව සටහන් වී තිබේ. මේ වන විට මෙම වීඩියෝව බොහෝ රූපවාහිනි නාලිකාවන්හිදී ද විකාශනය කෙරී හමාරය.  මෙම අවස්ථාවේ සිටි අනෙක් සිනමා අධ්‍යක්ෂවරයා පැමිණ ඇත්තේ ත්‍යාගිට ධෛර්යය දීම පිණිස මිස සුබාෂ් වෙනුවෙන් නොවේ. මේ වන විට මෙම වීඩියෝව 70,000කට අධික පිරිසක් නරඹා ඇති බැව් පෙනන්නට තිබේ.



ත්‍යාගි මෙම වීඩියෝ පටය ෆේසුබුක් හා ට්විටර් යන සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ ද ප්‍රචාරය කොට ඇත. බොහෝ දෙනෙකු පවසන්නේ ඇය මෙසේ කරන්නට ඇත්තේ ලෝකයේ බොහෝ දෙනෙකු කරනවා සේ වැඩි දෙනෙකුගේ අනුකම්පාව දිනාගැනීම සඳහාය. වැඩිදෙනෙකුගේ අනුකම්පාව දිනාගනු වස් සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ සිය දුක පැවසීම වර්තමානයේ විලාසිතාවක් බවට පත්ව ඇත. ත්‍යාගිට සුභාෂ් කපූර්ගෙන් සිදුවූ අසාධාරණයට එරෙහිව බොහෝ දෙනෙකු මෙම සමාජ වෙබ් අඩවි ඔස්සේ සිය අදහස් දක්ව තිබේ.

මට දැන් එක මිනිහෙක්වත් විශ්වාස කරන්න බැහැ. මට මගේ තාත්තට, මස්සිනාට, මාත් එක්ක කෝපි එකක් බොන්න කැමතියි කියන දන්න හඳුනන කෙනෙක්ටවත් මට දැන් මුහුණ දෙන්න බැහැ.ත්‍යාගි මෙවැනි වදන් කියමින් කෑගසනු දැකිය හැකිය. ඇයට බොහෝ දෙනෙක් අනුකම්පාව දක්වමින් අදහස් පළකරන්නට මෙය ද හේතුවක් යැයි බොහෝ දෙනෙකු පවසති.

මේ අතරේ ත්‍යාගි ද හැම අතින්ම යහපත් කාන්තාවක් නොවන බවට ද පුවතක් අන්තර්ජාලය හරා වේගයෙන් පැතිර යන්නට පටන්ගෙන තිබේ. ඇය කලින් සේවය කරමින් සිටි රූපවාහිනි නාලිකාවේ සේවයෙන් ඇයට ඉවත්වන්නට සිදුව ඇත්තේ සොරකමක් සම්බන්ධවය. ඇය එහි සේවය කළ ශාසියා ඉල්මිට අයත් බැංකු කාඩ්පත සොරකම්කොට එයින් මුදල් ගත් බවට චෝදනාවක් එල්ලවී තිබේ. ඇය මුළින්ම තමා නිර්දෝෂ බව පැවසූව ද සී.සී.ටී.වී. කැමරා දර්ශන පරීක්ෂාවෙන් ඇය මෙම සොරකම කළ බැව් තහවුරු විය. ඉන්පසු ඇය තමා කළ වරද පිළිගත්තාය.

නමුත් මේ සිදුවීම සුභාෂ් කපූර් නම් අධ්‍යක්ෂවරයාගෙන් එල්ල වූ ලිංගික බලපෑම සමඟ සසඳා ඔහුට නිර්දෝෂවන්නට හේතුවක් කරගන්නට හැකියාවක් නැත. මුදල් සොරකම වෙනම වරදක් වන අතර ලිංගික අල්ලස් ඉල්ලීම වෙනම වරදකි. ඉදිරියෙදී නව සිනමා නිර්මාණයකට අතගසන්නට සිටින සුභාෂ් කපූර් දැන් මුහුණ පා ඇත්තේ සෑහෙන අර්බුදයකටය. ඔහු තමාට ලෝකයා ඉදිරියේ සිදුවූ අවනම්බුව කෙසේ හෝ දරාගත්තේ යැයි අනුමාන කළ ද ඔහුගේ බිරිඳට හෝ පුතුට මෙම තත්වය දරාගන්නට නොහැකි වනු ඇත. සුභාෂ් කපූර්ගේ නිර්මාණ ජීවිතයට මෙය සෑහෙන පහරක් වනු ඇත. එමෙන්ම ත්‍යාගිගේ මෙම ක්‍රියාව නිසා ඇතැම්විට ඉන්දියාවේ නවක රංගන ශිල්පිනියන් ද ලිංගික අල්ලස් බලාපොරොත්තුවන්නවුන්ට ඉදිරියේදී යම් යම් තර්ජනාංගුලි එල්ල කරන්නට ඉදිරිපත්වන්නට ඇතැම්විට ඉඩ ඇති බැව් ද සමහරෙක් පවසති.

එම වීඩියෝව පහතින් නරඹන්න

Tuesday, March 4, 2014

ජංගම දුරකතන වෙළෙඳපල දෙදරවන ඇපල් - සැම්සුන්ග් යුද්ධය - War - Apple Vs. Samsung



ලෝකයේ ජංගම දුරකතන කර්මාන්තයේ දැවැන්තයෝ කිහිප දෙනෙකුම වෙති. මේ අතුරින් මෑතක සිට ව්‍යාපාරික ලෝකයේ වැඩි වශයෙන්ම කතාබහට බඳුන්වන සමාගම් දෙකක් ද පවතී. ඒ ස්මාර්ට්වර්ගයේ ජංගම දුරකතන ලොවට හඳුන්වාදීමේ ගෞරවයට හිමිකම් කියනා ඇමරිකාවේ  ඇපල්සමාගම හා ආසියානු ජංගම දුරකතන සමාගමක් වූ සැම්සුන්ග් සමාගමයි. ඇපල් ස්මාර්ට් වර්ගයේ ජංගම දුරකතන මුල් සමයේ වෙළෙඳ පොළ ඉදිරියෙන්ම සිටිය ද දැන් එය සැම්සුන්ග් හමුවේ පසුබැස තිබේ. සංඛ්‍යාත්මකව ගත්කල ලෝකයේ ජංගම දුරකතන වෙළෙඳ පොළෙන් 29%ක් අත්පත් කරගෙන සිටින්නේ සැම්සුන්ග් සමාගමය. ඇපල් සමාගමට හිමිව ඇත්තේ 22%ක් පමණි.

සැම්සුන්ග් සමාගම වෙළෙඳ පළේ ඉදිරියටම ගමන් කරමින් පසුවුවද ඇපල් සමාගම පවසන්නේ බොහෝ  සැම්සුන්ග් දුරකතන යනු ඇපල් දුරකතනවලම කොපියක්බවය. එබැවින් ඔවුහු සිය නිර්මාණාත්මක අයිතිය ඉල්ලා නඩුමගට පිවිසියහ. ඔවුන් චෝදනාකොට සිටියේ සැම්සුන්ග් සමාගමේ ගැලැක්සි වර්ගයේ දුරකතනවල පෙනුම, අභ්‍යන්තර සැලසුම් සියල්ලක්ම පාහේ සිය අයිෆෝන් හා අයිපෑඩ්වලින් අමු අමුවේම අනුකරණය කොට ඇති බවය. එපමණක් නොව දුරකතන ඇසුරුම පවා අනුකරණ කිරීම කණගාටුවට කරුණක් බවත් ඔවුහු පෙන්වා දෙති. මෙය බුද්ධිමය දේපළ කොල්ලකෑමේ නවතම ප්‍රවණතාවයක් බව ද පේටන්ට් බලපත්‍ර නීතිය උල්ලංඝනය කිරීමක් බව ද ඇපල් සමාගම පවසයි.

තමන්ටම ආවේණික ශෛලියක් නිර්මාණය කරගන්නවා වෙනුවට සැම්සුන්ග් සමාගම සිදුකර ඇත්තේ සිය ස්මාර්ට් වර්ගයේ ජංගම දුරකතන හා ටැබ්ලට් සඳහා ඇපල් තාක්ෂණය අනුකරණය කිරීමය. පෙනුම පමණක් නොව පරිශීලක අතුරු මුහුණත (user interface) පවා ඔවුන් අනුකරණ කොට තිබේ.මෙවැනි කරුණු සඳහන් කරමින් ඇපල් සමාගම සකසා ඇති චෝදනා පත්‍රය පමණක් පිටු 38කින් සමන්විතය. මෙම නඩුව මගින් 2009 වසරේ ඇපල් සමාගම වෙළෙඳ පළට නිකුත් කළ ඇපල් අයිෆෝන් ත්‍රී ජී එස්’ (AppleiPhone 3GS) මාදිලිය සහ සැම්සුන්ග් සමාගම 2010 දී වෙළෙඳ පළට නිකුත් කළ ගැලැක්සි එස් අයි 9000’ (Galaxy S i9000) මාදිලි දෙක අතර පූර්ණ සංසන්ධනයක් කොට තිබේ. මෙම මාදිලි දෙකෙහි සමානකම් තහවුරු කිරීමට නඩු වාර්තාව තුළ ඡායාරූප පවා ඇතුළත් කොට ඇත. ඇසුරුම, සංගීතය, කෙටි පණිවිඩ හා දුරකතන නාමාවලිය වැනි දේ සඳහා ජංගම දුරකතනවල ඇති අයිකනවල ඇති සමානකම් පුළුල්ව විස්තර කොට තිබේ.


මේ ලැජ්ජා නැති විදියේ අනුකරණය කිරීම ඇත්තටම වැරදි දෙයක්.” 

මෙසේ පවසන්නේ ඇපල් සමාගමේ නියෝජිතයකු වන ක්‍රිස්ටින් හුගට්ය.
සැම්සුන්ග් සමාගම පවසා සිටියේ මෙම නඩුවට තමන් සක්‍රියව ප්‍රතිචාර දක්වන බවය. 

සැම්සුන්ග් සමාගම වෙළෙඳපළ ජයග්‍රහණය කරමින් මෙවැනි දුරක් පැමිණ තිබෙන්නේ එහි ඇති තමන්ටම ආවේණික ශෛලිය නිසයි. අපි දවසින් දවස අපේ ආවේණික ක්‍රමෝපයයන් ශක්තිමත් කරනවා.” 
සැම්සුන්ග් සමාගමේ නියෝජිතයා පවසන්නේ එවැනි කතාවකි.


මෙම ජංගම දුරකතන යෝධයන්ගේ හැප්පීම වෙළෙඳ පළේ යම් යම් ගැටලු ඇතිකිරීමට ද හේතුවී තිබෙනව බැව් වාර්තා වේ. ඇපල් අයිෆෝන්, ස්මාර්ට් වර්ගයේ ජංගම දුරකතන වෙළෙඳ පොළේ වසර කිහිපයක් ආධිපත්‍යයක් රඳවාගෙන සිටිය ද ඔවුන්ගේ ප්‍රධාන තරගකරුවා මෙන්ම තරහකරුවා ද වන’, ගූගල් සමාගමේ ඇන්ඩ්‍රොයිඩ් පද්ධතිය භාවිතා කෙරෙන සැම්සුන්ග් සමාගමේ ස්මාර්ට් වර්ගයේ ජංගම දුරකතනවල ඒකක අළෙවිය 49%කින් පමණ ඉහළ ගියේය. ඇපල් සමාගම 2015 වසර මුළුල්ලේ ජංගමද දුරකතන වෙළෙඳ පළෙහි ආධිපත්‍යයක් රඳවා තබාගැනීමට මීට පෙර ඉළක්කකොට ගෙන සිටිය ද දැන් මුහුණ දී ඇත්තේ විසඳාගත නොහැකි ගැටලුවකටය.


අනෙක් අතට ඇපල් සමාගම නඩුවල පැටලී ඇත්තේ සැම්සුන්ග් සමාගම සමඟ පමණක් නොවේ. ඔවුහු එච්.ටී.සී සමාගම (HTC Corp), මෝටරෝල් සමාගම, ඇමසන් වෙබ් අඩවිය, නොකියා සමාගම, ඊස්ට්මන් කොඩැක් සමාගම යන ඒවා සමඟ ද ස්මාර්ට් වර්ගයේ ජංගම දුරකතන හා මෘදුකාංග ගැටලු මත විවිධ නඩුවල පැටලී සිටිති. ඒවායෙන් ඇතැම් නඩු ඇපල් සමාගම විසින් පැවරූ ඒවා වන අතර ඇපල් සමාගමට එරෙහිව අනෙක් පාර්ශවයන් විසින් පැවරූ නඩු ද මේ අතර වෙයි.

ඇපල් සමාගම මයික්‍රොසොෆ්ට් සමාගම සමඟ ද නඩුවක පැටලී සිටියි. ඇපල් සමාගම සිය පාරිභෝගියන් සඳහා අවශ්‍ය විවිධ මෘදුකාංග ලබාගැනීම පිණිස පිහිටුවා ඇති ඇප් ස්ටෝර්’ (app store) හි වෙළෙඳ සළකුණ අභියෝගයට ලක්කරමින් මයික්‍රෝසොප්ට් සමාගම ගත් ක්‍රියාමාර්ග මෙයට හේතු වී තිබේ.

ඇපල් සමාගමට සිය තරගකරුවන් සමඟ හොඳින් තරගවැදීමට නොහැකි වී ඇත්තේ මේ නඩුහබ නිසා යැයි සැන්ෆ්‍රුන්සින්කෝහි වෙළෙඳපළ විශලේෂකයකු වන එඩ්වර්ඩ් ස්නයිඩර් පෙන්වා දෙයි. ඔහු පවසන්නේ ඇපල් හා සැම්සුන්ග් සමාගම නඩුවලින් තරගකරගන්නවා වෙනුවට මෙම ගැටලු සාකච්ඡා මාර්ගයෙන් සමථයකට පත්කරගත යුතු බවය.

මෙම නඩුව නිසා ඉලෙක්ට්‍රොනික වෙළෙඳ පළේ යෝධයන්ගේ වෙනත් සබඳතා සඳහා ද ගැටලු  පැනනැගී තිබේ. සැම්සුන්ග් සමාගම නිෂ්පාදනය කරන ක්ෂුද්‍ර චිප (microchips) ඇතැම් ඇපල් නිෂ්පාදන සඳහා භාවිතා කෙරේ. සැම්සුන්ග් සමාගමේ මතක චිප’ (memory chips) ඇපල් සමාගමේ මැක්බුක් ප්‍රෝ’ (MacBook Pro) පරිගණක සඳහා යොදාගනු ලබයි. නමුත් මෙවැනි සහයෝගයක් පවතින ඔවුහු ජංගම දුරකතන වෙළෙඳ පොළෙහි නයි වෛරක්කාරයන් වෙමින් සිටිති.

2010 වසරේ සැම්සුන් සමාගමේ සමස්ථ ආදායම වූ ඇමරිකානු ඩොලර් බිලයන 142 ක පිරිවටුමෙන් 4%කට දායක වූයේ ඇපල් සමාගමය. මෙයින් කියැවෙන්නේ දැනට පවතින විනිමය අනුපාතිකය අනුව  සැම්සුන්ග් සමාගම වෙනුවෙන් ඇපල් සමාගම ඇමරකානු ඩොලර් බිලියන 6ක් වැය කොට ඇති බවය. මෙය දෙවැනි වන්නේ සෝනි සමාගමට පමණි. සෝනි සමාගම චිප සහ ජංගම දුරකතන සඳහා භාවිතාකරනු ලබන ද්‍රව ස්ඵටික තිර’ (Display) මිලදී ගනු ලබන්නේ සැම්සුන්ග් සමාගමෙනි.

පරිශීලක අතුරු මුහුණත සහ පුද්ගල පරිගණක සැළසුම්කිරීම සම්බන්ධව ඇපල් සමාගම සමඟ මයික්‍රොසොෆ්ට් හා ෂෙරක්ස් සමාගම නීතිමය ගැටලුවලට මුහුණ පා සිටියි. මුළින්ම බුද්ධිමය හිමිකම් සම්බන්ධව පැවති ගැටලු මේ වන විට වෙළෙඳ සළකුණු හා පේටන්ට් බලපත්‍ර දක්වා දුරදිග ගොස් තිබේ. ඇපල් සමාගම මෙසේ චෝදනා එල්ළ කරන අතරේ සැම්සුන්ග් සමාගම මේ වන විට තමන්ටම ආවේණික මොස්තරයන්ගෙන් රූපවාහිනි හා ජංගම දුරකතන නිෂ්පාදනය කරන්නට පටන්ගෙන තිබේ.
සැම්සුන්ග් සමාගම ස්මාර්ට් වර්ගයේ ජංගම දුරකතන නිෂ්පාදනය කළද 2009 වනතුරු දකුණු කොරියාව තුළ එවැනි දුරකතන භාවිතයට අවසර දී තිබුණේ නැත. එබැවින් ස්මාර්ට් වර්ගයේ දුරකතන සඳහා දේශීය වෙළෙඳ පොළෙහි පසුබෑමක් දක්නට හැකිවිය.

සැම්සුන්ග් සමාගමේ ඇසුරුම් පවා තම නිෂ්පාදනවලට හැම අතින්ම සමාන බැව් ඇපල් සමාගම දිගින් දිගටම චෝදනා කරයි. ඡායාරූප සහිත කොටස නිරූපණය කිරීම සඳහා ඇපල් සමාගම භාවිතාකොට ඇති සූරියකාන්ත පුෂ්පයම වෙනසක් නැතිව සැම්සුන්ග් දුරකතනවලද භාවිතා කෙරෙන බැව් කෙරෙන එක් චෝදනාවකි.

ඇපල් සමාගම මෙවැනි දේ සඳහා ගොනුකොට ඇති ඇතැම් නඩුවල තීන්දුවලින් ජයලබා ඇත්තේ ඇපල් සමාගමය. එවැනි එක් නඩුතීන්දුවකට අනුව සැම්සුන්ග් සමාගමට ඇපල් සමාගම වෙනුවෙන් ඇමරිකානු ඩොලර් බිලියන 1ක වන්දියක් ගෙවීමට සිදුවිය. නමුත් මේ මුදල ගෙවිය යුත්තේ කුමනාකාරයෙන්දැයි නඩුතීන්දුවේ කිසිත් සඳහන් නොවූ බැවින් එයින් ප්‍රයෝජන ගන්නට සැම්සුන්ග් සමාගම තීරණය කළේය. ඔවුන් කළේ ඇමරිකානු ශත 5 කාසි පිරවූ ට්‍රක් 30ක් ඇපල් සමාගමට යැවීමය. කැලිෆෝර්නියාවේ ඇපල් මූලස්ථානය වෙත මෙම ට්‍රක් රථ ළඟා වූ විට ඇපල් සමාගමේ බලධාරීන් සිතුවේ වැරදීමකින් එහි පැමිණි වාහන පෙළක් ලෙසිනි. නමුත් මොහොතකින් සැම්සුන්ග් සමාගමේ ප්‍රධාන විධායක නිලධරයා ඇපල් සමාගමේ ප්‍රධාන විධායක නිලධරයා වූ ටිම් කුක් අමතමින් පැවසූයේ ඇමරිකානු ඩොලර් බිලියන එකේ වන්දිය ට්‍රක් රථවලින් එවා ඇති බවය.  මෙම ක්‍රියාව ජරා වැඩක්ලෙස ඇතැමුන් හැඳින්වුවද ඇතැමෙක් එය නියම වැඩක්ලෙස ද පවසති. මෙම වන්දි මුදල දැන් ඇපල් සමාගමටම හිසරදයක් වී තිබේ. ඒ මෙය ගණන් කරන්නට ගතවන කාලයයි. අනෙක මේ කාසි සියල්ල භාරගන්නට බැංකු කැමති වේද යන්නයි.

සැම්සුන්ග් සමාගම ඇමරිකන් ඩොලර් මිලියන එකක් කාසිවලින් වූ අවස්ථාව

සැම්සුන්ග් සමාගමේ සභාපති ලී කුන්-හී මාධ්‍ය හමුවේ පවසා සිටියේ තමන්ට අභූත චෝදනා කරමින් තමන් සමඟ කැත සෙල්ලම්පෙන්වන්නට එන ඕනෑම අයෙකුට තමා ද ඒ අවියෙන්ම පිළිතුරු දෙන බවය. තමා ඇපල් සමාගමට යැවූ කාසි සිසිල් බීම පානයට යොදා ගත්තද, ඒවා උණුකොට ලැබෙන ලෝහවලින් පරිගණක නිෂ්පාදනය කළ ද තමාට ගැටලුවක් නොවන බවය. ඔවුන් ඉල්ලූ මුදල තමා ලබාදුන් බව ඔහු පවසයි.


ඇපල්  - සැම්සුන්ග් සමාගම් අතර පවතින මේ මහා සංග්‍රාමය කවදා කෙසේ නිමවේදැයි බොහෝ දෙනෙකු බලාසිටිති. නඩුහබ සමඟ පොරබදිමින් දිගින් දිගටම මෙසේ ඉදිරියට ගමන් කරන්නට වීමෙන් මෙම සමාගම්වල නිෂ්පාදනවලට ද බලපෑම් එල්ලවන්නට පුලුවන. එවිට නව නිෂ්පාදන කරන්නට යෙදිය යුතු මුදල් නිකරුනේ නඩුහබවලට යෙදවීමෙන් සිදුවන්නේ ලෝකය හමුවේ එලිදක්වන්නට ඇති නවතම තක්ෂණික උපාංගවල ඉදිරිගමන තවත් කාලයකට ආපස්සට යාම පමණි.

Saturday, March 1, 2014

සත්ව කරුණාව ගැන සුද්දන්ගෙන් පාඩමක්


කිසිම විශේෂිත පෙනුමක් නැති අහිංසක සුනඛ පැටවකුගේ දුකකදී විශාල මිනිස් පිරිසක් කම්පා වූ මේ පුවත අසන්නට ලැබුණේ මහා බ්‍රිතාන්‍යයෙන්. මේ කතා පුවතට අනුව අප සුද්දන් යැයි හඳුන්වන මහා බ්‍රිතාන්‍ය වැසියන් තුළ පවතින මේ සත්ව කරුණාවේ මහිමය දුටුවිට ශ්‍රී ලාංකික අපි අප ගැනම ලැජ්ජා විය යුතු තරම්.



අතීතයේ සිටම අපේ සංස්කෘතිය අවිහිංසාව මත ගොඩනැගුණක්. බුද්ධදාස මහරජතුමා මහමගදී සැත්කමක් මගින් නාගයකුගේ උදරයේ ගෙඩියක් ඉවත්කළ පුවත එක් නිදසුනක් පමණයි. නමුත් අතීතයේ  බටහිර රටවල පැවතුණේ මීට හාත්පසින්ම වෙනස් තත්වයක්. ඔවුන් තුළ සතුන් කෙරෙහි අවිහිංසා සංකල්පයක් පැවතුණු බවට සාක්ෂි ඉතිහාසයේ කොතැනින්වත් සොයාගන්නට නැහැ. පෘතුගීසි, ලන්දේසි හා ඉංග්‍රීසින් අප රට පාලනය කළ සමයේ සිදුවූ සිදුවීම්වලිනුත්, ඔවුන් පිළිබඳ ලෝක ඉතිහාසයෙන් හමුවන අනෙකුත් කරුණුවලිනුත් එය හොඳින්ම ඔප්පු වෙනවා. විශේෂයෙන් පෘතුගීසීන් ගැන සිතුවොත් ඔවුන් අප රටේ මිනිසුන්ට පමණක් නොවෙයි සතුන්ටත් කළ හිංසා පීඩාවන් ගැන ඕනෑ තරම් කරුණු සොයා ගන්න පුළුවන්. අපේ රටේ නිවෙස්වල ඇතිදැඩි කළ ගවයින් සීමාවක් නැතිව මරා ආහාරයට ගැනීම ඔවුන්ගේ විනෝදාංශයක් වුණා. ඉංග්‍රීසීන් වුවත් අලි ඇතුන් ඉවක් බවක් නැතිව දඩයම් කිරීම, අනෙකුත් බොහෝ සතුන් මරාදැමීම වගේ බොහෝ දේ කළ බවට තොරතුරු ඉතිහාසයෙන් අපට හමුවෙනවා.


අතීතයේ එසේ වුවත් වර්තමානයේ අප දකින්නේ මෙයට හාත්පසින්ම වෙනස් තත්වයක්. අතීතයේ සත්ව හිංසාවෙන් පිරුණු රටවල් වර්තමානයේ සතුන් ගැන උපරිම දයානුකම්පාවකින් සළකන්නට පටන් අරන්. මේ සම්බන්ධව කතාකිරීමේදී පසුගිය වසරේ අප්‍රේල් මාසයේ ලන්ඩනයේ සිදුවූ අපූරු සිදුවීමක් අපට සිහිපත් වෙනවා.


මේ කතාව කියැවෙන්නේ ලුලූ කියන සුනඛයෙක් ගැන. ලුලූ එයාගේ ස්වාමි දුව ගේල් ෆ්‍රේසර් එක්ක බකින්හැම්ෂයර්වල ඇවිදින්න ගියා. මෙහෙම යනකොට අතහැර දමලා තිබුණු තරමක් ලොකු නල මාර්ගයක් ඇතුළට ලුලූ ඇවිදගෙන යන්න පටන් ගත්තා. ලුලූ වෙනදත් මෙහෙම නිදහසේ ඇවිදලා එන හන්දා ගේල් ආපහු ගෙදර ගියා. ඒත් එදා නම් ලුලූ ආවේ නැහැ. මෙයින් ගේල් කලබල වුණා. සත්ව අවිහිංසා සංවිධානයකින් ගේල්ට කිව්වේ බිරුම් හඬක් ඇහුණොත් ඒ ඔස්සේ ගිහින් ලුලූව හොයාගන්න පුලුවන් කියලයි. කොහොම හරි ලුලූව ඇවිදවන්න එක්ක ගිය පැත්තේ හෝදිසි කරනකොට අර නලය ඇතූලෙන් යාන්තමින් බිරුම් හඬක් මතුවුණා. ගේල් කතා කළා. ඒත්  ලුලූව දැකගන්න බැරි වුණා. දවස් තුනක් ගතවුණා.  ලුලූ ආපහු එන පාටක් තිබුණේ නැහැ.

දැන් ගේල්ගේ හිතට හරිම අමාරුයි. අන්තිමේදී ගේල් තීරණය කළා කණින යන්ත්‍රයකින් පොලොව හාරලා හරි ලුලූව බේරාගන්න. ඒත් මේක ගේල්ටවත් එයාගේ හිතවතුන්ටත් පහසුවෙන් කරන්න පුලුවන් දෙයක් නෙවෙයි. මේ බව දැනගත්තු ඒ ප්‍රදේශයේ නාගරික ගිනි නිවන හමුදාවයි, ජීවිත ගළවාගැනීමේ සංවිධානයකුයි ඉදිරිපත් වුණා ලුලූගේ ජීවිතේ බේරගන්න. ඔවුන් අඩි අටක් ගැඹුරට පොලොව හාරලා නලය පාදා ගත්තා. ඉන්පසු නලයේ කැපුමකින්  මේ කණ්ඩායමේ නායක පෙටී ස්කිනර් නලය ඇතුළට රිංගුවා. මේක සෑහෙන අවදානම් ක්‍රියාවක්. නලය ඇතුළට ඉතා අසීරුවෙන් බඩගාගෙන ගිය ඔහු අවසානයේ ලුලූව බේරාගෙන ගොඩට ආවා.  ඒ වනවිට ඉතා දුබල තත්වයේ පසු වූ ලුලූ පසුව කෙමෙන් සුවය ලැබුවා. ලුලූ ගළවාගැනීමේ මේ මෙහෙයුමට පැය හයක් විතර ගතවුණා. ලුලූ බේරාගැනීමේ මෙහෙයුම ගැන එරට වගේම ජාත්‍යන්තර මාධ්‍යත් උනන්දු වුණේ සතෙකුගේ වුණත් ජීවිතයේ වටිනාකම මිල කළ නොහැකි නිසා.




මේ සිදුවීමට මහා බ්‍රිතාන්‍යයේ විතරක් නෙවෙයි ලෝකයේ බොහෝ රටවල මාධ්‍යවලින් පුළුල් ප්‍රචාරයක් දී තිබුණා. මේ ලුලූගේ කතාවෙන් අපට පැහැදිලිවන එක් දෙයක් තියෙනවා. එනම් අපේ අතීත හිමිකමක් වූ සත්ව අවිහිංසාව අපෙන් ගිළිහී ගොස් දැන් අපට එය සුද්දන්ගෙන් මුළ සිට ඉගෙනගැනීමට සිදුව තිබෙන බවයි.