පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Tuesday, January 31, 2017

ඕමානයේ ප්‍රථම පොලිස් ස්ථානාධිපතිවරිය - First ever to head a police station in Oman


අපි පොලිස් නිලධරයන් මෙන්ම පොලිස් කාන්තාවන් ද දැක ඇත්තෙමු. කෙසේ නමුත් අප රටේ කාන්තා පොලිස් ස්ථානාධිපතිවරියන් දැක ඇත් දැයි හෝ අසා ඇත් දැයි යමකුගෙන් විමසුව හොත් ඔහු හෝ ඇය මදක් කල්පනා කරන්නට පටන් ගනු ඇත. සැබැවින්ම අප රටේ පොලිස් ස්ථානාධිපතිවරියන් පිළිබඳ තොරතුරු ලැබෙන්නේ නැත. නමුත් කාන්තාවන්ට එතරම් අවස්ථාවක් නො දෙන මැද පෙරදිග රටක පොලිස් ස්ථානාධිපතිවරියක් පත් කළ බව දැනගන්නට ලැබෙන්නේ නම් එය සැබවින්ම විශේෂ පුවතක් වන්නේය. එවැනි කතාවක් ඇසෙන්නේ ඕමානයෙනි.

මැදපෙරදිග කලාපයේ කාන්තාවන් සිය අයිතිවාසිකම් දිනා ගනිමින් සිටින බවට හොඳම නිදසුන ගැන අසන්නට ලැබෙන්නේ ඕමානයේ පොලිස් කාන්තාවක් පොලිස් ස්ථානාධිපතිවරියක් බවට පත්වීමත් සමගය. ඇය නමින් ෂායිකා බින්ට් අෂෝර් අල් හම්බාසියා ය. ඕමාන පොලිස් සේවයේ ලුතිනන් කරනල්වරියක වන ඇය එරට අගනුවර වන මස්කට් හි වටායා පොලිස් ස්ථානයේ නව ස්ථානාධිපතිවරිය ලෙස සේවය ආරම්භ කොට තිබේ. ඇය මෙම තනතුර භාර ගනිමින් පවසා සිටියේ මෙය තමාට මෙන්ම අනෙක් සියලු ඕමාන පොලිස් කාන්තාවන්ට ඉමහත් ධෛර්ය සම්පන්න පුවතක් බවය. එමෙන්ම ධෛර්යය හා අධිෂ්ඨානය ඇත්නම් ඕමානය තුළ කිසිදු කාන්තාවකට සිය වෘත්තීන්වල ඉහළට ගමන් කිරීමේ බාධාවක් නොමැති බවට මෙය හොඳම නිදසුනක් යැයි ද ඇය පවසන්නීය.

හම්බාෂියා ඕමාන රාජකීය පොලිස් සේවය හා එක්වූයේ වර්ෂ 1990 දීය. ඇය පොලිස් ස්ථානාධිපතිවරියක් ලෙස පැමිණි වෘත්තීය ගමන් මග තුළ පොලිස් සේවයේ විවිධ තනතුරු ගණනාවක් ම දරා තිබේ. මුලින්ම මහජන ආරක්ෂාව සහ විමර්ශන විශේෂ බලකායේ සේවය කළ ඇය මස්කට් හි පොලිස් ළමා කටයුතු අංශයේ ද ප්‍රධානියා ලෙස සේවය කළාය. ඉන් වසර සයකට පසු ඇය ඕමාන පොලිස් සේවය කාන්තා නිලධාරීන් අතර ප්‍රධානී තනතුරට පත් කෙරිණි. ඉන් පසු ඇය පොලිස් පරිපාලන නිලධාරිණියක බවට උසස් කරනු ලැබිණි.

2011 වසරේදී ඇය ඕමාන රජ මැඳුරේ යුද හමුදා කාන්තා පොලිස් ඒකකයේ ප්‍රධානියා ලෙස සේවය කළාය. හම්බාෂියා එය සිහිපත් කරමින් පවසන්නේ එම අවස්ථාව සිය ජීවිතයේ වඩාත් වැදගත්ම හැරවුම් ලක්ෂ්‍යයක් බවය. එමෙන්ම ඕමාන් සුල්තාන්වරයා වූ කාබූස් යටතේ හමුදා පොලිස් පෙළපාලිය මෙහෙයවන්නට අවස්ථාවක් ලද ප්‍රථම පොලිස් නිලධාරිණිය වන්නී ද ඇයයි. ඇය පවසන්නේ තමා එය නිරතුරුවම අභිමානයකින් සිහිපත් කරන බවය. ඇගේ මේ පොලිස් වැඩකටයුතු සඳහා ඇගේ පවුලෙන්ද සෑම විටම ඉමහත් සහයෝගයක් ලැබෙන්නේය.

මාව සහ මගේ රාජකාරි හොඳින් තේරුම් ගත් සැමියෙක් වගේම හොඳ පවුල් සාමාජිකයන් පිරිසකුත් මට ඉන්නවා. සාර්ථකත්වය කියන්නේ වෙහෙස වී වැඩ කිරීමයි. කෙසේ නමුත් මම පවුලේ සහ රාජකාරියේ වගකීම් සමබරව නොපිරිහෙළා ඉටු කරනවා. මේක ලේසු පාසු දෙයක් නොවුනත් මම මේ සියල්ල මම ඉමහත් සිහි කල්පනාවකින් කටයුතු කරනවා. දශක ගණනාවක් තිස්සේ ඕමාන පොලිසිය තුළ කාන්තාවන්ට කිසිදු ඉඩක් ලැබුණේ නැහැ. ඔවුන් කළ යුතු එකම දෙය වූයේ පුහුණු වීම සහ සෙසු පොලිස් නිලධාරීන් සමග වැඩ කටයුතු කිරීම පමණයි.  හම්බාෂියා පවසන්නීය. තමා මුහුණ දුන් බොහෝ දුෂ්තර තත්වයන්ගෙන් අත් මිදෙන්නට ඔවුන්ගේ සහයෝගය ඉමහත් උපකාරයක් වූ බව ද ඇය පවසන්නීය.


ඇගේ නව තනතුර ඕමාන සුල්තාන්වරයා යටතේ වූ පොලිස් සේවය තුළ කැපී පෙනෙන සංධිස්ථානයක් වනු ඇත. 

Thursday, January 26, 2017

හොරු හතලිහක් නැති අලිබාබා - Alibaba and Jack Ma


අන්තර්ජාලය ඔස්සේ භාණ්ඩ අළෙවිය සිදු කරන ලෝක ප්‍රකට අලිබාබාසමාගමේ හිමිකරු වන ජැක් මා ශ්‍රී ලංකාවේ ආයෝජන කටයුතු සිදු කිරීමේ කැමැත්තෙන් පසු වන බව පසුගිය දා පවසා සිටියේය. ඔහු එසේ පවසා සිටියේ පසුගිය 18 වැනිදා ස්විට්සර්ලන්තයේ ඩාවෝස් හිදී ශ්‍රී ලංකා මුදල් අමාත්‍ය රවි කරුණානායක හමුවූ අවස්ථාවේදීය. ජැක් මා වැඩිදුරටත් පවසා සිටියේ තමා ශ්‍රී ලංකාවේ ආයෝජන කටයුතු හැකි ඉක්මනින් ආරම්භ කරන බවය.

අන්තර්ජාලය ඔස්සේ විවිධ භාණ්ඩ මිලදී ගනු ලබන ශ්‍රී ලාංකිකයන් හැරුණු කොට අලිබාබා නම් සමාගමක් පිළිබඳ මෙයට පෙර අසා ඇති වෙනත් අය සිටියේ නම් ඒ කලාතුරකින් විය හැකිය. බහුතරයක් දෙනා මේ නම අසා තිබුණ ද ඒ සමාගමක් ලෙස නොව අරාබි නිසොල්ලාසයේ එන එක්තරා සුප්‍රකට කතාවක් වූ අලි බාබා සහ හොරු හතලිහලෙසිනි. කෙසේ නමුත් ජැක් මා සහ ශ්‍රී ලංකා මුදල් අමාත්‍යවරයාගේ හමුවෙන් පසු අන්තර්ජාලය ඔස්සේ භාණ්ඩ මිලදී ගන්නවුන් හැරුණු විට තවත් බොහෝ දෙනෙක් අලිබාබා නම් සමාගමක් ඇති බව දැනගත්තේය. එය අපේ රටේ ව්‍යාපාර ආරම්භ කරන්නට පැමිණෙන බවත්, ඒ ඔස්සේ අලුත් රැකියා බොහෝ සංඛ්‍යාවක් ඇතිවන බවත් දැනගත්තේය. මේ නිසා හොරු හතළිහ කෙසේ වෙතත් අලිබාබා සමාගම පිළිබඳ දැන සිටීම නම් බොහෝ සෙයින් වැදගත් වනු ඇත.

අලිබාබා යනු අන්තර්ජාලය ඔස්සේ වෙළෙඳ කටයුතු සිදු කරන චීන සමාගමකි.  1999 වසරේදී ජැක් මා විසින් Alibaba.com    වෙබ් අඩවිය පිහිටුවමින් මෙම සමාගම ආරම්භ කරන ලදී. චීනයේ විවිධ නිෂ්පාදකයන්ගේ භාණ්ඩ අන්තර්ජාලය ඔස්සේ සමස්ත ලෝකයටම අළෙවි කිරීම මෙම සමාගමේ අරමුණ විය. මෙහිදී අනෙක් සෑම අන්තර්ජාල වෙළෙඳ පළකදී මෙන් මෙහි ද ගනුදෙනුකරුවා සහ අළෙවි කරන්නා අතර භෞතික හමුවීමක් සිදු නොවන අතර සියලු ගනුදෙනු අන්තර්ජාලය හරහාම සිදු වෙයි. ඇණවුම් කරන ලද භාණ්ඩය ගමනාන්තයට අනුව නිශ්චිත දින ගණනක් තුළ ගැනුම්කරුවා වෙත තැපෑලෙන් යැවෙයි. සියලුම පාහේ අන්තර්ජාල ගනුදෙනු සිදු වන්නේ මේ ආකාරයටය. 2012 වසරේදී අලිබාබා සමාගම විසින්  ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 1.1 ක අළෙවි කටයුතු සිදු කොට තිබූ අතර ඒ වන විට ඔවුන්ගේ ස්වදේශීය (චීන) නොවන සැපයුම්කරුවන්ගේ සංඛ්‍යාව ස්වදේශීය සැපයුම්කරුවන් ඉක්මවා තිබුණු බව ද වාර්තා වේ. කෙසේ වෙතත් ඔවුන් ප්‍රධාන වශයෙන්ම ක්‍රියාත්මක වූයේ චීනය මූලික කොටගෙනය. 2016 අප්‍රේල් මාසය වන විට ලෝකයේ එතෙක් පැවති විශාලතම අන්තර්ජාල වෙළෙඳ පළ වූ  වෝල්මාර්ට් (Walmart) ද පසුකර යමින් මෙය පෙරමුණට පැමිණියේය.

ජැක් මා

මෙම සමාගමට අලිබාබායන නම ලැබුණු ආකාරය පසුපස ඇත්තේ ද අපූරු කතාවකි. එය මෙහි නිර්මාතෘ ජැක් මා ගේ වචනයෙන්ම මෙසේය.

දවසක් මම මැලේසියාවේ වැඩකට ගිහින් කෝපි එකක් පානය කරමින් ඉන්න අතරේ මගේ සමාගමට හොඳම නම මොකක්ද කියලා හිතමින් හිටියා. එකපාරටම මට හිතුණා අලිබාබා කියන නම හොඳයි කියලා. මෙහෙම ඉන්න කොට වේටර්වරිය එතැනට ආවා. මම ඇහුවා ඔබ අලිබාබා ගැන දන්නවද?’ කියලා. නැතුව. අර දොර ඇරේවා කියලා කියන කතාව නේද?’ කියලා ඇය මගෙන් ඇහුවා. මම හිතුවා මේක තමයි නියම නම කියලා. ඉන් පස්සේ මම පාරේ ඇවිදින ගමන් ලෝකයේ එක එක රටවලින් ආපු තිස් දෙනෙකුගෙන් විතර ඇහුවා අලිබාබා ගැන දන්නවද කියලා. ඔවුන් කිව්වා දොර ඇරේවා කියන කතාව නේද, තමන්ට ලැබුණු ධනයෙන් ගමේ මිනිස්සුන්ට උදව් කළ හොඳ මනුස්සයෙක් නේද?’  වගේ කතා. මම දැනගත්තා ලෝකයේ ඕන කෙනෙක් මේ නම දන්න බව. අනෙක ඒ නිසාම උච්චාරණයත් පහසුවෙන් සිද්ධ වෙනවා. අවසානයේ මේ නම ලියාපදිංචි කළා. නමේ මොකක් හෝ නීතිමය ගැටලුවක් ආවොත් කියලා අලිමාමාකියන නමත් ලියාපදිංචි කළා.

අප රටේ ආයෝජනය කරන්නට ඔහු එක පයින් කැමැත්ත ප්‍රකාශ කළ බැවින් මේ දැවැන්ත ව්‍යාපාරයේ නිර්මාතෘ වන ජැක් මා පිළිබඳව ද අප කතා කළ යුතුමය.

1964 සැප්තැම්බර් 10 වැනිදා චීනයේ උපත ලද ජැක් මාගේ සැබෑ නම වන්නේ මා යුන්ය. ෆෝර්බීස් නම් ලෝකයේ ප්‍රමුඛතම ව්‍යාපාරික සඟරාවේ සඟරාවේ කවරයක් පළ කෙරුණු මුල්ම චීන ජාතික ව්‍යාපාරිකයා වන්නේ ද ජැක් මා ය.

ජැක් මා ගේ කුඩා කල සිටම කැමැත්ත වූයේ ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගැනීම වූ අතර ඔහුගේ උපන් ප්‍රදේශයෙන් සැතපුම් 100ක් පමණ දුරින් වූ  හැංග්ෂු හෝටලයට පැමිණි විදේශිකයන් සමග ඉංග්‍රීසියෙන් කතා කරමින් සිය භාෂා දැනුම දියුණු කරගන්නට උත්සාහ ගත්තේය. ඔහු විදේශිකයන්ව නොමිලයේ නගරයේ තැන් තැන්වලට කැටිව යමින් ඔවුන් සමඟ ඉංග්‍රීසි බසින් කතා කරන්නට උත්සුක වූවේය. විදේශිකයන් බොහොමයකට ඔහුගේ නම උච්චාරණය කරන්නට දුෂ්කර වූ බැවින් බොහෝ දෙනෙක් අතර ඔහු ප්‍රසිද්ධියට පත් වූයේ ජැක්නමිනි. අවසානයේ ඔහුගේ නිල නාමයබවට එය පත් විය. වසර හතරක් උත්සාහ කිරීමෙන් පසු ඔහුට හැංග්ෂු ගුරු පුහුණු පාසලට ඇතුළත් වීමේ අවස්ථාව හිමි විය. 1988 වසරේදී ඉංග්‍රීසි බසින්  ශාස්ත්‍රවේදී උපාධියක් හිමි කරගත් ඔහු ඉංග්‍රීසි ගුරු රැකියාවක් සොයා ගත්තේය. ඒ අතරේ බීජිං නුවර මූලික කරගත් චෙන්කොන් විද්‍යාලයෙන් ව්‍යාපාරික උපාධියක්  ද හිමිකර ගත්තේය. උපාධිය හිමි කරගැනීමෙන් පසු ඔහු විවිධ රැකියාවන් 30කට අධික සංඛ්‍යාවකට අයැදුම් කළ මුත් ඒ සියල්ලෙන්ම ඔහුව ප්‍රතික්ෂේප විය. එක් අවස්ථාවකදී එක් ආයතනයකට  පැමිණි සිටි අයැදුම්කරුවන්ගේ සංඛ්‍යාව 24ක් වූ අතර එයින් 23කටම එහි රැකියා හිමි වූ අතර ප්‍රතික්ෂේප වූ එකම පුද්ගලයා ජැක් මා විය. ඔහු හාවඩ්ර්ඩ් සරසවියට දස වතාවක් ඉල්ලුම් කළ අතර ඒ සියල්ල ප්‍රතික්ෂේප විය.

1994 වසරේදී ඔහුට අන්තර්ජාලය පිළිබඳ අසන්නට ලැබිණි. 1995 වසරේදී ඔහු සිය මිතුරකු සමඟ ඇමරිකාවට ගියේ ඒ පිළිබඳව දැනුමක් ලබාගැනීමේ අරමුණිනි. ඔවුන් දෙදෙනා එක්ව අනත්ර්ජාලය ඔස්සේ beer යනුවෙන් සෙවීමක් සිදු කළ අතර එහිදී ලෝකයේ බොහෝ රටවලින් ඒ පිළිබඳව තොරතුරු පෙන්නුම් කළේය. නමුත් චීනයෙක් කිසිදු තොරතුරක් පෙන්නුම් කළේ නැත. ඉන්පසු ඔවුන් චීනය පිළිබඳ සෙවුමක් කළ මුත් පුදුමයකට මෙන් ඒ පිළිබඳව ද කිසිදු තොරතුරක් පෙන්නුම් කළේ නැත. ඉන් පසුව ඔවුහු චීනය පිළිබඳ තොරතුරු අඩංගු කිසිදු පෙනුමක් නොමැති වෙබ් අඩවියක් නිර්මාණය කළහ. එය අන්තර්ජාලයට මුදා හැර පැය පහක් ඇතුළත් ඔහුට බොහෝ චීන ජාතිකයන්ගෙන් ඊමේල් පණිවිඩ ලැබිණි. අන්තර්ජාලය යනු ව්‍යාපාර සඳහා කදිම ස්ථානයක් බව ඔහුට අවබෝධ වූයේ ඒ අවස්ථාවේදීය.


ශැන්ජ් යිංග් 

1995 වසරේදී විවිධ අයගෙන් ණයට ගත් ඇමරිකානු ඩොලර් 20,000 කින් ඔහුත්, බිරිඳත් (ශැන්ජ් යිංග්), මිතුරකුත් එක්ව වෙබ් අඩවි නිර්මාණය කිරීමේ ව්‍යාපාරයක් ආරම්භ කළහ. ඔහු China Yellow Pages එය ලෙස නම් කළේය. වසර තුනක් ඇතුළත ඔවුහු ඇමරිකානු ඩොලර් ලක්ෂ අටක ආදායමක් ඉපැයූහ.  මේ ආකාරයට අන්තර්ජාලය ඔස්සේ ව්‍යාපාර ආරම්භ කළ ඔහු අද ලෝකයේ ප්‍රමුඛතම ව්‍යාපාරිකයෙක් බවට පත් ව තිබේ.

ශැන්ජ් යිංග් සමඟ විවාහ වී සිටින ඔහුට පුතකු සහ දියණියක සිටී. ජැක් මා ට සිය බිරිඳ වන ශැන්ජ් යිංග් හමුවූයේ ඔහු හැංග්ෂු විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලබමින් සිටි කාලයේය. උපාධිය ලබාගැනීමෙන් පසු ඔවුහු ගුරුවරුන් ලෙස ජීවිතය ආරම්භ කළහ.


ජීවිතයේ විවිධ බාධක ඔස්සේ ලෝකයේ ප්‍රමුඛතම ව්‍යාපාරයක් බවට පත්වුණු අලිබාබා සමාගම අප රටේ ආයෝජනයට සැබැවින්ම පැමිණෙන්නේ නම් එයින් අප රටේ රැකියා විරහිත තරුණ තරුණියන්ට ඉමහත් අස්වැසිල්ලක් වනු නොඅනුමානය. මේ තත්වය සාර්ථකව අත්පත් කරගන්නට අප රටේ පාලකයන් ක්‍රියාත්මක වනු ඇතැයි ශ්‍රී ලාංකිකයන් වශයෙන් අපි යහපත් අපේක්ෂාවෙන් පසු වන්නෙමු. 

Friday, January 20, 2017

ඩේටා නැතිව ඉන්න තැන හොයාගන්න සිතියම - MAPS.ME – Map & GPS Navigation



අපි සාමාන්‍යයෙන් ජංගම දුරකතනයෙන්, අපි ඉන්න තැන හොයා ගන්න භාවිත කරන්නේ Google Map එක. මේක භාවිත කරන කොට GPS  වගේම Dataත් අවශ්‍ය කරනවා. Data නැතිව මේ සිතියම භාවිත කරන්න බැහැ. ඒක ටිකක් පාඩුයි. Data නැතිව මේ වැඩේ කරගන්න පුළුවන් නම් ඒක සෑහෙන්න වාසියක්. අන්න ඒ වැඩේට තමයි MAPS.ME කියන ඇන්ඩ්‍රොයිඩ් ඇප් එක තියෙන්නේ. මේ ගැන බොහෝ දෙනෙක් දන්නවා බව නම් නො අනුමානයි. නමුත් නො දන්නා අය කිහිප දෙනෙකු හමුවුණු නිසා මේ ගැන පොඩි සටහනක් තියන්න හිතුවා.

මේක Google Playstoreවලින් Download කරගෙන ඔබේ ජංගම දුරකතනයට ස්ථාපනය කරගන්න. Data Off කරන්නේ නැතිව ලංකාව තියෙන හරියේ සිතියම zoom කරන්න. ටිකක් zoom කරන කොට එතැනින් ලංකාවට අදාළ සිතියම Download වෙනවා. එච්චරයි කරන්න තියෙන්නේ.


ඊට පස්සේ Data Off කරලා, ඔබේ දුරකතනයේ GPS On කර ගන්න. දැන් එළිමහනට ගිහින් MAPS.ME ක්‍රියාත්මක කරන්න. වැඩි වෙලා යන්න කලින් එහි සිතියමේ ඔබ ඉන්න තැන පෙන්නයි.


මේ සිතියම සඳහා Data වැයවෙන්නේ නැහැ. කොහොම වුනත් ගොඩනැගිල්ලක් හෝ වාහනයක් හෝ ඇතුළෙදි සමහර විට ඔබ ඉන්න තැන පෙන්වන්නේ නැති වෙන්න පුළුවන්. ඒ වගේම වළාකුළු වැඩි දවස්වලදීත් මෙහි ක්‍රියාකාරීත්වයේ දුර්වල බවක් තියෙනවා. මොකද මේ සඳහා චන්ද්‍රිකා තාක්ෂණය පමණක් භාවිත කරන නිසා යම් බාධාවක් තිබුණොත් ඔබේ දුරකතනය හා චන්ද්‍රකාව අතර සම්බන්ධයක් ඇති නොවෙන්න ඉඩ තියෙනවා. ඒ වෙලාවට ඉන්නා තැන සොයාගැනීමේ ගැටලුවක් ඇති විය හැකියි. එවැනි අවස්ථාවකදී අවශ්‍ය නම් Data On කරගෙන සිතියමේ ක්‍රියාකාරීත්වය වැඩිකරගත හැකියි.  පැහැදිලි කාලගුණයක් ඇත්නම් Data නැතිව සිතියම ක්‍රියාත්මක වෙනවා.

ඔබ සිටින ස්ථානය Link එකක් ලෙස වෙනත් පුද්ගලයකු වෙත යැවීමේ හැකියාවක්ද මෙයින් ලබා දෙනවා. 



Thursday, January 19, 2017

ජයලලිතාගේ ඥාති දියණිය, දීපා ජයකුමාර් දේශපාලනයට - Deepa Jayakumar and Tamilnadu Politics


පසුගිය වසරේ දෙසැම්බර් 5 වැනිදා තෙක් දීපා ජයකුමාර් පිළිබඳව දැන සිටි බහුතරයක් නොසිටි තරම් යැයි කීවොත් එහි වරදක් නැත. එයට හේතුව ඒ නමින් හඳුන්වන තැනැත්තිය පිළිබඳව කතා කරන්නට කිසිවකුට හෝ ඕනෑකමක් නොතිබුණු නිසා විය හැකිය. කෙසේ නමුත් අද වන විට ඇය පිළිබඳව කතා කරන පුවත්පත් හා වෙබ් අඩවි බොහෝය. ඒ අන් කිසිවක් නිසා නොව තමිල්නාඩු හිටපු මහ ඇමතිනී ජයලලිතා ජයරාම්ගේ ඥාති දියණිය දීපා ජයකුමාර් වීමත්, ඇය ජයලලිතාගේ දේශපාලන පක්ෂය වන සමස්ත ඉන්දීය අන්නා ද්‍රවිඩ මුන්නේත්‍ර කසාගම් පක්ෂයේ වර්තමාන ලේකම්වරිය වන ශෂිකලාගේ නායකත්වයට එළිපිටම අභියෝග කරන නිසාත්ය. දීපා ජයකුමාර් යනු තම පක්ෂයේ නියම උරුමක්කාරිය යැයි පක්ෂයේ ඇතැම් ජ්‍යෙෂ්ඨයන් පවසන්නට වීම ඇගේ කරළියට පැමිණීම තවත් ඉක්මන් කොට තිබේ.

පක්ෂයට ලැදි බොහෝ දෙනෙක් පවසන්නේ ජයලලිතා ජයරාම්ගේ මරණය සැක සහිත බවත් මේ පිළිබඳව යළි පරීක්ෂණයක් පැවැත්විය යුතු බවත්ය. ජයලලිතාගේ මරණය පසුපස පක්ෂ නායකත්වය අතට ගැනීමේ ශෂිකලාගේ කුමන්ත්‍රණයක් පැවැති බවට මතයක් ද පැතිර ගියේය. ශෂිකලාගේ නායකත්වයට අභියෝගයක් වේ යැයි කල්තියාම සැක කෙරුණු බැවින් ජයලලිතාගේ ඥාති දියණිය වන දීපා ජයකුමාර්ට ජයලලිතාගේ අවමංගල්‍යයට සහභාගී වන්නට තිබු අවස්ථාවන්ට හැකි තරම් උපරිමයෙන් බාධා පමුණුවන්නට ශෂිකලා පියවර ගෙන තිබූ බව අද වන විට රහසක් නොවේ. මේ නිසා ශෂිකලාට එරෙහිව ප්‍රසිද්ධියේ අදහස් පළකරන්නට දීපා ජයකුමාර් ඉදිරිපත්ව සිටීමේ අරුමයක් ද නැත.

සැබවින්ම දීපා ජයකුමාර් යනු කවුද? ඇය ජයලලිතා වෙනුවෙන් ශෂිකලාට එරෙහිව අභියෝග කරන්නේ ඇයි? දීපාගේ කරළියට පැමිණීමත් සමග බොහෝ දෙනෙකු තුළ ඇතිවන ප්‍රශ්න මේවාය.

දීපාගේ පියාගේ විවාහයට ජයලලිතා පැමිණ සිටි අවස්ථාව


දීපා ජයකුමාර් යනු ජයලලිතාගේ එකම සොයුරා වන ජයකුමාර්ගේ දියණියයි. එනම් ඥාතිත්වය අනුව ඇයට සිටි එකම ඥාති දියණියයි. පෙනුමින් ද ජයලිලතාට යම් යම් සමානකම් දක්වන ඇය වෘත්තියෙන් ජනමාධ්‍යවේදිනියකි.  1974 වසරේ දිවාලි දිනට පෙර දිනයේ උපත ලද ඇයට ආලෝකයයන අරුතින් යුත් දීපායන නම තැබුවේ ජයලලිතාය. ජයලලිතා සිය ජීවිතයේ බොහෝ ප්‍රීතිමත් වූ දිනයන් අතුරින් එකක් ලෙස දීපාගේ උපන් දිනය සැලකු බව දීපා පවසන්නීය. කෙසේ වෙතත් 1995 වසරේදී සිය පියා වූ ජයකුමාර් හදිසි අනතුරකින් මිය යාමෙන් පසු ජයලලිතා සහ තම පවුල අතර වූ ඥාති සම්බන්ධතාවට යම් බලපෑමක් සිදු වූ බව දීපා පවසන්නීය. කෙසේ නමුත් සිය ඥාති සබඳතාවය පවත්වාගන්නට දීපා බොහෝ අවස්ථාවලදී උත්සාහ ගත් බව පෙනෙනු අතර ජයලලිතා හමු වී සිය ඥාති සබඳතාවය මතක් කොට දී එය අලුත් කරගන්නට උත්සාහ දැරූ බව ද රහසක් නොවේ. කෙසේ නමුත් දීපාට එය එතරම් සාර්ථක ලෙස සිදු කරගන්නට අවස්ථාවක් නොලැබුණු බව ද පෙනෙන්නට තිබේ.

කෙසේ නමුත් දීපා පිළිබඳ යම් ඉවක් ශෂිකලා තුළ පැවැති බව පැවසිය හැක්කේ ජයලලිතාගේ අවමංගල්‍යය දිනයේදී දීපාට යම් යම් බාධා පමුණුවමින් ඇයට අවමංගල්‍යයට පහසුවෙන් සභභාගී වන්නට තිබූ අවස්ථාවන් නවතා දමන්නට කටයුතු කළ නිසාය. දීපා ජයලලිතාගේ සමීපතම ඥතියකු වුව ද ජයලලිතාගේ අවමංගල්‍යයට සහභාගී වන්නට ඇයට පැය ගණනක් පෝලිමේ ගත කරන්නට සිදු විය. ජයලලිතා අසනීපව ඇපලෝ රෝහලේ සිටි අවස්ථාවේදී ද ද ඇයගේ සුව දුක් බැලීමට දීපාට පැමිණෙන්නට නොහැකි ලෙස කටයුතු කරන්නට ශෂිකලා පියවර ගෙන තිබිණි. මාධ්‍යයේ ඇස දීපාට යොමු වුයේ ජයලලිතාගේ මරණයෙන් පසු වුව ද ශෂිකලාගේ ඇස දීපා දෙසට එයට බොහෝ කලකට පෙර සිටම යොමුව තිබූ බව මෙම සිදුවීම්වලින් මොනවට පැහැදිලි වේ. දීපා ජනමාධ්‍යවේදිනියක වීම ද, ජයලලිතාගේ සමීපතමට ඥාතියකු වීම ද නිසා සිය දේශපාලන ජීවිතයට ඇගෙන් යම්කිසි බලපෑමක් වනු ඇතැයි ශෂිකලා අනුමාන කරන්නට ඇත. කෙසේ වෙතත් මේ වන විට ඇය අනුමාන කළ පරිදිම දීපා ඇගේ දේශපාලන ජීවිතයට තර්ජනයක් වෙමින් පවතින බැව් පැහැදිලිවම පෙනෙන්නට තිබේ.

ද ටයිම්ස් ඔෆ් ඉන්ඩියා’, ‛ද නිව්ස් මිනිට්සහ ද ඉකොනොමික් ටයිම්ස්යන පුවත්පත්වලට අදහස් දක්වමින් දීපා පවසා සිටියේ තම පවුල සහ ජයලලිතා අතර ඈත්වීමක් ඇති කරන්නට ශෂිකලා හිතාමතාම කටයුතු කළ බවය. තමා කාඩිෆ් සරසවියෙන් ජාත්‍යන්තර මාධ්‍යවේදය පිළිබඳ උපාධිය ලබාගත් අවස්ථාවේදී එයට සහභාගී වන්නට ජයලලිතාට ඇරයුම් කළ ද ඇය එයට සහභාගී නොවෙන තැනට යම් වැඩ පිළිවෙලක් සිදුවූ බව දීපා පවසන්නීය. එයින් පසුව ද කිහිප අවස්ථාවකදීම දීපා හමුවන්නට ජයලලිතා කැමැත්තෙන් සිටිය ද ඒ සියලු අවස්ථා වළක්වන්නට යම්කිසි බලවේගයක් ක්‍රියාත්මක වූ බව දීපා මධ්‍ය හමුවේ පවසා සිටියාය.

සමස්ත ඉන්දීය අන්නා දවිඩ මුන්නේත්‍ර කසාගම් පක්ෂයේ ඇතැම් ජ්‍යෙෂ්ඨයින් ශෂිකලාගේ පක්ෂ ලේකම් ධූරයට කැමැත්තක් නොදක්වන බව රහසක් නොවේ. ඔවුන් බියවී සිටින්නේ පක්ෂය පුරා සිය අණසක පතුරවමින් එය සිය පවුලේ බූදලයක් බවට පත්කර ගනු ඇතැයි යන්න පිළිබඳවය. මේ නිසා ශෂිකලාට හෝ ඇගේ සහචරයන්ට වඩා වෙනත් සුදුසු කිසිවෙක් පක්ෂයේ නායකත්වයට පත් කළ යුතු යැයි ඔවුහු අදහස් පළකරනන්ට වූ අතර ඒ සඳහා වඩාත්ම සුදුසු උරුමක්කාරිය වන්නේ දීපා ජයකුමාර් බව ඔවුහු පවසති. එසේ පැවසීමෙන් පමණක් නො නැවතුණු ඔවුහු මෑත දිනකදී ඒ වෙනුවෙන් රැළි කිහිපයක් ද පවත්වනු දක්නට ලැබිණි. මේ එක් අවස්ථාවකදී ශෂිකලාට පක්ෂව ප්‍රදර්ශනය වෙමින් පැවැති බැනර් සහ පෝස්ටර් ද ඉරා දමනු ලැබ තිබේ.


තමා කිසිදා දේශපාලනයට නොපැමිණෙන බැව් දීපා මෙයට පෙර ප්‍රකාශ කොට තිබුණ ද පක්ෂය විසින් යම් ඉල්ලීමක් කරන්නේ නම් සිය නැන්දණිය වෙනුවෙන් යුතුකම් ඉටු කොට පක්ෂය ගළවා ගන්නට සිය තීරණය වෙනස් කරන්නට වුව කැමති බවට ද ඇය ඉඟියක් ලබා දී තිබේ. තත්වය මෙසේ හෙයින් පැවසිය හැක්කේ ශෂිකලා සිතූ සේම දීපා ඇයට එරෙහිව යුද ප්‍රකාශ කිරීම ආරම්භ වී ඇති බවය. ශෂිකලාට සිතූ තරම් පහසුවෙන් පක්ෂය නතු කරගන්නට තිබූ අවස්ථාවට දැන් තර්ජන එල්ල වෙමින් පවතී. වැඩි දිනක් යන්නට පෙර යම් කිසිවක් සිදුවනු ඇති බවට මත ද පළවී තිබේ. තමිල්නාඩු දේශපාලනය යනු අප රටට ඍජුවම බලපෑමක් කරන්නක් වන බැවින් මේ සියල්ල දෙස විපරමින් බලාසිටීම වඩාත් වැදගත්ය. 



අතිරේක කියැවීම්


Saturday, January 14, 2017

සැම්සුන් ගැලැක්සි S4 (E330S) කොරියන් දුරකතනය සඳහා මාෂ්මෙලෝ රොම් එකක් - Marshmallow ROM for Samsung Galaxy S4 (E330S)


සැළකිය යුතුයි
මෙම ROM එක් ස්ථාපනය කළ පසු නැවත Lollipop හෝ Kitkat ROM එක Flash කිරීමේදී (Downgrade) අපට අවශ්‍ය ආකාරයෙන් Custom ROM එකක් ස්ථාපනය කිරීමට තරමක් අපහසුයි.  මුළින්ම සැම්සුන් Firmware ලබා දෙන නිල වෙබ් අඩවියෙන්  (https://samsung-firmware.org/ ) නිල Lollipop හෝ Kitkat Stock Firmware එක ස්ථාපනය කළ යුතුයි. එසේ නොමැතිව Custom ROM  එකක් ස්ථාපනය කළ නොහැකියි.

මේ සඳහා පහත ෆයිල් ඩවුන්ලෝඩ් කරගන්න


මුළින්ම ROM එක සහ Gapps,  SD Card එකට කොපි කරගන්න

ඉන්පසුව දුරකතනය Download Mode මෝඩ් එකට දමා (Home+Volume Down+Power  buttons එකවර තදකරන්න) ඔඩින් 3.09 සිට ඉහළට ඇති Version එකක් හරහා Kernel එක Flash කරගන්න.

Flash කරගැනීමෙන් පසු  Home+Volume Up+Power buttons එකවර තද කොට Recovery අවස්ථාවට පැමිණෙන්න. එහිදී Factory Reset, Wipe සහ Clean to Flash a New Rom යන අවස්ථා සියල්ල මගින් අලුත් ROM එකක් ස්ථාපනය කිරීම සඳහා දුරකතනය සුදුසු තත්වයට පත් කරගන්න. ඉන් පසුව Install zip from sd card යන්න තෝරා එතැනින් ROM එක (cm-13.0-ZNH0E-ks01lte.zip) සහ Gapps (open_gapps-arm-6.0-stock-20161230.zip)  ස්ථාපනය කරගන්න. මිනිත්තු කිහිපයකින් ROM  එක සහ Gapps ස්ථාපනය වෙයි. ඉන් පසු Reboot  කරන්න. CyanogenMod ලෝගෝ එක මද වේලාවක් දිස්වීමෙන් පසු දුරකතනය භාවිත කළ හැකි තත්වයට පැමිණෙයි.


මෙහි අලුත් පහසුකම් බොහෝ තිබුණත් කැමරාව සැම්සුන් ලොලිපොප් රොම් වල තරම් පහසුකම් සපයන්නේ නැහැ. දුරකතන ඇමතුම් පටිගත කිරීමේ පහසුකම ද නැහැ. බැටරි බැස යාම අඩු බව පෙනෙනවා. වේගය ද හොඳයි. ඔබට ද මෙය ස්ථාපනය කොට බැලිය හැකියි. නමුත් නැවත මතක් කරන්නේ ආපසු Lollipop කරා යාමට නම් නිල Lollipop Stock ROM එකම ස්ථාපනය කළ යුතුය යන්නයි. 













සැළකිය යුතුයි
මෙම ROM එක් ස්ථාපනය කළ පසු නැවත Lollipop හෝ Kitkat ROM එක Flash කිරීමේදී අපට අවශ්‍ය ආකාරයෙන් Custom ROM එකක් ස්ථාපනය කිරීමට තරමක් අපහසුයි.  මුළින්ම සැම්සුන් Firmware ලබා දෙන නිල වෙබ් අඩවියෙන්  (https://samsung-firmware.org/ ) නිල Lollipop හෝ Kitkat Stock Firmware එක ස්ථාපනය කළ යුතුයි. එසේ නොමැතිව Custom ROM  එකක් ස්ථාපනය කළ නොහැකියි.